යුද ජයග‍්‍රහණයට සිව් වසරකි. තිස් වසරක යුද්ධය තුන් වසරකින් ජයගෙන සිව් වසරක් ඉක්ම යන කල්හි අපි වාකරේ ගියෙමු. ඒ එම ජනයාගේ ජීවිතේ අලූත් තතු විමසා දැන ගැනීමටය.
එයට හේතුවකි.
මාළුන් ගී ගයන මඩකළපුවට කිලෝ මීටර හැටකින් මෙපිට රට අභ්‍යන්තරයේ රූස්ස වනාන්තර යායකින් වටවූ වාකරේ යනු එකවර යුද්ධ දෙකක් පැවැති භූමියකි. ඒ, ආරක්‍ෂක හමුදා සහ කොටි සංවිධානය අතර යුද්ධයත්, කොටි සංවිධානය හා කරුණාඅම්මාන් ගේ කණ්ඩායමත් අතර පැවැති යුද්ධයත් ය. ඒ ජනයා ඒ යුද්ධ දෙකටම මැදි වූහ. දැන් ඒ ජනයා නිස්කාංසුවේ හුස්ම ගනිමින් සිටිති.
යුද්ධය, එය රාත‍්‍රී භෝජන සංග‍්‍රහයක් නොවීය. මරණය හා විනාශය එය කැටිව ආවේය. ඒ ජනයා ඒ යුද්ධය වෙනුවෙන් සිය දරු පරම්පරාව බිලි දුන්හ. අහස දෙබෑ කරගෙන ගිය ෂෙල් වෙඩි ප‍්‍රහාරයන්ගෙන් දිවි ගලවාගනු පිණිස බංකර් යට දිවි ගෙවූහ. අවසානයේ දී එක්තරා නිමේෂයක දී ඔවුහු උන්හිටිගමන් උන්හිටිතැන් අහිමි වූ යුද සරණාගතයෝ බවට පත් වූහ.
ඒ ජනයා ඒ අතීතය ගැන කියන්නේ කවර කතාවක් ද?
එස්. මංගලචන්ද්‍ර කොක්කුවිල් දෙමළ විද්‍යාලයේ විදුහල්පතිවරයා ය. හතළිස් හතර හැවිරිදි මංගලචන්ද්‍ර අප සමඟ කියා සිටියේ වාකරේ ජනයාගෙන් අධ්‍යාපනයක් ලැබූ එකම පවුල සිය පවුල බවය.
![]() |
‘‘මගේ අම්මයි තාත්තයි රජයේ සේවකයෝ. එක අයියා කෙනෙක් බැරිස්ටර් කෙනෙක්. තව අයියා කෙනෙක් විශේෂඥ වෛද්‍යවරයෙක්. තව අයියා කෙනෙක් විධායක නිලධාරියෙක්. අක්කා ගුරුවරියක්. අපිට එහෙම ඉගෙන ගන්න පුළුවන් වුණේ අපේ අම්මා නිසයි. අපේ අම්මා හරිම සැරයි. අපිට ඉගැන්නුවා. වාකරේ තියාගන්න බැරි වුණාම අපිව මඩකළපුවේ ඉස්කෝලෙට දැම්මා. මම වාකරේ කියලා, කියන්න ලැජ්ජයි. ඒකට හේතුව, ගේ පිටිපස්සේ මුහුද තිබුණත් මට පීනන්න බෑ. අපේ අම්මා අපිව මුහුදු වෙරළටවත් යැව්වේ නෑ. ඒ විදියට තමයි අපිව රැක්කේ.
මංගලචන්ද්‍ර කියන ආකාරයට කොටි සංවිධානය කිසිවකුට නිදහසේ ඉගෙන ගැනීමට ඉඩ නුදුන්නේ ය. ඒ තමන්ට අවැසි පිරිස් බලය තර කර ගැනීම සඳහා ය.
‘‘ළමයි, තරුණයෝ කොටි සංවිධානයට ගියේ අධ්‍යාපනයක් ලැබුවේ නැති නිසයි. ඉගෙන ගන්න විදියක් නැති හින්දා වෙන කරන්න දෙයකුත් නැති හින්දා ළමයි එල්.ටී.ටී.ඊ. යට බැඳුණා. ඒ නිසා රටේ හැමතැනම හොඳ අධ්‍යාපන පහසුකම් හදනවානම් කාටවත් කවුරුවත් බිලි බාගන්න ලැබෙන්නේ නෑ. යුද්දෙ කාලෙට සාපේක්‍ෂව දැන් මේ පළාතේ හොඳ දියුණුවක් තියෙනවා. වාකරේ පමණක් පාසල් 20ක් විතර තියෙනවා. මේවා තවත් දියුණු කරලා ගන්න ඕනෑ. ඒවගේම කම්හල් ඇති කරලා රස්සා දෙන්න ඕනෑ. තවමනම් ඒ අඩුපාඩුව සම්පූර්ණ වෙලා නෑ.’’ ඔහු කියයි. මංගලචන්ද්‍රගේ මුල්ම රැුකියාව ධීවර පරීක්‍ෂක තනතුරකි. වාකරේ ධීවර පරීක්‍ෂකයා ඔහු ය. ඒ යුද්ධ කාලේදී ය. ධීවරයන් අතර බෙදාහැරීම සඳහා ධීවර අමාත්‍යාංශයෙන් බෝට්ටු සහ ආම්පන්න එවන්නේ මංගලචන්ද්‍රට ය. එහෙම දවසට කොටි නායකයෝ මංගලචන්ද්‍ර ට ‘‘එන්න’’ යැයි කියා පණිවිඩ එවති. මංගලචන්ද්‍ර කොටි කාර්යාලයට යයි. ‘‘බෝට්ටු ටික අපිට ඕනෑ’’ කොටි කියති.
‘‘මම රජයේ සේවකයෙක්. මම කොහොමද එහෙම කරන්නේ’’ මංගලචන්ද්‍ර අසයි.
‘‘හරි තව ටිකක් කල්පනා කරන්න. ඔය පුටුවේ වාඩිවෙන්න’’ කොටි එසේ නියෝග කරති. මංගලචන්ද්‍ර වාඩිවී සිටියි. කොටි ඔවුන්ගේ වැඩවල නිරතව සිටිති. දෙතුන් පැයක් ගෙවී යයි. ඒත් කොටින්ගෙන් නැවත කැඳවීමක් නැත. පැය හත - අටකට පමණ පසුව කොටි නායකයා මංගලචන්ද්‍රට කතා කරයි.
‘‘දැන් මොකද කියන්නේ? අපිට බෝට්ටු ටික දෙනවද? තීරණයක් ගත්තද?’’ කොටි නායකයා අසයි.
පැය හතxඅටක් එකම තැන වාඩි වී වතුර උගුරක් හෝ නොමැතිව මංගලචන්ද්‍ර දැඩි තෙහෙට්ටුවට පත්ව සිටියි. එහෙත් ඔහු සිටින්නේ පෙර තීරණයේම ය.
‘‘හොඳයි බලමු’’ කොටි නායකයා එසේ කියා මංගල චන්ද්‍රට යාමට අවසර දෙයි.
![]() |
මංගලචන්ද්‍රගේ නිවස ආසන්නයේම යුද හමුදා කඳවුරකි. එහි නිලධාරීහු මෙන්ම සෙබළුද නිතර නිතර ඒ නිවෙසට පැමිණ ගියහ. මංගලචන්ද්‍රගේ අම්මා හැකි පමණින් හමුදා නිලධාරින්ට සංග‍්‍රහ කළාය. ‘‘මම කොහොමද ඒ නිලධාරින් මරවන්න බෝට්ටු දෙන්නේ’’ මංගලචන්ද්‍ර අසයි.
එහෙත් කොටි සංවිධානයෙන් ද ගැළවුමක් නැත. කොටි නායකයෝ දිගින් දිගටම තර්ජනය කළහ. මංගලචන්ද්‍රත් ඒවා ඉවසාගෙන සිටියේය. ධීවරයන්ට ලබා දුන් බෝට්ටු පැහැරගත් කොටි සාමාජිකයෝ ඒවායින් ගොස් හමුදාවට ප‍්‍රහාර එල්ල කළහ. බෝට්ටු කැබලි අහුලාගෙන හමුදා නිලධාරිහු මංගල චන්ද්‍රගේ නිවෙසට යති. ‘‘මම දැනගත්තා මාව උගුලක අහුවෙලා ඉන්නේ කියලා. ධීවර පරීක්‍ෂක ධූරයෙන් ඉල්ලා අස්වුණා කියලා අමාත්‍යංශයට ලියුමක් යවලා මම නුවරඑළියට ගියා. එහෙ ඇඟලූම් කම්හලක රස්සාවක් කළා. එහෙම වැඩ කරන ගමන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ බාහිර උපාධියක් කළා. ඊට පස්සේ තමයි ගුරු පත්වීම ලැබුණේ.’’
![]() |
ජෙගන් |
![]() |
මංගල චන්ද්‍ර |
මංගලචන්ද්‍රගේ ජීවිත කතාවෙන් කොටි බලය තිබූ සමයේ ඒ ජන ජීවිතයේ තතු මනාව පැහැදිලි වේ. ඔහු කියන්නේ ජීවත්වන බවට හැඟීමක් දැනෙන්නේ දැන් බවය.
‘‘වාකරේ නාවික හමුදා කඳවුරේ අණදෙන නිලධාරි, කමාන්ඩර් කේ.ජී.අයි.එස්. පේ‍්‍රමසර මහතා ලූතිනන් කමාන්ඩර් සමන් සමරකෝන් මහතා ඇතුළු නිලධාරින් ප‍්‍රදේශයේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් පමණක් නොවෙයි ජන ජීවිතය නගා සිටුවීම ගැනත් බොහොම වගකීමෙන් හොයලා බලනවා. ඒක අපට ලොකු සහනයක්...’’ එස්. මංගලචන්ද්‍ර මහතා පැවසීය. වනාන්තරය තුළට වන්නට ඇති පාරවල්වල ද අලූත දැමූ තාරය. සෑම නිවෙසකටම පාහේ විදුලිය ලැබී තිබේ. වාකරේට තිබූ ලොකුම අභියෝගය එල්ල වූයේ ගංවතුරෙනි. ඉකුත් මැයි සමයේ වාකරේ ජනයා දින ගණනාවක් කොටු වී සිටියහ. සදාකාලිකව බැට කෑ ගංවතුරට ද දැන් විසඳුමක් ලැබී තිබේ. ඒ අනුව පනිච්චන් කර්නි කළපුව හරහා යෝධ පාලමක් ඉදිවෙමින් තිබේ.
‘‘තව මාස දෙක තුනකින් මේ පාලම විවෘත කරන්න පුළුවන් වෙයි...’’ ලූතිනන් කමාන්ඩර් සමන් සමරකෝන් මහතා පවසයි.
වාකරේ මුදාගත් දාම අපි ගුවනින් එහි ගියෙමු. ඒ පෙරවරු 9ට පමණය. පෙරදා රාත‍්‍රීයේ ඇවිළී ගිය සටනේ මතක සටහන් හැම තැනම තිබිණි. දුම් රොටු අහසට නැගෙමින් තිබිණි. දහස් සංඛ්‍යාත ජනතාවක් ඇඳිවතට පමණක් උරුම කියමින් වාකරේ රෝහල් බිමේ කූඩාරම් ගසා සිටියහ. කොටි සංවිධානයේ කාලතුවක්කු සවි කර තිබුණේ ද එම රෝහල් බිමේ ම ය. කොටි සංවිධානයේ පළිහ බවට පත්ව සිටියේ ඒ නිරායුධ සාමයට ළැදි ජනතාවය.
අකාමකා දැමිය යුතු වුවද ඒ වේදනාබර මතකය එසේ වළලා දැමිය නොහැකිය. මන්දයත් අතීතයේදී ඉගෙනගත් ඒ ලේ තැවැරුණු ගැඹුරු පාඩම වර්තමානයට මෙන්ම අනාගතයට ද පාඩම් පොතකි.
තිස් හැවිරිදි ඒ තරුණයා අපට හමුවූයේ අප ඒ මතකය තුළ සරමින් සිටියදී ය. අපි ඔහුට ජෙගන් යැයි කියමු. අපට ඔහු හමුවූයේ කදිරෙවේලියේ දී ය.
‘‘අපේ අයියා එල්.ටී.ටී.ඊ. යට බැඳිලා සටනකදී මිය ගියා.’’ ඔහු කතාව ආරම්භ කළේ එසේය.
‘‘ඒ කියන්නේ ඔබ මහා වීර පවුලක්?’’ අපේ ප‍්‍රශ්නයට ඔහු අහිංසක ලෙස සිනාසුනා මිස කිසිවක් කීවේ නැත.
‘‘අයියා ඉස්කෝලේ ගිහින් එනකොට බලහත්කාරයෙන් තමයි අල්ලාගෙන ගියේ. හැම පවුලකින්ම එක්කෙනෙක්වත් එල්.ටී.ටී.ඊයට බැඳෙන්න ඕනෑ කියලා නියෝගයක් තිබුණා. නමුත් අපි කවුරුවත් බැඳුණේ නෑ. ඒ නිසා තමයි අයියව බලහත්කාරයෙන් අල්ලාගෙන ගියේ. ඊට අවුරුදු කීපයකට පස්සේ එල්.ටී.ටී.ඊ එකෙන් ඇවිත් කිව්වා ‘‘ඔබලා දැන් මහා වීර පවුලක්. අයියා සටනක දී මිය ගියා’’ කියලා. එදා ඉඳලා මට එල්.ටී.ටී.ඊ. එක සම්බන්ධයෙන් තිබුණේ පුදුම වෛරයක්.’’ ජෙගන් කියාගෙන යයි.
කරුණාඅම්මාන් එල්.ටී.ටී.ඊ. සංවිධානය කඩාගෙන ගිය පසු ස්වර්ණම් නැගෙනහිර පළාතේ නායකයා විය. එහෙත් කරුණා සිටි සමයේ තිබූ තත්ත්වය පවත්වාගෙන යාමට ස්වර්ණම් අසමත් විය. එහෙයින් කොටි සංවිධානයේ යුද්ධ අංශ නායක පොට්ටු අම්මාන් ද මඩකළපුවට ආවේය. ගමේ සිටි සියලූ තරුණයන් කැඳවූ පොට්ටු අම්මාන් වේගවත් කතාවක් කළේය. ඔහු ඒ කතාව නතර කළේ ජෙගන් අසලිනි.
‘‘ඔබේ අයියා යුද්දෙදි මැරුණා. ඔබ අපේ සංවිධානයට බැඳෙන්න කැමති නැද්ද?’’ පොට්ටු අම්මාන් ඇසුවේය. ජෙගන් ගේ ක්‍ෂණික පිළිතුර වූයේ ‘‘නැහැ’’ යන්නය. කතාබහ එතැනින් හමාර විය. එදිනම රාත‍්‍රියේ වාකරේ කොටි නායකයා ජෙගන් හමුවීමට ආවේය. ‘‘උඹ එල්.ටී.ටී.ඊ. එකට බැඳිය යුතුයි’’ නායකයා කීවේය.
ජෙගන් ගෙන් පළවූයේ පළමු පිළිතුරමය. ‘‘බැහැ’’ ඔහු කීවේය.
‘‘මම උඹට වෙඩි තියලා මරණවා.’’ නායකයා තර්ජනය කළේය. ‘‘කමක් නෑ... පුළුවන්නම් මරපං’’ ජෙගන් කීවේය.
කොටි නායකයා පසුබැස ගියේය. දෙතුන් දිනක්ම කොටි නායකයාගෙන් එබඳු තර්ජන එල්ල වුවද ජෙගන් නොසැලී සිටියේය. ඒ අවසරයෙන් ජෙගන් කදිරවේලි මහා විද්‍යාලයේ උසස්පෙළ දක්වා ඉගෙන ගැනීමට සමත් විය. ‘‘ඒ කාලේ කෝවිලේ උත්සවය තියනකොට එල්.ටී.ටී.ඊ. එකෙන් වට කරනවා. එහෙම වට කරලා අඩුම තරමින් හත් අට දෙනෙක්වත් පැහැරගෙන යනවා. ඒ අයට බේරිලා එන්න බැහැ. පැනලා ආවොත් ආපහු අල්ලා ගන්නවා. බැරි වුණොත් වෙඩි තියලා මරණවා. එහෙම එක්කෙනෙක් මැරුවොත් සෑහෙන පිරිසක් බය වෙනවා. ඒ විදියට තමයි පිරිස් බලය වැඩි කරගත්තේ’’ ජෙගන් කියයි.
‘‘කොහොමහරි යුද්දෙ අන්තිම දවස් ටිකේ අපි හිටියේ ජීවිත ආශාව අතහැරලයි’’ ජෙගන් කීවේය.
|
ඒ කතාව සමඟින් මුහුදු වැදි නායකයා සොයා ගිය ගමන ලබන සතියට.
(සම්පත් සිගේරා, මනෝජ් සිගේරා සොයුරන්ට විශේෂ ස්තූතිය)
සටහන - ප‍්‍රසන්න සංජීව තෙන්නකෝන් / සේයාරූ - ඇලෙක්සැන්ඩර් බාලසූරිය