යුද බිමේ හත්වරක් මරණයෙන් බේරුණු හැටි



ගාමිණී අංගම්මන - බි‍්‍රගේඩියර් (විශ‍්‍රාමික)

 


යුද බිමේ ලද මාගේ අමතක නොවන අත්දැකීම් කීපයක් හෙළිදැක්වීම උදෙසා මාගේ මිතුරන්ගේත් ගෙදර අයගේත් ඉල්ලීම මත එම මතකයන් සහ අපූරු අත්දැකීම්වලින් ඉතාමත් ත‍්‍රාසජනක වූත් ළොමු ඩැහැගන්වන සිද්ධීන් මෙසේ පෑනට නගමි. මෙය මාගේ හොරණෑව පිඹීමක් නොව මගේ මතකයේ හැටියට 1986 වර්ෂයේ මැයි මස 14 වැනි දින ති‍්‍රකුණාමලයේ 2/ගජබා රෙජිමේන්තුවේ ඇතිවූ සිද්ධියකි. එම කඳවුරේ එක් සෙබළෙක් හට මාස 6කින් වත් නිවාඩු නොලැබීමේ හේතුවෙන් හටගත් මානසික ආතතිය නිසාවෙන් ඔහුට තමා පාලනය කරගත නොහැකිව තම පුද්ගලික අවියෙන් අත්තනෝමතික ලෙස වෙඩි වරුසාවක් එල්ල කිරීමෙන් එම අවස්ථාවේ දී කඳවුරේ කි‍්‍රයාන්විතයක් සැලසුම් කරමින් සිටි හමුදා නිලධාරියෙක් සහ තවත් සෙබළුන් දෙදෙනෙක් තුවාල ලැබූ අතර එක් පොලිස් නිලධාරියෙක් මරුමුවට පත්විය. ඉන්පසු මෙම සෙබළා තම පුද්ගලික අවිය ද රැුගෙන ඒ අසල වූ ලැහැබ් සහිත ප‍්‍රදේශයේ සැඟවිණ. කඳවුරේ ඉතිරි සෙබළුන් ක‍්‍රමයෙන් මෙම සෙබළා සිටින ප‍්‍රදේශය පීරමින් ඔහුට යටත් වන ලෙස දන්වන ලදී. ඉන් ඔබ්බේ කුඩා ඔයකි. එය තරණය කළහොත් ඔහු තිරියාය සතුරු ප‍්‍රදේශයට යා යුතුය. එම තත්ත්වය යටතේ ඔහුට යටත් වෙනවා හැරෙන්නට වෙන විකල්පයක් නැති නිසා ඔහු සිය පුද්ගලික අවියෙන්ම වෙඩි තබාගෙන සියදිවි හානි කරගනු ලැබීය. (1986 මැයි 14 දින)

 

මෙම සිද්ධියෙන් පසුව එවකට එම බළ ඇණියේ අණදෙන නිලධාරීව සිටි කර්නල් සාලිය කුලතුංග, ස්වේච්ඡුා මූලයට මාරු කර හැර 1/ගජබා රෙජිමේන්තුවේ කර්නල් ජී. අංගම්මන වසරකට 2/ගජබා බළ ඇණියේ අණදෙන නිලධාරි ලෙසට පත්කර හරින ලදී. පහත් මට්ටමක තිබූ සෙබළ චිත්ත ධෛර්යයත්, සටන්කාමී බවත් පරිපාලනයත් නැවත වර්ධනය කර සියලූ සටන් තත්ත්වයනට මුහුණ දීමට බල ඇණිය නගා සිටුවීම ඔහුගේ කාර්යය විය. ති‍්‍රකුණාමලයේ ෆෙඞ්රික් බළකොටුවේ ස්ථාපිත කරදැමූ මෙම ලාබාල බළ ඇණිය තරුණ ස්වේච්ඡුා බළ ඇණියක් වූ අතර ක‍්‍රමයෙන් යුද බිමේ ආභාෂය ලබමින් සටන්කාමීත්වයෙන් දියුණු කළ යුතුව තිබිණ. දැනට වසර 30 පමණ ඉතිහාසයකට උරුම කියන 2/ගරෙ බළඇණිය අද දක්‍ෂ, එකල යුද බිමේම තෙම්පරාදුවෙන් නිත්‍ය බල ඇණියකට නොදෙවෙනි පළපුරුදු සටන්කාමී බළ ඇණියකි. 

මේ අයුරින් එම බළ ඇණිය භාරගෙන වසරක් ගතවූ තැන 1987 මැයි මස 14 වැනි දින අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වාර්ෂික දානයක් සිදු කිරීමට අදහස් කළ, අද දිනටත් එම බළ ඇණියේ සේවය කරන ලූති. ඩබ්.එස්.එල්.එන්. අබේසේකර මෙදින එම කාර්යය සඳහා කටයුතු සම්පාදනය කොට අවශ්‍ය සංඝයා වහන්සේලා වැඩම කරගැනීම සඳහා ඉරක්කන්ඩි කඳවුරේ සිට ති‍්‍රකුණාමලයේ ෆෙඞ්රික් බළකොටුව (ඒකක මූලස්ථානය) බලා වාහන කීපයක් ද කැටුව පිටත් විය. අඩු තරමින් සංඝයා වහන්සේලා සත් දෙනෙක් වත් (07) දානයට අවශ්‍ය වේ යැයි හැඟුන ද සොයාගත හැකි වූයේ සංඝයා වහන්සේලා දෙනමක් (02) පමණි. මක්නිසාද සංඝයා වහන්සේලා 

සොයාගැනීම එදින වාතාවරණය අනුව ඉතාමත් අසීරු කරුණක් වූ නිසාත් උන්වහන්සේලා දුර බැහැර දානයක් සඳහා සහභාගි වීමට මැලිකමක් දැක්වීමත් හේතුවෙනි. කෙසේ වෙතත් දානය සඳහා අවශ්‍ය වූ පළතුරු වග_ සහ අනිකුත් භාණ්ඩ ද නගරයෙන් සපයා ගැනීමෙන් පසුව 11.00 පැයට පමණ ආපසු ඉරක්කණ්ඩි කඳවුරට යාමට සූදානම් බව මා හට දන්වන ලදී. ඒකක අණදෙන නිලධාරි වශයෙන් මෙම කටයුත්තට සහභාගිවීම සුදුසු යැයි වැටහුණු බැවින්  මා ද මාගේ ආරක්‍ෂකයින් දෙදෙනකු ද පමණ නිල ජීප් රථයෙන් වාහන පෙළට සහභාගි වූයේ ඉරක්කණ්ඩි කඳවුර බලා යාමටය. රථ පෙළේ පිටුපසින්ම මම ගමන් ගතිමි. මා ඉදිරියෙන් වාහන පෙළේ වාහන කීපයක්ම විය.

 

 

මේ අයුරින් අප නිලාවේලි පාලම පසු කළෙමු. එම පාලම ආරක්‍ෂා කරගැනීම සඳහා 2/ගරෙ බළ ඇණියේම එක් ඛණ්ඩයක් එහි ස්ථානගතකර තිබිණ. එම ස්ථානයේ මදක් නවතා ඛණ්ඩ භාර නිලධාරි සමග සතුටු සාමීචියේ යෙදුණි. අනතුරුව රථ පෙළ ඉදිරියට ඇදිණි. මෙම පාලම පසු කළාට පසු යාර 100 ක් 150 ක් පමණ පාර කෙලින්ම දිවෙන අතර වම්පසින් ඇති කඳුවැටියේ සිට පාර පැහැදිලිව දිස්වේ.

මේ වනවිට කොටි ත‍්‍රස්තවාදීන් විසින් මෙම පාරේ යම් තැනක බිම් බෝම්බයක් අටවාගෙන අප ගමන් කළ රථ පෙළ ඉලක්ක කරගෙන සිටිනා බව අපි කිසිවෙකුත් නොදැන සිටියෙමු. කෙසේ වෙතත් ති‍්‍රකුණාමලයේ ප‍්‍රධානතම හමුදා කඳවුරේ සංඥා සෙබළුන් පැය 24 පුරා ඇහුම්කන් දෙමින් සිටින කොටි සංඥා ජාලය සැනෙකින් කි‍්‍රයාත්මක විය. දෙමළ භාෂාවෙන් පණිඩුඩ හුවමාරුව ඇරඹිණ. ප‍්‍රදේශයේ අණදෙන බි‍්‍රගේඩියර්වරයා ද ක්‍ෂණයකින්ම සංඥා මැදිරියට පැමිණ පණිවුඩ හුවමාරුවට සවන් දෙන ලදී. එම ක්‍ෂණික පණිවුඩවලින් අප රථ පෙළ ඉතා සුළු මොහොතකින් සතුරු බිම් බෝම්බයක ඉලක්කයවී ඇති බව වැටහුණ ද එම පණිවුඩය අප රථ පෙළට ලබාදීමට ක‍්‍රමයක් නොවීය. අපගේ රථය අතර පැවතියේ එතරම් ප‍්‍රබල සංඥා හුවමාරු පද්ධතියක් නොවේ. නමුත් ප‍්‍රධාන කඳවුරේ සිට නිලාවේලි පාලමට පණිවුඩය දීමට හැකි වුවද එම පණිවුඩය අප රථ පෙළට දැන්වීමට ඔවුන්ට එම අවස්ථාවේ අණු ඛණ්ඩය සඳහා වාහනයක් සහ කාලය නොතිබිණ. කෙසේ වෙතත් අසලින් ගමන් ගත් යතුරුපැදියක් බලෙන්ම ලබාගත් සෙබළෙකු ඉතා වේගයෙන් අප වෙත ඉගිල ආවද එය ප‍්‍රමාණවත් නොවීය.


සතුරාගේ පණිවුඩ හුවමාරුවේ දී ඔවුන් තම බිම් බෝම්බයේ හැකි පමණ සෙබළුන් නසන්නට අර අඳින ලදී. ප‍්‍රථම වාහනය වූ ඩබල් කැබ් රථයේ සෙබළුන් දෙදෙනෙක් සිටියහ. එය අත්හරින ලෙස කියැවින. ඉන්පසු ගමන්ගත්තේ හමුදා ට‍්‍රක් රථයකි. එහි සිවිල් අය තිදෙනෙකු සිටින ලදී. එය ද අත්හරින ලෙස කියැවින. ඉන්පසු ගමන් ගත්තේ බස්රථයකි. එහි සංඝයා වහන්සේලා දෙනමක් සහ සෙබළු සිටිති.  එය ද අත්හරින ලෙස උපදෙස් දෙන ලදී. ඉන්පසුව ගමන් ගත්තේ හයිඒස් වගර්යේ වෑන් රථයකි. එහිද තිදෙනෙකු සිටින බව දැන්වූවිට එයද මගහරින ලෙස දැන්වීය. මේ වනවිට ඔවුනට තම බිම් බෝම්බය පුපුරවා හැර ලබාගත හැකි මරණ ගණන ඉතාමත් අල්ප බැවින් සුදුසු ඉලක්කයක් නැති තරම් විය. පිටුපසින්ම මා ගමන්ගත් ජීප් රථයේ යම් වැදගත් නිලධාරියෙකු ගමන් ගන්නා බව දන්නා සතුරා එම ජීප් රථය ඉලක්ක කර බෝම්බය පුපුරුවා හරින ලෙසට උපදෙස් නිකුත් කරන ලදී.

 

 

 

මේ වන විටදී මගේ අත් ඔරලෝසුව දෙස බැලූ විට වේලාව 11.45 පමණ බව වැටහුනෙන් 12.00 පැයට පෙර සංඝයා වහන්සේලා හට දානය පිරිනැමිය යුතු බැවිනුත් මා ඉදිරියටම ගොස් රථ පෙළේ වේගය වැඩිකරගත යුතු යයි අදිටන් කර මා ඉදිරියෙන් ගමන් කළ හයිඒස් රථය වේගයෙන් පසුකොට ගතවූයේ සුළු මොහොතකි. කන් බීරි කරවන ශබ්දයකින් සතුරා විසින් බිම් බෝම්බය පුපුරවා හරින ලදී. ඒ සමගම වම් පසින් තිබූ කඳුවැටිය දෙසින් අප වෙත වෙඩි වරුසාවක් ද එල්ල වින. ජීප් රථය පාරෙන් ඉවතට ගෙන එහි ගිය අවිගත් සෙබළුන් ප‍්‍රතිප‍්‍රහාර එල්ල කරන ලදී. බිම් බෝම්බයෙන් අප පසුපසින් සුළු මොහොතකට පෙර ඉස්සර කළ හයිඒස් වෑන් රථය පාරෙන් ඉවතට විසිවී තිබිණ. බිම් බෝම්බයෙන් අහසට විසිවූ ගල්පර ආදිය වෂ_ාවක් මෙන් පතිත වීමට පටන් ගත් අතර ප‍්‍රදේශය වසාගත් දුඹුරු වර්ණ දුවිලි වළාව සුළඟ සමගින් ක‍්‍රමයෙන්. සතුරු වෙඩි හඬ ද නිහඬ විය. ක්‍ෂණයකින් මාත් මාගේ ආරක්‍ෂක සෙබළුන් දෙදෙනාත් අනතුරට පත්වූ රථය දෙසට ගියෙමු. එහි ගමන් ගත් කපිතාන් ඒකනායක කොඳු ඇට පෙළට හානි වීමෙන් එතැනම මියැදී ගියේය. තවත් එක් සෙබලෙක් ද, පොලිස් කොස්තාපල්වරයෙක් ද මියගොස් සිටි අතර එක් සෙබලෙක් පණ අදිමින් සිටියේය.. ඔහු අසලට ගිය මා ඔහුගේ අබලන්ව කැඞී ඇදවී තිබූ පුද්ගලික අවිය අතින් ගැනීමට උත්සාහ දැරුව ද ඔහු එම අවිය තවදුරටත් තදින්ම අල්ලා ගත්තේය. මා ඔහුගේ කනට කොඳුරා මා අණ දෙන නිලධාරි බවත් අවිය අතහරින ලෙසත් දැන්වූ විට ඔහු එසේ කළේය. එම සෙබළා වහාම රෝහල වෙත රැුගෙන යන ලද අතර ශල්‍යකර්මයකින් පසු දිවි ගලවා ගත්තේය.

ඉරක්කණ්ඩි කඳවුරේ අණදෙන නිලධාරි වශයෙන් එවකට රාජකාරි කළේ 2/ලූති ඩබ්.ඞී.එස්.එල්.එම්. අබේසේකරය. මෙහිදී මියගිය ගණන 03කි. තුවාල ලබා බේරුණ ගණන 01කි. ලූති. ඒකනායක, කෝප‍්‍රල් විජේරත්න සහ පොලිස් කොස්තාපල් ජයසිංහ මියගිය අතර ආධුනික සෙබළ කේ.කේ. ලයනල් තුවාල ලබා බේරුණි.

මේ අයුරින් මා පෙර කළ පිනකින් මරු කටෙන් බේරී අදත් ජීවත් වන්නෙමි. පසුදිනක මා හමුදාවෙන් විශ‍්‍රාම ගොස් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රැුකියාව කරන සමයේ දී එම නියෝජිතයකු සමගින් නිලාවේලි හෝටලයට ගියෙමු. එසේ යන අතර නිලාවේලි පාලම පසුකොට ඉහත කී බෝම්බය පිපිරූ ස්ථානය සකසා පාරෙන් ටිකක් උසට තාර දමා තිබිණ. එය පසුකොට නවත්වන ලෙස කී මා එය දෙස බලා ඉන්නවා දැක, යූඑන් නියෝජිතයා මා ළඟට පැමිණ ඔබට දාඩිය දානවා අපහසුතාවයකින් පෙළෙන බව පේනවා. හෘදයාබාධයක් ද නොදනිමි කියා කී විට ටික කලකට පෙර මා හමුදා සේවයේ නියැලි සිටින සමයේ දී මෙම ස්ථානයේ දී  මගේ හදවත සදහටම නවතින්න ගිය ඒ කතන්දරය හෝටලයට ගොස් කියන්නම් කියා මම ඔහුට කීවෙමි. 

 

 


කිතුල්උතුවේ ප‍්‍රහාරය

තවදුරටත් මම 2/ගරෙ බළ ඇණියේ අණදෙන නිලධාරි ලෙස කටයුතු කරගෙන ගියෙමි. ජ්‍යෙෂ්ඨ නිලධාරි මා හට කඳවුරෙන් එළියට නොබසින ලෙස උපදෙස් දුන්නේය. නමුත් කඳවුරෙන් එළියට නොගොස් සතුරාට ප‍්‍රහාර එල්ල කිරීමට නොහැකි බැවින් එය එලෙසම සිදු නොවීය. සෙබළුන්ට අප පෙරමුණේ/ඉදිරියේ සිට නායකත්වය දිය යුතු යුගයක අපි ජීවත් වීමු. සමහර සෙබළුන් සථිර බළ ඇණිවල සෙබළුන් මෙන් උසස් මට්ටමකට පුහුණුව ලබා නැති නිසාත් ඔවුහු නිතරම උපදෙස් සඳහා තම නිලධාරින් දෙස බලති. නමුත් ක‍්‍රමයෙන් මෙම සෙබළුන් යුද පිටියේ ලබන අත්දැකීම් සමගින් යුද්ධයෙන්ම තෙම්පරාදුවී අතිදක්‍ෂ සටන්කාමීන් බවට පත්වේ. වඩමාරච්චි මෙහෙයුමට සියලූ නිත්‍ය බළඇණි ති‍්‍රකුණාමලයෙන් යාපනයට ගෙන ගිය සමයේ මුළු ති‍්‍රකුණාමලය ප‍්‍රදේශයම නිසි අයුරින් රැුක බලා ගැනීමට මෙම සෙබළු සමත් වූහ.


එම වකවානුවේ දී සැමටම නිවාඩු ලබාගැනීම අසීරු වූ නිසා බොහෝ පාසල් නිවාඩු සමයේ දී වාගේ මාගේ පවුලේ අය (බිරිඳ සහ දරුවන් දෙදෙනා) රත්මලානට ගොස් ගුවන් මගින් චීනවරායට පැමිණ එතැන් සිට මුහුදු මගින් ෆෙඞ්රික් බලකොටුවට එන්නේ මා හට නිවාඩු ලබාගැනීමට අසීරු වූ නිසාය. මෙසේ පැමිණි එක් වතාවක සිංහල අවුරුදු නිවාඩුවේ දී පාසල් ද වසා ඇති හෙයින් මාගේ පවුලේ අයවලූන් පුරුදු පරිදි ගුවන් මගින් පැමිණ නිවාඩු සමය ගතකරන ලදී. දැන් ආපසු යාමට කාලය එළඹුණ බැවින් චීනවරාය ගුවන් තොටුපළට ගියෙමු. නමුත් එදින ගුවන් නියමුවන් ද අන් සිංහලයින් මෙන් අවුරුදු කන බැවින් ගුවන් යානයක් නොතිබිණ. දෙවැනි දින ද අප සැම ගුවන් තොටුපළට ගිය ද එදින ද ගුවන් යානයක් නොතිබිණ.

 

 

කනස්සල්ලෙන් මෙන් කඳවුරට ආපසු පැමිණි විටදී මාගේ විධායක නිලධාරිතුමා පාරෙන් යන ලෙස යෝජනා කරන ලදී. නමුත් මා පවසා සිටියේ මා තනියෙන් යන්නේ නම් එසේ කරන බවත්, මාගේ පවුලේ අයත් සමගින් එවැනි අවදානමක් ගැනීමට මා සූදානම් නැති බව සහ හෙටත් ගුවන් යානයක් නොතිබුණොත් එසේ කරමු යයි කියාය. පුරුදු පරිදි තෙවැනි දිනයේ බෝට්ටුවෙන් චීනවරායට ගොස් ගුවන් තොටුපළට පැමිණියෙමු. එදින ගුවන් යානයක් තිබූ බැවින් එමගින් රත්මලානට සේන්දුවී බිමටබට විගසින් ආරංචි වූයේ කිතුල්උතුවේ සතුරු ප‍්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් ඇතුලූ නිවාඩු ගොස් එන සහ යන සෙබළුන්/නාවිකයින් ඇතුලූ 248 දෙනකු එල්ටීටීඊ සතුරා විසින් මග රැක සිට වෙඩි තබා ඝාතනය කර ඇති බවයි. සමහර විට තුන්වැනි දින ගුවන් යානයක් නොතිබුණේ නම් මේ ලිපිය මා කිසිදාක නොලියනු ඇත. 

සතුරා මෝඩයෙකු යයි සිතිය යුතු නොවේ. ත‍්‍රස්තවාදී සතුරා කොතැනක කොයි විධියෙන් පහර දෙයි දැයි කල්තියා කිව නොහැක. එසේ නම් අප ද ඊට සරිලන පරිදි ස්ථානෝචිත ප‍්‍රඥාවෙන් හා නරියෙකුට සමාන කපටිකමකින් ඔහු දෙස බැලිය යුතුය.

 

මතු සම්බන්ධයි