යුද සමයේ අපි සමහර ඉලක්ක ගත්තේ සති ගණන් නිරීක්ෂණය කරලා


 

 

ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී ධුරයෙන් නික්ම යන රොෂාන් ගුණතිලක සමග කතා බහක්

 

නියත දහම ලෙස වෙන් වී යන්නට දවස ඇවිත් ඇත. සියල්ලෙන් කෙදිනක හෝ සමුගත යුතුමය. සැඟව යා නොහැකි සොබාදමේ එකී නියතයට   ඔහු නුදුරේදීම රාජකාරියෙන් නික්ම යන්නට සැරසෙයි. ඒ 35 වසරක ගුවන් හමුදා ජීවිතයට සමුදෙමිනි.

නිසැකයෙන්ම ඔහු සෙන්පතියෙකි. දශක තුනක කාලය මුළුල්ලේ දෙරණ ළය මඬල ගිනි ඇවිල වූ යුද්ධයේ සමාප්තියක් දකිනු වස් දියත් කළ මානුෂීය මෙහෙයුමේදී අහස දිග් විජය කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව කළ අනුපමේය මෙහෙවරට අභිමානවත් නායකත්වයක් සැපයූ සෙන්පතියාණන් ලෙස ඉතිහාසයේ ඔහු නාමය නිසැකයෙන්ම යුගයෙන් යුගයට රැඳෙනු ඇත.

ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි රොෂාන් ගුණතිලක ගුවන් හමුදාව වෙනුවෙන් ප‍්‍රශංසනීය දායකත්වයක් සැපයූ ගුණතිලක පරපුරේ දෙවැනි පරපුරයි. හිටපු ගුවන් හමුදාපති හැරී ගුණතිලක මහතාගේ වැඩිමහල් පුතු වූ රොෂාන් ගුණතිලක සහ ඔහු සොහොයුරු ශිරන්ත ගුණතිලක ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කළ ගුණතිලක පරපුරේ දෙවැනි පරපුරයි. ගුවන් නියමු ශිරන්ත ගුණතිලක එදා යුද්ධය වෙනුවෙන් තම ජීවිතය පූජා කළේය. හැරී ගුණතිලක මහතා ගුවන් හමුදා ජීවිතයට මෙන්ම අද වනවිට තම ජීවිතයටද සමු දී හමාරය. ඒ පරපුරේ ජීවමය සාධක ලෙස රොෂාන් ගුණතිලක සහ ඔහු පුතු අදටත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට තම මෙහෙවර සපයයි.

සදා නොමියෙන මතක කන්දරාවක් රැගෙන තම වෘත්තීය ජීවිතයට තව දින කිහිපයකින් සමුදෙන ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී රොෂාන් ගුණතිලක මහතා සමග අප කළ කතාබහේ සටහනයි මේ.

  ප‍්‍රශ්නය: මානුෂීය මෙහෙයුම අවසන් වී වසර හතරක කාලයක් ගෙවී අවසන්. එදා මානුෂීය මෙහෙයුමට නායකත්වය දුන් ති‍්‍රවිධ හමුදාපතිවරු අතරින් අදටත් නිල ඇඳුමෙන් අප දකින්නේ ඔබව පමණයි. පළමුවෙන්ම මොහොතකට ඒ අතීතය නැවත සිහිපත් කරමු.
 පිළිතුර: 2006 ජූනි මස 12 වැනිදා තමයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මා 12 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස පත් කළේ. ඒ වෙද්දි මම ගුවන් හමුදාවට එකතුවෙලා අවුරුදු 28යි. මට අවුරුදු 50 ලැබුවේ පෙබරවාරි මාසයේදී. වසර 50ක් ජීවිතයට සම්පූර්ණ වෙද්දි තමා මට ඒ ධුරය ලැබුණේ.

තීරණාත්මක කාලයකදී මට ඒ ධුරයේ කටයුතු කරන්න ලැබීම ගැන මා අදටත් හුඟාක් සංතෝෂ වෙනවා. ජනාධිපතිතුමා සහ ආරක්ෂක ලේකම්තුමා මා ගැන තැබූ විශ්වාසය ගැන මම අදටත් ස්තුතිවන්ත වෙනවා. ආරක්ෂක ලේකම්තුමාගේ අනුමත කිරීම තුළ තමා ජනාධිපතිතුමා මා ඒ ධුරයට පත් කළේ.

1978දී මම ගුවන් හමුදාවට බැඳුණේ ගුවන් නියමුවෙක් විදිහට. 1982-83 වෙද්දි රටේ ත‍්‍රස්තවාදී ප‍්‍රශ්න මතුවුණා. ගුවන් හමුදාපතිවීමට පෙර සිටත් වසර දෙක තුනක කාලයක් හැරෙන්න මුළු කාලයම ගෙවුණේ යුද්ධයත් එක්ක. 2009 මැයි මාසේ 19 වන තුරුම යුද්ධයත් එක්ක තමා ජීවිතය ගෙවුණේ. මම විතරක් නෙවෙයි සමස්ත ගුවන් හමුදාව, ගුවන් හමුදාව කළ කාර්යභාරයේ කොටස්කරුවන්. මගේ යහළුවෝ විදිහට හිටපු ගුවන් නියමුවන් හුඟ දෙනෙක් අද ජීවතුන් අතර නෑ. ඔවුන් යුද්ධය වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කළා. 2006දී ආරම්භ වුණේ ලෝකයේ කළ විශාලතම මානුෂීය මෙහෙයුමයි. ඒ ආරම්භයත් එක්ක මම සිහිපත් කරන්න කැමතියි ගුවන් හමුදාව කණ්ඩායමක් විදිහට ලොකු වැඩ කොටසක් කළා. තනියම අපට යුද්ධ කරන්න බෑ. සුදුසු අයව සුදුසු තැන්වලට දාලා කටයුතු කළා. අපි අපේ කාර්යභාරය ස්වාධීනව ඉටු කළා. නාවික හමුදාවට, ගුවන් හමුදාවට, පොලිසියට අවශ්‍ය සහාය හැම විටකම ලබා දුන්නා.

ත‍්‍රස්තවාදීන්ගේ යුද්ධ කිරීමේ හැකියාව බිඳ දැමීම තමා අපට සෘජුවම කරන්න තිබුණ කාර්යය. ත‍්‍රස්තවාදීන්ගේ වෙඩි උණ්ඩ, බෝම්බ, හදන ස්ථාන, පුහුණු කිරීමේ ස්ථාන, සැපයුම් ස්ථාන, ඔවුන්ගේ තුවක්කු ඇති ස්ථාන, නායකයන් සිටි ස්ථාන ඉලක්ක කරලා තමා අපි අපේ කාර්යභාරය පටන් ගත්තේ. උඩට හැරෙන ත‍්‍රස්තවාදීන්ගේ තුවක්කු මැද මේ රාජකාරිය කළ යුතු බව අප තේරුම් ගත්තා. අපේ ගුවන් නියමුවන් ඉතා නිවැරදිව ත‍්‍රස්තවාදීන්ගේ ඉලක්කවලට පහර දුන්නා. සිවිල් ජනතාවගෙන් අපට කවදාවත් කිසිම චෝදනාවක් නැගුණේ නෑ.

අප ඉලක්කය ගත්තේ නිවැරදි බුද්ධි තොරතුරු හා චන්ද්‍රිකා ඡුායාරූප බලලා. සමහර විට ඉලක්කය සුමානයක් දෙකක් නිරීක්ෂණය කරලා. හැම කෙනකුටම බොහෝම වැදගත් කාර්යභාරයක් තිබුණා. මම කියන්නේ ඉතා සුළු නිලධාරියා පවා දැක්වූ සහයෝගය හැම ජයග‍්‍රහණයක් පසුපස තිබුණා. තිරයෙන් පිටුපස සිට යුද්ධයට දායකත්වය දුන්න හුඟක් අය හිටියා.

ගුවන් නියමුවන්ට ත‍්‍රස්තවාදීන්ගේ වෙඩි හුවමාරුවීම් සිදුවෙන අවදානම් කලාපයටම යන්න වුණ අවස්ථා තිබුණා. හමුදාවේ අයට වෙඩි වැදුනම එයාලව ගන්න, හමුදාවට කෑම දෙන්න, අවදානම් තත්ත්ව දරාගෙන ඔවුන් ගියා. සතුරා ළඟටම ගියා.

අවසන් මානුෂීය මෙහෙයුමේදී අපි මෙහෙයුම් 3000කට වඩා කළා. එක මෙහෙයුමකදි සමහර විට ඉලක්ක දෙක තුනක් ගත්තා. අපේ දැක්ම වුණේ ත‍්‍රස්තවාදියාගේ හැකියාව, චිත්ත ශක්තිය බිඳ දැමීම. අපි ඒ දේ කළා.

 

පුතු, බිරිය සහ දියණිය සමඟ

 


ප‍්‍රශ්නය: තම තමන්ව අමතක කරලා තමන්ගේ පෞද්ගලික ජීවිතය අමතක කරලා රටක හමුදාවක් යුද්ධයකදී කරන මෙහෙවර හුදෙක් රැුකියාවකට සීමා කරන්න පුළුවන්ද?
පිළිතුර: යුද්ධයක් නැති කාලයක හමුදාවක් කරන්නේ රස්සාවක් කියලා කියන්න පුළුවන්. ඒත් යුද්ධයක් තියෙද්දි හමුදාවක නිලධාරියකුගේ සොල්දාදුවකුගේ කාර්යභාරය සාමාන්‍ය කාර්යභාරයට එහා යනවා. කවුරු හරි කීවොත් අප පුහුණු කරලා තියෙන්නේ ඒකට කියලා ඒක හරි. ඒත් තමන්ගේ මාතෘභූමිය වෙනුවෙන් තමන්ගේ ජීවිතය අමතක කරලා කරන කැප කිරීම රස්සාවක් විතරක් කියලා කියන්න බෑ. සතුරා ඉදිරියට යන එක, ආපසු එන්න ලැබෙයිද නැද්ද නොදැන සතුරු භූමියට යන එක හැමෝටම කරන්න බෑ. ඒ කැප කිරීම උත්තරීතර දෙයක්. ඔය ප‍්‍රශ්නය මීට පෙර කවුරුත් මගෙන් අහලා තිබුණෙත් නෑ. මම ඒ ගැන හිතුවෙත් නෑ. ඒත් ඔව් ඒක රැකියාවක් විතරක් නෙවෙයි.

 

ප‍්‍රශ්නය: යුද්ධයෙන් පසුව යුද්ධයට දායකවුණු ඇතැම් හමුදා ප‍්‍රධානීන් හා රජය අතර යම් යම් ප‍්‍රශ්න ඇතිවුණා. ඔබට සංතෝෂ වෙන්න පුළුවන්ද ඔබ ඔබ කෙරේ තබපු විශ්වාසය අවංකවම රැක ගත්තා කියලා.
පිළිතුර: ඔව්.... අපි සෙන්පතියන් විදිහට යුද්ධ කළා. ඒත් රටක නායකයෙක් ඉන්නවා. රටක නායකයෙක් රටේ දේශපාලනය, ආර්ථිකය මේ හැමදේම වගකීම දරන්නෙක්. රටේ පාලකයායි හමුදාවට අණ දෙන සේනාධිනායකයා වෙන්නෙත්. මේ රාමුව තුළ වැඩ කරලා ත‍්‍රස්තවාදය අවසන් කරන්න කියන අණ රටේ සේනාධිනායකයාගේ.

ජනාධිපතිතුමා නියෝගයක් දුන්නා ත‍්‍රස්තවාදය අවසන් කරන්න කියලා. අප වැඩ කළ යුතු වන්නේ එතුමාගේ නායකත්වය යටතේ. ස්වාධීනව යුද්ධ කරන්න බෑ. අපි තමයි මෙය ජයග‍්‍රහණය කළේ කියනව නම් ඒක වැරදියි. මොකද අප වැඩ කළේ ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ. නායකත්වයක් යටතේ වැඩ කරන්න බැරිනම් නායකයෙක් වෙන්නත් බෑ. මට කවදාවත් ඒක අමතක වුණේ නෑ. ඒ තමයි ක‍්‍රමය. රජ කාලයේ වුණත් සෙන්පතියන් යුද කළේ රජුන් වෙනුවෙන්. අපි සංතෝෂ වෙන්න  ඕනෑ අපට පවරපු රාජකාරිය අපි හරියට කරන එක ගැන. ජයග‍්‍රහණය කියන්නේ තනි පුද්ගලයකුගේ දෙයක් නෙවෙයි. පද්ධතියක් එකතු වී ලබාගත් දෙයක්.

යුද්ධය යුදහමුදාපතිවරුන් සොල්දාදුවන්, ත‍්‍රස්තවාදීන් ඒ තමා යුද්ධය කියන චිත‍්‍රයේ ප‍්‍රධාන භූමිකා විදිහට සමාජයට පේන්නේ. හැබැයි මෙය පිටුපස හිටපු ලොකුම නායකයා හුඟාක් අයට පෙනුණේ නෑ.

යුද්ධය කෙරෙද්දි ජාත්‍යන්තර ප‍්‍රජාවගෙන් කොච්චරවත් බලපෑම් ආවා යුද්ධය නතර කරන්න කියලා. අර තීරණය ගන්න මෙහෙම කරන්න කියලා බලපෑම් ආවා. මට තාම මතකයි ජනාධිපතිතුමා කීවා ඔයගොල්ලෝ ඔයගොල්ලන්ට දුන්න පරාසයේ ඔයගොල්ලන්ගේ රාජකාරිය කරන්න මේවා මම බලාගන්නම්. මම මේක බලාගන්නම්. ඒක මගේ වැඩක්. මම ඒ බර අරගෙන ඒක කොහොම හරි කරන්නම් ඔයගොල්ලෝ යුද්ධ කරන්න කියලා. ජනාධිපතිතුමා යුද්ධයේ විතරක් නෙවෙයි තව ලොකු බරක් ඉසිලූවා. එය මතක් කිරීම අද අපේ යුතුකමක්.

 

 

  ප‍්‍රශ්නය: යුද්ධයේදි සිවිල් ජන ජීවිත තුරුම්පුවක් වුණේ නෑ කියන එක පිළිබඳව ඔබට දිය හැකි සහතිකයක් තියෙනවද?
පිළිතුර: ලෝකයේ පළමු රට වෙන්න ඇති ත‍්‍රස්තවාදීන්ව මේ විදිහට පුනරුත්ථාපනය කරලා ඔවුන්ට සාමාන්‍ය සමාජයේ ඉඩප‍්‍රස්තා උදා කරලා දුන්න. ඒ වගේම යුද්ධයෙන් පීඩිත ජනතාවගේ ජීවිත නගාසිටුවන්න කොයි තරම් දේවල් කළාද? යුද්ධය තිබියදී වගේම යුද්ධයෙන් පසුවත් ති‍්‍රවිධ හමුදාව මේ රටේ දියුණුව වෙනුවෙන් කැප වුණා. ලෝකයේ අනික් හමුදා සමග බලද්දි අපේ රටේ හමුදා හුඟාක් ඉදිරියෙන් සිටිනවා. යුද්ධය යුද්ධය කළ ආකාරය, හමුදාවේ හැසිරීම අනික් රටවලට ආදර්ශයක් ලෙස ගන්න පුළුවන්. තමන් සටන් වදින සතුරු හමුදාවේ ජාතියට අයත්වන සිවිල් වැසියන් බේර බේරා සටන් කළ හමුදාවක් ලෝකයේ තවත් හිටියද කියලා අප ඇසිය යුතුයි. අපේ ති‍්‍රවිධ හමුදාව යුද්ධ කළේ එහෙම. දෙමළ මිනිස්සුන්ව පාරාවළල්ලක් කර ගත්ත එල්.ටී.ටී.ඊ.යෙන් ඒ ජනතාව බේරා ගත්තෙත් අපේ ති‍්‍රවිධ හමුදාව.

සමහර වෙලාවට ගුවන් හමුදාවට හොඳ ඉලක්ක ආවා. ඒත් ඒ ඉලක්ක ළඟ සිවිල් වැසියන් හිටි නිසා අපි ඒ ඉලක්ක ගත්තෙ නෑ. නෑ අපි මේ ඉලක්කය ගන්නෙ නෑ. ඒ ඉලක්කය ගත්තොත් ත‍්‍රස්තවාදීන්ට ලොකු හානියක් වුණාට සිවිල් වැසියන්ට හානියක් වෙන්න බෑ කියලා අපි ඉලක්ක මඟහැරියා. ලෝකයේ යුද්ධ කරන මොන හමුදාවද ඒ තරම් මානුෂිකව යුද්ධ කළේ. අපි ඉලක්කයක් ගද්දි මුලින්ම බැලූවේ එයින් සිවිල් වැසියකුට හානියක් වෙයිද කියලා.

තමිල් සෙල්වම්ගේ ඉලක්කය ගනිද්දිත් ඒ මෙහෙයුම් අපි ඉතා කල්පනාවෙන් කළා. අතිදක්ෂ ගුවන් නියමුවෙක් එයට යෙදෙව්වා. අපි සිවිල් ජනතාව ගැන හිතලා මෙතෙන්ට මොකුත් කරන්න බෑ කියන තහංචිය අපි අපටම දා ගත්තා. යුදමය අතින් පාඩු වුණාට අපි මනුෂ්‍යත්වය අමතක නොකළ හමුදාවක්. ජීවත්වීමට මිනිසුන්ට ඇති අයිතිය අමතක නොකළ හමුදාවක්.

දවසක් ජනාධිපතිතුමා කීවා ”ඉලක්ක ගත්තට කමක් නෑ. හැබැයි කිසිම සිවිල් වැසියකුට හානියක් වෙන්න බෑ කියලා. යුද්ධය අවසන් කාලයේ අපි ගුවන් මෙහෙයුම් නතර කළේ සිවිල් වැසියන්ගේ ආරක්ෂාව ගැන හිතලා. මේ තමා අපට දෙන්න ඇති සහතිකය.

 


  ප‍්‍රශ්නය: ඉලක්ක කොපමණ විතර සංඛ්‍යාවක් සිවිල් ජනතාව ගැන හිතලා ඒ විදිහට ගුවන් හමුදාව මඟහැරියද?
පිළිතුර: ඉලක්ක 150ක් විතර නොගෙන හිටියා.

 


  ප‍්‍රශ්නය: ඔබ හිතනවද අද අපට මානව හිමිකම් කඩ කිරීම ගැන චෝදනා කරන රටවල්වත්, මානව හිමිකම් ගැන කතා කරන රටවල්වත් ඒ විදිහට යුද්ධයකදි කි‍්‍රයා කරයි කියලා.
පිළිතුර: මම දන්නෑ. යුද්ධයක මේ වගේ තීරණාත්මක අවස්ථාවක් ආවොත් ඒගොල්ලෝ ඒක කොහොම කරයිද කියලා. හැබැයි අපි මානව හිමිකම් පිළිබඳ නීතිරීති කඩ කරලා යුද්ධ කළේ නෑ. එසේ නොවුණා නම් ඇත්තටම යුද්ධය මීට පෙර අවසන් කරන්නත් තිබුණා. ඔය රටවල් එල්ල කරපු ප‍්‍රහාරවලදි ඉලක්කය වැරදීමෙන් කියලා සිවිල් ජනතාව විශාල වශයෙන් ඝාතනයට ලක් වූ අවස්ථා මම මාධ්‍ය මගින් දැක තිබෙනවා. දේශපාලන නායකත්වය හා හමුදා නායකත්වය හොඳ අවබෝධයකින් කි‍්‍රයා කරමින් යුද්ධය අවසන් කළ රටක් මේක. සියලූ රටවල්වලට ඒ ගැන ආදර්ශයක් දුන් රටක් මේක.

 

 

සටහන - සංජීවිකා සමරතුංග