යෝග ඉගෙන ගැනීම


යෝග ඉගෙන ගැනීම යනු සිත කය ඍජු ලෙස එක් කරමින් ක‍්‍රියා හා ප‍්‍රතික‍්‍රියා නවතා දමන සහ එම නැවතීම ඉබේම සිදුවෙන මට්ටමට පත්වීම හා පත්කිරීමයි. යෝගාසන, ප‍්‍රාණයාම, යෝග නිද්‍රා, යෝග මුද්‍රා (හස්ත මුද්‍රා හා කාය මුද්‍රා) මෙන්ම යෝග ක‍්‍රියා යන ෂඞ්යෝග ක‍්‍රියා මගින් සිදුවනුයේ සිත බාහිර ලෝකය හා බද්ධ වන ඉඳුරන් මගින් අරමුණු අඳුරාගෙන ලෝකය හා ක‍්‍රියාකිරීම නැවැත්වීමයි. එය බලහත්කාරයෙන් සිද්ධ කරන එකක් නොවේ. ඒ වනාහි ඉබේ ක‍්‍රියා කරන තත්ත්වයකට පත් කිරීමයි. මෙය යෝග ඉගැන්වීමේදී ඍජු ලෙස අත්දකින ආකාරය අෂ්ඨාංග යෝග හෙවත් ප‍්‍රාණයෝග වලදී ප‍්‍රාණයාම ලෙස හඳුන්වයි. මේ සඳහා සියල්ලට ප‍්‍රථම යෝග වීම යනු කවරක්දැයි හඳුනාගත යුතුය.

 

 

යෝග වීම යනු එක්වීමයි. කුමක් හා එක්වීමක්දැයි මෙතනදී ඔබට සිතෙනු ඇත. සිත වර්තමානය හා මේ මොහොත සමඟ එක්වීම මේ එක්වීමයි. ඒ සඳහා කළ යුත්තේ ප‍්‍රථමයෙන් සිහි ඇතුව සිටීමට ඉගෙනීමයි. එවිට සිත අතීතයෙන් අනාගතයෙන් හා බාහිර ලෝකයෙන් මුදා ගැනීම සඳහා දැනීම ඇතිවේ. ඒ අවධි බව, සිහි ඇති බව, සවිඥානික බව ඇති කිරීම මගින් සිද්ධ කළ යුතු දෙයකි.

යෝග යනු පසිඳුරන් හෝ අරමුණු ඇතිවීම වැළැක්වීමයි. සිත අතීත අනාගත හා බාහිර ලෝකයට යොමුවීම වැළැක්වීමටයි. සිතේ සිතුවිලි ඇතිවීම ධාරණ ප‍්‍රගුණ කිරීම මගින් සිද්ධ වේ. ධාරණ යනු එකම අරමුණක දීර්ඝව සිත රඳවා තබා ගැනීමට පුරුදු පුහුණු කිරීමයි.

එසේ සිත එකම අරමුණක දීර්ඝව තිබෙන විට හැඟීම් හා සිතුවිලි ඇති නොවේ. සිත නිවුණු නිසල බවකට පත්වීම සිදුවේ. එවිට සිත කිළිටි නොවී, කිසිවක් හා මිශ‍්‍ර නොවී තිබෙන ස්වාධීන, අමිශ‍්‍ර, ප‍්‍රභාෂ්වර තත්ත්වයකට පත්වේ. මේ තත්ත්වය යෝග වීම වේ. මෙය සුදුසු නිවැරැුදි ගුරුවරයකුගෙන් ඉගෙන ගෙන එහි අත්දැකීමක් ලැබිය යුතු අවස්ථාවට පත්වීම යෝග හැදෑරීම වෙයි.

දැනුම ලබාගැනීමේ ඉහළ මාර්ගය ඍජු අත්දැකීමයි. අනෙක් සෑම මාර්ගයක්ම අසම්පූර්ණය. ආත්මාවබෝධය හා ඒකීය අරමුණක් වෙත යොමුවූ නිර්මල අවධානය හා ශිෂ්‍ය සංවරය ඊට අත්‍යවශ්‍යය ය. අපවිත‍්‍ර සිත බාධක අවහිරතා ඇති කරන අතර සාමාන්‍ය සිත ඍජු අත්දැකීමෙහි මෙවලම වන්නේය.

දිනක් යෝගී ගුරුවරයකු තම ශිෂ්‍යයාට ඉඳගැනීමට යැයි කියමින් මෙසේ ඇසුවේය.

ඔබ උගත් ළමයෙක් ද?

ඔව් මම උගත් ළමයෙක්.

ඔබ මොනවද ඉගෙන ගත්තේ? කවුද ඔබට ඉගැන්නුවේ? මට විස්තර කරන්න බලන්න.

අපේ ප‍්‍රථම ගුරුවරයා අම්මා. ඊළඟට තාත්තා. ඊට පසු සහෝදර සහෝදරියෝ. පසුව අප සමඟ සෙල්ලම් කරන ළමයින්. පාසලේදී ගුරුවරුන්ගෙන් හා පසුව පතපොත / ලියන ලේඛකයන්ගෙන් අප ඉගෙන ගන්නවා.

ඔබ මොනව ඉගෙන ගත්තත් ඒ හැම දෙයක්ම අනුන්ගේ මිසක් ඔබ ස්වාධීනව ඉගෙනගත් කිසිම දෙයක් නෑ.

හොඳයි. ඔබට ඉගැන්වූ ඒ උදවිය ඉගෙන ගත්තේ කොහෙන්ද?

ඒ අයත් ඉගෙනගෙන තියෙන්නේ අනුන්ගෙන්. ඉතින් මේ හැම දෙයකම ප‍්‍රතිඵලයක් විදිහට ඔබ ඉගෙනගෙන තියෙන්නේ කොහොමද? මා ඔබ ගැන කනගාටුවට පත් වෙනවා. මොකද යම් දෙයක් ස්වාධීනව ඉගෙනගෙන නෑ. ඔබ පැහැදිලිව තීරණය කරලා හමාරයි ලෝකය ස්වාධීනව ඉගෙන ගන්නවා කියලා දෙයක් නෑ කියලා. ඔබට ඇත්තේ අනුන්ගේ අදහස්.

මිනිත්තුවක් ඉන්න. මට ටිකක් හිතන්න  ඕනෑ.

මට කිසිදෙයක් ඉගෙන ගත්තේ නැතැයි පැවසීම මා තිගැස්සෙන සුළු වටහා ගැනීමක් විය. මා දරා සිටින දැනුම මගේ දැනුමක් නොවේ. මා කොතෙක් ඉගෙන ගත්තත් මා සෑහීමකට පත් නොවන්නේ එබැවිනි. පොත් ගුලාවක් සමඟ සිටියත් ඔබ සෑහීමකට පත්නොවන්නේ එබැවිනි. ඔබටද එසේ සිතෙනු ඇත. එහෙමනම් මා සැක සංකාවෙන් මිදුණු ප‍්‍රබුද්ධයකු වන්නේ කෙසේද? ශිෂ්‍යයා විසින් ගුරුවරයාගෙන් විමසන ලදී.

ඔබ විිසින් පිටතින් ලබාගත් දැනුම අත්හදා බැලීමෙන්, ඔබේ ඍජු අත්දැකීමෙන් ඔබම හොයා ගන්න. අවසානයේදී ඔබ තීරණාත්මක හා ප‍්‍රයෝජනවත් දැනුමක් ඇති තත්ත්වයට පත්වේවි. කිසිම දැනුමකින් වැඩක් නෑ එය ඍජුව ලැබී නැත්නම්. ඍජුව නොලැබෙන දැනුම ඔබ සෑහීමකට පත්කරවන්නක් නොවෙයි. ඉතිහාසය පුරාම හා බුද්ධිමත්ව ඍජුව දැනුම ලබාගැනීමට අප‍්‍රමාණව වෙහෙසුණේය. හුදු අන්‍යයන්ගේ අදහස්වලින් ඔවුන් සෑහීමකට පත්වූයේ නෑ. අන්‍ය මතධාරීන්ගේ විරුද්ධකම්වලට බයෙන් ඔවුන් තම සෙවිල්ල නතර කළෙත් නෑ.

ඍජු අත්දැකීම් ලැබීම දැනුමේ වලංගු භාවයේ අවසන ඵලය බව මම තේරුම් ගතිමි. ශිෂ්‍යයා අවසානයේ ඒ නිගමනයට පැමිණියේය.

(මතු සම්බන්ධයි)

 

සටහන - සංජීවිකා සමරතුංග

 

හිමාලයේ යෝගීන් ඇසුරේ - 01

හිමාලයේ යෝගීන් ඇසුරේ - 02

හිමාලයේ යෝගීන් ඇසුරේ - 03

හිමාලයේ යෝගීන් ඇසුරේ - 04

හිමාලයේ යෝගීන් ඇසුරේ - 05

හිමාලයේ යෝගීන් ඇසුරේ - 06

හිමාලයේ යෝගීන් ඇසුරේ - 07

හිමාලයේ යෝගීන් ඇසුරේ - 08

හිමාලයේ යෝගීන් ඇසුරේ - 09

හිමාලයේ යෝගීන් ඇසුරේ - 10