රජ කාලේ තීන්දු ගත් මහනුවර මඟුල් මඩුව



නව රජයේ ඇමැති මණ්ඩලය අද (12) දිවුරුම් දෙයි. අභිමානවත් අයුරින් ඉතා චාමෙට දිවුරුම් දීමේ උත්සවය පැවැත්වෙන්නේ මහනුවර ඓතිහාසික මඟුල් මඩුවේය.

උඩරට වාස්තු විද්‍යාවේ, බල මහිමය කියාපාන විචිත්‍රවත් නිර්මාණයක් ලෙස සැලකෙන මඟුල් මඩුව පිහිටා ඇත්තේ රාජ මාලිගා සංකීර්ණයේ, ශ්‍රී දළදා මාලිගාව අසලය. වර්තමානයේ දකින්න ලැබෙන දැවමය මඟුල් මඩුව ක්‍රි.ව. 1783 දී, රාජාධි රාජසිංහ රජතුමා (1782 සිට 1798 දක්වා) විසින් ඉදිකිරීම් ආරම්භ කරනු ලැබුවේ යැයි ඉතිහාසයේ සඳහන් වෙයි. කෙසේ නමුත්, රාජාධි රාජසිංහ රජතුමාට එය සම්පූර්ණ කළ නොහැකි වූ බවත්, ඉදිකිරීම් අවසන් කළේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා (1798 සිට 1815 දක්වා) බවත් පැවැසෙයි.

උඩරට වාස්තු විද්‍යාවේ විසිතුරු ලී කැටයම් කලාවට අනුව මඟුල් මඩුව නිර්මාණය කරනු ලැබුවේ දේවේන්ද්‍ර මූලාචාර්ය විසිනි. (පත්තිරිප්පුව නිර්මාණය කළේ ද මොහු ය.) දේවේන්ද්‍ර මූලාචාර්ය, දකුණේ වැසියකු බව වැඩි දෙනා නොදනිති. දේවේන්ද්‍ර මූලාචාර්ය, මාතර දෙවිනුවර සිට මහනුවරට ගොස්, මහනුවර රජුන් තිදෙනකු යටතේ ගෘහ නිර්මාණ ශිල්පියකු ලෙස කටයුතු කළ අයකු යැයි ඉතිහාස වාර්තාවල සඳහන් වී තිබේ. දේවේන්ද්‍ර මූලාචාර්ය ගෘහ නිර්මාණ ශිල්පියකු පමණක් නොව, සිත්තරෙකි. නගර සැලැසුම්කරුවෙකි. ඉංජිනේරුවෙකි.
මහනුවර රාජධානිය පැවැති සමයේ රජතුමා ප්‍රමුඛ ඉහළ නිලධාරීන්ගෙන් සමන්විත ඉහළ අධිකරණය රැස්වූයේ ද මඟුල් මඩුවේය. එවකට රටේ පැවැති නීතියට අනුව, දඬුවම් නියම කෙරුණේ ද මෙම ස්ථානයේදීය. ඉංග්‍රීසි (බ්‍රිතාන්‍ය) පාලන සමයේ දී පවා නඩු බොහොමයක් විභාග කෙරුණේ මඟුල් මඩුවේදීය.

මහනුවර රාජධානි සමයේ දී, රජු විදෙස් තානාපතිවරුන් හමුවූයේ ද මඟුල් මඩුවේදීය. විදෙස් තානාපතිවරුන් කෙරෙහි රජුගේ වැඩි ප්‍රසාදයක් නොවුණු අතර, ඔවුන් හමුවීම කෙරෙහි රජු වැඩි උනන්දුවක් දක්වා නැත. රජු ඔවුන් හමුවී ඇත්තේ, සති ගණනක් ඔවුන් රස්තියාදු කිරීමෙන් පසුවය.  

අතීතයේ මඟුල් මඩුවේ බිම දැවයෙන් ඉදි කර ඇත්තේ සුවිශේෂී ආකාරයකට යැයි පැවැසෙයි. දැවයෙන් නිම කළ බිම, ඉර මුදුන් වෙද්දී රත් වී උණුසුම් වෙයි. රජතුමා විදෙස් තානාපතිවරුන් එහි කැඳවන්නේ එවැනි අවස්ථාවලදීය. එවිට විදෙස් තානාපතිවරුන් වැඩි වෙලා රැඳී සිටින්නේ නැත. මිනිත්තුවෙන් දෙකෙන් ඔවුහු පිටව යති. නඩු විභාග පැවැත්වෙද්දී, රට වැසියන් රජු ඉදිරියට පැමිණෙන්නේ, ‘පස්වාන් දහසකට බුදුවන්න රජතුමනි’ යැයි කියමින් යටහත්පහත්ව ගෞරව දක්වමින් දණින් වැටෙමිනි. තොරතෝංචියක් නැතිව කරන පැමිණිලි වැඩි වේලාවක් අසා සිටීමට රජුට සිදුවන්නේ නැත. දැවයෙන් තැනූ බිම රත්වී, උණුසුම් වෙද්දී, පැමිණෙන සැවොම හැකි ඉක්මණින්, කිව යුතු දේ කෙටියෙන් කියා නික්ම යති. රජු විශේෂ අමුත්තන් හමුවීම, නඩු විභාග කිරීම පමණක් නොව, ඇසළ පෙරහර මංගල්‍යය දිනපතා රාත්‍රියේ අවසන් වෙද්දී, එහි සාර්ථකත්වය පිළිබඳ, දේවාලවල කපුවන් රජු දැනුවත් කළේ ද මගුල් මඩුවේදීය.

ක්‍රි.ව. 1815 දී සිංහල ඉංග්‍රීසි උඩරට ගිවිසුම අත්සන් කළේ මඟුල් මඩුවේදී යැයි ඇතැම් වාර්තාවල දැක්වෙයි. කෙසේ නමුත් එය එසේ නොවෙයි. මඟුල් මඩුවේ දී සිදුවී ඇත්තේ එදා මහානායක හිමියන් වූ කොබ්බෙකඩුව සිරිනිවාස හිමියන් වෙත එම ගිවිසුම කියවා ඉදිරිපත් කිරීම පමණි.

ගිවිසුම, ශ්‍රීමත් ජෝන් ඩොයිලිගේ සාක්කුවේ දින 14ක් තිබී ඇති අතර, ඊට යෙදූ අත්සන් ව්‍යාජ ඒවාය. ඇහැලේපොළ නිලමේතුමන්ගේ අත්සන ද ඊට එක් වූයේ යැයි පැවසෙන්නේ එලෙසිනි.

1872 දී ඔටුන්න හිමි එඩ්වඩ් කුමරු පැමිණෙද්දී, ඔහු පිළිගැනීමේ අරමුණින්, එවකට බ්‍රිතාන්‍ය පාලකයෝ මඟුල් මඩුව වෙනසකට ලක් කළහ. මහනුවර රාජධානිය අත්පත් කරගැනීමෙන් පසු මඟුල් මඩුව එංගලන්ත පල්ලිය යටතට පැවරුණි. කල්කටාවේ බිෂොප්වරයා 1829 දී මඟුල් මඩුවේ දේව මෙහෙයක් ද පවත්වා ඇත.

කැප්පෙටිපොළ මහ දිසාව සහ මඩුගල්ලේ නිලමේතුමන්ට මරණ දඬුවම ලබා දීමට තීන්දු කෙරුණේ මඟුල් මඩුවේදීය. යටත් විජිත සමයේ ද්‍රෝහීන් වීරයන් ලෙස නම් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළේ ද මඟුල් මඩුවේදීය. කුඩාපොළ හිමියන් අසාධාරණ අයුරින් වරදකරු කොට උන් වහන්සේට වෙඩි තැබුවේ ද මඟුල් මඩුවේදීය. බ්‍රිතාන්‍ය පාලනයේ සිට අද දක්වා, මල්වතු අස්ගිරි මහාවිහාර අතිගරු මහානායක පදවි සහ අනුනායක පදවි පත්කිරීමේ සන්නස් පත්‍ර ආණ්ඩුකාරවරුන්ටත්, නිදහස ලැබීමෙන් පසු ජනාධිපතිවරයාටත් පිරිනැමීම සිදු කෙරෙන්නේ ද මඟුල් මඩුවේදීය.

මඟුල් මඩුව අපේ රටේ ඉතිහාසයේ වැදගත් ස්ථානවලින් එකකි. දළදා වහන්සේගේ පහස ලබන, එහි සෙවණැල්ලට යටත් ඓතිහාසික ගොඩනැගිල්ලකි. මෙරට වාස්තු විද්‍යාවේ බලමහිමය ලොවට කියා පාන විචිත්‍රවත් නිර්මාණයකි. උඩරට රාජධානිය පැවැති සමයේත්, බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ අවස්ථාවේදීත්, පසුව වර්තමානයේත් රාජ්‍ය උත්සව බොහොමයකට මඟුල් මඩුව පමණක් නොව ශ්‍රී දළදා මාලිගාව කේන්ද්‍රස්ථානය විය. අද දින මඟුල් මඩුවේ සිට දිවුරුම් දෙන නව ඇමැති මණ්ඩලය, එසේ දිවුරුම් දෙද්දී, සිතට ගත යුතු දෙයක් ඇත. ඒ, ඔවුන් අද (12) දිවුරුම් දෙන්නේ, ඔවුන් ගැන විශ්වාසය තබා ඔවුන්ට බලය දුන් ජනතාව වෙනුවෙනි. එහෙයින් ඔවුන් එම ජනතාව වෙනුවෙන් කැප වී ගෞරවණීය සේවයක් ලබා දිය යුතුය. ජනතාව ආරක්ෂා කළ යුතුය.


***එල්.බී. සේනාරත්න
ඩේලිමිරර් පුවත්පතට සැපයූ විශේෂාංග ලිපිය සහ පොත පත ඇසුරෙනි

(*** පරිවර්තනය - ලුසිත ජයමාන්න)