අපේ බොහෝ අය සිතන්නේ රජයේ රැකියාවක් ලැබීම වඩාත් පහසු එකය කියාය. නමුත් රාජ්‍ය පරිපාලන සේවයද රාජ්‍ය සේවය ද දැලි පිහියෙන් කිරිකන්නා වාගේ එකකි. එම සේවයේ අපායට යාමට ඇත්තේද කෙටි මගකි. දිව්‍ය ලෝකයට යාමට ඇත්තේ ද කෙටි මගකි. මේ පාරවල් දෙක තීරණය වන්නේ පොදු මහජන මුදලින් වැටුප් ලබමින් ඒ හා සරිලන සේවයක් තමා කරනු ලබන්නේද? නැද්ද? යන නිගමනය මතයි.
නීතියේ සිවිල් නීතිය සහ අපරාධ නීතිය යනුවෙන් අංශ දෙකක් වෙයි. සිවිල් නීතිය අනුව දඬුවම් කරනු ලබන්නේ පුද්ගලික වැරදි සඳහාය. අපරාධ නීතිය යටතේ දඬුවම් පමුණුවනු ලබන්නේ පොදු වැරදි සඳහාය. මේ අනුව පෙනෙන්නේ සමාජයක පුද්ගලික සහ පොදු යනුවෙන් අංශ දෙකක් පවතින බවයි. කිසියම් සමාජයක තම තමා දුක්මහන්සියෙන් හරි හම්බ කරගත් දෙය හෝ ලේ උරුමයෙන් තමන්ට ලැබුණු වස්තුව හෝ දේපළ පුද්ගලික දේපළ ලෙස හඳුන්වනු ලබයි. පුද්ගලික අයිතිය නැති දේපළ පොදු දේපළ හෙවත් රාජ්‍ය දේපළ ලෙස හඳුන්වනු ලබයි. පොදු දේපළ හැඳින්වීම සඳහා දහමෙහි භාවිත වන වචනය වන්නේ සාංඝික දේපළ යන්නයි.
නීතියෙහි ද පුද්ගලික වැරදිවලට වඩා පොදු දෙයට එරෙහිවීම හෙවත් පොදු වැරදි බරපතළ ලෙස සලකයි. දහමෙහි පුද්ගලික වරදකට වඩා පොදු වරදක් සඳහා ලැබෙන අකුසල විපාකය ද වැඩි බව දක්වයි. කර්ම විපාකයෙහිද ඒ දෙකෙහි වෙනස පැහැදිලිව දක්නට ලැබේ. ඇතැම් මැති ඇමැතිවරු රාජ්‍ය දේපළ පුද්ගලික පරිහරණයට ගැනීමට උනන්දු වෙති. එහි විපාකය බරපතළය. ඇතැම් රාජ්‍ය නිලධාරීහු පොදු දේපළ තම පුද්ගලික පරිහරණයට ගනිති. එහි විපාකය බරපතළය. ඇතැම් සේවකයෝ පොදු දේපළ පුද්ගලික පරිහරණයට ගනිති. එහි විපාකය ද බරපතළය.
රාජ්‍ය පරිපාලන කේෂ්ත්‍රයේ එක්තරා නිලධාරියෙක් සිටියේය. නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් අධ්‍යාපනය ලබා සිය දක්ෂතා නිසාම රජයේ ඉහළ තනතුරකට ගියේය. පෙර රාජ්‍ය පරිපාලන සේවයෙහි ඔහු ලැබූ තනතුර සඳහා ප්‍රමාණවත් වැටුපක් ලැබුව ද ඒ එයට සරිලන සේවය ඔහු රජයට ලබා දුන්නේ නැත. බොහෝ අවස්ථාවල වංක ලෙස කටයුතු කළේය. තනතුරට අයිති බොහෝ පහසුකම් හේ තමාගේ පුද්ගලික දේපළ ලෙස සිතීය. වැටුප ලබාගනු ලැබුවේ සේවය හරිහැටි නොකරන ගමන් බව හෘද සාක්කිය දැන ගත්තත් ඉහළ නිලධාරීන්ගෙන් එය වසන් කිරීමට ඔහු උගත් දැනුම සහ අවබෝධය යොදා ගත්තේය. ඒ අනුව ඇතැම් ලියවිලි නීත්‍යානුකූලවම සකස් කරනු ලැබීය. එනිසාම ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වූයේ නැත. ඒ ඔහුගේ ලියකියවිලි හැදීමේ දක්ෂතාව නිසාය.
ඔහු යටතේ සේවය කරන සේවක සේවිකාවන් රාජ්‍ය සේවකයන් වුවද ඔහු බොහෝ විට කල්පනා කළේ ඒ තමාගේ අතවැසියන් කියාය. එසේ ආයතනයේ සේවකයන් ඒ ඒ තැන්වලට මාරු කර හැරියේය. ඔහු අතින් අසාධාරණයට පත් පුද්ගලයෙක් සිය දුක්ගැනවිල්ල කීමට දවසක් ඔහු වෙත පැමිණියේය.
‘සර් මම කිසි වරදක් නැතුව ඈත පළාතකට මාරුකර තිබෙන්නේ. මේ නිසා මා සේවය කර සිටි තැනත් අවුල්. මට වැඩ බාර ගන්න තියෙන තැනත් පුරප්පාඩු නෑ. මගේ නෝනට බබා හම්බ වෙන්නත් ළඟයි. මේ ගැන අනුකම්පාවෙන් බලන්න සර්’ යයි හේ කීවේය. ඒ වෙලාවේ ඔහු ගත් කටටම කීවේ ‘තමුසෙට වැඩ කරන්න බැරිනම් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදීලා යන්න පුළුවන්’ කියාය. සේවකයන්ට එලෙස තර්ජනය කිරීම තමන්ගේ වීරකමක් ලෙස හේ කල්පනා කරමින් සතුටු විය. අහිංසක මිනිසාගේ බැගෑපත් පසුබෑම අනුව ඔහු මහත් සතුටක් ලැබීය.
යම් යම් ව්‍යාපෘති සඳහා යයි කියා නීත්‍යානුකූලව මුදල් වෙන්කර ගෙන ඒ පොදු මුදල් තම පුද්ගලික පරිහරණයට ගත්තේය. විශාල නිවසක් ඉදිකර ගත් හේ පාරම්පරික ධනවතුන්ගේ නිවසක් මෙන් පෞරාණික බඩුමූට්ටුවලින් නිවස පිරවීය. රාජ්‍ය වාහන නිවසේ ද බිරිඳගේ ද පරිහරණයට ගත්තේය. බිරිඳ ෂොපින් ගියේ රජයේ වාහනවලය. දරුවන් කොළඹ ඉහළ පාසල්වලට ගියේ රජයේ වාහනවලය. නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ඉගෙන ගත්තද සාමාන්‍ය මිනිසා ගැන පමණක් නොව තමාගේ සේවයවත් හරිහැටි ඉටු නොකර රාජ්‍ය දේපළ හොරා කෑවේය. ඉහළම නිලධාරීන් සමග සුහද මිත්‍රශීලී ලීලාවෙන් කටයුතු කිරීම නිසා ඉහළ සමාජය තුළ ද හිතවන්තයකු විය.
වයස ගෙවී සේවයෙන් විශ්‍රාම යාමත් සමග ඔහුට කර්මය පලදෙන්නට පටන් ගත්තේය. දණහිසේ අසනීපයක් හැදුණි. කොතරම් බෙහෙත් කළ ද එහි සුවය බෙහෙත් කරන විට පමණි. රෑ එළිවෙනතුරු මුළු කයම රිදුම් දෙන්නට විය. මහ රෑ වේදනාවෙන් කෑමොර දුන්නද අසලට එන්නට කෙනෙක් සිටියේ නැත. බිරිඳ ද රහස් අසනීපයකින් මියගොස් සිටියාය. දරුවන් දෙදෙනා ද විදේශ රටවල පදිංචියට ගොස්ය. පියාගේ තද හිතුවක්කාර ගති නිසාම දරුවන්ද ක්‍රමයෙන් පියාගෙන් ඈත් වෙමින් තිබිණ. උවටැන් කරන්නට සිටි පුද්ගලයාද තම සේවය හරිහැටි කළේ නැත. එනිසාම හේ බොහෝ දුක් වින්ඳේය. තමා බලවත් කාලවල අහිංසක මිනිසුන්ට කළ අසාධාරණකම්, කියූ දරුණු වචන මැවි මැවී පෙනෙන්නටද ඇසෙන්නට ද විය. රෑට නින්ද යන්නේ නැත. ඉඳහිට හෝ නින්දක් ගියවිට කෑ ගසාගෙන අවදිවෙයි. යකුන් සහ භූතයන් අවි ආයුධ තබාගෙන තමා වටේ සිටින බව කියයි. ඇඳෙන් නැගිට දුවන්නට යයි. ඒත් දෑත් දෙපා පණ නැති නිසා බිම වැටී වේදනා විඳියි. රාජ්‍ය සේවය වැරදි ලෙස කළ ඔහුට නීතිය හරස් වූයේ නැත. කර්ම විපාකය හරස් විය. මෙලොවදී විපාක ලැබිණ. බොහෝ දුක් විඳ හේ මරණයට පත්විය. ලෙඩ දුක් හැදීම කොයි කාටත් පොදු දෙයකි. එසේ වුවද මේ සිද්ධිදාමය අධ්‍යයනය කරනවිට ඔහු කළ නරක ක්‍රියා හා පෙරළා පැමිණි වධ වේදනා අතර ප්‍රබල සමානකම් තිබේ.
අපේ බොහෝ අය සිතන්නේ රජයේ රැකියාවක් ලැබීම වඩාත් පහසු බවය. නමුත් පරිපාලන සේවයද රාජ්‍ය සේවය දැලි පිහියෙන් කිරිකන්නා වාගේ එකකි. එම සේවයේ අපායට යාමට ඇත්තේ කෙටි මගකි. දිව්‍ය ලෝකයට යාමට ඇත්තේ ද කෙටි මගකි. මේ පාරවල් දෙක තීරණය වන්නේ පොදු මහජන මුදලින් වැටුප් ලබමින් ඒ හා සරිලන සේවයක් තමා කරනු ලබන්නේද? නැද්ද? යන නිගමනය මතයි. වැඩ නොකර සිටීමට බොහෝ අවස්ථාවන්ද මිනිසුන්ගේ කාලය නිරපරාදේ රස්තියාදු කිරීමට අවස්ථාවක් ද මහජන දෙය පුද්ගලික දෙය ලෙස පරිහරණය කිරීමට සහ පරිභෝග කිරීමට අවස්ථා ද රාජ්‍ය සේවය හා රාජ්‍ය පරිපාලන සේවය තුළ ඕනෑ තරම් තිබේ.
මා ලද අත්දැකීම් අනුව මෙහි දැක්වූ කථාව සේම රාජ්‍ය සේවයේ සිට විශ්‍රාම ගිය අයගේ මරණය බොහෝ විට ශෝචනීය තත්ත්වයක පවතී. ඥාතීන් අතර පිරිහීමට පත්වීම සමාජයේ පිරිහීමට පත්වීම, මානසික විකෘතිතා ඇතිවීම, අස්ථාන බියකින් පෙළීම, තමා කළ සේවය ගැන ඇති අතෘප්තින්ද දැකිය හැක. මේ රාජ්‍ය පරිපාලන සේවයේ සිට විශ්‍රාම ගිය පිරිසක් තෝරාගෙන කරනු ලැබූ පර්යේෂණයක ප්‍රතිඵලයි.
රාජ්‍ය සේවය සහ රාජ්‍ය පරිපාලන සේවය ඉතාමත් අනර්ඝ සේවයකි. එක්තරා විදියක උතුම් සේවයකි. වැටුප්ද ලබමින් පිනුත් ලබාගත හැකි උදාර සේවයකි. නමුත් එබදු තත්ත්වයේ රැකියාව කරනු ලබන්නේ මිනිසුන් විසිනි. මිනිසා මෙහෙයවනු ලබන්නේ සිය මනස විසින්ය. යහපත පිණිස යොදවන ලද මනස යහපත් අදහස් ද අයහපත පිණිස යොදවන ලද මනස අයහපත් අදහස් ද මිනිස් සිතට රැගෙන එයි. ඒ අනුව යම්යම් ක්‍රියා සිදුකරනු ලබයි. රජ්‍ය සේවයේ හා රාජ්‍ය පාරිපාලන සේවයේ නිරත හැම කෙනකුම මේ ලිපියේ දැක්වූ ආකාරයේ අය ලෙස ගිනිය නොහැකිය. සේවයේ උදාරත්වය අඳුනාගෙන තමන්ගේ ජීවිතයේ සියල්ල ලැබී ඇත්තේ මේ රැකියාව නිසාය යන සිතුවිල්ලෙන් රැකියාවේ නිරත වන්නෝද සිටිති.