එක්දහස් නවසිය අසූහතේ වසර එළඹුණේ ශ්‍රී ලංකාවට දුෂ්කර කාල පරිච්ඡේදයක් උදා කරමිනි. උතුරේ ත්‍රස්තවාදී සංවිධාන තම ප්‍රහාර උච්ච කර තිබූ අතර උතුරේ ත්‍රස්තවාදයේම අතුරු ඵලයක් වූ දකුණේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය හුදකලා ප්‍රහාර තැනින් තැන එල්ල කරමින් සිටියේය.
දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ ප්‍රධාන බලවේගය වූයේ තහනම් කර තිබූ ජනතා විමුක්ති පෙරමුණය. උතුරේ ත්‍රස්තවාදී ප්‍රහාර හේතුවෙන් ජේ.ආර්. ජයවර්ධනගේ රජය දැඩි හමුදා ක්‍රියාන්විතයකට සූදානම් වෙමින් සිටියේය. මේ සඳහා උතුරේ ත්‍රස්තවාදීන් හෙම්බත් කිරීමේ අරමුණෙන් රජය උතුරට ආහාර ද්‍රව්‍ය හා භූමිතෙල් යැවීම සීමා කළේය.
මෙයට ප්‍රතිචාර ලෙස කොටි සංවිධානය 1987 අප්‍රේල් 17 වැනිදා හබරණ කිතුල් උතුවේදී අහිංසක බස් මගීන් සිය ගණනක් ඝාතනය කළේය. එමගින් දකුණ කැළඹිණ. ඉන් දින කිහිපයකට පසු 21 වැනිදා පිටකොටුව බස් නැවතුම්පොළේ මහා බෝම්බ පිපිරීමකින් අහිංසකයෝ එකසිය හත් දෙනෙක් මරා දැමූහ. ත්‍රස්තවාදීන් මර්දනය කරන හමුදා ක්‍රියාන්විතය ඇරඹීමට රජයට සිදු වූයේ මෙම තත්වය නිසාය. ‘ඔපරේෂන් ලිබරේෂන් I’’ නමැති මෙම හමුදා මෙහෙයුම මැයි මස 25 වැනිදා මධ්‍යම රාත්‍රියේ ක්‍රියාත්මක වූ අතර දින කිහිපයක් තුළ එල්ටීටීඊ නායකත්වය වඩමාරච්චියේ කුඩා නිවසකට කොටුකර ගැනීමට ශ්‍රී ලංකා හමුදා සේනාංක සමත් විය. ඉන්දියානු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ප්‍රශ්නයට ඍජුව මැදිහත් වූයේ මෙම අවස්ථාවේදීය.
උතුරේ මෙහෙයුම වහා නවතා සාමකාමී පියවරකට පිවිසෙන මෙන් රජිව් ගාන්ධි ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට දැනුම් දුන්නද ලංකාවේ ජනතාවගේ කෝපය හේතුවෙන් ජේ.ආර්.ට එවැනි පියවරකට යා නොහැකි විය. මේ නිසා තමා කලකිරීමෙන් හා අපහසුතාවෙන් පසුවන බව දන්වා රජීව් ගාන්ධි කෙටි තානාපති පණිවිඩයක් යළිත් ජේ.ආර්.ට එවන ලද අතර එයින් දන්වා තිබුණේ මෙහෙයුම තවදුරටත් සිදුවන්නේ නම් ඉන්දියාව නිකම් බලා නොසිටින බවය. එහෙත් උතුරේ යුද මෙහෙයුම නතර නොවීය.
1987 ජුනි 2 වැනිදා ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 19ක පැටවූ ආහාර තොගයක් ඉන්දියාව උතුරු මුහුදට එවූයේ ඉන් පසුවය. ශ්‍රී ලංකා රජය මෙම යාත්‍රා මුහුදේදීම ආපසු හරවා යැවූ අතර ගුවන් ආක්‍රමණයකට පිවිසුණේ ඉන් අනතුරුවය. මේ පිළිබඳ පණිවිඩය ඉන්දීය රජය වක්‍රාකාරයෙන් ශ්‍රී ලංකා රජයට දැනුම් දුන් පසු කොළඹ දේශපාලනය කැළඹුණේය. ජනාධිපති ජේ.ආර්. හදිසි කැබිනට් රැස්වීමක් කැඳවූයේය. විපක්ෂයේ පක්ෂ නායකයන් මහ රෑ කැඳවා තමා පත්ව ඇති තත්වය ඔවුන්ට පවසා ඔවුන්ගේ සහාය ඉල්ලා සිටියේය. ඉන් එක් අයකු වන්නේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ හිටපු නායක ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු වන ඩිව් ගුණසේකර මහතාය. මහ රෑ තමා හමුවට පැමිණෙන්නැයි ජේ.ආර්.ගෙන් ඇමතුම් ලැබුණු දෙතුන් දෙනාගෙන් ඩිව් ද එක් අයකු විය. අද ජීවිතයේ සැඳෑ සමයට එළඹ සිටින ඩිව් ගුණසේකර මහතා එම ආතතියෙන් පිරුණු රාත්‍රිය ගැන සිහිපත් කළේ මෙලෙසය.
ඔහු රත්නපුරයට ගොස් එමින් සිටිය දී ජේ.ආර්. ගේ පණිවිඩය ලැබී තිබිණ. ජයවර්ධන නමැති අයකු කතා කළ බවත් දුරකථන අංකයක් ලබා දුන් බවත් ගෙදරින් ඩිව්ට ලැබුණු පණිවිඩය විය. ඩිව් වහා පණිවිඩය ගැන තේරුම් ගත්තේය. ඔහු එම අංකයට ඇමතුවේය. ඒ ජේ.ආර්ය.
‘‘ඔව්... මම ජයවර්ධන... එන්න බැරි ද මාව හමුවෙන්න... හදිසි කාරණාවක්... මට ටෙලිපෝනයෙන් කියන්න බෑ...’’ ජේ.ආර්. කීවේය.
‘‘මම හා කීවා. එහෙම කියලා පීටර් කෙනමන් සහෝදරයාට කතා කළා. මං යන්ඩ ද? කියලා ඇහුවා...’’
‘‘ඔයා යන්ඩ... ගිහින් බලන්න... ඔයා මන්ත්‍රී කෙනෙක්... එයා රටේ ජනාධිපති... ගිහින් බලන්න...’’ කෙනමන් සහෝදරයා එහෙම කීවාම මං ඒ මොහොතේම එදා ජේ.ආර්. සිටි රජ ගෙදරට ගියා...
‘‘එතකොට වෙලාව රෑ දොළහයි. ජනාධිපති මන්දිරය ළඟට ගියාම ආරක්ෂකයෝ කියනවා, අපිට දැනුම් දීල නෑ කියලා. එතකොටම ලලිත් ඇතුලත්මුදලි ආවා... ඇවිත් අපිව එක්ක ගියා.’’ ඉන්දියානු තර්ජනය ගැන ලලිත් ඩිව් ගුණසේකරට විස්තර කරමින් දෙදෙනාම ඉහළ මහලට ගියහ.
‘‘උඩ තට්ටුවේ හිටියා ප්‍රේමදාස, හමීඩ්, ලලිත්. ජේ.ආර්. ඉදිරියට ඇවිත් මට කීවා ඩිව් මං අනුරටයි, දිනේෂ්ටයි එන්න කීවා. එයාලත් එනකම් ඉඳිමු නේද? කියල. එහෙම කියලා රජිව් ගාන්ධි එවපු ලිපිය කියවන්න දුන්නා...’’ ඩිව් එම ලිපිය කියැවීය.
‘‘ඔබ ලංකාවේ ජනපති. ඔබගේ වගකීම උතුරේ ජනතාවට ආහාර සැපයීම. ඔබ උතුරට ආහාර සැපයීම තහනම් කරලා. ඒ මිනිස්සුන්ගෙ සහෝදර ජනතාවක් තමිල්නාඩුවේ ඉන්නෙ. ඒ මගේ මිනිස්සු. මගේ මිනිස්සු පෙළපාලි යනවා මට විරුද්ධව... මම මොනව හරි කරන්න ඕනෑ. ඔබ උතුරට කෑම යවනවද? නැත්නම් මං එවනවා...’’ ඔන්න ඕක තමා රජිව් ලියපු ලියුමෙ තිබුණෙ... අපි මේ ගැන උදේ වෙනකම් කතා කළා. මම ජනාධිපතිට කීවා රජීව් එක්ක හැප්පෙන්න යන්න එපා. එයා කියන එක හරි.. උතුරෙයි, තමිල්නාඩුවෙයි දෙගොල්ලම එකම ජනතාව. රතු කුරුසය හරහා උතුරට කෑම එවන්න කියන්න. එතකොට දෙරටේම ආත්ම ගරුත්වය රැකෙනවා...’’ මම ජේ.ආර්.ට කීවා...’’
එහෙත් ඩිව්ගේ අදහසට අගමැති ප්‍රේමදාස කැමති වූයේ නැත. ඔහු ඉන්දියානු ආධාර භාර ගැනීමට විරුද්ධ විය. අනෙක් ඇමැතිවරු ඩිව්ගේ යෝජනාවට එකඟ විය. එහි සිටි අනෙකුත් පිරිස ඩිව්ගේ අදහස අනුමත කළහ. ඒ වෙද්දී වෙලාව පාන්දර තුනය.
‘‘දැං අපි එකඟ වුණා. ඒ විදිහට කරමු.’’ ජේ.ආර්. කීවේය. එහෙත් අගමැති ප්‍රේමදාස එයට එකඟ වුණේ නැත. ප්‍රේමදාස එතැනින් නැගිට යන්නට ගියේය. ජේ.ආර්. ලලිත් හා හමිඩ් ඇමැතිවරුන්ට කියා සිටියේ පෙර කී අදහස දන්වා ලිපියක් රජිව් ගාන්ධිට යවන ලෙසය.
‘‘ජේ.ආර්. එහෙම කියලා ටැලිපෝන් එකෙන් කතානායක ඊ.එල්. සේනානායකට අමතුවා. හෙට දවල් දෙකට පාර්ලිමේන්තුව රැස් කරන්න කීවා. විශේෂ කැබිනට් රැස්වීමක් උදේ දහයට දැම්මා. එහෙම කියලා අනුර බණ්ඩාරනායක සහ මගෙන් ඉල්ලා සිටියේ ඔබතුමාලා පාර්ලිමේන්තුවේ දී කතා නොකර හිටියොත් හොඳයි නේද කියලා... අපි එකඟ වුණා. අපි විරුද්ධ නොවන්න තීරණය කළා...’’ ඩිව් ගුණසේකර සිහිපත් කරයි. පසුදා පාර්ලිමේන්තුවේ දී ඩිව් ඇමතූ අගමැති ප්‍රේමදාස ඉල්ලා සිටියේ ඉන්දියානුවන් ආහාර එවීමට එරෙහිව කතාවක් පවත්වන ලෙසය. එහෙත් ඩිව් එයට එකඟ වූයේ නැත. ප්‍රේමදාස අනුරගෙන් ද එම ඉල්ලීම කළත් අනුර ද එකඟ නොවීය. එහෙත් අගමැතිවරයා තම වෑයම අත හැරියේ නැත. ඔහු පාර්ලිමේන්තුවේ දී පැයක කතාවක් පවත්වමින් රජිව් ගාන්ධිට හා ඉන්දියාවට තදබල ප්‍රහාරයක් එල්ල කළේය.
එහෙත් ඒ වෙද්දී රජීව් ගාන්ධි ගුවන් ආක්‍රමණයකට සියල්ල සැලසුම් කර ඇතැයි කිසිවකුත් දැන සිටියේ නැත. මුහුදින් ආහාර ද්‍රව්‍ය එවන වෑයම අසාර්ථක වූ පසු ගුවනින් ආහාර ද්‍රව්‍ය යාපනයට එවීමට ගත් තීරණය ඉන්දීය රජය ශ්‍රී ලංකා රජයට දැනුම් දුන්නේ ගුවන් මෙහෙයුම ඇරඹීමට හරියටම පැය දෙකකට පෙරය. මහකොමසාරිස් ජෝතීන්ද්‍ර නාත් ඩික්සිත් එම බැරෑරුම් මොහොත පසුව මෙසේ විස්තර කළේය.
‘‘පොරොන්දු වූ පරිදි ජුනි 4 වැනිදා අලුයම හතරට පමණ නව්වාර් සිංගෙන් ඇමතුමක් ලැබිණ. එදිනම සවස තුනත් පහත් අතර ඉන්දීය ගුවන් හමුදා යානා පියාසර කොට සැපයුම් බිම හෙළන බව, ඔහු කීය. සැපයුම් රැගෙන පැමිණෙන්න ඒ.එන්. 32 වර්ගයේ යානා බවත් එහි ආරක්ෂාවට මිරාජ් ප්‍රහාරක යානා පැමිණෙන බවත් ඔහු කීය. ඔහු පැවසුවේ මේ ආරංචිය දහවල් දෙකට විදේශ අමාත්‍ය හමීඩ්ට දන්වන ලෙසය.’’
නර්වාන් සිං එකල ඉන්දීය විදේශ ඇමැතිය.
ඉන්දියාවෙන් දැන් වූ ලෙසට මෙම පණිවිඩය ලබා දෙමින් ඩික්සිත් හමීඩ් ඇමැතිවරයාට දැනුම් දී ඇත්තේ ශ්‍රී ලංකා හමුදාව ඉන්දීය යානා වැළැක්වීමට තැත් නොකළ යුතු බවය. එසේ වෑයම් කළහොත් ශ්‍රී ලංකා ගුවන් හමුදා යානාවලට හා ගොඩබිම් හමුදාවලට එරෙහි ප්‍රහාරාත්මක ක්‍රියාවල නිරත වීමට ඉන්දීය යානාවල අවශ්‍ය උපකරණ තිබෙන බවද ඩික්සිත් දැනුම් දුන්නේය. ආක්‍රමණයේ ස්වරූපය එතරම් වේගවත් විය. මෙහෙයුම සවස තුනට ආරම්භ විය. ඉන්දියාවේ බැංගලෝර් ප්‍රාන්තයේ කඳවුරකින් හා තමිල්නාඩුවේ කඳවුරකින් මෙහෙයුම ඇරඹිණ. ප්‍රහාරක යානා බැංගලෝරයෙන් ද භාණ්ඩ ප්‍රවාහන යානා තමිල්නාඩුවෙන් ද පියාසර කළේය. ආහාර සහ ඖෂධ මෙට්‍රික් ටොන් 25ක් උතුරේ අහසේ සිට බිමට පැරෂුට් මගින් හෙළන ලදී. එහෙත් මෙම භාණ්ඩ රැගත් බහාලුම්වල අඩංගු වූයේ මොනවාදැයි ශ්‍රී ලංකා රජයේ කිසිම නියෝජිතයකුට දැනගත නොහැකි විය.
මෙම ක්‍රියාවලිය සිදුවෙද්දී උතුරේ සියලු කඳවුරුවල අණදෙන නිලධාරීන්ට රජය දැනුම් දී තිබුණේ ඉන්දීය යානාවලට එරෙහිව කිසිදු ප්‍රහාරාත්මක පියවරක් නොගන්නා ලෙසය. පලාලි හා කන්කසන්තුරයේ ගුවන් යානා නාශක තුවක්කු සුවිශේෂ අණක් යටතේ ඉහළ නිලධාරීන්ගේ අධීක්ෂණයෙන් රැකබලා ගැනුණේ මේ කෝපාවිෂ්ඨ සෙබළකු හදිසියේ හෝ යම් උත්සාහයක් දරනු ඇතැයි සැකයෙනි. එසේ වුවහොත් දරුණු ප්‍රහාරයක් එල්ලවීම අනිවාර්ය විය.
මේ වනවිට වඩමාරච්චි මෙහෙයුම හෙවත් ‘‘විමුක්ති මෙහෙයුම’’ නවත්වා ශ්‍රී ලංකා හමුදා සාමාජිකයන් කඳවුරු තුළට සීමාකර තිබුණි. ඉන්දීය භාණ්‍ඩ ප්‍රවාහන යානා ඉතා පහතින් ගමන් කරනු හමුදා නිලධාරීන්ට දැකගත හැකි විය. එකල ක්‍රියාන්විත රාජකාරියේ නිරතව සිටි ගැමුණු හේවා බලකායේ ලුතිනන් කර්නල් සුසන්ත සෙනෙවිරත්න මෙම ලේඛකයා සමග එකී අවස්ථාව පසුකාලීනව විස්තර කළේ මෙසේය.
(කර්නල් සුසන්ත කොරෝනා වසංගත සමයේ හදිසියේ අභාවප්‍රාප්ත විය)
‘‘අපි ඔපරේෂන් එක නතර කරලා කෑම්ප්වල සිටියේ. ඉන්දීය රේඩ් එකක් සිදුවන බව අපට ඉහළින් දැනුම් දුන්නා. සෙබළුන් උපරිම ලෙස හික්මීමෙන් තබා ගන්නා ලෙසත් කිසිදු ප්‍රතික්‍රියාවක් නොකරන ලෙසත් දැනුම් දුන්නා. සවස භාණ්ඩ ප්‍රවාහන යානා ඉතා පහතින් ගමන් කරන හැටි අපට දකින්නට ලැබුණා. යානා හතරක් ආවා. තල් කරටිවලට ඉහළින් එම යානා ගමන් ගනිද්දි අපේ සෙබළුන් ඉන්දියන් විරෝධී පාඨ කියමින් කෑ ගැසුවා.’’ කර්නල්වරයා කීවේය. 1987 ජුනි 4 වැනිදා මෙම ඉන්දියානු බලහත්කාරය ඍජුවම රටක ස්වාධිපත්‍ය උල්ලංඝනය කළ අවස්ථාවක් විය. එහෙත් කිසිදු යුරෝපී රටක් මෙම ක්‍රියාව හෙළා නොදැක්කේය. මෙම ගුවන් සීමා උල්ලංඝනය හෙළා දැක්කේ ඉන්දීය විරෝධී මෙන්ම ශ්‍රී ලංකාවේ ද හිතවත් දෙරටක් වන චීනය හා පාකිස්ථානය විසින් පමණකි.
මෙම ආක්‍රමණයෙන් ජනාධිපති ජයවර්ධන දැඩි තැති ගැන්මකට පත්විය. ඔහුට කරගන්නට දෙයක් තිබුණේ නැත. ඔහුට කළ හැකිව තිබූ එකම දේ ඇමරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන්ට කතා කර පැමිණිලි කිරීම පමණය. එකල තිබූ භූ දේශපාලනික වටපිටාවේ දී ඉන්දියාව සිටියේ සෝවියට් දේශයට පක්ෂපාතවය. ඇමරිකා සහ ඉන්දියා සබඳතා එකල බොහෝ දුරස් විය. ලංකාව තම සමීප අසල්වැසියාට වඩා දුරබැහැර ඇමරිකාව දෙසට හැරී සිටියේය. ජේ.ආර්ට බොහෝ දෙනා ‘‘යැංකි ඩිකී’’ නමින් හැඳින් වූවේ ද මෙම ඇමරිකානු ගැතිකම නිසාය. කොළඹ සිටි ඇමරිකානු තානාපතිවරයා කැඳවූ ජේ.ආර්. මෙම ආක්‍රමණය ගැන ජනාධිපති රේගන්ගේ අවධානයට ලක්කරන ලෙස ඉල්ලා පණිවිඩයක් භාර දුන්නේය. එම පණිවිඩය වූයේ ‘‘ඉන්දියානු ආක්‍රමණයට එරෙහිව අපට උදව් කරනවාද’’ යන්නය. පැය කිහිපයකින් රේගන්ගේ පිළිතුර ලැබිණ. ‘‘ඔබේ බලසම්පන්න අසල්වැසියා සමග හොඳින් හැසිරෙන්න...’’
තම ජීවිත කාලය පුරාම ඇමරිකානු හිතවාදී දේශපාලනයක නියැලී සිටි ජයවර්ධන ජනාධිපතිවරයාට යැංකින්ගේ රටේ ජනාධිපතිවරයාගෙන් ලැබුණේ එවැනි පිළිතුරකි. රට තුළින් කුමන ප්‍රතික්‍රියාවක් ලැබුණ ද ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා එතැන් සිට ඉන්දීය අගමැතිවරයා දෙසට නැඹුරු විය. මවගේ අභාවයෙන් පසු තරුණ වියේදීම අගමැති ධුරයට පත් රජීව් එකල භූ දේශපාලනය අනුව ශ්‍රී ලංකා නායකයන් ඇමරිකානු කඳවුරට ළංවීම නොඉවසූ අතර ගුවනින් ආහාර දැමූ අවස්ථාව නොඉවසුයේ නම් ඉන්දීය හමුදාව ඒවා යාපනය අත්පත් කර ගැනීමට වුවත් ඉඩ තිබිණ.
එම ගුවන් ආක්‍රමණයෙන් පසු ශ්‍රී ලංකා රජයේ එකඟතාව මත යාපනයට මුහුදින් ආහාර ද්‍රව්‍ය ටොන් සිය ගණනක් එවීය. මේවා යාපනයේ දී බෙදා දුන්නේ ඉන්දීය තානාපති කාර්යාලයේ නිලධාරීන් විසිනි. අගමැති ප්‍රේමදාස සහ ආරක්ෂක ඇමැති ලලිත් ඇතුළත් මුදලි මෙම මැදිහත්වීම බලා සිටියේ විවේචනාත්මක දෑසිනි. ප්‍රේමදාස අගමැතිවරයා මහජන රැස්වීම්වලදී ඉන්දීය නායකයා හා රජයට ප්‍රසිද්ධියේ කිහිප වතාවක්ම බැණ වැදීම හැර ශ්‍රී ලංකා රජයෙන් වෙනත් අයහපත් ප්‍රතිචාරයක් නොවීය. මෙම ආහාර මුවාවෙන් සිදු කළ ඉන්දීය මැදිහත්වීමේ ඊළඟ ජවනිකාව උදා වූයේ ලංකාව රුධිර ගංගාවක ගිල්වා දමමින් ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කිරීමෙනි.
(*** ප්‍රේමකීර්ති රණතුංග)