රජුන් තැනූ මහවලතැන්න වලව්ව


රාජාණ්ඩු සමයේ රජුගේ පාලනයට සහාය වූ ප්‍රභූන් විසූ නිවාස හැඳින්වූයේ වලව් ලෙසය. අධිරාජ්‍යවාදීන් මෙරට ආක්‍රමණය කිරීමෙන් පසු ඉංග්‍රිසීන්ට අපේ රටේ පාලනය පවරා දී තාන්න මාන්න රැකගෙන වැඩවසම් සංස්කෘතිය තවදුරටත් පවත්වාගෙන ආ ප්‍රභූ යැයි සම්මත ඒ පිරිස රටපුරා විසූ නිවාස හෙවත් වලව් අතරින් රත්නපුර දිස්ත්‍රික්කයේ වලව් ගැන තොරතුරු ද බොහෝ ය.

මේ ප්‍රභූන් අතර ද ආර්ථික වශයෙන් යම් බෙදීමක් එසේ නැතිනම් යම් පන්තිභේදයක් ඇති බව බැලූබැල්මට පෙනෙයි. මේ වලව්වල ඉතිහාසය අවුරුදු දෙතුන් සියය ඉක්මවා යයි. බොහෝ වලව්වල අද ඒවායේ මුල් පරම්පරාව නැත. ඇතැම් වලව් විකුණා දමා ඇති අතර, තවත් සමහර ඒවා හෝටල් හෝ සංචාරක නිඩාඩු නිකේතන බවට පත්ව ඇති බව පෙනේ.

රත්නපුර දිස්ත්‍රික්කය ආශ්‍රිතව ඇති වලව් සංඛ්‍යාව එකසිය පනහකට වැඩිය. ඒ වලව් අතරින් පරම්පරා මෙන් ම ගොඩනැගිලිද එකිනෙකට වෙනස් ය. ලොව ප්‍රථම අගමැතිනිය වු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඉපදුණ වලව්වත් ඇයගේ දියණිය වූ ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිනිය වූ චන්‍ද්‍රිකා කුමාරතුංග මැතිනිය ආගිය වලව්වකුත් ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ ය.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප පොළක්ම ජිවත්වූ වලව්ද අතීතයේ ප්‍රාදේශීය පාලකයන් ජීවත්වූ වලව් කිහිපයක් ද ඒ අතර වෙයි. ඉංග්‍රීසින්ට රටපාවාදීමට සම්බන්‍ධ සිංහල පාලකයන් බව කියන ප්‍රභූ පවුල් විසු වලව් ද රත්නපුර දිස්ත්‍රික්කයේ ඇත.

මඩුවන්වෙල වලව්ව, මහවලතැන්න වලව්ව, එක්නැලිගොඩ වලව්ව, මුත්තෙට්ටුවේගම වලව්ව, මාකඳර වලව්ව, එල්ලාවල වලව්ව රත්නපුරේ වලව්වලින් කිහිපයකි. ඒවගේම බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වූ දළදා වහන්සේගේ ගිහි බාරකාරයා වන දියවඩන නිලමේ, සුමන සමන් දෙවියන් වැඩවසන මහ සමන් දෙවාලයේ සහ අතුරු දේවාලවල දියවඩන නිලමේවරුන්, ප්‍රාදේශීය දේවාලවල බස්නායක නිලමෙවරුන් ජිවත්වූ සහ ජීවත්වන වලව්ද රත්නපුර දිස්ත්‍රික්කයේ ඇත.

ක්‍රිස්තුවර්ෂ 1761දී දී පරංගින් හා සටන් කරන්නට වෙරළබඩ සිංහල රණවිරුවන්ට සහාය වී කටුවනින් පරංගින් පන්නා දමන්නට සහාය වූ ප්‍රාදේශීය රදළ නායකයන් විසු වලව් ද රත්නපුරේ ඇත. වලව්වල ජිවත්වු ප්‍රභූවරුන් ගැහැනු පිරිමි යන භේදයකින් තොරව හැඳින්වුයේ ‘අප්පෝ’ යන නාමයෙනි. ඔවුන්ගේ නමේ කොටසක් මුලට දමා ඊට පසුව ‘අප්පෝ’ යන්න යොදා ඔවුන් අමතනු ලැබේ. සමහර වලව්වල ස්ත්‍රී පාර්ශ්වය මැණිකේ, කුමාරිහාමි යන නම්වලින් ද හඳුවනු ලබයි.

වලව්වල පරම්පරාව වගේම වලව් හෙවත් එකි ප්‍රභූ නිවාසවල ගොඩනැගිලි ආකෘතින් ද හැම එකකටම සමාන නොවේ. වලව්වක් තිබු ගමක ඒ වලව්ව අබිබවා නිවසක් අතීතයේ තැනුණේ නැත. එහෙත් අද බොහෝ වලව් පරදවමින් සුඛෝපභෝගී නිවාස ඉදිවී ඇත.

එදා වලව්වල වහලට යෙදුවේ සිංහල උළු ය. පීලි උළු යැයි සමහරුන් හදුන්වන්නේ මේ සිංහල උළුවලට ය. ඉංග්‍රීසින්ගේ පාලන සමයේ රටඋළු පැමිණි අතර රටඋළු සෙවිලිකර ඉංග්‍රීසි පන්නයට හැදූ වලව් ද රත්නපුරේ ගණනාවක් ඇත. සිංහල උළු සෙවිලි කිරීමේ දී වහලයට යොදන ලී ප්‍රමාණය රටඋළු යොදනවාට වඩා වැඩි ය. යටලී, පරාල, රීප්ප ළඟින් ළඟින් යොදනු ලබයි. සිංහල උළු සෙවලි කළ වහලයක පරාල දෙකක් අතර අඩියක් හෝ අඩි එකහමාරක් පමණ පරතරයක් ඇත. රීප්ප අතර පරතරය ද අඟල් හතරකි. එසේ නොවුණහොත් සිංහල උළු වහලයක ශක්තිමත් බව අඩු යැයි විශ්වාසයක් පවතී.

වර්තමාන නිවාසවල සිවිලිම තිබුණත් අතීත වලව්වල ඒ වෙනුවට තිබුණේ සොල්දරයයි. සිවිලිම මෙන් නොව සොල්දරය ලොකු බරක් ඉසිලිය හැකි බාල්ක දමා ඒ මත ලැලි අතුරා තැනූ එකකි. පැරණි වලව්වල බිත්ති අඩියකට වඩා ගණකමින් යුතුය. කළුගල් සහ වැලි මැටි ද හුණු ද මිශ්‍රකර තැනූ බදාමයකින් බිත්ති බැඳ තිබුණි. වැලිමැටි කරරාරු කර හුණුස්ථරයක් දමා කපරාරු ඒමත හුණු පියම්කළ බිත්තිවලින් අතීත වලව් සමන්විත විය.

පසුකාලීනව අලුත්වැඩියාවලට ලක්වූ වලව් බොහෝමයක සිංහල උළු වෙනුවට රට උළු හෝ ඇස්බැස්ටර්ස් සෙවිලි විය. වැලි බදාම වැලි මැටි කපරාරු වෙනුවට සිමෙන්ති බදාම, සිමෙන්ති කපරාරු එක්විය. හුණු පිළියම් වෙනුවට තීන්ත ආලේප කෙරුණි.

දොර ජනෙල් ද අතීත වලව්වල යම් සමානකමක් තිබුණි. අඟල් පහේ පහේ හෝ හතරෙ හතරෙ කොස්, මිල්ල ආදී වූ වටිනාකමින් සහ මිලෙන් අධික ලීවලින් ජනෙල් උලුවහු සැකසුණි. වීදුරු ජනේල ආවේ මෑතකදීය. ජනෙල් පළුවම ලී වලින් වැසෙන පරිදි කැටයම් දමා සාදනු ලැබිණි. දොරවල් ද තනි පළුවට වඩා පළු දෙකට සෑදීම අතීත ගෘහ නිර්මාණ ශිල්පයයි. ජනේල අදමෙන් නොව අඩි එක හමාරක් පළල අඩි තුනක් හෝ හතරක් උසැති තනි තනි පළුවලින් යුතු එවා වැඩියෙන් යෙදීම සිරිතක් විය. පළු දෙකේ ජනේල හැර පළුතුනේ හෝ හතරේ ජනේල නැත්නම් ඊට වඩා වැඩි ජනේල තිබුණේ ම නැති තරම්ය.

පැරණි වලව්වක කාමර වැඩි ගණනක් නොතිබුණි. සාලයට යාබදව කාමර දෙකක් හෝ තුනක් විය. ඉස්තෝප්පු කාමරයක් තිබුණු අතර එය අමුත්තකු වෙනුවෙන් විය. වලව්ව කොටස් දෙකක් විය. සාලයේ දොරෙන් වෙන්වූ කොටස කෑම කාමරය, මුලුතැන්ගෙය, අතවැසියන්ගේ ලැගුම් කාමර ආදියෙන් යුක්ත විය. බොහෝ වලව්වල වැසිකිළි සහ නාන කාමර නිදන කාමරවලට පිටින් පැවතීම දැකිය හැකි විය. ගමේ පන්සල නඩත්තු වුයේ ද වලව්වෙනි. දානමානාදිය ගමේ සෙසු අයගෙන් ලැබුණ ද ඉදිකිරීම් ආදී සෙසු භෞතික අවශ්‍යතා සැපිරුණේ වලව්වෙනි.

වලව් සහ ගමේ සෙසු ගෙවල් අතර වෙනස්කම් බොහෝ විය. වෙදගෙදර, ලොකු ඉස්කෝලෙ මහත්තයාගේ ගෙදර, විදානෙ මහත්තයා ආදි අයගේ ගෙවල් පමණක් සමහර ගම්වල උළු සෙවිලි කළ ඒවා විය. සෙසු ගෙවල් වැඩිහරියක් පොල්අතු සෙවිලි කළ ඒවා ය. බටකොළ හෝ ඉලුක් සෙවිලි කළ ගෙවල් ද තිබුණු ගම්මාන විය.

රත්නපුර දිස්ත්‍රික්කයේ ද තෙත් සහ වියළි දේශගුණය සහිත ප්‍රදේශවලින් යුක්තය. තෙත් ප්‍රදේශවල ගම්බද නිවාස බටකොළ සෙවිළි කළ ඒවා විය. වලව්වල ද අවශේෂ ගොඩනැගිලි පොල්අතු, බටකොළ හෝ ඉලුක් හෙවලි කළ ඒවා විය.

නිවාස ආකෘති එසේ වෙද්දී වලව්වල පරම්පරාවල ගාම්භීරත්වයද එකිනෙකට වෙනස් වෙයි. ලොව පළමු අගමැතිනිය ජීවත්වූ හා ලංකාවේ ජනාධිපතිනියකට නෑකම් කියන මහවලතැන්න වලව්ව වලව් අතරින් මුල්තැනක් ගනී.

සිරිමා මැතිනියගේ මව වූ රොස්මන්ඩ් හිල්ඩා කොන්ස්ටයින්ටන් මහවලතැන්න මැතිනියට අයත් දේපලක් ලෙස මහවලතැන්න වලව්ව හඳුන්වනු ලබයි. මහවල තැන්න වලව්වේ ආරම්භකයා සිංහල රජුට ඉතා හිතවත්ව සේවය කළ ආර්. ඩී. එන්. මහවලතැන්න නම්වූ අදිකාරම්වරයෙකි.

මේ අදිකාරම්වරයා ජීවත්ව සිට ඇත්තේ බළන්ගොඩට ආසන්න ගොඩකුඹුර ප්‍රදේශයේ වලව්වක ය. ඔහුට අයත් ගව රංචු රඳවාතිබූ මහවලතැන්නට පැමිණි වෙලාවක දුටු අපුරු දර්ශනයක් නිසා එතැන වලව්වලක් සාදා එය මහවලතැන්න වලව්ව ලෙස නම් කළ බව ඉතිහාසයේ දැක්වෙයි.

අශ්වයා පිට පැමිණි මහවලතැන්න අදිකාරම් ගසක් මුල් ගිමන් හරිමින් සිටිය දී හාව​කු පසුපස පන්නන නරියකු දැක තිබේ. ඉදිරියට දිව ආ හාවා අදිකාරම්වරයා ගිමන් හරිමින් සිටි ගස ඉදිරියේ එකවරම නැවතී ඉස්සී පසුපස පන්නන නරියා දෙස බලා ඇත. එවිට නරියා ද නැවතී ඇත. පසුව හාවා ආපසු හැරී නරියා පසුපස පන්න්නට වූ අතර නරියා හාවාට බියේ ආපසු දිවයන අයුරු අදිකාරම්වරයා දැක තිබේ.

ඒ නිසා මෙම ස්ථානය ජයභූමියක් ලෙස සලකා මෙතැන මැදමිදුල් හතකින් යුතු වලව්වක් තැනූ බව ඉතිහාසයේ දැක්වෙයි. එය ක්‍රි.ව. 1700 වර්ෂයේ අගභාගයේ ඉදිවූ බවට විශ්වාසයක් පවතී. මහවලතැන්න පරපුරේ අවසන් පිරිමියා ලෙස සැලකෙන්නේ ඩේවිඩ් සැමුවෙල් මහවලතැන්න මහ දිසාවයි. මහවලතැන්න වලව්ව සිරිමාවෝ මැතිනියගේ සහෝදරයකු වූ හිටපු ඇමති සේනක ක්ලිපඞ් රත්වත්තේ මහතා රත්නපුරේ බටුගෙදර එල්ලාවල වලව්වේ මල්ලිකා එල්ලාවල මහත්මිය සමග විවාහ විය. විවාහයෙන් පසු ඇය මල්ලිකා රත්වත්තේ විය. ඉන්පසු මහවලතැන්න වලව්වේ හිමිකාරිය බවට මල්ලිකා රත්වත්තේ මහත්මිය පත්වුවාය. ඇයද ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කළාය. ඒ අනුව බලද්දී මහවලතැන්න වලව්වෙන් ජනාධිපතිවරියක අගමැතිනියන් දෙදෙනකු මන්ත්‍රීවරයකු සහ මන්ත්‍රීවරයකු බිහි වී තිබේ.

එපමණක් නොව සබරගමු පළාතට අධිගෘහිත සුමන සමන් දෙවියන් වැඩවසන සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයාව සිටි කමල් රත්වත්තේ මහතා ද මහවලතැන්න වලව්වෙන් බිහිවූ කෙනෙකි.

ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාකඳුර ග්‍රාමනිලධාරී වසමේ පිහිටි මාකඳුර වලව්ව ලංකාවේ පළමු කතානායක වූ ෆැන්සිස් මොලමුරේ මහතා උපන් වලව්වයි. මාකඳුරේ පරපුර දකුණු පළාතට නෑකම් කියන අතර 1761 දී කටුවන ලන්දේසි බලකොටුව බිඳීමේ සටනට නායකත්වය දුන් ධර්මාලංකාර පරපුර මාකඳුර වලව්වෙන් බිහිවූ අයයි.

(*** අජිත්ලාල් ශාන්තඋදය)