‘මේ රට හදන්න බැරිද?’ යන ප්‍රශ්නය ආර්ථික අර්බුදය උග්‍රව ජනයා කබලෙන් වැටීමත් සමඟ සමාජයේ පතුළ බිඳගෙන ප්‍රකාශයට පත්වූ ප්‍රශ්නයකි. මන්දයත් මේ රට යනු සාපිපාසිතව ජනයාට අකාලයේ මියයාමට සිදු නොවන රටක් වන හෙයිනි. එහෙත් නිර්මාණය වූයේ එබඳු රටකි. එබඳු රටක් නීර්මාණය වූයේ අතීතයේ සිටම මේ රට පාලනය කළ සෑම වර්ණයකටම අයත් දේශපාලනඥයන් නිසා බව පොදුවේ නැගුණ චෝදනාව විය.
මේ වියමන, ඒ කුරුසියෙන් දේශපාලනඥයන් ගලවාලීම පිණිස නොව අර්ධ සත්‍යයක් වූ ඉහත චෝදනාව අංගසම්පූර්ණ කිරීම පිණිසය. රට පිරිහීමට දේශපාලනඥයන් වගකිව යුතුය යන චෝදනාව අර්ධ සත්‍යයක් වනුයේ රටේ පිරිහීමට තවත් පාර්ශ්වයක්ද සම්බන්ධ හෙයිනි. එම පාර්ශ්වය රාජ්‍ය නිලධාරීහු වෙති. සමස්ත රාජ්‍ය නිලධාරි පෙළැන්තියම නොවූවද සැලකිය යුතු පිරිසක් මෙහි බලවත් පංගුකාරයෝ වෙති. ඒ බව තහවුරු කෙරෙන පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.
රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝපා කමිටුව උපුටා දක්වමින් අප පුවත්පත වාර්තා කළ එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ නොරොච්චෝලේ විදුලි බලාගාරයට ගල් අඟුරු ගෙන ඒමේදී අයකරගත් බදු මුදලින් සියයට හැත්තෑවක් එහි නිලධාරීන්ගේ ත්‍යාග සහ සුබසාධනය වෙනුවෙන් වෙන් කර ඇති බවය.
නොරොච්චෝලේ විදුලි බලාගාරයට ගල්අඟුරු ගෙන ඒමේ දී නිවැරැදි තොරතුරු අනාවරණය නොකිරීම මත අඩුවෙන් අයකර තිබූ රුපියල් කෝටි 18කට ආසන්න වැට් බද්ද අතිරේක බද්දක් ලෙස අයකර නොගෙන රුපියල් කෝටි 20කට වැඩි දණ්ඩනයක් පනවා එම ලැබුණු මුදලින් සියයට 70 ක් නිලධාරින්ගේ ත්‍යාග සහ සුබසාධනය වෙනුවෙන් වෙන්කර ඇතැයි කෝපා කමිටුවේ දී අනාවරණය වූ බව අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් කරුණු විමසූ අවස්ථාවේ දී රේගු නිලධාරීන් පවසා ඇත්තේ මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කර මෙවැනි දේවල් නැවත ඇති නොවීමට වැඩපිළිවෙළක් සකස් කරන බව යැයිද එම ප්‍රවෘත්තියේ සඳහන්ය.
කෝප් කමිටුව, කෝපා කමිටුව හා ජාතික විගණන කාර්යාලය සිදුකරන බොහෝ විමර්ශනවලින් මෙරට රාජ්‍ය සේවය අභ්‍යන්තරයෙන් කොතෙක් දූෂිත වී ඇද්ද යන්න අනාවරණය වේ. හෘදය සාක්ෂියක් සහිත රජයේ නිලධාරීන්ට රජයේ සේවකයන්ට මෙසේ කටයුතු කළ හැකිද යන ප්‍රශ්නය මතු කිරීම අත්‍යන්තයෙන්ම සාධාරණය.
ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ හා සේවකයන්ගේ වංචා, දූෂණ,
අක්‍රමිකතා හා නොසැලකිලිමත්කම නිසා රාජ්‍ය භාණ්ඩාගාරයට අහිමිව යන්නේ කෝටි ප්‍රකෝටි ධනයකි. ඒ අනුව භාණ්ඩාගාරය හිස් කර තිබෙන්නේ දේශපාලනඥයන් පමණක් නොවන බව ඉඳුරාම ප්‍රත්‍යක්ෂ වන්නකි.
යම් යම් ආයතනවල නිලධාරීන් සහ සේවකයන් දිරිගැන්වීම් සඳහා විවිධ ක්‍රමෝපාය යොදා තිබේ. රේගුවේද එවැන්නක් තිබේ. සොරකම්, වංචා දූෂණ අවම කර ගැනීම සඳහා එය යහපත් උපක්‍රමයකි. එහෙත් එය සාධාරණ විය යුතුය. නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයට ගල් අඟුරු ගෙන ඒමේදී අයකරගත් බදු මුදලින් සියයට හැත්තෑවක්ම එහි නිලධාරින්ගේ ත්‍යාග සහ සුබසාධනය වෙනුවෙන් වෙන් කිරීම කුමන පැතිමානයකින් විග්‍රහ කර බැලුවද සාධාරණ නොවේ. මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර නැවත එවැනි දේ සිදු නොවීමට වැඩ පිළිවෙළක් යොදන බව කෝපා කමිටුව ඉදිරිපිට රේගුවට ප්‍රකාශ කිරීමට සිදුවීමෙන්ම වරදේ ප්‍රමාණය තේරුම්ගත හැකිය. මෙවැනි වැරැදි සමග රට හදන්න බැරි බව ඒකාන්ත සත්‍යයකි.
(***)