ලංකා ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් වැඩ සටහනෙහි ප්‍රගතිය මැනිය හැකි කැපවීම් 100 න් විසිනවයක් (29) මැයි මාසය අවසන් වන විට ඉටුකර ඇතැයි වෙරිටේ රිසර්ච් පර් යේෂණයතනය කියයි.
මැයි මාසය අවසන් වන විට ඉටුකිරීමට අපොහොසත්ව සිටින ප්‍රධාන කැපවීම් තුනක් කෙරෙහි වෙරිටේ රිසර්ච් තම අවධානය යොමුකරයි. ඔවුන්ට ඒ අනුව ඒ කැපවීම් තුනෙන් දෙකක් රජයේ ආදායමට සම්බන්ධය. ඉන් පළමුවැනි කැපවීම වන්නේ 2023 මාර්තු වන විට රජයේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 2.1 ක් දක්වා හෝ රුපියල් බිලියන 650 ක් දක්වා වර්ධනය කරගැනීමය. එහෙත් 2023 ජනවාරි සිට අප්‍රේල් අවසානය දක්වා රජයේ මුළු බදු ආදායම රුපියල් බිලියන 578 කි.
ඉටු නොකළ දෙවැනි කැපවීම ඔට්ටු සහ සූදු බදු අනුපාත ඉහළ නොදැමීමය. ඉටුනොකළ තුන්වැනි කැපවීම වන්නේ නව මහ බැංකු පනත සම්මත කර නොගැනීමය. මූල්‍යමය විනිවිදභාවය ප්‍රදර්ශනය කෙරෙන මාර්ගගත වේදිකාවක් සකසා ගන්නා බවට ඇතිකරගත් එකඟතාවද තවමත් අසම්පූර්ණය. රටට වාසි සැලසෙන්නේ ඒ කැපවීම් ඉටු කළොත්ය. එසේම ඒ කැපවීම් ඉටුකිරීමෙන් රටේ පාලනය කෙරෙහි දෙස් විදෙස් විශ්වාසය වැඩිදියුණු වෙයි. එමගින් රට සතු දෙස් විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කරගැනීමට පහසුවෙයි.
රටේ ආර්ථික ප්‍රකෘතිය සඳහා මූල්‍ය අරමුදල සමග යන ගමන වේගවත් කරගැනීමට හැකිවෙයි. එහෙත් දේශපාලන සහ වෙනත් අරමුණු මත ක්‍රියාත්මක වීම නිසා ඒ කැපවීම් ඉටුකිරීමට නොහැකි වෙයි. යෝජිත මහ බැංකු පනත අප කී කරුණු සනාථ කිරීමට එක් උදාහරණයක් පමණකි. එය සම්මත කරගැනීමට නොහැකි වූයේ ස්වාධීන කිරීමේ නාමයෙන් මහ බැංකුව තව තවත් දේශපාලනීකරණය කිරීමට සැරසීම නිසාය.
මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතා එකඟවූ අයුරින් සම්පූර්ණ නොකළොත් නැවත වතාවක් ඒ ගැන සාකච්ඡා කරන්නට වෙයි. ඒ සාකච්ඡාවලදී එකඟතා සම්පූර්ණ කිරීමට තවත් කාලයක් ඉල්ලා සිටීමට සිදුවෙයි. එසේම ඒ ඒ එකඟතා ඒ ඒ කාලවලදී නොව මේ මේ කාලවලදී සම්පූර්ණ කරන්නම් කියා සාකච්ඡා කර යළි එකඟතාවකට පැමිණීමට සිදුවෙයි. සියල්ල එසේ කරගැනීමට ලැබෙන්නේ සාකච්ඡා කිරීමට අප සතු හැකියාව සහ දක්ෂතාව මතය. එහෙත් ඉටුකළ එකඟතා සහ ඉටුනොකළ එකඟතා අතර පවතින අතිවිශාල පරතරය නැවත සාකච්ඡාවකදී අපට වාසිදායක තත්ත්වයක් ලබාගැනීමට ප්‍රබල බාධකයකි.
ණය ප්‍රතිව්‍යුහගත කිරීම සැප්තැම්බර් අවසාන වෙද්දී සම්පූර්ණ කරගන්නා බවට එකඟතා ඇතිකරගෙන තිබුණත් එය සංකීර්ණ ක්‍රියාවලියකි. එහෙයින් ඒ සඳහා හිතුවාට වඩා යම් කාලයක් ගතවීම සහේතුකය. එබැවින්ම ඒ සම්බන්ධයෙන් මූල්‍ය අරමුදල නම්‍යශීලී වුවත් වැඩි කල් නොගොස් එය කරගැනීමට අපට සිදුවෙයි.
මහ බැංකුව සහ රජය ණය හිමියන් සමග මොනවා සාකච්ඡා කළාදැයි රට සහ සමාජය නොදනියි. ඒ නිසාම රටේ විවිධ තොරතුරු සංසරණය වෙයි. ඒ බව රජයත් දනියි. ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ජූනි 19 වැනිදා පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් රටේ විවිධ පාර්ශ්ව අසත්‍ය තොරතුරු සමාජගත කරමින් සිටින බවය. එහෙත් රජය ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීන්දුවක් ගෙන නොමැති බවය.
(2023 ජූනි 20 වැනිදා ලංකාදීප 08 වැනි පිටුව)
ඇමැති සේමසිංහ කියන්නේ බැංකු හා මූල්‍ය පද්ධතියට ඍණාත්මක බලපෑමක් ඇති නොවන ආකාරයට සහ ස්ථාවරත්වය පවත්වාගෙන යාමට අවශ්‍ය වඩාත් හොඳ ප්‍රතිව්‍යුහගතකරණයක් වෙනුවෙන් රජය කැපවී සිටින බවයි. දේශීය මූල්‍ය වෙළෙඳපොළ සේම රටේ ජනතාව ද අපේක්ෂා කරන්නේ එවැනි ප්‍රතිව්‍යුහගතකරණයකි. එහෙත් රජය කියන හැටියට කරයිදැයි පොදු සමාජයේ ඇත්තේ බරපතළ සැකයකි. කුකුසකි, විචිකිච්ඡාවකි. ඊට හේතුව දේශපාලන න්‍යාය පත්‍ර මත කෙරෙන කටයුතුය. රජය අවංක සහ විවෘත නොවන තරමට ඒ සැක සංකා, විචිකිච්ඡා වර්ධනය වෙයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා සහ ෆැසිපික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රී නිවාසන් මැයි මස මුලදී හොංකොංහි පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේ ඇමෙරිකන් ඩොලර් බිලියන තුනක ණය අනුමත කිරීමට පෙර දේශීය ණය ප්‍රතිව්‍යුහගත කළ යුතු බවට මූල්‍ය අරමුදල කළ ඉල්ලීම ලංකා ආණ්ඩුව පිළිගෙන තිබෙන බවය. පසුවුණු මැයි මාසයේ 11 වැනිදා සිට 23 වැනිදා දක්වා මෙරට නිරීක්ෂණ චාරිකාවක නිරත වූ මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම කියන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අනිවාර්යයෙන්ම එළඹෙන සැප්තැම්බර් මාසය වන විට අවසන් කළ යුතු බවයි.
සැප්තැම්බර් මාසය අවසන් වීමට තවත් ඇත්තේ දින 100 කට අඩු කාලයකි. එහෙත් ඇමැති සේමසිංහ කියන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් රජය තවමත් අවසන් තීන්දුවක් ගෙන නොමැති බවය. ඒ අවසන් තීන්දුව මේ දින 100 ඇතුළත ගත නොහැකි බව ණය ප්‍රතිව්‍යුහගත කිරීම වැනි අතිශය සංකීර්ණ ක්‍රියාවලියක බරපතළකම දන්නා කාටත් වැටහෙයි. එහෙයින් අනිවාර්යයෙන්ම ඒ සඳහා එනම් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා තවත් කල් ලබාගැනීමට ලංකා ආණ්ඩුවට සිදුවෙයි. එහෙත් ආණ්ඩුව කල් ඉල්ලන්නේ කල්මැරීම සඳහා නොවන බව මූල්‍ය අරමුදලට පෙනී ගියහොත් ආණ්ඩුවට තවත් යම් කාලයක් ලබාගත හැකි බව විශ්ලේෂකයන්ගේ මතයයි.
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන් සහ දේශීය වාණිජ බැංකු තීරණාත්මක වන්නා සේම විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී තීරණාත්මක වන්නේ චීනයයි. 2022 සැප්තැම්බරයේදී අපේ මුදල් අමාත්‍යාංශය කළ ගණනය කිරීම්වලට අනුව ලංකාව චීනයට ගෙවිය යුතු ණය ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් බිලියන 7 කට වැඩිය.
එය මේ මොහොතේ ලංකාව ප්‍රතිව්‍යුහගත කරගත යුතු ණය ප්‍රමාණයෙන් සියයට 52 ක් තරම් විශාලය. ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් තම ස්ථාවරය දැක්වෙන ලිපිය චීනය ඍජුව භාර දුන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටය. එහෙයින් එහි සඳහන් තොරතුරු මොනවාදැයි අපි නිශ්චිතව නොදනිමු.
රට දැනට දන්නා තොරතුරු වන්නේ චීන එක්සිම් බැංකුවෙන් දී තිබෙන ඩොලර් බිලියන දෙකක ණය සඳහා පමණක් ණය නොගෙවා සිටීමේ සහන කාලයක් ලබාදෙන බවය. ඒ සහන කාලය ද වසර දෙකකට පමණකි. ඒ 2023 සහ 2024 වසර සඳහාය. ඒ අනුව 2025 සිට ඒ ණය ගෙවිය යුතුය. චීනය දී තිබෙන ඉතිරි බිලියන 05 ට දෙන සහනයක් ගැන කිසිවක් සඳහන් නොවෙයි.
2023 මාර්තු 20 වැනිදා ජනාධිපති කාර්යාලයෙන් නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ ලංකාව සිය විදේශ ණය සඳහා වසර 10 ක සහන කාලයක් අපේක්ෂා කරන බවය. එහෙත් චීනයෙන් ලැබෙන බව පෙනෙන්නේ වසර දෙකක සහන කාලයකි. එය ද චීනයෙන් ගෙන තිබෙන ඩොලර් බිලියන හතෙන් දෙකකට පමණකි. ද්වී පාර්ශ්වික ණය සම්බන්ධයෙන් ලංකාව එහි පාර්ශ්වකරුවන් සැලකිය යුතු සංඛ්‍යාවකගේ සහාය ලබා ගනිමින් සිටින බව ජාත්‍යන්තර විශ්ලේෂකයන්ගේ නිරීක්ෂණයයි. ඉන්දියාව, ජපානය සහ ප්‍රංශය යන රටවල සම සභාපතිත්වයෙන් ලංකාවේ නිල ද්වී පාර්ශ්වික ණය හිමියන්ගේ කමිටුවේ පළමු රැස්වීම පසුගිය මැයි 09 වැනිදා පැවැත්විණි.
එහිදී අනාවරණය වූයේ චීනය හැර අනෙක් ණය හිමියන් පොදු රාමුවක් යටතේ ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කැමැති බවය. මැයි 09 වැනිදා පැවැති ඒ රැස්වීමෙන් පසුව 'G-20' කණ්ඩායමේ සභාපති කාර්යාලයෙන් නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ ලංකාවට සහන ලබාදීම සම්බන්ධයෙන් සියලුම ණය හිමියන්ගේ කැපවීම එකසේ අවශ්‍ය වන බවය.
එහෙත් චීනය තම ස්ථාවරය කුමක්දැයි දැනටත් නොකියයි. මැයි 09 වැනිදා ඒකාබද්ධ ණය හිමි වේදිකාවට චීනය සහභාගි වූයේ ද අනෙක් ණය හිමියන්ගේ දැඩි ඉල්ලීම මතය. ඒ ද නිරීක්ෂණ මට්ටමෙනි. අනෙක් ද්වී පාර්ශ්වික ණය හිමියන් එකඟතාව පළකරන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පොදු ක්‍රමවේදයට ඇතුළු වීමට කැමැති බවක් චීනය දැනටත් ප්‍රකාශ නොකරයි.
ඉන්දියාව, චීනය ඇතුළු ලංකාවේ ද්වීපාර්ශ්වික අනෙක් ණය හිමියන් චීනයෙන් ඉල්ලා සිටින්නේ ණය අර්බුද විසඳීම සඳහා ස්ථාපිත පොදු සාකච්ඡා මේසයට පැමිණෙන ලෙසයි. චීනය ලොව පුරා අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල් රැසකට ණය දී තිබේ. ඒ රටවල ණය අර්බුද විසඳා ගැනීමට ඒ ඒ රටවල ප්‍රතිපත්ති සම්පාදකයන්ට යම් බලාපොරොත්තුවක් ඇතිකරගත හැකි පියවරක් තබන්නැයි අනෙක් රටවල් චීනයෙන් ඉල්ලා සිටියත් චීනය ඒ ඉල්ලීමට තවමත් නිසි ප්‍රතිචාරයක් නොදක්වයි.
චීනයේ මේ පිළිවෙත ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරගැනීමට ද තීරණාත්මක ලෙස බලපායි. ණය ප්‍රතිව්‍යුහගත කරගැනීම පහසු වන්නේ සියලු ණය හිමියන් පොදු එකඟතාවකට පැමිණීමෙනි. එහෙත් චීනය පොදු එකඟතාවකට නොපැමිණෙයි. ඒ අනුව ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරගැනීමේ ක්‍රියාවලියට උභතෝකෝටික ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවෙයි.
ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරගැනීම සඳහා අපට සහාය දෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි. මීට පෙර ලංකාව මූල්‍ය අරමුදලට ගිය අවස්ථා ගණන 16 කි. මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතා සම්පූර්ණ කර තිබෙන්නේ ඒ අවස්ථා 16 න් හයකදී පමණි. මේ 17 වැනි අවස්ථාවේදීත් මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතා ක්‍රියාත්මක කිරීමට නොහැකි වී මූල්‍ය අරමුදල සමග ගොඩනගාගත් සහයෝගිතාව බිඳ වැටේදැයි ඇත්තේ සැකයකි.
මූල්‍ය අරමුදලට ගිය මීට පෙර අවස්ථා 16 කදීම ලංකාව රටක් ලෙස ආර්ථික වශයෙන් බංකොලොත්ව සිටියේ නැත. දෙස් විදෙස් ණය ගෙවීමට නොහැකිව සිටියේ ද නැත. එහෙත් මෙවර අප මූල්‍ය අරමුදලට ගියේ දෙස් විදෙස් ණය ගෙවා ගැනීමට නොහැකිවය.
එසේ වූයේ අතීත පාලකයන් රට බංකොළොත් කළ නිසාය. ඒ බංකොළොත්භාවයෙන් රට තවමත් මිදී නැත. ඒ නිසා මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතා ක්‍රියාත්මක නොකර ඒ වැඩසටහනෙන් එළියට විසිවුණොත් රටක් ලෙස අප වැටෙන්නේ අලි අමාරුවකය. එසේම මූල්‍ය අරමුදල සමග පවතින සහයෝගිතාව බිඳ වැටුණහොත් ණය ප්‍රතිව්‍යුහගත කරගැනීමේ සාකච්ඡාවකටවත් කිසිම ණය හිමියකු නොපැමිණෙනු ද නිසැකය.
රට මුහුණ දී සිටින ඒ ඇත්ත තත්ත්වය ජනතාවට තේරුම්කර දෙන යාන්ත්‍රණයක් ආණ්ඩුවෙන්වත් ක්‍රියාත්මක නොකරයි. කළ යුතු කිසිවක් නොකරන ආණ්ඩු පක්ෂයේ ඇතැමුන් කේවල් කරන්නේ ඇමැතිකම් ලබාගැනීම සඳහාය. එමගින් ඔවුන් ප්‍රදර්ශනය කරන්නේ රටේ පැවැත්මට වඩා තමන්ගේ පැවැත්මට ප්‍රමුඛතාව දිය යුතු බව නොවන්නේද?
සටහන ගුණසිංහ හේරත්