ශ්‍රී ලංකාවේ 1982 සිට පත්වනු ලැබූ ජනාධිපතිවරණ අට සමග සන්සන්දනය කොට බලන විට ලබන සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ ප්‍රධාන වෙනස්කම් කිහිපයක් දක්නට ලැබේ.
අප සඳහන් කරන එම වෙනස්කම්වලට ප්‍රධාන හේතුව වී ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ කේන්ද්‍ර කොට ගත් ජාතික ජන බලවේගය අනෙක් ප්‍රධාන පක්ෂවලට අභියෝග කළ හැකි මට්ටමට ශක්තිමත් වීමයි.
මෙතෙක් පැවැති ජනාධිපතිවරණ අටම දෙකොන් සටනක් ලෙස පැවැත්විණි. එහෙත් එය මෙවර තුන් කොන් සටනක් බවට පත්වී තිබේ. ඒ ජාතික ජනබලවේගය, ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී සිටින එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා හා සමගි ජනබලවේග වශයෙනි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකායා වශයෙන් එම පක්ෂයේ නායක හා හිටපු ජනාධිපති වූ මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් වුවද දැනට පෙනෙන අන්දමට නම් ඔහු අනෙක් ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනාට අභියෝගයක් වන බවක් නොපෙනේ. ඉදිරි සති කිහිපය තුළ කුමක් හෝ හේතුවක් නිසා එසේ ඔහු අභියෝගයක් වුවහොත් මෙවර ජනාධිපතිවරණය සිව්කොන් සටනක් වනු ඇත.
2021 දී මෙරට ආර්ථික අර්බුදයක් ඇති නොවූයේ නම් මෙවරද ජනාධිපතිවරණය සිරිත් පරිදි දෙකොන් සටනක් වන්නට ඉඩ තිබිණි. එහෙත් එම ආර්ථික අර්බුදයත් එහි ප්‍රතිඵලයක් වශයෙන් 2022 වසරේ දී පෙර නොවූ විරූ ආකාරයේ ආණ්ඩු විරෝධී මහජන නැඟීමක් ඇති වීමත් හේතුවෙන් සාම්ප්‍රදායික පැරණි පක්ෂවලට එරෙහිව ප්‍රබල මහජන මතයක් ගොඩනැගීම නිසා ජාතික ජන බලවේගය විශාල වශයෙන් ශක්තිමත් වී තිබේ.
එසේම කිසිදු ප්‍රතිපත්තිමය හේතුවකින් තොරව හුදු නායකත්ව ආරවුලක් අනුව 2020 දී එජාප දෙකට කැඩී ගියේය. එමඟින් සෘජුව පාර්ලිමේන්තු ආසනයක් හෝ දිනා ගැනීමට නොහැකි වූ එජාපය අරගලය යනුවෙන් පොදුවේ හැඳින්වුණු ඉහතකී මහජන නැඟීටීම හේතුවෙන් ජනවරමක් නැතිවම බලයට පත්විය. දැන් රජ්‍ය නායක රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු බලය හා රාජ්‍ය බලය උපයෝගී කරගෙන ප්‍රධාන වශයෙන් පොදුජන පෙරමුණෙන් මන්ත්‍රීවරුන් පිරිසක් තමන් වෙත නම්මාගෙන බලයක් ප්‍රදර්ශනය කරමින් සිටී.
එසේ විවිධ පක්ෂවලින් ජනාධිපතිවරයා විසින් කඩා ගනු ලැබ සිටින මන්ත්‍රීවරුන් සමග සැලකිය යුතු ඡන්දදායකයන් පිරිසක් ඔහුට සහාය දෙන්නට ඉදිරිපත් වී සිටීදැයි තවමත් පැහැදිලි නැත. එහෙත් මතුපිටින් පෙනෙන ආකාරයට නම් ඔහු ද ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනාගෙන් කෙනෙකි. අනෙක් දෙදෙනා වන්නේ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා හා සමඟි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාය.
මෙවර ජනාධිපතිවරණයේ තවත් විශේෂත්වයක් වන්නේ පළමු වරට සාමාන්‍ය පවුලක උපත ලැබ සාමාන්‍ය පවුලක පුද්ගලයකු සේ ජීවන පැවැත්මක් පවත්වාගෙන යන අයකු ප්‍රධාන අපේක්ෂකයකු වීමයි. ඒ ජාතික ජනබලවේගයේ නායකයාය. මීට පෙර සියලුම ජනාධිපතිවරණවල දී ජයග්‍රහණය ආසන්නයේ සිටින බව පෙනුණු අපේක්ෂකයෝ ධනවත් පවුල්වල සාමාජිකයන් වූහ.
1988 ජනාධිපතිවරණයෙන් ජයගත් රණසිංහ ප්‍රේමදාස මහතා සාමාන්‍ය පවුලක උපත ලැබුවෙකි. එහෙත් 1955 සිට කොළඹ නගර සභාවේ මන්ත්‍රීවරයකු, නියෝජ්‍ය නගරාධිපතිවරයකු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, නියෝජ්‍ය ඇමැතිවරයකු හා අගමැතිවරයකු වශයෙන් සමාජයේ ඉදිරියට පැමිණි ඔහු 1988 වනවිට ප්‍රභූ පෙළැන්තියට එක්වී සිටියේය.
මෙවර ප්‍රධාන හා ප්‍රධාන විය හැකි අපේක්ෂකයන් අතරින් සජිත් ප්‍රේමදාස මහතා සහ නාමල් රාජපක්ෂ මහතා හිටපු ජනාධිපතිවරුන්ගේ එනම් රණසිංහ ප්‍රේමදාස මහතාගේ හා මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයෝ වෙති. රනිල් වික්‍රමසිංහ මහතා ආරම්භයේ සිට ප්‍රභූ පෙළැන්තියට අයත්ව සිට දැනට ජනාධිපතිධුරයේ සිටින පුද්ගලයාය. ඒ අතින් ද අනුර කුමාර දිසානායක මහතා ඔවුනට වඩා වෙනස්ය. ඔහු 2000 වසරේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයක් හොබවයි. 2004 අප්‍රේල් මාසයේ සිට මාස 14ක් පමණ කාලයක් ඇමැති ධුරයක් හොබවයි.
මෙවර මැතිවරණයේ දී ජනාධිපතිවරයාගේ හිතවතුන් ඉදිරිපත් කරන තර්කයක් වන්නේ රට ආර්ථික වශයෙන් ඉතා අනතුරුදායක තත්වයක තිබෙන හෙයින් අත්හදා බැලීම් නොකළ යුතු බවයි.
රනිල් වික්‍රමසිංහ මහතා හැර අනෙක් ප්‍රධාන අපේක්ෂකයන් එක් අයකු (හෝ තිදෙනාම) ජනාධිපති ධුරයට පත් වුවහොත් ඒ පළමුවතාවටය. ඔවුනට ජනාධිපතිවරයකු වශයෙන් පෞද්ගලික අත්දැකීම් නැත. එබැවින් මේ තර්කය මෙම අපේක්ෂකයන් තිදෙනාටම එරෙහිව ඉදිරිපත් කෙරෙන්නකැයි කෙනකු කිව හැකිය. එහෙත් එම තර්කය ඉදිරිපත් කෙරෙන ඕනෑම මොහොතක ඕනෑම කෙනකුට සිතෙන්නේ එය අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව ඉදිරිපත් කෙරෙන්නක් ලෙසය.
කවුරුන් ඉලක්ක කරගෙන මෙම තර්කය ඉදිරිපත් කළද එය අතිශයින්ම ප්‍රතිගාමි අදහසකි. දීර්ඝ කාලීනව ඉතා දරුණු සමාජ ආර්ථික හා දේශපාලන පරිහානියකට මුහුණදී එම අතීතයෙන් කැඩී වෙන්වී ඉදිරියට පියවර නඟන්නට මෙරට සමාජය නව මාවත් සොයන මොහොතක මෙම තර්කය එවැනි ඉදිරි පියවරකට මග අවුරාලන්නකි. මෙම තර්කය ඉදිරිගාමී බව නොව පසුගාමී බව නියෝජනය කරන්නකි. වෙනසක් සඳහා වූ ජනතාවගේ උනන්දුව හීන කරන්නකි. දූෂිත හා අසාර්ථක බව තහවුරු වී ඇති අතීතයම යළි වැළඳ ගන්නට කරන පෙළඹුමකි.
න්‍යායික වශයෙන් මෙම තර්කයේ ඇති ප්‍රතිගාමීත්වය මනාව පෙන්වන ප්‍රකාශයක් මහාචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි ඔහුගේ ෆේස්බුක් පිටුවේ උපුටා දක්වා තිබිණි. එය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයකු වූ ගාමිණී කීරවැල්ල මහතාගේ ප්‍රකාශයකි. ඉන් කියැවෙන්නේ ‘‘ලෝක ඉතිහාසයේ සෑම විටම සමාජ දේශපාලන ප්‍රගමනය සිදුවූයේ අත්හදා බැලීම්වල ප්‍රතිඵලයක් ලෙසය. මිනිසුන් නව අත්හදා බැලීම්වලට අවසානයේ යොමුවන්නේ පවතින ක්‍රමය ජරාජීර්ණවී එය තිත්ත වූ පසුය. අද එවැනි තීරණාත්මක මොහොතක් අබියස අපි සිටින්නෙමු. එය මඟ හැරුණහොත් අපට මේ ජරාජීර්ණ සමාජ දේශපාලන ක්‍රමය තුළම තවදුරටත් ගිලී සිටීමට සිදුවනු ඇත, යනුවෙනි.
මෙම පසුගාමී තර්කය ඉදිරිපත් කරන්නෝ එය සාධාරණීකරණය කිරීම සඳහා 2019 දී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වශයෙන් බලයට පත් කිරීම නිසා රටට අත්වූ ඉරණම පෙන්වා දෙති. දැන් ජාතික ජන බලවේගයට මෙන් එදා ගෝඨාභය රාජපක්ෂ මහතාට ද විශාල ‘‘රැල්ලක්’’ තිබුණු බවත් විදේශවල සිටින ශ්‍රී ලාංකීකයන් දැන් සූදානම්ව සිටින්නා සේ එදාද රාජපක්ෂ මහතාට ඡන්දය දීම සඳහාම මෙරටට පැමිණි ඔබත් එහෙත් රාජපක්ෂ මහතා මෙන්ම අනුර කුමාර දිසානායක මහතාද අත්දැකීම් නැති අයකු බවත් ඔවුහු කියති.
මෙහිදී ජාතික ජනබලවේගය, ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය යන පක්ෂවල ව්‍යුහය රටේ අනෙක් පක්ෂවල ව්‍යුහයට වඩා හාත්පසින්ම වෙනස්ය, යන්න බොහෝ දෙනා නොදන්නා දෙයකි. නැතිනම් දැන සිටිය ද නොතකා හරිති. එම පක්ෂ අනෙක් පක්ෂ මෙන් පුද්ගල කේන්ද්‍රීය පක්ෂ නොවේ. ඒවායේ තීරණ ගනු ලබන්නේ වෙනත් පක්ෂවල මෙන් පුද්ගලයන් එකකු දෙදෙනකු නොව සාමුහිකවය. තීරණ ගැනීමේ දී රාජපක්ෂ මහතා කෙතරම් තනි වූයේ ද යන්න ඔහු ලියූ ‘‘කුමන්ත්‍රණය’’ නම් පොත කියවීමේ දී මනාව පෙනී යයි. රාජක්ෂ මහතා හා දිසානායක මහතා මෙම කාරණයේ දී සන්සන්දනය කළ නොහැක්කේ ප්‍රධාන වශයෙන්ම එහෙයිනි.
අත්දැකීම් නැති පුද්ගලයන්ට වගකීම් නොපැවැරිය යුතුය. රාජ්‍ය පාලනයේ දී අත්හදා බැලීම් නොකළ යුතුය, යන මතය තර්කානුකූල නොවන්නා සේම හාසය ජනකය. එසේ වන්නේ දැන් අත්දැකීමෙන් යුත් පුද්ගලයන් සම්බන්ධයෙන් කලෙකට පෙර මෙම මතය අදාළ කර ගත්තේ නම් ඔවුන් මේ වනවිට කොහි සිටිනු ඇත්ද යන ප්‍රශ්නය මතුවන හෙයිනි. මෙම තර්කය අනුව දැනට අත්දැකීම් ඇති පුද්ගලයන් මියගිය පසු රටකට කුමක් වේද? මෙම අත්දැකීම් සහිත පුද්ගලයන් ද ඒ ඒ ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වූයේ අත්දැකීම් නැති අත්හදා බැලීම් වශයෙනි.
එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා 1959 මියගිය පසු එවක ‘‘කුස්සියේ සිටි සිරිමා’’ යැයි වාමාංශිකයන් විසින් අවඥාවෙන් හඳුන්වනු ලැබූ සිරිමා බණ්ඩාරනායක මහත්මිය කිසිදු අත්දැකීමක් නැතිව 1960 දී අගමැති ධුරයට පත්වූවාය. 1977 දී කිසිදු අත්දැකීමක් නැතිව පාර්ලිමේන්තුවට පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා එක්වරම විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැති ධුරයට පත් කරනු ලැබීය. මාස හතරකින් ඔහු කැබිනට් ඇමැති ධුරයකට පත්විය.
චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පළමුවරට මැතිවරණයකට තරග කළේ 1994 බස්නාහිර පළාත් සභා මැතිවරණයේදීය. ඉන් තේරී පත් වූ සැණින් ඇය බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ධුරයට පත්වූවාය.
අත්දැකීම් නැත්තවුන්හට වගකීම් නොපැවරිය යුතුය යන තර්කය කොහෙත්ම වලංගු නොවන්නේ අත්දැකීම් ඇති පුද්ගලයන් රටට කළේ කුමක්දැයි විමසා බැලීමේදීය. 1950 ගණන්වල ආරම්භයේ දී එනම් නිදහසින් වසර දෙක තුනකට පසු ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය රජයට ද ණයක් දී ඇතැයි මෙරට ඇතැම් නායකයෝ ආඩම්බරයෙන් කියති.
එහෙත් ඉන්පසු ගතවූ කාලය තුළ මෙරට විදේශ ණය ක්‍රමයෙන් ඉහළ ගොස් 2022 දී මෙරට බංකොලොත්භාවයට පත්විය. මෙය ගෝඨාභය රාජපක්ෂ මහතාට පමණක් දෝෂාරෝපණය කළ හැකි ප්‍රශ්නයක් නොවේ. 1980 ගණන්වල සිට මෙරට ආණ්ඩුව කලින් ගත් ණයේ පොලිය ගෙවන්නට පොලියට ණය ගත්තේය.
නිෂ්පාදන ආර්ථිකයක් හා අපනයනය ඉලක්ක කර ගත් ආර්ථිකයක් පිළිබඳ මෙරට නායකයෝ දශක ගණනාවක සිට කතා කරති. දැනුදු ඉදිරියේ දී එවැන්නක් ගොඩනඟන බව කියමින් සිටිති. ආර්ථික අර්බුදයෙන් රට ගොඩගත් බව කියන වත්මන් ආණ්ඩුවද කර ඇත්තේ විදේශ ණය ගෙවීම නවත්වා ආනයනය නවත්වා, අලුතින් ලැබුණු ණය මුදල්වලින් හා විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ යොදා ඉන්ධන හා ගෑස් වැනි අත්‍යවශ්‍ය දෑ ගෙන්වාගෙන පෝලිම් නැති කිරීම විනා රට සංවර්ධනය කිරීම නොවේ. එවැන්නක ලකුණක් හෝ දක්නට නැත.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ගත් ණය ගෙවීම 2027 සිට ආරම්භ කළ යුතුය. 2028 සිට ද්විපාර්ශ්වික ණය ගෙවීම යළි ආරම්භ කළ යුතුය. ඒ සඳහා නිශ්චිත වැඩ පිළිවෙළක් අත්දැකීම් ඇති නැති කිසිවකු වෙත තිබෙන බවක් නොපෙනේ.
සුළු සුළු පරිපාලනමය ඉල්ලීම්වලට සීමා වී තිබූ ජනවාර්ගික ප්‍රශ්නය තිස් වසරක දරුණු යුද්ධයක් බවට පත්වීම වළක්වා ගැනීමට අත්දැකීම්වලින් පරිපූර්ණ වූ බව කියන නායකයන්හට නොහැකිවිය. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයේ සිටි ජනතා විමුක්ති පෙරමුණ කිසිදු හේතුවකින් තොරව තහනම් කොට කැරැල්ලක් නිර්මාණය කරගෙන එම කැරැල්ල මර්දනය කිරීමේ මුවාවෙන් හැට දහසකට පමණ ජීවිත අහිමි කළේ අත්දැකීම් ලත් නායකයෝය.
පසුගිය වසරේදී ට්‍රාන්සිපෙරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ දූෂණ දර්ශකයේ රටවල් 180 අතරින් ශ්‍රී ලංකාව සිටියේ 135 වැනි ස්ථානයේය. අවම දූෂිත රට පළමුවැනි ස්ථානයේ සිටින ලෙසත් වඩාත්ම දූෂිත රට 180 වැනි ලෙසත් මෙහි දී සැලකේ. මේ අත්දැකීම් ඇති පාලකයන් රටට අත්කර දුන් කීර්තියයි.
ආර්ථික අර්බුදයේ පීඩනය දරා ගත නොහැකිව 2022 නැඟී සිට ජනාධිපතිවරයා ද රටෙන් පළවා හළ ජනයා ඉල්ලා සිටියේ පැරණි සාම්ප්‍රදායික දූෂිත පාලනයම නොව අලුත් පාලනයකි. එහිදි අත්දැකීම් ද වැදගත් වන නමුත් ඔවුන් ඉල්ලා සිටියේ අවංක පාලනයකි.
(*** එම්.එස්.එම්. අයුබ්)