රට යළිත් විවෘත කෙරිණ. මෙහි ‘යළිත්’ යැයි සඳහන් කළේ වරින්වර රට වැසීමද යළිත් විවෘත වීම් ද සිදුවු හෙයිනි. රට විවෘත වූ ඒ සෑම අවස්ථාවකදීම ‘සියල්ල යහපත්’ යැයි සිතූ අනුවන පුරවැසියන් නිසා රට යළිත් වසා දැමීමට සිදුවිය. ඉතිහාසයයේ එකම දේ යළි යළිත් වන්නේ නම් එය ප්‍රහසනයක් නොව ඛේදවාචකයකි. එහෙයින් රට යළිත් වසා දැමීමට සිදු නොවන ලෙස කටයුතු කිරීමට සෑම පුරවැසියකු ඉදිරිපිටම බරපතළ වගකීමක් තිබේ. හාර ලක්ෂය ද ඉක්මවා ආසාදිතයන් වාර්තා වූ දොළොස් දහස් පන්සියය ද ඉක්මවා කොවිඩ් මරණ වාර්තා වූ රටක ජීවත්වන පුරවැසියාට එම වගකීම වටහා ගැනීම අසීරු නොවනු ඇත.
ඉකුත් අප්‍රේල් මාසය වන විට රටේ යම් තැන්පත් බවක් දක්නට ලැබිණි. ‘දිළිසෙන සියල්ල රත්‍රං නොවේ’. යන්න කියමනක් පමණක් නොව සත්‍යයකි. ‘‘ඇසට පෙනෙන සියල්ල සත්‍යනම් ලොවට විද්‍යාවක් අවශ්‍ය නොවන’’ බව ද එපමණටම ප්‍රත්‍යක්ෂ වූ සත්‍යයකි. එහෙත් අවශ්‍යම මොහොතේ බුද්ධිමත්ව කටයුතු නොකිරීම අනුවණයාගේ සිරිතය. එහෙයින් අප්‍රේල් මාසයේ දක්නට ලැබුණු කොරෝනා පසු බැසීම වසංගතය කෙළවර වී වසන්තය උදාවීම ලෙස වරවා වටහාගත් අනුවණයෝ රටපුරා දඩාවතේ ගියහ. ඒකාන්ත ප්‍රතිඵලය වූයේ අලුත් අවුරුදු පොකුරු බිහිවීමය. එතැන් පටන් කොවිඩ් මරණ වාර්තා වූයේ විදුලි වේගයෙනි. සැබැවින්ම අද හුස්ම ගන්නා සියල්ලෝම අහම්බෙන් දිවි ගලවා ගත්තෝ වෙති. සැබැවින්ම එය හාස්කමකි. ප්‍රාතිහාර්යයකි. එහෙයින්ම එළැඹ තිබෙන්නේ කිසිදු අත්වැරදීමකට හෝ ඉඩක් නොමැති මොහොතකි. මේ මොහොතේ සිදු කරන ඕනෑම වැරැද්දක් නියත වශයෙන්ම මරණයට අත වැනීමකි.
සීමා කිරීම් මැද රට විවෘත කරනු ලැබුවේ කොවිඩ් මාරාන්තික වයිරසයේ බලපෑම මුළුමනින්ම තුරන් වී ඇති නිසා නොවේ. වයිරසයේ යම් පසුබෑමක් ඇතිවී තිබෙන හෙයිනි. අපට හෙට දවස සම්බන්ධයෙන් අනාවැකි කිව නොහැකිය. යම් පසුබෑමකට ලක්ව තිබෙන වයිරසය හෙට දිනයේ දී රළ ගසා මහා ප්‍රවාහයක්ව මතු විය හැකිය. එහෙයින් උපරිම සෞඛ්‍යරක්ෂිත පිළිවෙත් අනුගමනය කිරීම සෑම පුරවැසියකුගේම වගකීමකි.
රට විවෘත කළ ද පළාත් සංචරණ සීමා ක්‍රියාත්මක වේ. අවමංගල උත්සවයකට සහභාගි විය හැකි උපරිම ගණන දහයකි. මංගල උත්සව පැවැත්විය නොහැකිය. සාද ජනහමු සංගීත සංදර්ශන මෙන්ම උපකාරක පන්ති තහනම්ය. බස් රථයක ගමන් කළ හැකි වන්නේ ආසන ගණනට පමණි. මෙම නීති අකුරටම පිළිපදින්නේ නම් මෙම නීති නැති රටක් ඉතා ඉක්මනින්ම උදාකර ගත හැකිය.
යතුරු පැදියක ගමන් කරන විට ‘හෙල්මටය’ පැළඳීම අනිවාර්ය වේ. එය නීතියකි. එම නීතිය කඩකරන්නේ නම් එය දඬුවම් ලැබිය හැකි දඩයක් අය කෙරෙන වරදකි. මෙම නීතිය පනවා තිබෙන්නේ යතුරුපැදිකරුවාගේ ජීවිතය බේරා දීමට මිස දඩ මුදල් අය කිරීමට නොවේ. එහෙත් ඇතැම් යතුරුපැදිකරුවෝ එසේ නොසිතති. ඔවුන් හෙල්මටය පළඳින්නේ පොලිස් නිලධාරියකු දුටුවිටය. මේ නිසාම රටට අහිමිවන තරුණ පරපුර කොපමණ ද යන්න මාධ්‍ය වාර්තාවලින් වුව ද ඔප්පු වේ.
රට විවෘත කිරීමේ දී පනවා ඇති සීමා ද එසේය. මේවා පනවා තිබෙන්නේ මහජනයාගේම ආරක්ෂාවටය. එසේ නොමැතිව වෙනත් අරමුණකින් නොවේ. හොර රහසේ මංගල උත්සව පැවැත්වූ සාද පැවැත්වූ අවස්ථා රට වසා දමා තිබූ සමයේ වාර්තා විය. නිරෝධායන ඇඳිරි නීතිය නොතකා මහා පිරිස් සහභාගි වූ අවමංගල උත්සව ද විය. එමෙන්ම හොර රහසේ උපකාරක පංති වැඩමුළු නැවැත් වූ අවස්ථා ද විය. එසේ පැවැත් වූ වැඩමුළුවකට රැස්වී සිටි දරුවන් විශාල පිරිසකට කොවිඩ් වැළ ඳී තිබූ බව පරීක්ෂණවල දී අනාවරණය විය. අවදානම නොසලකා උද්ඝෝෂණ ද පැවැත්විණි.
වගකීම යනු පවතින තත්ත්වය එයට හිමි නිසි බරින් හඳුනා ගැනීමය. අපි ඉන්දියාවේ තත්ත්වය අත්දුටුවෙමු. එය භාරතයේ විශාලා මහනුවරින් වෙනස් නොවීය. ගංගාවල මිනී පාවී ගියේය. මහ පාරවල්වල මළ සිරුරු දමනු ලැබීය. අසල්වැසියාගේ ඉරණම දැක දැකත් වගේ වගක් නැතිව සිටි අනුවණ පුරවැසියෝ අපේ රටේ කොරෝනා වගුර ගැඹුරු කළහ. මේ ඉතිහාසය අමතක නොකළ යුතුය. අපි සිරිතක් වශයෙන් බොහෝ දේ ඉක්මනින් අමතක කරන්නෙමු. එහි වන්දිය ගෙවීමට සිදුවන්නේ මුළු මහත් රටටමය. කෙනකුගේ වගකීමෙන් බැහැරවීම ඔහුට පමණක් නොව රටේ සෙස්සන්ට ද ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවන්නකි.
තමන්ගේ ජීවිතය රැඳී තිබෙන්නේ තමන්ගේ අතේ බව හොඳින් තේරුම් ගත යුතුය. ජීවිත ආරක්ෂා කරදීමට රජයට නොහැකිය. සෙස්සන්ට ද නොහැකිය. එහෙත් තමන්ගේ ජීවිත මෙන්ම අනුන්ගේ ජීවිත ද ආරක්ෂා කරදීමේ අනගිතම අවස්ථාවක් පුරවැසියන් ඉදිරිපිට තිබේ. එය ආශ්චර්යවත් අවස්ථාවකි. එයින් ප්‍රයෝජන ගැනීම පුරවැසියන්ගේ වගකීමය.
(***)