රට වෙනස් මගකට ගත් ජේ.ආර්. චින්තනය


හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 118 වැනි ඡන්ම දිනය අදට (17) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

ජයවර්ධන ජුනියස් රිචඩ් (1906-96): නීතිඥයෙකි. රාජ්‍ය මන්ත්‍රණ සභා මන්ත්‍රීවරයෙකි. රාජ්‍ය සභා අමාත්‍යවරයෙකි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ජනාධිපතිවරයෙකි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර රාජ්‍ය නීතිඥ ඊ.ඩබ්ලිව්. ජයවර්ධන මහතාගේ වැඩිමහල් පුත්‍රයා වන ඔහු උපන්නේ 1906  සැප්තැම්බර් 17 වැනිදාය. මූලික අධ්‍යාපනය සඳහා 1913 දී රාජකීය විද්‍යාලයට බැඳී ඉක්බිති 1925 දී ‘‘යුනිවසටි කොලිජියට ප්‍රවිෂ්ට තර්ක විද්‍යාව, ආර්ථික විද්‍යාව හා ලතින් භාෂාව හදාරමින් ශිෂ්‍ය අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ ව්‍යවස්ථා මාලාවක් ඇති කළේය.

දේශපාලනය ස්වකීය ජීවන වෘත්තිය වශයෙන් තෝරා ගත් ඔහු 1938 දී (සමකාලීන ස්වදේශික ප්‍රභූ සංවිධානයක්ව පැවැති) ‘‘ලංකා ජාතික සංගමයේ’’ සම ලේකම් පදවියට (ඩඩ්ලි සේනානායක හා) පත්වුණි.

ගාන්ධි, තගෝර්, බෝස් හා නේරු ආදීන්ගේ නායකත්වයෙන් යුක්තව බලවත්ව නැගුණු ඉන්දියානු නිදහස් ව්‍යපාරය සහ සම්බන්ධ වුණු ජයවර්ධන 1940 දී රාම් ගාර්හි පැවැත්වුණ ‘‘ඉන්දියානු  ජාතික මහා සංගම්’’  සම්මේලන වාරයට සහභාගි වූයේය. ඒ වර්ෂයේදීම කොළඹ නාගරික මැතිවරණයට ඉදිරිපත් වුණු ඔහු නැගෙනහිර නිව් බසාර් කොට්ඨාස මන්ත්‍රී වශයෙන් නිතරගයෙන් පත්විය.

දෙවැනි ලෝක සංග්‍රාමය කෙළවර වීමෙන් (1945) දේශපාලන නිදහස දිනා ගැනීමේ විශ්වාසය තහවුරුවත්ම, එයින් හිමි විය හැකි පාර්ලිමේන්තු ක්‍රමයට මුහුණ දීම සඳහා සංවිධානයක් වශයෙන් 1946  සැප්තැම්බර් 06 වැනිදා පිහිටුවුණු එක්සත් ජාතික පක්ෂයේ (රාසික් ෆරීඩ් සමඟ) සම භාණ්ඩාගාරික තනතුරට පත් වූයේ ජයවර්ධන මහතාය. ඒ සමගම පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රචාරක කටයුතු කාරක සභාවට පත් වූ ඔහු ප්‍රතිපත්ති මාලාවෙහි සංස්කාරක බවට ද තෝරා ගනු ලැබීය. පක්ෂයේ සම භාණ්ඩාගාරික තනතුර (1946-48) දැරීමෙන් පසු එහි භාණ්ඩාගාරික (1957-58) උප සභාපති (1954- 56),1958-72) සහ සභාපති (1973) යන තනතුරු ද හෙබවීය.

ජේ.ආර්. ජයවර්ධනයන්ගේ සේවය විශිෂ්ටත්වය පත් වන්නට වූයේ 1948 පෙබරවාරි 4 වෙනිදා ඩී.එස්. සේනානායක අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වයෙන් යුක්තව ආරම්භ වුණු නව නිදහස් පාර්ලිමේන්තුවේ පළමු මුදල් අමාත්‍ය වශයෙන් දිවුරුම්  දීමෙන් පසුවය. ඒ සේවා කාලය තුළ දී ඔහු ඉටු කළ ඉතා වැදගත් කටයුතු දෙකක් නම් මධ්‍යම බැංකුව පිහිටුවීම (1950) සහ කොළඹ  ක්‍රමය ආරම්භ කිරීමයි. අග්නිදිග ආසියාවේ නොදියුණු රටවල් සංවර්ධනය සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් දියුණු රටවල ආධාරය ලබා ගැනීමේ අරමුණින් යුත් මේ දෙවැන්න-කොළඹ ක්‍රමය අනුමත කර ගැනීම සඳහා අවස්ථාව ලැබුණේ ජනවාරියෙහි කොළඹ පැවැත්වුණු පොදු රාජ්‍ය මණ්ඩල විදේශ අමාත්‍ය සමුළුවේදීය. ඒ නව සංවිධානයේ උපදේශක කාරක සභාවේ සාමාජිකයකු වශයෙන්ද ජයවර්ධන මහතා පත් වූයේය.

මෙතුමා විශේෂ අන්තර්ජාතික  කීර්තියට පත්වූයේ 1951 දී ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ සැන් ෆැන්සිස්කෝ පුරවරයේ දී පවත්වන ලද සාම සම්මේලනයේදීය. ලංකා නියෝජිතයකු වශයෙන් එයට සහභාගි වුණු ඔහු දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පරාජයට පත් ජපානය ‘‘මිත්‍ර රාජ්‍යවලට’’ ගෙවිය යුතු වන්දිය පිළිබඳ සාකච්ඡාවේ දී ‘‘වෛරයෛන් වෛරය නොසංසිඳේ’’ යන බුදු වදනට  මුල් තැන දෙමින්  ඉදිරිපත් කළ දේශනයෙන් ඒ සම්මේලනයෙහි සාමාජිකත්ව දැරූ ජාතීන් පනස් පහක නියෝජිතයන්ගේ ආකල්ප පරිවර්තනයට පත් වූයෙන්, ජපානය ඒ දඬුවමෙන් සපුරා නිදහස් වූයේය. එපමණක් නොව ඒ රාජ්‍ය ඉදිරි කල්හිදී අධිවේගී ආර්ථික හා කාර්මික සංවර්ධනය සඳහා අවස්ථා ලද්දේ එයින් ස්ථාපිත වුණු අත්තිවාරම මතය. ලංකාවේ නමද බුදු දහමේ මහිමය ද වඩා පුළුල්ව නූතන ලොව පුරා එයින් පළවන්නට වූයේ මතු ද එතුමා ජපන් ජාතිකයන් අතරේ විශේෂ ගෞරවයට පත්වන්නට විය. එතුමාගේ නම සදා ජාතික සම්මානයට පාත්‍ර කිරීමේ අරමුණු ඇතිව ජපානයේ හා චියෝජි (hachioji) නගරයේ උන්රූජි (Unryuji) විහාරයේ එතුමාගේ ප්‍රතිමාවක් නිර්මාණය කර ඇත.

1956 අප්‍රේල් මාසයෙහි පැවැත්වුණු මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය තරග කළ පාර්ලිමේන්තු  ආසන 76 යෙන් ආසන අටක් පමණක් ලබා අන්ත පරාජයට පත්වීම, ජයවර්ධනගේ පෞරුෂත්වය උරගා බැලූ සිද්ධියක් විය. බොහෝ නායකයන් පරාජයට පත්ව පසු බා ගියෙන් ක්‍රියාකාරී නායකත්වයකට පත් ඔහු ඒ දැඩි අර්බුදකාරී තත්වයට අපරාජිතව මුහුණ දෙමින් වෘත්තීය සමිති ශක්තිමත් කිරීමට සාමාජිකත්වය වඩා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී අත්තිවාරමක් මත පුළුල් කිරීමට, පක්ෂයේ ‘‘සියරට’’ පත්‍රයේ අලෙවිය (500 සිට 20,000තෙක්) වැඩි කිරීමට හැකි සියලු පියවර ගනිමින් පක්ෂය තුළ සමස්ත පුනර්ජීවයක් ඇති කළේය. පක්ෂ සංවිධානය කොතරම් තහවුරු බවකට පත් වූයේ ද යත්, ඉන්පසු සිව් මසකින් අගෝස්තුවේ දී, පැවැත්වුණු කොළඹ මහ නගර සභා මැතිවරණයෙන් (ආසන 29යෙන් ආසන 19ක්ම හිමිකර ගත්තේය.

සිංහලය රාජ්‍ය භාෂාව වීම (1956) මූලික කරගෙන මේ සමයෙහි පැන නැඟුණු  නොසන්සුන්කම් හා සම්බන්ධ අත්සන් කරන ලද බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුමට විරුද්ධව මහජන මතයක් ගොඩනැංවීමේ අපේක්ෂාවෙන් ජයවර්ධන (මහනුවර කරා) ආරම්භ කළ පා ගමනට (1957) එල්ල වුණු බාධා කිරීම් නිසා අත්හිටුවීය. එහෙත් ඒ ගමනෙහි ප්‍රතිඵල වශයෙන් ඒ ගිවිසුම අවලංගු කරන ලද්දේය.

විපක්ෂයේ සිටිමින් යළිත් ස්වකීය පක්ෂයේ වෘත්තීය කාන්තා සහ තරුණ සමිති සංවිධාන ශක්තිමත් කිරීමට එතුමත් සමත් වූයෙන් 1965 මැතිවරණයෙන් දකුණු කොළඹ ආසනය නිතරගයෙන් දිනා යළිත් පක්ෂයේ ජයග්‍රහණයට මං පෑදීය. අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායකගේ නායකත්වයෙන් යුත් පාර්ලිමේන්තුවේ රාජ්‍ය අමාත්‍ය වශයෙන් පත් වූ එතුමා විශේෂ අවධානය  යොමු කරන්නට වූයේ සංචාරක කටයුතු සංවර්ධනය කිරීමේ අරමුණින් දෙපාර්තමේන්තුවක්, මණ්ඩලයක් හා හෝටල් සංස්ථාවක් පිහිටුවීම සඳහාය. 1966  දී ගුවන් විදුලි සේවය සංස්ථාවක් බවට පත් කළ එතුමා අගමැති තනතුරෙහි ද වැඩ බැලීය. ඌන සංවර්ධිත රාජ්‍යවල සංවර්ධනයට හිත දුන් ‘‘77 කණ්ඩායමේ ’’  ඇල්ජියර්ස් රැස්වීමට ද අන්තර් ජාතික වෙළඳාම්  සංවර්ධනය සඳහා නවදිල්ලියේ පැවති (උන්ක්ටාඩ් UNCTAD) රැස්වීමට ද 1967 දී හා 1968 දී ලංකා නියෝජිතයා වශයෙන් සහභාගි විය.

1970 මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය පරාජය වුවද ජයවර්ධන මහතා වැඩි ඡන්ද 20,000කින් දකුණු කොළඹ ආසනය දිනා ගත්තේය. විපක්ෂ නායක තනතුරට පත් ඔහු රජයේ කටයුතු අතරින් ජනසෙත සඳහා පියවරවලට සහයෝගය දිය යුතු බව පැවසීමෙන් පක්ෂ නායක ඩඩ්ලි සේනානායක  හා මත ගැටුමකට එළඹිණි. 1973 අප්‍රේල් මස සේනානායක දිවංගත වීමෙන් පක්ෂ නායක  තනතුරට  පත් ජේ.ආර්. එහි කටයුතු තවත් ප්‍රජාතන්ත්‍රකරණයට පත් කරමින් ‘‘රුපියලේ අරමුදල’’ ආරම්භ කෙළේය. තවද රජය මගින් හදිසි නීතිය පවත්වාගෙන යෑම අදහස් ප්‍රකාශන අයිතිය සීමා කිරීම සහ ආහාර හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සොයා ගැනීමට අසිරුවීම ගැනද ඒ කෙරෙහි මහජන අවධානය යොමු කිරීම සඳහා සිය පක්ෂය යෙදුණු සත්‍යග්‍රහ කටයුතුවලට රජය තර්ජන එල්ල කිරීම ගැනද මහජන ඇස යොමු කිරීමේ අරමුණින් ස්වකීය ආසනයෙන් ඉල්ලා අස් වී (1975) ඔහු යළිත් ඉදිරිපත්ව කිසිදු ප්‍රචාරක රැස්වීමක් නොපවත්වා වැඩි ඡන්ද 26000කින් ජයග්‍රහණය කෙළේය.

1982 ඔක්තෝබරයේ පැවැති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය ලද අනතුරුව නවදිල්ලියේ පැවැති හත්වැනි නොබැඳි ජාතීන්ගේ සමුළුවට, ඩොමිනියන් රාජ්‍ය නායක සමුළුවට (1983 සහ බැංගලෝරය නගරයේ පැවැත්වුණු සාක් සමුළුවට (1986) සහභාගී වූ අතර බහරේන්, මිසරය, ඉතාලිය (1983) මහජන චීන සමූහාණ්ඩුව රාජ්‍ය, එක්සත් ජනපද රාජ්‍ය, කොරියානු ජන රජය, එක්සත් රාජධානිය, ජපානය (19848 ඉස්ලාමික පාකිස්ථාන ජනරජය (1985) ආදි රාජ්‍ය චාරිකාවල එතුමා යෙදුණේය.

මේ කාලසීමාවේ මුල් හය වසර නූතන ශ්‍රී ලංකාවේ සංවර්ධන වේගය අපූර්ව  සේ දියුණුවට පත් කාලපරිච්ඡේදයක්  වශයෙන් පිළිගැනේ. ජල සම්පාදන කටයුතු ව්‍යාප්ත වූයෙන් කෘෂි නිෂ්පාදන දියුණුවට පත්විණි. නව කර්මාන්ත ආයතන බිහිවන්නට වීමෙන්  නිෂ්පාදන තත්වය  වැඩි දියුණු විය. නව බැංකු  ඇරඹිණි. මූල්‍ය කටයුතු වර්ධනයට විණි. බාහිර වාණිජ ක්ෂේත්‍රයෙහි සුබදායක ප්‍රවර්ධන පහළවනු පෙනිණ. ආයෝජනය තුන් ගුණයකින් දියුණු වූ අතර විශේෂයෙන්ම කඩිනම් (පස් අවුරුදු) මහවැලි ව්‍යාපාරය ආරම්භවීමෙන් විරැකියා සංඛ්‍යාව අඩකින් අඩුවිය. විශාල ජලාශ සමූහයකින් යුක්ත වූ මේ මහා පරිමාණ ව්‍යාපෘති පිළිබඳ ප්‍රධාන කටයුතු කෙළවර වීමෙන් දිවයිනෙහි අනාගත සංවර්ධනය සඳහා ඉමහත් විදුලි බලයක් නිෂ්පාදනය වන්නට විය. වියළි කලාපයේ පුරාණ වැව් නොකඩවා පිරී පවතින්නට වූයෙන් ද නව වැව් බිහි  වීමෙන් ද එහි නව ජනාවාස ඇතිවිණි. ගොවි නිෂ්පාදන ප්‍රමාණය වැඩිවිණි. නව කර්මාන්ත ආයතන වැඩි වැඩියෙන් බිහිවීමෙන් සමස්ත වර්ධන වේගය දෙගුණ විය.  යුනෙස්කෝ ශ්‍රී ලංකා සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘති ආරම්භ වීම හේතු කොට ගෙන පුරා විද්‍යා ක්ෂේත්‍රයේ අපූර්ව දියුණුවකට මග පැදිණි.

1984 දී ස්වාධීන විශ්වවිද්‍යාලයක් බවට පත් වුණු රුහුණ විශ්වවිද්‍යාල මණ්ඩපය 1978 දී ආරම්භ කරන ලදී. දැඩි තරගකාරිත්වය ආර්ථික දුබලතා ආදි අපහසුකම් නිසා සාම්ප්‍රදායික විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට අවස්ථාවක් නොලද එහෙත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා උනන්දුවක් ද දැඩි ඕනෑ කමක්ද දැක් වූ විද්‍යාර්ථිනට උසස් අධ්‍යාපනය ලැබීමේ වරප්‍රසාදය හිමි වන්නට වූයේ එතුමා විසින් 1980 දී විවෘත විශ්වවිද්‍යාල ආරම්භ කරනු ලැබීමෙනි. පාසල් අධ්‍යාපනයෙහි ප්‍රවර්ධනය සඳහා මේ සමයෙහිදී ගන්නා ලද වැදගත් පියවරක් නම් කියවන පොත් පමණක් නොව, ඇඳුම් පවා සියලු  ශිෂ්‍ය  ශිෂ්‍යාවනට, නොමිලේ සැපයීමය.

පෙර සඳහන් කරන ලද සද්කාර්ය හේතු කොට ගෙන ජපන් රාජ්‍යයෙහි ආශිර්වාදය දිනා සිටි ජයවර්ධන ඒ රාජ්‍යයේ පිහිට ඇතිව ඇරැඹූ මහා පරිමාණයේ නව ආයතන තුනකි. එයින් පළමු වැන්න නම් 1982 පෙබරවාරියෙහි ආරම්භ කළ ජාතික රූපවාහිනියයි. ස්වදේශ සන්නිවේදන කාර්ය විශ්ව තාක්ෂණික තත්වයට නැංවූ ඒ නව ආයතනද, ඇඳන් 1001කින් යුක්තව ශ්‍රී ජයවර්ධනපුරය කෝට්ටේ පිහිටුවන ලද නව රෝහල (1984) ද ඒ රාජ්‍යයෙන් පිරිනමන ලද පරිත්‍යාග වෙයි. තෙවැන්න නම් මේ නගරයෙහිම පිහිටුවන ලද නව පාර්ලිමේන්තුවයි. (1982 අප්‍රේල්) ඒ හේතුකොට ගෙන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී ලංකාවේ පරිපාලන අගනුවර බවට පත්විණි.

1989 සිට ක්‍රියාත්මක දේශපාලනයෙන් බැහැරව කල් ගෙවූ 1996.11.01 අභාවප්‍රාප්ත වූ මේ රාජය නායකයාගේ අදාහන කටයුතු ස්වකීය දින පොතේ සටහන් කරන ලද අයුරින් කැලණි පූජා භූමිය අසල දී  රාජ්‍ය ගෞරව සහිතව සිදු කරනු ලැබීය.

ජයවර්ධන ජනාධිපතිතුමා ජාතියෙන් සමුගෙන වසර ගණනක් ගතවී ඇතත් ගෙවී ඇත. එහෙත් තවමත් ශ්‍රී ලංකාව පාලනය වන්නේ එතුමාගේ මොළයේ මහිමයෙන්ය. වර්තමානයේ පාලකයන් රට පාලනය කරන්නේත්, එතුමාගේ ආනුභාවයෙනි. ජේ.ආර්. චින්තනය අබිබවා යාමට මේ වනතුරුත් කිසිවකුට හැකියාව ලැබී නැත.

(*** පී.ඇම්. සේනාරත්න )