රටට අහිමි වූ අසහාය බැලරිනාව වජිරා


ජගත් නර්තන කලාව හා සමසුන් ගත හැකි විශිෂ්ට නර්තන කලාවක් බිහිකළ අසහාය බැලරිනාව - වජිරා චිත්‍රසේන අද (25) ජාතියෙන් සමුගෙන යන්නීය. ඇය පුරා වසර හැටකට අධික කාලයක් ශ්‍රී ලාංකේය මුද්‍රා නාට්‍ය කලාව සුපෝෂණය කළාය.

මීරියම් පීරිස් චන්ද්‍රලේඛා වැනි ශිල්පිනීන් පුරුෂ රංග වස්ත්‍රයෙන් සැරසී උඩරට නර්තනාංග ඉදිරිපත් කළ අවදියේදී චිත්‍රසේනගේ රාවණා මුද්‍රා නාට්‍යයෙන් ප්‍රථම වරට කාන්තා රංග වස්ත්‍රයෙන් සැරසී නර්තනයේ නියැළි ප්‍රථම නර්තනාංගනාව වජිරාය.

එතැන් පටන් ශ්‍රී ලාංකේය මුද්‍රා නාට්‍ය කලාව පෝෂණය කරමින් අපේම යැයි කිව හැකි සිනිග්ධ නර්තන කලාවක් බිහි කිරීමෙහිලා චිත්‍රසේනයන්ට විස්මිත දායකත්වයක් ලබා දුන්නී ඇයයි.

ශාන්තිකර්මවලටත් යාගහෝම සහ දේව තෝත්‍රවලටත් පෙරහර මංගල්‍යයටත් සීමාවී තිබුණු අපේ නර්තන කලාව විදග්ධ විනෝදාස්වාද මාර්ගයක් බවට පත්කොට ජාත්‍යන්තර තලයට ගෙන යෑමෙහිලා ඇය චිත්‍රසේනට දැක්වූ සහයෝගය ඉතිහාසගතය.

ජන කලාවක් ලෙස බිහිවූ අපේ තර්තනය සියුම් භාව ප්‍රකාශනයෙහි සමත් මටසිලිටි සිනිග්ධ කලාවක් බවට පත් කිරීමට පමණක් නොව හුදෙක් නර්තනයෙන් පමණක් නොවේ නර්තනයේ සමත් කුසලතාපූර්ණ නර්තන ශිල්පීන් පරපුරක් බිහි කිරීමෙන් මාහැඟි මෙහෙවරක් ඉටු කළාය. ඇය ඊට සවිමත් පදනමක් තනා ගත්තේ මෙරට මුල් බැස තිබුණු ආචීර්ණ කල්පිත අදහස්වලට නොබියව මුහුණ දෙමින් මෙරට ප්‍රථම වෘත්තීය නර්තනවේදිනිය බවට පත්වෙමිනි.

අපේ පාරම්පරික නර්තනය හුදු නැටුමක් පමණි. එකී රංගනය භාව ප්‍රකාශනය හෝ අභිනය කෙරෙහි අවධානය යොමු වූයේ නැත. පූජා විධියකදී විනෝදාස්වාද මාර්ගයකදී තරම් කලාවේ සිනිග්ධ භාවයක් අපේක්ෂා නොකරේ. එහෙත් නූතන ප්‍රේක්ෂකයන් පිනවීමේදී විදග්ධ නර්තන කලාවකදී එසේ නොවේ. යාග මඩුවකට නූතන රංගයේදී මෙසේ ප්‍රබල ආලෝකයක් සමගද නොකෙරේ. එබැවින් සියුම් වෙස් ගැන්වීම් හෝ සියුම් භාව ප්‍රකාශන ප්‍රේක්ෂකයන් හඳුනා ගන්නේ නැත.

ගුරු චිත්‍රසේන නූතන පින්තූර රාමු කරළියට ගෙනාවේ විදග්ධ ප්‍රේක්ෂක සමූහයාට ආස්වාදය පිණිසය.

වජිරා නර්තනයට පිවිසුණේ 6 හැවිරිදි වියේදී කළුතර බාලිකා විද්‍යාලයේ සිප්සතර හදාරද්දීය. 1930 දී යොවුන් චිත්‍රසේන සහ චන්ද්‍රලේඛා කළුතර නගර ශාලාවේදී පෑ දස්කම් දුටු වජිරාගේ මව තම දියණිය නර්තනයට යොමු කිරීමට උනන්දු වීම නිසා ජගත් කීර්තියට පාත්‍ර වූ වජිරා නම් බැලරිනාව බිහිවිය.

කොල්ලුපිටියේ චිත්‍රසේන කලායතනය වූ කලී මෙරට බිහිවූ ක්ෂුද්‍ර  ශාන්ති නිකේතනයක් බඳු විය. එය වාසභූමිය කරගත් සුනිල් ශාන්ත – අමරදේව - ඩී.ආර්. පීරිස් - ප්‍රේමකුමාර එපිටවෙල - ගංගානාථ සෝමබන්දු - ආනන්ද සමරකෝන් - සරච්චන්ද්‍ර - ජෝර්ජ් කීට්, ඇල්විටිගල වැනි සංස්කෘතික යුග පුරුෂයෝ කලාව පිළිබඳව කතා කළහ. නිර්මාණ කළහ.

1949 දී ආනන්ද සමරකෝන් ගැයූ කුමුදිනී ගීතයෙන් මුසපත් වූ යොවුන් වජිරා ශ්‍රී ලංකාවේ ප්‍රථම ළමා මුද්‍රා නාට්‍යය ‘කුමුදිනී’ නමින්ම නිර්මාණය කරමින් නර්තන නිර්මාණකරණයේ අත්පොත් තැබුවාය.

චිත්‍රසේනයන්ගේ මාර්ගදේශකත්වයෙන්ද පාරම්පරික ගුරුන්නාන්සේලා ආශ්‍රයෙන්ද චිරාගත නර්තන කලාවේ නිපුණත්වය ලබා ජගත් කීර්තියට පත් වජිරා ජගත් ප්‍රේක්ෂකයන් පිනවීමට සමත් විශිෂ්ට නිර්මාණය ලෙස චිත්‍රසේන නිෂ්පාදනය ‘නළ-දමයන්ති’ මුද්‍රා නාට්‍යයේ හංසයාගේ දීර්ඝ නර්තනයේ නර්තන වින්‍යාසයෙන් ප්‍රේක්ෂකයන් මෙන්ම විචාරකයන්ද විස්මයට පත් කළාය. චිත්‍රසේනගේ චණ්ඩාලිකා - කරදිය ආදිය ලාලිත්‍යවත් රංග ලීලාවෙන් විභූෂණය කළ වජිරා නිර්මාණකරණයට පිවිස ළමා පරපුර වෙනුවෙන් හපනා, ගිනි හොරා, වන මල්, ඇන්ටිගනි වැනි මාහැඟි කෘති බිහිකර මාහැඟි නර්තන වින්‍යාස දක්ෂතා පෑවාය.

චිත්‍රසේන කලායතනයේ නර්තනය පමණක් නොව සංගීතය, රංග වස්ත්‍ර, රංගාභරණ, කරළිය අලංකාර ආලෝකකරණාදී සංකල්ප පිළිබඳ ලත් පරිචය නිර්මාණයක නිවහම් සහ පරිසමාප්තිය පිළිබඳ නොබඳ පුහුණුවක් ශිල්පීන්ට ලබා දුන්නාය.

1957දී සෝවියට් දේශයේ ක්‍රෙම්ලින් රංග පීඨයේදී නිකිතා කෘෂේප් ඉදිරියේ රැඟුම් පෑ ඇය චෙකොස්ලොවෙකියාව, පෝලන්තය. නැගෙනහිර ජර්මනිය, ප්‍රංශය, ඕලන්දය, සිංගප්පූරුව, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය, එංගලන්තය, ඉන්දියාව ආදී දේශ දේශාන්තරවලද සිය දස්කම් පෑවාය.

භාරතීය නාට්‍ය වේදයේ එන කෛලාසපති ශිව දේවියන් මෙන් තාණ්ඩව නර්තන කලාවේ අග්‍රගන්‍ය පෞරුෂය වූ කලාගුරු චිත්‍රසේනගේ නිර්මාණ අතර අග්‍රගන්‍ය නිර්මාණය වජිරා යැයි බටහිර කලා විචාරකයකු පවසා ඇත. අපේ චිරාගත නර්තන සමුප්‍රදායයෙහි නිපුණත්වය ලබන වජිරා යුරෝපයේ දියුණු බැලේ නර්තන කලාවේ චිචාරවත් ආභාෂය ජගත් ප්‍රේක්ෂකයන් පිනවීමෙහි සමත් රැඟුම් ඉදිරිපත් කර තිබේ. නළ-දමයන්ති හංස නර්තන වින්‍යාසයෙන්ද අසහාය රංගනය සුප්‍රකට Swam Lake  අබිබවා ගොස් ඇති බවද ඇතැම් විචාරකයෝ කියා සිටියහ. කරදියේ සිට චණ්ඩාලිකා මායා ලෙස ද පෑ නර්තන ලීලාවද අංග චලන හා අභිනය හා රසභාව ලීලාවද මෙරට නර්තන ශිල්පිනියක රංග මණ්ඩලයෙහි පෑ විස්කම් විස්මිතය.

වජිරා චිත්‍රසේනයන් හා විවාහප්‍රාප්ත වන්නේ වයස 18දීය. එතැන් සිට ගුරු චිත්‍රසේනගේ සෑම නිර්මාණයක්ම හාත්පසින්ද - මස්තකයෙහිද සිටින්නේ ඇයයි. ඔහුගේ ප්‍රථම ප්‍රේක්ෂිකාව ඇයයි. ඔහුගේ ප්‍රථම විචාරිකාව ඇයයි. චිත්‍රසේනයන්ගෙන් ඇය පෝෂණය වූ සේම ඇගෙන් චිත්‍රසේනයන්ද පෝෂණය වූ බව ප්‍රකටය.

චිත්‍රසේන කලායතනය අදත් අපේ පණ සේ සාම්ප්‍රදායික නර්තන කලාවේ කුළගෙය වන්නා සේම දියුණු බැලේ නර්තනයේ විචාරවත් … ආභාසය ලබන තෝන්තැන්න දවෙයි.

ඉකුත් 23 වැනිදා දැයෙන් සමු ගන්නා විට වජිරා 92 වැනි වියේ පසුවූවාය. භාරතයෙන් මහාර්ඝ කලාකරුවන්ට පමණක් පිදෙන පද්ම ශ්‍රී සම්මානයද, හිමිකරගත් චිත්‍රසේන වජිරා ස්වකීය පරම්පරා තුනක් නර්තන කලාවට ප්‍රදානය කර ඇත. උපේඛා, අංජලී, හේෂ්මා, තජතාංගනී  නියෝජනය කරනුයේ ඒ පරම්පරා තුනයි.

රුසියානු විචාරිකාවක වන ඇනා ඉලුපිනා ඉස්වෙස්ටියා පවසන පරිදි වජිරාගේ නර්තන නෙපුණ්‍ය ප්‍රශංසාව ඉක්මවා යන බවයි. ඇගේ සොඳුරු දිගැසින් හෙළන හැම බැල්මක්ම ඇගේ සිහින් දෙපය හා සිරුරේ හැම චලනයක්ම වර්ණනා කළ නොහෙන ලාලිත්‍යාභාසයෙන් පරිපූර්ණ බවය.

අපේ නර්තන කලාවේ අසහාය බැලරිනාව වජිරා චිත්‍රසේන අද නිහඬය. නිසලය. අභීෂ්ට රසික සමූහයාගේ ඇස ඇස කඳුළුය. සෝ සුසුම්ය.

කීර්තිශෙෂනාවෝපගත ඇගේ සිහිනි දේහය 2024 සැප්තැම්බර් 25 වැනිදා පෙරවරුවේ බොරැල්ලේ කනත්තේ සුසාන භූමියේදී භස්මාවශේෂ බවට පත්විය.

(*** ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී - තිලකරත්න කුරුවිටබණ්ඩාර)