2023 මහ බැංකු වාර්තාවට අනුව මෙරට කර්මාන්ත අංශය සියයට 9.2 කින් පහළ බැස ඇති බව දක්වේ. මෙම කාරණය සහ ඊට බලපා ඇති හේතු සැලකිල්ලට ගතහොත් මූලික වශයෙන් මෙරට ජාතික නිෂ්පාදිතයේ ප්‍රධාන වර්ගීකරණ හතර දෙස මුලින්ම අවධානය යොමු කළ හැකිය. එයින් ප්‍රාථමික අංශය හෙවත් කෘෂි අංශය පසුගිය වසර වනවිට සියයට 8.75 මට්ටමට අඩු වී තිබේ.
සරලව ගතහොත් රටක් සංවර්ධනය වන විට එහි සිදුවිය යුතු සාමාන්‍ය ක්‍රමවේදය වන්නේ ප්‍රාථමික අංශයේ දායකත්වය අඩු වී එය කර්මාන්ත අංශයට හුවමාරු වී කර්මාන්ත අංශයේ ප්‍රතිශතය වර්ධනයවී සේවා අංශයේ ප්‍රතිශතය වැඩිවීමයි.
පසුගිය වසර පනහක පමණ කාලයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සැලකිල්ලට ගතහොත් සේවා අංශයේ දායකත්වය සියයට 45 හෝ 50 ඉක්මවන අඛණ්ඩ වර්ධනයක් දැකිය හැකිය. එය දකුණු ආසියාවේ රටවල් අතර විශේෂතාවකි. 2012 වසරේ මෙරට සේවා අංශයේ දායකත්වය සියයට 54.2 කි. 2019 දී එය සියයට 55 දක්වා වර්ධනයක් දැකිය හැකිය. 2020 දී එහි අගය 57.74 කි. ඒ අනුව පෙනෙන්නේ මෙරට සේවා අංශයේ වර්ධනයක් සිදුවී ඇති බවය. විශේෂයෙන්ම අධ්‍යාපන, සෞඛ්‍ය, ප්‍රවාහන, වරාය, ආරක්ෂක සේවා වැනි අංශවල ආර්ථිකයේ වැඩිවීමක් පෙන්නුම් කරයි. ලෝකයේ වෙනත් සංවර්ධිත රටවල් සැලකිල්ලට ගනිමු. උදාහරණයකට ඇමෙරිකාවේ විශාල කෘෂි අංශයක් පැවතියත් එහි දායකත්වය ඇත්තේ දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට එකයි දශම පහක පමණ ප්‍රමාණයකි. එහෙත් ඇමෙරිකාවේ සේවා හා කර්මාන්ත අංශයේ කැපී පෙනෙන දායකත්වයක් දැකිය හැකිය. රටක් දියුණුවන විට කර්මාන්ත අංශයේ හා සේවා අංශයේ මෙබදු වර්ධනයක් අවශ්‍ය වේ.
ලංකා ආර්ථිකය දෙස අවධානය යොමු කළහොත් 1948 දී අප නිදහස ලබන විට මෙරට කෘෂි අංශයේ දායකත්වය සියයට 50 ක පමණ අගයකි. එහෙත් සේවා අංශයේ සහ කර්මාන්ත අංශයේ දායකත්වය පැවතියේ ඉතාම අල්ප මට්ටමකය. එයින් පැහැදිලිවන්නේ අප නිදහස ලබනවිට ප්‍රබල සේවා අංශයක් හා කර්මාන්ත අංශයක් මෙරට නොපැවැති බවය. අපට පැවතියේ පුළුල් කෘෂි අංශයක දායකත්වයකි. එහෙත් නිදහසින් පසු ලංකාවේ කෘෂි අංශයේ වගේම අධ්‍යාපන, පෝෂණ ප්‍රතිපත්ති, සංචාරක, ගුවන්සේවා, ආරක්ෂක ආදි ක්ෂේත්‍ර දියුණු කිරීම සඳහා විශාල සුබසාධන වියදමක් රජය විසින් දරනු ලැබ තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස එම අංශවල සැලකිය යුතු මට්ටමක වර්ධනයක් දැකිය හැකිය. එහෙත් ඒ දියුණුවත් සමග ආර්ථිකය වෙත ඒවා පවත්වාගෙන යෑමට අවශ්‍ය කර්මාන්ත අංශයේ ප්‍රවර්ධනයක් ප්‍රමාණාත්මක ලෙස ඇති කර ගැනීමට අප සමත් වූයේ නැත. ලංකා ආර්ථිකය සම්බන්ධයෙන් දැකිය හැකි ප්‍රධානතම ගැටලුව වන්නේ එයයි.
1994 වනවිට දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 35 ක පමණ දායකත්වයක් පැවතියේ කර්මාන්ත අංශයෙනි. එම මට්ටම මේ වන විට සියයට 28 දක්වා පහළ අගයක් ගෙන තිබේ. මේ අඩුවීම නිසාම ලංකා ආර්ථිකයට ඔරොත්තු දිය හැකි සේවා අංශයක් පවත්වාගෙන යාමට නොහැකිවීම ප්‍රධාන ගැටලුවක් බවට පත්ව තිබේ. මහාමාර්ග, වරාය, ජල විදුලිය, වැනි ඉදිකිරීම් අංශයෙන් ලබාදෙන උත්තේජනය කර්මාන්ත අංශයට වැදගත් වේ. කර්මාන්ත අංශය ගතහොත් මහාමාර්ග ආදිය අප ඉදිකරන්නේ ජාතික හා ලෝක වෙළෙඳපොළට සේවා සැපයීමේ අරමුණ ඇතිවය. ඒ සැපයුම සැලකිල්ලට ගතහොත් ලංකාවේ යම් වර්ධනයක් ඇති වුවත් කර්මාන්ත අංශයේ සැලකිය යුතු අපේක්ෂිත වර්ධනයක් දැකිය නොහැකිය.
මේ සඳහා බලපෑ හේතු කීපයක් හඳුනාගත හැකිය. එයින් එකක් නම් ලංකාවේ අධික බදු අය කිරීමය. එය කර්මාන්ත කඩාවැටීමට හේතුවකි. එසේම සේවක කුලිය, වැටුප්, අර්ථසාධක, විශ්‍රාම වැටුප් ආදි සේවක පිරිවැය ඉහළ මට්ටමක පැවතීමත් තවත් හේතුවකි. රටේ කම්කරු සාමය යහපත් මට්ටමක නොපැවැතීමත් තවත් කරුණකි.
සේවක වැඩවර්ජන, උද්ඝෝෂණ උපවාස ආදිය වැඩිවීම ද කර්මාන්ත අංශයේ කඩාවැටීමට බලපා තිබේ. පෞද්ගලික, අර්ධ රාජ්‍ය හෝ රාජ්‍ය ව්‍යාප්තිය සඳහා විවිධ අණපනත් බලපැවැත්වේ. ඒ සඳහා විශාල පිරිවැයක් දරන්නට සිදු වී තිබේ. සේවා ආයෝජන දිරිමත් නොවීමට එය බල පා ඇත. එබැවින් කම්කරු සාමය යහපත් නොවීමත් කර්මාන්ත අංශය අඩපණ වීමට විශේෂයෙන් බලපා ඇති බව මෙයින් පැහැදිලි වේ.
1994 න් පසු කාලය සලකා බලන විට අපගේ අවධානය වැඩි වශයෙන් යොමු වී ඇත්තේ කර්මාන්ත අංශයට වඩා සේවා සහ සුබ සාධන අංශ කෙරෙහිය. සුබසාධන අංශය වර්ධනය කරන්නට නම් විශාල බදු ආදායමක් සොයාගැනීමට රජයට සිදු වේ. එසේනම් ඒ බදු රජයට සොයා සපයා ගැනීමට සිදුවන්නේත් කර්මාන්ත අංශයේ නියුතුවූවන්ගෙන්මය. එයින් කර්මාන්ත අංශයට ඇතිවන පීඩනය තවදුරටත් වැඩි වේ. මේ කාරණා නිසා ව්‍යවසායකයන්ට සුදුසු පරිසරයක් පසුගිය අවුරුදු පහළොව පමණ කාලය තුළ හොඳ මට්ටමින් මේ රටේ නිර්මාණය වී නැති බව පැහැදිලිය. ජාතික නිෂ්පාදිතය වෙනුවෙන් කර්මාන්ත අංශයේ දායකත්වය අඩුවීමට බලපා ඇත්තේ මෙම පරිසරයයි.
එහෙත් ඉන්දියාව උදාහරණයකට ගතහොත් එය ස්ථාවර කාර්මික ප්‍රතිපත්තියක් පැවැති රටකි. කර්මාන්ත අංශයේ ශීඝ්‍ර දියුණුවක් අත් කර ගත් රටකි. එම ප්‍රතිපත්තිය තුළ කෘෂිකර්මය හා කර්මාන්ත ක්ෂේත්‍ර අතර සම්බන්ධයක් ඇති කරමින් ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීමට උනන්දු වූ බව පෙනේ. රටේ කෘෂිකර්මාන්තයට අවශ්‍ය කාර්මික නිෂ්පාදන හැම එකක්ම වගේ තම රටෙහිම නිෂ්පාදනය කරගැනීමට ඔවුහු කටයුතු කළහ. එහෙත් අපේ රටේ කෘෂිකර්මාන්තයට අවශ්‍ය බොහෝ දේවල් තවමත් ආනයනය කිරීමට අපි පුරුදුව සිටිමු.
මැලේසියාව, ඉන්දුනීසියාව, තායිලන්තය වැනි සෑම රටකම කර්මාන්ත අංශය සහ කෘෂිකර්මාන්තය එකිනෙකට සම්බන්ධ බව පැහැදිලිය. කර්මාන්ත අංශයට අවශ්‍ය වන යෙදවුම් අමුද්‍රව්‍ය ලබාදීම මේ අනුව කෘෂිකර්ම අංශයෙන් සිදු විය. උදාහරණයකට මැලේසියාව ඉන්දුනීසියාව වැනි රටවල් කරන්නේ රබර් ආශ්‍රිත නිෂ්පාදන සදහා අවශ්‍ය අමු ද්‍රව්‍ය රබර් කර්මාන්තයෙන් ලබා දීමය. අපේ රටේ බොහෝ විට කෙරෙන්නේ රබර් කිරි ප්‍රාථමික නිෂ්පාදනයක් ලෙස අපනයනය කිරීමය.
රට තුළ කර්මාන්ත අපනයනය කර ගත හැකි විදියේ නිෂ්පාදන ඇති කිරීම සඳහා කාර්මික වෙළෙඳපොළකට අවශ්‍ය වටපිටාව සැකසිය යුතුය. එහෙත් ඒ සඳහා අවශ්‍ය පරිසරය පසුගිය කාලයේ අපේ රටේ නිසි පරිදි සකස්වූ බවක් නොපෙනේ.
කොවිඩ් අර්බුදය හේතුවෙන් 2019, 2020, 2021 යන වසරවල මෙරට කර්මාන්ත අංශයේ බරපතළ කඩාවැටීමකට ලක් විය. නිෂ්පාදනයේදී විදේශ අමුද්‍රව්‍ය අපට ලබා ගැනීමේ සීමා විදේශ විනිමය හිඟ වීම, පිරිවැය අධික වීම ආදි කරුණු විදේශ ආයෝජන අඩපණ කිරීමට හේතු විය. මේ තත්වය කොළඹ වරාය නගරය ඉදිකිරීම ආදි ව්‍යාපෘතිවලදී බලපෑ බව පෙනේ. ඊට අමතරව රටේ පැවැති දේශපාලන අස්ථාවරභාවය ද කර්මාන්ත අංශයේ කඩාවැටීමට හේතු වූ ප්‍රධාන කරුණකි.
රටේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත, මහා පරිමාණ කර්මාන්ත ආදි හැම එකකම අව වර්ධනයවීමේ තත්වයක් එසේත් නැත්නම් හැකිළීමක් ඇතිවීමට මේ සියලු සාධක බලපා ඇතිබව අප මතක තබා ගත යුතුය.
ලංකාවේ දේශපාලන ස්ථවරත්වයක් ඇති කර, විදේශ ආයෝජන සඳහා ආකර්ෂණීය වටපිටාවක් නිර්මාණය කර, දේශීය මධ්‍ය පරිමාණ හා සුළු කර්මාන්ත වර්ධනය වන පසුබිමක් නිර්මාණය කිරීමෙන් විශාල සේවා නියුක්තියක් රට තුළ ඇති කළ හැකිය. පසුගිය අර්බුද සමයේ ලංකාවේ සේවා නියුක්තිය මිලියන දෙකකට ආසන්න වන සේ අස්ථාවරත්වයට පත් විය. ඉදිකිරීම් අංශය ද සැලකිය යුතු මට්ටමින් අර්බුදයට ලක් විය. අර්බුදයෙන් ගොඩ ඒමට නම් ඉදිකිරීම් අංශයත් කර්මාන්ත අංශයත් යන මේ දෙකම එකට නඟා සිටුවීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතුය. මේ අංශ දෙකම නැවත ස්ථාපිත කර ඊට අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා දේශපාලන ස්ථාවරත්වය ඇතිකොට ගතහොත් ලංකාවේ විශාල ශ්‍රම වෙළෙඳපොළක් නිර්මාණය කොටගත හැකිය.
සාර්ථක ශ්‍රම වෙළෙඳපොළක් ලංකාවේ නිර්මාණය කර ගැනීමට නම් එහි පළමු අවශ්‍යතාව දේශපාලන ස්ථාවරත්වය යි. දෙවැන්න ආර්ථික ස්ථාවරත්වය යි. තුන්වැන්න මිල මට්ටම යහපත් තත්වයෙන් පවත්වා ගැනීමයි. එසේම කාර්මික සාමය පාරිසරික වශයෙන් පුද්ගලයන් තුළ හා ආයතන මට්ටමින් තබා ගැනීම වැදගත් වේ. වියට්නාමය වසර ගණනාවක් පුරා යුද්ධයක් පැවැති රටකි. එහෙත් ඔවුහු කාර්මික සාමය තහවුරු කර ගනිමින් සිටිති. ඉන්දියාව නිතරම විදේශ ආයෝජන දිරිමත් කිරීමට පියවර ගත්තේය. එයින් ඔවුහු වේගවත් සංවර්ධනයක් ළඟා කරගත්හ. චීනය ද විදේශ ආයෝජනවලට විශේෂ තැනක් ලබාදුන් බව පෙනේ.
අප සාර්ථක ආර්ථික ඉලක්ක වෙත ළඟා වීමට නම් මුලින්ම ඊට අවශ්‍ය විශ්වසනීයත්වය ඉදිරි වසර දහයකට පහළොවකටවත් ඇති කර ගත යුතුය. ආයෝජකයන් ගේ සැලකිල්ල යොමුවන්නේ රටක ආර්ථිකය ස්ථාවර මට්ටමකට පත්වූ පසුවය. මෙහි මූලික කාරණාව කොටස් වෙළෙඳපොළ ය. ඍජු විදේශ ආයෝජන සඳහා ඒ පරිසරය අවශ්‍ය වේ. පසුගිය කාලය තුළ ඍජු ආයෝජන බොහොමයක් අපේ රටින් ඉවත්ව යාමක් දක්නට ලැබිණ. එසේම ණය අර්බුදයේ දී එය ගෙවාගත හැකි මට්ටමකට ආර්ථිකය ස්ථාවර කරගත යුතුය. ඒ සඳහා අපේ තිබෙන විදේශ සම්පත් ප්‍රමාණය වැඩිකරගත යුතුව ඇත. අපට අවශ්‍ය විදේශ සංචිත අඩුම වශයෙන් ඩොලර් බිලියන 12 ක් ඉක්මවන මට්ටමකට වැඩිකරගතහොත් එයින් විදේශ ආයෝජකයන් දිරිමත් කරගත හැකිය.
(*** සටහන – ගාමිණී කන්දේපොළ)