රටට හානිකර විධායක ජනපති ක්‍රමය


නීතියේ ආධිපත්‍යය යනු සියලු‍‍ම පුද්ගලයන්, ආයතන සහ සංවිධාන නීතියට යටත් බවත් එහි නිර්දේශවලට වගකිව යුතු බවත් සහතික කරන මූලික මූලධර්මයකි. එසේම රටක් පාලනය විය යුත්තේ දේශපාලන නායකයන්ගේ අභිමතය පරිදි හෝ ඔවුන්ගේ අත්තනෝමතික තීරණවලට හෝ අනුව නොව රටේ පවතින නීති අනුව බවද ඉන් අවධාරණය කරයි.

යම් සමාජයක ස්ථාවරත්වය, සාධාරණත්වය සහ දියුණුව සඳහා නීතියේ ආධිපත්‍යය අකුරටම ක්‍රියාත්මකවීම අත්‍යවශ්‍ය වෙයි. අයිතිවාසිකම් සහ නිදහස ආරක්ෂා කිරීම, නීතිය ඉදිරියේ සියල්ලන්ම සමාන බව තහවුරු කිරීම, නීතියේ නිර්දේශවලට වගවීම, දැයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය, ආර්ථික සංවර්ධනය ඇතුළු මෙකී නොකී කරුණු සංරක්‍ෂණය වී සහතික වන්නේ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමෙන් පමණි. ඒ අනුව ශිෂ්ට සමාජයක අනිවාර්ය මූලික කුලු‍නක් ලෙසින් නීතියේ ආධිපත්‍යය සඳහන් කළ හැකිය.

නීතියේ ආධිපත්‍යයට ගරු නොකරන හා අවනත නොවන ජන සමාජයකට විවිධ ඉසව්වල බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්නට සිදුවනු ඇත.

දේශයක යහනාමය සහ එහි ජනසමාජයේ දිගු කාලීන පැවැත්මද රඳා පවතින්නේ නීතියේ ආධිපත්‍යය මත වන හෙයින් එහි වැදගත්කම ගැන පුන පුනා කීම අවශ්‍ය නොවේ. කෙටියෙන් ගත්කල නීතියේ ආධිපත්‍යය නොමැතිවීම යනු සියලු‍ම ව්‍යසනවල උල්පත යැයි කිව හැකිය.

සියුම් ලෙස නිරීක්‍ෂණය කළ විට පෙනී යන සත්‍යයක් නම් ලංකාවේ නීතියේ ආධිපත්‍යය හීන වන්නට පටන් ගත්තේ 1978 විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දීමෙන් පසුව බවයි. එයින් දශකයකට පමණ පසුව සිට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුය යන මහජන උද්ඝෝෂණය ඉහළ යමින් තිබෙන්නේ එබැවිනි. සියලු‍‍ම ජනාධිපති අපේක්‍ෂකයන්ම පාහේ  විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට පොරොන්දු වූ නමුත් ඒ කිසිවෙක් බලයට පත් වූ පසු එම පොරොන්දුව ඉටු කළේ නැත. මෙයට හේතුව බලයට පත් වූ පසු විධායක ජනාධිපති ක්‍රමය මගින් ලැබෙන අසීමිත බලය අත් හැරීමට ඔවුන්ගේ සිත නොදෙන හෙයිනි.

මෑත කාලයේ ලොව විවිධ රටවල පාලනය හිමි වූවන්ගෙන් බහුතරයක් විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල නායකයන් සාමාන්‍ය ජනතාවගේ ප්‍රශංසාව සඳහා ඇති දැඩි කැමැත්ත වැනි දේ පෙන්නුම් කරයි. එනමුත් ඔවුන් ප්‍රදර්ශනය කරන්නට තැත් කරන්නේ තමන් සාමාන්‍ය ප්‍රජාවකගේ අව්‍යාජ ප්‍රතිරූපයකැයි කියාය.

 මෙවන් දේශපාලනඥයෝ නීතිය පසිඳලන ආයතනවලට සිය රාජකාරිය ස්වාධීනව සහ මධ්‍යස්ථව ඉටු කරන්නට ඉඩ නොදෙති. විශේෂයෙන් තමන්ගේ වාසියට සහ ලාබයට අභියෝග එල්ලවන විට කිසිසේත් ඔවුහු එයට අවසර නොදෙති.

නීතියේ ආධිපත්‍යය සැබෑවක් කිරීම විෂයෙහි විශාලතම කාර්යභාරය ඇත්තේ දේශපාලනාධිකාරිය වෙතය. මන්ද නීතියේ ආධිපත්‍යය අදාළ වන මහජන සේවයේ සියලු‍ම පැතිකඩ පාලනය කරන්නේ සහ පසුව හොට දමන්නේ’ ඔවුන් වන හෙයිනි. ඇතැම් සිදුවීම් දෙස බලනවිට නීතියේ ආධිපත්‍යයට මෙරට ඇති භයානක තර්ජනය අපට වටහා ගත හැකිය.

මෙම ශෝචනීය තත්වයේ වරද දේශපාලනඥයන්ට පමණක් පැටවීම සාධාරණ නැත. රජයේ ආයතනවල සේවය කරන්නන් ද, නිලධාරීන් ද මෙයට වගකිව යුතුය. රජයේ කාර්යාලයකින් ලොකු හෝ කුඩා වැඩක් හෝ කර ගන්නට දේශපාලනඥයකුගේ හෝ රජයේ ආයතනයක හෝ උසස් නිලධාරියකුගෙන් හෝ ලැබෙන දුරකතන පණිවිඩයක් එසේත් නැතිනම් ලියුම් කෑල්ලක් යනු එම වැඩය කිසිදු කරදරයකින් තොරව වහා කර ගන්නට පිහිට වන මැජික් ලාම්පුවක් වැනිය. මෙයට අමතර ‘‘ජරාව’’ යැයි ප්‍රකට මේසය යටින් සිදු වන මුදල් හුවමාරුවක් ද නොවරදින ප්‍රතිකර්මයකි. මෙම අක්‍රමිකතා වර්තමානයෙහි සාමාන්‍ය දෙයක්’ ලෙසින්ම  පොදුවේ පිළිගෙන තිබීම රටේ කරුමයකි.

නීත්‍යානුකූල පිළියම් ස්වරූපයෙන් මේ සඳහා ප්‍රමාණවත් ආරක්‍ෂාව පවතින බවට ඇතැමුන් තර්ක කරන්නට හැකිය. ප්‍රභූ පන්තිය කෙසේ වෙතත් සාමාන්‍ය පුරවැසියකුගේ ප්‍රධානතම අවශ්‍යතාව වන්නේ තම කාර්ය හැකිතාක් ඉක්මනින් ඉටු කර ගැනීමයි. මෙයට අමතරව නඩු පැවරීමේ පිරිවැය සහ අනෙකුත් දේ බාධක ලෙස පවතියි.

අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට සිය රාජකාරී කටයුතු කරගෙන යාමේ දී මුහුණ දීමට සිදු වූ අනිසි දේශපාලන බලපෑම්වලට ඔරොත්තු දීම හේතුවෙන් ඇය මුහුණ දුන් හා උපහාසයට ලක් වූ සහ දේශපාලනික න්‍යාය පත්‍ර මගින් ඉදිරිපත් කරනු ලැබූ දෝෂාභියෝග ක්‍රියාවලිය ජනතාවට තවමත් අමතක වී නැත. ආත්මාර්ථකාමී දේශපාලනඥයන් රාජ්‍ය සේවකයන්ට සහ මහජනතාවට දුන් හිංසාව එකී උදාහරණයෙන් පැහැදිලි විය.

අනවශ්‍ය දේශපාලන මැදිහත්වීම්වලින් සහනයක් සෙවීමට සරල, කඩිනම් සහ වියදම් කෝණයෙන් සහනදායි ක්‍රියාවලියක් තුළ මහජන සේවා ලබා දීමට සහ ලබා ගැනීමට රාජ්‍ය සේවකයන්ට සහ මහජනතාවට එවන් ඵලදායී ඔම්බුඩ්ස්මන්වර යාන්ත්‍රණයක් තිබිය යුතුය.

අප රට නිදහස ලැබීමෙන් පසු වාර්ගික ප්‍රශ්න මත පදනම් වූ නොසන්සුන්තා සහ ගැටුම් ගණනාවක්ම දැක ඇත. එවැනි ගැටුම් සඳහා මූලික හේතුව විවේචනාත්මකව විශ්ලේෂණය කරන විට පෙනී යන්නේ එය අන් කිසිවක් නොව නීතිය ඉදිරියේ වෙනස් කොට සැලකීම සහ නීතිය සමාන ලෙසින් පසිඳලන නොලද්දේය යන ජනතා මැසිවිල්ලයි. නීතියේ ආධිපත්‍යය තිබෙන විට එම රටේ සාමය, දේශපාලන ස්ථාවර බව මෙන්ම ආර්ථික සංවර්ධනය ද දැකිය හැකි වනු ඇත. සිංගප්පූරුව සහ මැලේසියාව මේ සඳහා වන කදිම නිදසුන් වේ.

යම් ජන කොටසකට තමා වාසය කරන රටේ නීතියේ ආධිපත්‍යය නොපවතින බවක් සහ නීතිය ඉදිරියේ සමානාත්මතාවක් තමන්ට නොමැති බවක් පෙනී යන විට ඔවුන් තුළ බලාපොරොත්තු සුන්වීමක් සහ කොන් කරනු ලබන හැඟීමක් රෝපණය වනු ඇත. නීතිය ක්‍රියාත්මක කරන ආයතන, අධිකරණය සහ දේශපාලන අධිකාරීන් කෙරෙහි කලකිරීමක් ඇති වේ. එවිට සහනය සඳහා තමන්ගේම පිරිස්වලට ඔවුන් යොමු වනු ඇත. මෙය රජයට එරෙහිව සිදු කරන ජනවර්ග පදනම් කරගත් අරගලවලට බලකිරීම්වලට දොරටුව  විවෘත කිරීමක් වැනිය.

නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම වර්ගවාදය රෝපණය විය හැකි ඉඩ කඩ තුරන් කරනු ඇත.

නීතිය ඉදිරියේ සියල්ලන්ම සාමානය යන හැඟීම සහ තමන් අන් සියලු‍ ජනකොටස් සේම සමාන අයිතිය ඇති ප්‍රජාවන්ය යන හැඟීම මෙන්ම තමන් අන් කිසිවකුට වඩා උසස් හෝ පහත් හෝ නොවන්නේය යන හැඟීම රටේ සියලු‍‍ පුරවැසියන්ට විශේෂයෙන් සුළු ජන කොටස්වලට තිබිය යුතුය. එය වෙනුවට යම් ජනකොටසකට තමන්ට හිමි අයිතිවාසිකම් ලැබෙන්නේ නැතැයි සහ නීත්‍යානුකූලව තමන්ට ලැබිය යුතු දේ ලබා ගැනීමට තමන්ට නොහැකිය යැයි හැගෙනවිට, ඒ සඳහා විකල්ප මං සොයන්නට ඔවුහු පෙළඹෙති.

මෙම පෙළඹීම අවම වශයෙන් සුළු ජනකොටස් සඳහා වන ප්‍රදේශයේ දේශපාලන පක්‍ෂ, පාසල්, සමිති, සංවිධාන සහ ව්‍යාපාර බිහිවීමට මග පාදනු ඇත. මෙසේ ස්ථාපිත වන පක්‍ෂ සහ ආයතන සුදුසුකම් පසෙකලා තම ජනකොටස නියෝජනය වන ජනගහණ ප්‍රතිශතය අනුව තමන්ට දේශපාලන සහ රජයේ පත්වීම් ලැබිය යුතු යැයි රජයට බලපෑම් කරන්නට පුළුවන. මෙසේ කල කිරුණ ජනකොටසක් අවිචාරවත් ඉල්ලීම් ඉදිරිපත් කරමින් මුරණ්ඩු වනවිට රටේ ස්ථාවරත්වයට සහ දියුණුවට මෙන්ම අත්‍යන්තයෙහි එය සමස්ත ජනතාවටම සෘණාත්මක ලෙසින් බලපානු ඇත.

අමාත්‍ය ධුර සහ ඉහළ තනතුරු ඇතුළු රාජ්‍ය පත්වීම් ලබාදීමේ දී ජනවර්ගයක් නොසලකා හැර හෝ ඔවුන් කොන් කළ යුතුය යන්න මෙයින් අදහස් නොවේ. නීතියේ ආධිපත්‍යය සහතික කිරීම සහ විවිධ ආගමික හා සංස්කෘතික අංශ සහ සංවේදීතාවලට ගරු කිරීම සහ හඳුනා ගැනීම අතර වෙනස වටහා ගත යුතුය යැයි පුන පුනා අවධාරණය කිරීම අවශ්‍ය නොවේ යයි සිතමි.

මා අවධාරණය කරන කාරණාව කුමක්ද යත් මූලික නිර්ණායක විය යුත්තේ නීතියේ ආධිපත්‍යය සහ විනිවිද පෙනෙන විද්‍යාත්මක ක්‍රමයක් තිබිය යුතු බව හා මැති ඇමැතිවරුන් සහ නිලධාරීන් තෝරා ගැනීම, සම්පත් බෙදාහැරීම ඇතුළු සියලු‍‍ම පොදු කටයුතු පාලනය කිරීම සඳහා එය ක්‍රියාත්මක විය යුතුය යන්න, මිස ඡන්ද ඇතුළු වෙනත් අයථා වාසි තකා ජනවර්ගයක් සතුටු කිරීමේ ක්‍රමවේදයක් නොවේ.

නීතියේ ආධිපත්‍යයේ පරිසරයක් නිර්මාණය වූ විට ජාතිවාදයට සහ වර්ගවාදයට ඇති සියලු‍‍ මං ඇහිරෙනු ඇත. වාර්ගික පක්‍ෂවල හා ආයතනවල අවශ්‍යතාව ද නැති වී යනු ඇති බවත්, සියලු‍‍ පුරවැසියන්ට ආත්ම ගෞරවයේ හැඟීමක් දැනෙනු ඇති බවත් මගේ විශ්වාසයයි. එවිට සියලු‍ ජන කොටස් අතර තමන් ලාංකිකයන්ය යන අභිමානවත් එක්සත් හැඟීම ඉස්මතු වනු ඇත.

නීතියේ ආධිපත්‍යය සහ විධායක ජනාධිපති ක්‍රමය

ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමයට අනුපූරක බලතල වෙනුවට පරිපූරක බලතල ඇති තාක් කල් නීතියේ ආධිපත්‍යය සම්පූර්ණයෙන් සාක්ෂාත් කරගත නොහැකිය. ජනාධිපතිවරයාට පමණට වඩා බලාධිකාරියක් ඇති ක්‍රමවේදයක් තුළ බලය අනිසි ලෙස භාවිත කිරීමේ අවදානම ද ඇතුළත්ව නීතිමය ආයතන යටපත් කිරීම සහ වගවීම නොමැතිකම වැනි අවදානම් වැඩි වනු ඇත. එනිසා නීතියේ සැබෑ ආධිපත්‍යය සාක්ෂාත් කර ගැනීම සඳහා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුය. කිසිදු නායකයකු නීතියට ඉහළින් නොසිටින බවත් ප්‍රජාතන්ත්‍රවාදී සංචරණ සහ තුලනය ඵලදායී ලෙස පවත්වාගෙන යන බවට සහතික විය යුතුය.

අපේ මාතෘභූමිය නැවත වරක් ස්ථාවර සාමකාමී සහ සමෘද්ධිමත් රටක් බවට පත් කිරීම සඳහා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර නීතියේ ආධිපත්‍යය යථා තත්වයට පත් කළ යුතුය.

(***)