රටෙන් බාගයක්ම සමෘද්ධියට වැටීම


සමෘද්ධිය උදාවනවා, සමෘද්ධිමත් වෙනවා යන්නෙහි ප්‍රකාශිත අර්ථය වන්නේ දියුණුව ලබනවා, ප්‍රගතිය කරා පිවිසෙනවා යන්නයි. එහෙත් වර්තමානයේ එක් නාම විශේෂණයකින් දැක්වෙන ‘සමෘද්ධිය’ යනු මීට වඩා හාත්පසින් ප්‍රතිවිරුද්ධ අරුතක් ප්‍රකට කරන්නකි. ඒ අනුව සමෘද්ධිය යනු දුප්පතාගේ යැපුම් මට්ටම දියුණු කරන එක්තරා රාජ්‍ය ව්‍යාපෘතියකි. මේ රට සමෘද්ධිලාභීන් යනුවෙන් හැඳින්වෙන ජන කොට්ඨාසයක් නිර්මාණය වූයේද මෙකී සමෘද්ධි ව්‍යාපෘතිය නිසාය. මෙම විග්‍රහයෙන් පෙනෙන්නේ සමෘද්ධිය උදාවීමට හාත්පසින්ම වෙනස් ක්‍රියාවලියක් සමෘද්ධියට වැටෙන සමාජය අත්දකින බවයි. මෙලෙස සමෘද්ධිය ගැන අවධානය දැක්වීමට සිදුවූයේ අපගේ සහෝදර දේශය පුවත්පතේ පසුගිය සතියේ පළ වූ ප්‍රධාන පුවත නිසාය. එහි දැක්වුණේ රටෙන් බාගයක් සමෘද්ධියට වැටෙයි යන තොරතුරය. මේ පුවතේ සමස්ත අර්ථය ගත් කල එයින් ගම්‍ය වන්නේ රටේ මුළු ජනගහනයෙන් හරි අඩක්ම දුප්පත්කමේ රේඛාවෙන් පහළට තල්ලු‍ වී ඇති බවයි. සමෘද්ධිමත් වීමත්, සමෘද්ධියට වැටීමත් අතර ඇති වාච්‍යාර්ථමය වෙනස එයයි.

පසුගිය කාලයේ හටගත් ආර්ථික අවපාතමය තත්ත්වය නිසා සමාජයේ බරපතළ කඩා වැටීමක් සිදුවිය. මෙහි බලපෑම දැඩිවම දැනුණේ රටේ දිළිඳුම ජන කොට්ඨාසයටයි. මේ වනවිට රටේ ආහාර අංශයේ උද්ධමනය සියයට95 කි. රටේ සාමාන්‍ය උද්ධමනය සියයට 70 කට ළඟා වී ඇත. ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය  සියයට57කි. මෙලෙස උද්ධමනය ඉහළ යාමට ප්‍රධාන හේතුව කිරිපිටි, සහල්, පරිප්පු, සීනි ආදියෙහි මිල ගණන් ඉහළ යාම බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. භාණ්ඩ හා සේවාවන්හි මිල මට්ටම් ඉහළ යාමට සාපේක්ෂව ජනතාවගේ ආදායම වර්ධනය වූයේ නැත. මෙරට වාර්ෂික ඒකපුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර්වලින් 3815 ක් බව සඳහන් වුවත් රටේ ආදායම් බෙදීයාමේ විෂමතාව නිසා මුළු ජනගහනයෙන් හරි අඩක්ම රජයේ සහනාධාරවලින් යැපෙන මට්ටමට පත්ව සිටියි. මෙරට සමස්ත ජනගහනය ලක්ෂ 222 කි. එම සංඛ්‍යාව පවුල් වශයෙන් ගත් විට පවුල් ලක්ෂ 17ක් දැනටමත් සමෘද්ධි සහනාධාර ලබති. ඒ අතර ඉදිරි කාලයේ සමෘද්ධි ආධාර ඉල්ලා පොරොත්තු ලේඛනගත වී සිටින පවුල් ගණන හත්ලක්ෂ විසිහය දහසකි. මෙම එක් පවුලක 4 දෙනකු බැගින් සිටියහොත් එම සංඛ්‍යාව ලක්ෂ 100කට ආසන්නය. යම් හෙයකින් පවුලේ සාමාජිකයන් 4 දෙනාට වැඩි වුවහොත් සමෘද්ධි අපේක්ෂකයන්ගේ ගණන ලක්ෂ 100 ද ඉක්මවනු ඇත.

මෙය බෙහෙවින් දුක්බර ඛේදජනක කතාවකි. රටෙන් බාගයක් අන්ත දුප්පතුන් බවට පත්වූ යුගයක් මෑත ඉතිහාසයේ අපට වාර්තා නොවීය. මෙම ජන කොටසට රජය විසින් සමෘද්ධි සහනාධාර සැපයුවත් දිනෙන් දින රටේ ආර්ථිකය සංකෝචනය වෙමින් අන්ත දුප්පතාට තිබෙන හව්හරණ අහිමි කිරීම පවත්නා අර්බුදය වඩාත් තීව්‍ර කරයි. උදාහරණ ලෙස පසුගිය පළමුවැනිදා සිට රජය ක්‍රියාත්මක කළ සියයට 2.5ක සමාජ ආරක්ෂණ බද්දෙන් දිළින්දන් අන්ත දිළින්දන් බවට පත්වන බවට තර්ක මතු වී තිබේ. මෙම සමාජ ආරක්ෂණ බද්දෙන් දිළින්දන් නන්නත්තාර වූයේ කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් මත අවම වශයෙන් වාර තුනක් හෝ ඊට වැඩි වාර ගණනක් (ද්විත්ව බදුකරණයට යටත්ව) මෙම බද්ද ක්‍රියාත්මක වන බැවිනි. ඒ අනුව ප්‍රකාශිත සියයට2.5 ක සමාජ ආරක්ෂණ බදු අනුපාතය අප්‍රකාශිතව සියයට 7.5 ක් හෝ සියයට 10 ක් වන තරමට ජාතික ආර්ථික දේහය වෙලාගෙන ඇත.

අපේ රටේ අනාගතය බාරගන්නට සිටින දරු පරපුර මෙම දුක්ඛිත තත්ත්වයෙන් වඩාත් පීඩාවට පත්ව සිටින බව නොරහසකි. ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ අනුපාතය මහ ඉහළ අගයක් ගන්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානය, යුනිසෙෆ් ආදී සංවිධාන ගණනාවක්ම ප්‍රකාශයට පත් කර ඇත. අප යට සඳහන් කළ සංඛ්‍යාන දත්ත අනුව පවුල් විසි හතර ලක්ෂ විසිහය දහසක් පමණ සමෘද්ධිලාභීන් හෝ සමෘද්ධි අපේක්ෂකයන් වී තිබේ. මෙම පවුල් විසි හතර ලක්ෂ විසිහය දහසේ දෙමව්පියන් සිටින්නේ ලක්ෂ 48 කි. සෙසු ලක්ෂ 48 ක් පමණ අපේ දරු පරපුර නියෝජනය කරයි. එය රටේ සමස්ත ජනගහනයෙන් හතරෙන් එකක්  නියෝජනයකි. මෙතරම් විශාල දරු පරපුරක් මන්දපෝෂණයෙන් පෙළීම සම්බන්ධයෙන් අද සමාජයේ පවතින්නේ විවාදයකි.

අප වෙත වාර්තා වන ආකාරයට ඉදිරි 2023 වසර වෙනුවෙන් රජය ඉදිරිපත් කරන්නට යන අයවැයෙන්ද මේ පීඩිත සමාජයට අපේක්ෂිත සහන ලැබෙන පාටක් නැත. අයවැයේ ප්‍රධාන ඉලක්කය නව බදු ආදිය පැනවීමෙන් රාජ්‍ය ආදායම් ඉලක්ක සපුරා ගැනීමයි. එහෙත් දිළිඳුකමේ රේඛාවෙන් පහළ සිටින සමාජයට සහන සැලසිය යුතු බව අපට මුල්‍ය පාලනය ගැන දැන් කොන්දේසි පනවන ජාත්‍යන්තර සංවිධාන පවා පිළිගෙන තිබේ. එබැවින් එම ඉඩකඩ හෝ උපයෝගී කරගෙන රටේ දිළිඳුම සමාජයටත් යාන්තම් යැපුම් මට්ටමින් දිවිගෙවන පහළ මධ්‍යම පන්තියටත් කිසියම් සහනයක් සැලසිය යුතුය. කෙසේ වුවද ලෝකයාට ණය වී අපේ ජනතාවට කන්නදීම පිළිගත නොහැකිය. අප මේ අන්ත දිළිඳු තත්ත්වයට පත්ව සිටින්නේ වියදමට අවශ්‍ය මුදල් උපයා නොගෙන ණයට සල්ලි අරන් කන්නදීමේ වින්නැහිය නිසා ය.

(***)