ප්‍රවීණ මාධ්‍යවේදී රත්නපාල ගමගේ රචනා කළ ‘රණබිමක පන්හිඳ’ කෘතිය පසුගියදා එළිදැක්වුණි. යුද සමයේදී මාධ්‍යවේදියකු ලෙස ඔහු ලැබූ අත්දැකීම් මෙසේ කෘතියට එක්ව ඇත. ඔහු සමඟ මේ කතාබහ ඒ පිළිබඳවයි.
♦ සමාජ දේශපාලනික වශයෙන් තීරණාත්මක කාලයක මාධ්‍ය ජීවිතයේ ඔබ ලැබූ අත්දැකීම් කෘතියක් ලෙස සංග්‍රහ කිරීමට ඔබ කල්පනා කළේ ඇයි?
මේ අත්දැකීම් පොතකට ගන්න ඕනෑ කියන අදහස ලංකාදීප කර්තෘ මණ්ඩලයේ ඉන්න කාලෙත් ස්විස්ටර්ලන්තයට පැමිණි පසුවත් මගේ හිතේ තිබුණා. ඒත් ලියන්න තරම් කිසිම උත්තේජනයක් තිබුණේ නෑ. කොවිඩ් වසංගතය පැමිණි කාලයේ පරිසරය තුළ මම කාමරයටම කොටු වෙලයි හිටියෙ. ඒ කාලය තුළයි මා මේ කෘතිය ලියන්න පටන් ගත්තෙ. එහෙම බැලුවාම කොවිඩ් වසංගතය වෙස් වලාගත් ආශිර්වාදයක් බවට පත්වුණා.
ලංකාදීප පුවත්පතේ සේවය කරන කාලයේ තුන්වැනි ඊලාම් යුද්ධයේ ත්‍රාසජනක තොරතුරු පාඨකයන්ට ගෙන එන්නට අපට අවස්ථාව ලැබුණා. මේ ග්‍රන්ථයට ඇතුළත් වන්නේ එහිදී ලියූ තීරු ලිපි එකතුවයි. වර්තමාන පරපුරේ මාධ්‍යවේදීන්ට එවැනි අත්දැකීමක් අත්විඳින්නට අවස්ථාව සැලසෙන එකක් නැහැ. එහෙම අවස්ථාවක් ලැබෙන්නත් එපා. ඒ අත්දැකීම් පොදු සමාජයේ පාඨක ලෝකයාටත් දැනගන්න මේ කෘතියෙන් අවස්ථාව ලැබෙනවා.
♦ මේ කෘතියේ මතු කෙරෙන තොරතුරුවලින් මෙරට එක්තරා යුගයක සමාජ දේශපාලන ආර්ථික හා සංස්කෘතික තොරතුරු රැසක් ද අනාවරණය කෙරෙනවා. ඒ අනුව මෙම කෘතිය එම යුගයේම එක් හරස්කඩක් ලෙස සැලකිය හැකියි. මේ ගැන ඔබේ අවධානය කෙබඳුද?
මේ කෘතියට ඇතුළත් වන්නේ 90-2000 දශකවල තොරතුරුයි. දෙවැනි සහ තුන්වැනි ඊලාම් යුද්ධ තමයි අපට වාර්තා කරන්න ලැබුණෙ. ඒ අනුව හමුදා ප්‍රධානීන්ගේ සහ යුද සෙබළුන්ගේ කැප කිරීමයි ඔවුන්ගේ දුක් කඳුළුයි තමයි මෙලෙස පාඨකයන් ඉදිරියට ගෙනාවෙ. කොකාවිල්, අලිමංකඩ, යාපනය, පුනරීන් ආදි සටන්වල ස්වභාවයත් දෙමළ – සිංහල ජනයා එයින් ලද අත්දැකීම් ආදියත් මගේ නිරීක්ෂණයට ලක්වුණා. ඒවායින් එකල සමාජ දේශපාලන සංස්කෘතික කාරණාත් හෙළිදරව් වෙනවා.
මගේ අදහස නම් මේ කාරණා දෙමළ ජනතාවත් දැනගත යුතු බවයි. ඒ නිසාම මා බලාපොරොත්තු වෙනවා මෙම කෘතිය දෙමළ බසින් ද ප්‍රකාශයට පත් කරන්නට.
♦ අපේ රටේ මෑත කාලයේ යුද සාහිත්‍යය පිළිබඳව ඇතිවූ උනන්දුව කෙබඳුද? ලෝක යුද සාහිත්‍යයට සමගාමීව එහි ඔබ දකින තත්ත්වය බෙඳුද?
අපේ රටේ යුද සාහිත්‍යය වර්ධනය වී ඇති අන්දම ප්‍රමාණවත් යැයි කියන්න අමාරුයි. යුද වීරත්වය මතු කරන යම් යම් කලා නිර්මාණ නැතුවාම නොවෙයි. සිනමාවත් එක්ක බැලුවාම යුද සාහිත්‍ය සම්බන්ධ සාහිත්‍ය කෘති ලියැවී ඇත්තේ අවම මට්ටමින්. එකක් තමයි තරුණ ලේඛකයන්ට මේ අත්දැකීම් සමීප නොවීම. ඒත් කිහිප දෙනෙක් ඒ අත්දැකීම් ඇසුරින් යම් නිර්මාණාත්මක වෑයමක යෙදී සිටිනවා. අපේ තරුණ ලේඛකයන් බොහෝ දෙනා ගෘංගාරය තමයි සොයාගෙන යන්නෙ.
ලෝක යුද සාහිත්‍යයට සමගාමීව අපේ රටේ යුද සාහිත්‍යය බැලුවොත් අපේ යුද සාහිත්‍යය හරියට අලුත උපන් නොමේරූ බිලිඳෙක් වගේ.
♦ අපේ සාහිත්‍යය තුළ බොහෝ විට සාකච්ඡාවට ගැනෙන්නෙ නවකතා, කෙටිකතා, පද්‍ය වැනි නිර්මාණාත්මක කෘති පමණයි. මෙබඳු සමාජ විමර්ශන පිළිබඳ සාහිත්‍යයේ ඇති අඩු අවධානය ගැන ඔබ මොකද හිතන්නෙ?
අපේ නවකතා කෙටිකතා පද්‍ය වැනි නිර්මාණ බිහිවන්නේ ගෘංගාරය විරහව වැනි පාඨකයන් වඩා කැමති අංශ තෝරාගෙනයි. රූප පෙට්ටිවල ටෙලිනාට්‍ය දිහා බලන්න. ඒවායේ තියෙන්නේ බොළඳ ප්‍රේම කතා පමණයි. චිත්‍රපටිත් බහුතරයක් එහෙමයි. ඒ කොහොම වුණත් දියුණු පාඨක පිරිසක් අපට ඉන්නවා. ඒත් ඔවුන්ට ලංකාවේ තියෙන ආර්ථික වපසරියට කිට්ටු වෙන්නවත් බෑ. රටේ ආර්ථිකය පාඨක සමාජය දැඩිව පලපානවා.
ප්‍රවීණ මාධ්‍යවේදී රත්නපාල ගමගේ