ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී ඇත. ඒ නිමිත්තෙන් මෙම ලිපිය පළ වේ.
ඉස්ලාම් ධර්මයේ ප්‍රධාන වගකීම් පහෙන් ප්‍රධානතම වගකීමක් වන මාසයක් උපාවසය සුරැකීමෙන් පසුව එළැඹෙන පළමු වැනි දිනය ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව ඊදුල් ෆිත්ර් නම් රමසාන් උත්සවය සමරති.
ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව සමඟ එක්වී ලාංකික මුස්ලිම් ජනතාවද අද දිනයේ රමසාන් උත්සවය සමරති. ඉස්ලාම් ධර්මයේ පවතින ප්‍රධාන වගකීමක් වන පුරා මාසයක් උපවාසය සුරැකීමෙන් පසුව එළැඹෙන දිනය රමසාන් හෙවත් ඊදුල් ෆිත්ර් උත්සව දිනයයි. පුරා මාසයක් නිරාහාරව සිට අල්ලාහ් දෙවියන් වහන්සේ වෙනුවෙන් දිවා රෑ නැමදීම්වල නිරත වූ ජනතාව වෙනුවෙන් දෙවියන් විසින් ලබා දුන් තෑග්ගක් ලෙසද රමසාන් උත්සව දිනය හැඳින්වේ. මෙදින අලුයම අවදිවන සියලු මුස්ලිම් බැතිමතුන් දිය නා පිරිසුදුව අලුත් ඇඳුම් හෝ තමන් සතුව ඇති පිරිසුදු ඇඳුමක් හැඳ ආගමික වතාවත්වල නියැළීමෙන් රමසාන් සැමරේ.
ඉස්ලාම් ධර්මය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ ශුද්ධ වූ අල් කුරාණය සහ නබි තුමන්ගේ හදීස තුළය. ශුද්ධ වූ අල් කුරාණය සඳහන් කරන ආකාරයට ඉස්ලාම් ධර්මය ආරම්භ වන්නේ ලොව පළමුවන මිනිසා වූ ආදම් නබි තුමන්ගෙනි. ස්වර්ගයේ සිට මෙලොවට බිහිවූ ආදම් තුමන් ඉස්ලාම් දහම අනුව ලොව පළමුවන මිනිසා මෙන්ම පළමුවන වක්තෘවරයාණෝ වෙති. උන් වහන්සේගේ ඉල ඇටයකින් හව්වා තුමිය මවා මෙලොව මිනිස් පරපුර බිහි කළ බවද ඉස්ලාමය කියයි. ආදම් නබි තුමන්ගෙන් පටන් එක් ලක්ෂ විසි හතර දහසක් වක්තෘවරුන් මෙලොවට පැමිණ තම තමන් ජීවත්ව සිටි කාලය තුළ පැවැති සමාජය යහමඟට ගැනීමට වෙහෙස වූ බව ඉස්ලාමය කියයි. එම භාරධූර කාර්යය මුහම්මද් නබි තුමාණන් සම්පූර්ණ කළ බවද එතුමන්ගෙන් පසුව කිසිඳු වක්තෘවරයකු නොපැමිණෙන බවද ඉස්ලාම් ධර්මයේ ඉගැන්වීමයි.
ඉස්ලාම් ධර්මය පදනම්ව ඇත්තේ මූලික කරුණු පහක් මතය. ඉස්ලාම් ධර්මය රඳා පවතින ප්‍රධාන කුළුණු පහක් ලෙස එය හැදින්විය හැකිය. එහි පළමුවැන්න විශ්වාසයයි අල්ලාහ් දෙවියන් වහන්සේ විශ්වාස කිරීම සහ දෙවියන් වහන්සේගේ දූතයාණන් වන මුහම්මද් නබි තුමාණන් විශ්වාස කිරීම වෙයි. මෙම විශ්වාස අතර තවත් අතුරු විශ්වාස රැසක්ද පිළිපැදීමට මුස්ලිම්වරු බැඳී සිටිති.
දිනකට පස් වේලක් සලාතය ඉටු කිරීම දෙවැන්න වන අතර තෙවැන්න රමසාන් මස පුරා මාසයක්ම උපවාසය සුරැකීමය.සිව් වැන්න දුප්පත් ජනතාව වෙනුවෙන් තමන් සතු දේපළවලින් සියයට දෙකමාරක දුගී බද්දක් ලබා දෙන සකාතය වන අතර අවසන් වගකීම වනුයේ මක්කමට ගොස් හජ් වන්දනය ඉටු කිරීමය.
මෙම වගකීම් පහෙන් සකාත් හෙවත් දුගී බද්ද ලබා දීමත් හජ් වන්දනය ඉටු කිරීමත් යන දෙක යමක් කමක් ඇති උදවියට පමණක් අනිවාර්ය වන අතර අනෙකුත් වගකීම් තුන සියලු දෙනාට අනිවාර්ය වෙයි.
මෙම වගකීම් අතුරින් තුන් වන වගකීමවන පුරා මාසයක උපවාසය සුරැකීමෙන් පසුව එළැඹෙන දිනයේ හෙවත් රමසාන් උත්සව දිනය මුස්ලිම් ජනතාව සතුටින් සමරති. ඉස්ලාමීය ක්‍රමය අනුව සියල්ල සිදු කරනු ලබන්නේ හිරු සඳු සහ තාරකා මුල්කරගෙන ය. ඒ අනුව රමසාන් උත්සවය තීරණය කරන්නේද සඳ දැකීමෙනි. රමසාන් මස උපවාස දින 29 ක් සම්පූර්ණ කිරීමෙන් පසුව එළැඹෙන සවස් කාලයේදී සඳ බැලීම සිදු කරන අතර එදින සඳ දිස් වුවහොත් පමණක් පසු දින රමසාන් උත්සවය සමරන අතර එසේ නොවුණහොත් දින 30 ක් ම උපවාසය සම්පූර්ණ කර රමසාන් උත්සවය සමරයි.
පුරා මාසයක් දිවා කාලයේ නිරාහාරව සිට උපවාසය සුරකින ලෙස ඉස්ලාමය කියන්නේ පුළුල් අර්ථයක් ඇතිවය. ලෝකයේ විවිධ තරාතිරම්වල පුද්ගලයන් !ජීවත් වෙති. ඇතැමෙක් බොහෝ ආදායම් උපයමින් සුපෝඛභෝගී ජීවිත ගත කරන අතර තවත් පිරිසක් දිනකට එක වේලක් හෝ නිසි ආහාරයක් නොමැතිව ජීවිතය ගත කරති. එවන් වූ කෝටි සංඛ්‍යාත දුප්පත් අසරණ මිනිසුන්ගේ කුසගින්න වටහා ගැනීම මෙහි ප්‍රධාන අරමුණය. තමන්ටද කුසගින්න දැනීමත් සමඟ එවන් දුප්පත් ජනතාවට තමන් සතු දේපළෙන් ඉස්ලාමය කියන සියයට දෙක හමාරේ දුගී බද්ද සහ එයට අමතරව තව තවත් ආධාර කිසිඳු පැකිළීමකින් තොරව ලබා දීමට පෙළැඹවීමක්ද මෙයින් බලපොරොත්තු වෙයි.
ඊදුල් ෆිත්ර් නම් වන මෙම රමසාන්උත්සවය තුළ සුවිශාල ලබැඳියාවන් බැඳී පවතී. සැබැවින්ම මෙය ප්‍රීතිමත් උත්සවයක් බව ඉස්ලාමය කියයි. එම නිසා එදින ඔබ අසල ජීවත් වන කිසිවකුත් කුසට අහරක් නැතිව නොසිටිය යුතු බව ද ඉස්ලාමය කියයි. තමන්ගේ අසල්වැසියකුට ඒවා ලබා ගැනීමට ආපහසුතාවක් වේ නම් ඔවුන්ට ඒවා සපයා දීම අසල්වැසි සියලු දෙනාගේ වගකීමක් ලෙස ද ඉස්ලාමය කියයි.
වර්තමානයේ අපේ රටේ පමණක් නොව ලෝකය පුරා විශාල ආර්ථික අර්බුදයක් පවතී. ලෝකයේ දියුණු මෙන්ම ශක්තිමත් රටවල්වලට එය තදින් නොදැනුණත් අප ජීවත් වන ලංකාව වැනි දුප්පත් රටකට එය ඉතා තදින් දැනෙයි. මෙවන් අවස්ථාවන් ඇති නොවීමටද ඉස්ලාමය යම් යම් කරුණු පෙන්වා දෙයි. ඉස්ලාමය සඳහන් කරන සියයට දෙක හමාරේ දුගී ජනතාව වෙත ලබා දෙන බද්දද එවන් එකකි. තමන් ගේ එදිනෙදා භාවිතයට ගන්නා දේපළ හැර අනෙකුත් සියලු දේපළවලින් සියයට දෙක හමාරක් ලබා දීම මෙයින් අදහස් කෙරෙයි. මෙලෙස දුප්පත් ජනතාව වෙත ආධාර ලබා දීම මගින් අදහස් කෙරෙන්නේ ඔවුන් එම මුදල උපයෝගී කර ගෙන ජීවිතය ජය ගන්නට මඟ පාදා ගැනීමය.
රමසාන් උත්සව දිනයේදී මුස්ලිම්වරුන්ගේ ප්‍රධාන කාර්යභාරය වනුයේ එදින දිය නා පිරිසුදුව නව ඇඳුම් හෝ තමන් සතුව ඇති පිරිසුදු ඇඳුම ඇඳ ආගමික කටයුතුවල නියැළීමය. ඉන් පසුව තම මවුපියන් , සහෝදර සහෝදරියන් ඥාතීන් හමු වී සුහදව එදින ඉතිරි කාලය ගත කිරීමද මෙදින බලාපොරොත්තුවය. එමගින් ඥාතීන් සහෝදරයන් සහ පවුලේ සාමාජිකයන් අතර යම් හිත් අමනාපකම් පවතී නම් ඒවා නැති කර ගැනීම මෙයින් අදහස් කෙරේ.
උපවාස මාසය තුළ එළැඹී ගෙවී ගිය උපවාසයේ 27 වැනිදා රාත්‍රිය ඉස්ලාම් ධර්මය සඳහන් කරන ආකාරයට මුස්ලිම්වරුන්ට ඉතා වැදගත් රාත්‍රියකි. පුරා මාසයකට ආසන්න කාලයක් උපවාසය සුරැකීමෙන් පසුව එදින රාත්‍රියේ දෙවියන් වහන්සේගෙන් කරනු ලබන සියලු යහපත් ඉල්ලීම් දෙවියන් වහන්සේ ඉටු කර දෙන බවට විශ්වාස කෙරේ. මෙවර එළැඹුණ ඒ උතුම් රාත්‍රිය පුරා මුස්ලිම් බැතිමතුන් බොහෝ පිරිසක් නිදි වර්ජිතව දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටියේ අප රට වර්තමානයේ මුහුණ පාන සියලු අර්බුදවලින් ගොඩ ගෙන ජනතාවට යළි සුඛිත මුදිත දිවියක් ගත කරන්නට අවස්ථාව උදා කර දෙන ලෙසයි. ඒ උතුම් වූ ප්‍රාර්ථනාව අල්ලාහ් දෙවියන් වහන්සේ විසින් ඉටු කර දෙනු ඇතැයි සියලු දෙනාගේ අපේක්ෂාවය. ඔබ සැමට සුබ රමසාන් උත්සවයක් වේවා (ඊද් මුබාරක්)
(*** සටහන -මොහොමඩ් ආසික්)