කොරෝනා මර්දන මෙහෙයුමෙහි නිරතව සිටියදීම මාධ්‍ය ඇමතූ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය ඇමැතිවරිය දානපතියන්ගෙන් ඉල්ලා සිටියේ “හැකි පමණින් ළඟම ඇති රෝහලට උදව් උපකාර, පරිත්‍යාග කරන” ලෙසය. එය එක් අතකින් දිනෙන් දින ඇවිළී යමින් මහා ගිනි ජාලාවක් බවට පත්ව තිබෙන කොරෝනා ගෝලීය වසංගතයේ හොර බිරම් බව කියාපෑමකි. අනිත් අතට අප රටෙහි ආර්ථික තත්ත්වය සිතුවමකට නැගීමකි.
අප රට නිදහස ලබා හැත්තෑ දෙවසරකි. මෙම වසර හැත්තෑ දෙක දෙස ආපසු හැරී බැලීමේදී දක්නට ලැබෙන ප්‍රගති වාර්තාව එතරම් යහපත් නැත යන්න අවිවාදිත සත්‍යයකි. අපට මෙයට වඩා ආර්ථික සශ්‍රීකත්වයක් හා සංවර්ධනයක් අත්පත් කරගත හැකිව තිබූ බව යථාර්ථය වේ. එහෙත් ඒ වෙනුවට නිර්මාණය වී තිබෙන්නේ උපනූපන් පරම්පරාවන් ද ලෝකයට ණය කළ පරාධීන හා පරපෝෂිත ආර්ථිකයක් සහිත රටකි. ඛේදනීය ඇත්ත එයය.
රටට මෙම විනම්බෑසිය අත්වූයේ ඇයි ද යන්න විමසීමේදී මෙරට දේශපාලනඥයන් දෙසට ඇඟිල්ල දිගුවීම විමතියක් නොවේ. හොරකම, වංචාව, දූෂණය යනු දේශපාලනය යන වචනයට සමාන වචනයක් ලෙස හඳුනාගත හැකි තරමට මේවා එකිනෙකට සම්බන්ධ වී තිබේ. ඒ බව ඔප්පු කෙරෙන සිදුවීම් ඕනෑවටත් වැඩියෙන් වාර්තා වී තිබේ. දේශපාලනඥයා යනු චෞර කප්පිත්තෙකු ලෙස හඳුනා ගැනීමට පහසු ඉඩක් වෙන් වී තිබෙන්නේ ඒ අනුවය.
මහජන දේපොළ, රාජ්‍ය දේපොළ, සඟ සතු දේපොළ ලෙස ඇදහූ ජනතාවක්, නිලධාරි තන්ත්‍රයක් දේශපාලන සංස්කෘතියක් මෙරට තිබිණි. සඟ සතු දේපොළ භුක්ති විඳීම, හොරකම් කිරීම පෙරේතයන්, පියාචයන් ලෙස අවීචි මහා නරකාදියෙහි ඉපදීමට හේතුවක් වන්නා සේම මහජන දේපොළ, රාජ්‍ය දේපොළ හොරකම් කිරීම, අවභාවිත කිරීම එම ප්‍රතිඵලයම අත්වීමට හේතුවකැයි ඉපැරැන්නෝ සිතූහ.
අසූචි ගොඩට වැටුණු ශතය ද දිව ගා ගන්නා තරමට ආධ්‍යාත්මයෙන් පිරිහුණු සංකීර්ණ සමාජයක ඉපැරැණි සමාජගත ආදර්ශ, පුරුෂාර්ථ හරසුන් නීච තත්ත්වයට පත් වී තිබේ. ඒ තුළ හැකිතාක් සමාජ දේපොළ සොරකම් කරන, ඒවා අවභාවිත කරන සමාජයක් නිර්මාණය වී තිබේ. සොරකම සාඩම්බර පදක්කමක්ව පැළඳීම ජයග්‍රහනයකැයි සිතන නරුමවාදී සමාජයක රැකගත හැකි කිසිවක් නොමැති බව පසක් වන්නේ ‘සුදු කරපටි වංචනිකයෝ’ යන යෙදුම ද භාෂාව තුළ වැඩි වශයෙන් භාවිතයට පැමිණ තිබෙන හෙයිනි.
දැන උගත් නිලධාරි පැළැන්තිය තුළින් ද වැඩි මනක් ආදර්ශ බලාපොරොත්තු විය නොහැකි තරමට සමාජය ගිලා බැස තිබේ. රාජකාරියට අදාළව තමන්ට ලැබෙන පහසුකම අවභාවිත කරන නිලධාරීන් කොපමණ පිරිසක් මෙම සමාජය තුළ සිටීද? යම් ආයතනයක සභාපති වැනි වගකිවයුතු තනතුරක් දරන්නේ නම් එම ආයතනය සතුව ඇති සියලු දේපොළ තමන්ගේ පෞද්ගලික බූදලයකැයි සිතා කටයුතු කරන්නන් පිළිබඳ ඕනෑ තරම් පුවත් වාර්තා වී තිබේ.
තමාට හිමි නිල රියට අමතරව ආයතනය සතු වාහන ද තම පෞද්ගලික කටයුතු සඳහා යොදා ගැනීම සුලභය. දරුවන් පාසල් යන්නේත්, නිවෙසේ සුරතලයට ඇති කරන සුනඛයා අසනීප වූ විට වෛද්‍යවරයා ළඟට යන්නේත්, නිවෙසේ මෙහෙකරු හෝ මෙහෙකාරිය පොළට යන්නේත් ආයතනයේ වාහනයෙන්මය. රියැදුරු ද ආයතනයේමය. ඉන්ධන ද ආයතනයෙන්මය. ආයතනයේ වාහනයකින් තබා ඔහුට නිල බලයෙන් හිමිව ඇති වාහනය ද ඒ සඳහා යෙදවිය නොහැකිය. මන්ද ඔහුට වාහනය ලබාදී තිබෙන්නේ බල්ලන් නාවන්නට රැගෙන යාමට නොව රාජකාරි කටයුතු සඳහා පමණක් වන හෙයිනි.
ආධ්‍යාත්මය උගුළුවා දැමූ විට ඕනෑම අපරාධයක් කළ හැකිය. එය සාධාරණීකරණය ද කළ හැකිය. ‘යහපාලනය’ වැනි සංකල්පවලට සමාජයේ පතුල බිඳගෙන ඉල්ලුමක් නිර්මාණය වූයේ ද එහෙයිනි. මහජනයාගේ අපේක්ෂාව යහපත් පාලනයකි. යහපත් රාජ්‍ය සේවයකි. එහෙත් ඒවා අරුත් සුන් නීච වාගාලාප බවට පත්වීම ඛේදවාචකයකි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිල නිවෙස පාවිච්චි නොකරයි. පෞද්ගලික නිවෙසේ සිටම රාජකාරි කරයි. ජනාධිපති කාර්ය මණ්ඩලය හරි අඩකටත් වඩා අඩු කළ බව සඳහන්ය. පරිවාර රථ ද නැත. කවර මානයෙන් බැලුවද මේවා බලගතු ආදර්ශ වේ. මෙම ආදර්ශ බිමටද කාන්දු වන්නේ නම් “ළඟම ඇති රෝහල්වලට උපකාර කරන්නැයි” අනාගතයේ බිහිවන සෞඛ්‍ය මැති ඇමැතිවරුන්ට ඉල්ලා සිටීමට සිදු නොවෙනු ඇත.
(***)