ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ 36 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී කළ කතාව මෙරට පරිපාලන ක්‍ෂේත්‍රය සම්බන්ධව කළ ප්‍රබල විවේචනාත්මක විග්‍රහයක් විය. එතැන රැස්ව සිටි පරිපාලන සේවා නිලධාරීන්ට ‘වඳින්න ගිය දේවාලය හිසේ කඩා වැටුණාක්’ වැනි හැඟීමක් ද ඇති වූවාට සැකයක් නැත. එහෙත් ශ්‍රී ලංකාවේ පරිපාලන සේවාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැඩිව පළ කළ අදහස් නිකම්ම බැහැර කිරීමට ඒ කිසිදු නිලධාරියකුට හැකියාවක් නැති බව අපගේ විශ්වාසයයි.
ජනාධිපතිවරයා එහිදී කෙළින්ම ප්‍රකාශ කළේ රටේ සංවර්ධන ක්‍රියාවලියට සහාය දැක්වීමට රාජ්‍ය අංශය අසමත්ව සිටින බවය. ප්‍රධාන නිලධාරීන් අතර පවතින මතභේද, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සහ පෞද්ගලික න්‍යාය පත්‍රවලට අනුගත වී කටයුතු කිරීම වැනි දුර්වලතා ජනාධිපතිවරයාගේ දැඩි දෝෂදර්ශනයට ලක්වී තිබිණි. ඔහු පෙන්වා දුන්නේ රාජ්‍ය සේවකයන්ගේ කාර්යක්ෂමතාව 30%ක තරම් පහළ මට්ටමක පවතින බවය. ඒ තත්ත්වය හැකි ඉක්මනින් 50% දක්වා වැඩිකර ගත යුතු බව ද ප්‍රකාශ කළ ජනාධිපතිවරයා දේශපාලනඥයන් සමඟ පවත්වන සමීප සබඳතා හේතුවෙන් රාජ්‍ය නිලධාරීන් කෙරෙහි පොදු ජනතාව තුළ තිබූ ගෞරවය මැකී ගොස් තිබෙන බව ද කීය. මේ ජනාධිපතිවරයා ගෙනහැර දැක්වූ කරුණුවලින් කොටසක් පමණි.
මේ රටේ පරිපාලනය හා බැඳුණු රාජ්‍ය සේවය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය තුළ කටුක වුවත් ප්‍රබල සත්‍යයක් රුඳී තිබේ. මෙය පිළිගැනීමට රාජ්‍ය නිලධාරීන් මැලිවනු ඇති වුව ද රටේ සංවර්ධන ක්‍රියාවලියේදී සහ එදිනෙදා රාජකාරි ඉටුකරවා ගැනීමේදී ඇතැම් රාජ්‍ය නිලධාරීන් දක්වන අකාර්යක්ෂම බව රටේ පොදු මහජනතාව අත්දැකීමෙන් දනිති. ඇතැම් අවස්ථාවලදී අදාළ තීන්දු, තීරණ ගැනීම ප්‍රමාද කිරීම නිසා රටට සිදුවන පාඩුව විශාලය. ඇතැම් පරිපාලන නිලධාරීන් අත්තනෝමතික ලෙස තීන්දු තීරණ ගැනීමත්, සංවර්ධන වැඩවලදී ඵලදායී දායකත්වයක් ලබා නොදීමත් නිසා උද්ගතව තිබෙන තත්ත්වය ජනාධිපතිවරයා පෙන්වා දුන් කරුණුවලින් පැහැදිලි වෙයි. කාර්යක්ෂමතාව 50% දක්වා වැඩිකරන්නැයි ඔහු රාජ්‍ය සේවයට ලබාදුන් උපදෙස් පිළිබඳව ඔවුන්ගේ සැලකිල්ල යොමුකිරීම අවශ්‍ය වන්නේ එබැවිනි.
පරිපාලන සේවයේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරී පැලැන්තියට ද විසඳාගත යුතු බොහෝ ගැටලු ඇති බව ද අපි දැන සිටිමු. එහෙත් මීට වසර පනහකට එහා රාජ්‍ය නිලධාරීන්ට සේවය කිරීමට සිදුවූයේ දැනට වඩා බොහෝ දුෂ්කර තත්ත්වයක් යටතේ බව ද ඒ සමඟ පෙන්වා දිය යුතුය. ඔවුන්ට එදා මේ කාලයේ තරම් රාජකාරි කටයුතු සඳහා යාන වාහන තිබුණේ නැත. බස් සේවා දුම්රිය සේවා ද පැවැතුණේ දුර්වල අඩියකය. එපමණක් නොව සේවා ස්ථානවල පහසුකම් ද ඉතා අල්ප විය. විශේෂයෙන් කොළඹ නගරයෙන් බැහැරව ඈත නගර සහ ගම්දනව්වල සේවය සඳහා ගිය රාජ්‍ය නිලධාරීන්ට කිසිදු සැප පහසුකමක් නොතිබිණි. ඔවුන්ගේ නිල නිවාස ඇතුළු බොහොමයක් අවශ්‍යතා පිරිමැසුණේ යාන්තමිනි. රාජකාරි කටයුතු ඉටු කිරීමට සැප පහසු වාහන තබා අටවාගෙන යන වාහන ද තිබුණේ අඩුවෙනි. එහෙත් ඒ බොහොමයක් නිලධාරීන් විසින් මහත් කැපවීමකින් සිදුකරන ලද සේවාව මේ රටේ රාජ්‍ය නායකයන්ගේ පැසසුමට ලක්විය. ඔවුන්ගේ කාර්යක්ෂමතාවට ඉතා ඉහළ වටිනාකමක් තිබූ බව මේ රටේ බොහෝ දෙනා දන්නා කරුණකි. ඒ ආකාරයට තිබූ රාජ්‍ය සේවාවට අද මේ කලදසාව ලැබී ඇත්තේ මන්දැයි සොයාබැලීම නායකයන්ගේ ද වගකීමකි.
රාජ්‍ය සේවයේ බොහෝ කලක් තිබූ කීර්තිනාමයට දේශපාලනය විසින් කළු පැල්ලමක් එකතු කර තිබීම එක් ප්‍රබල හේතුවකි. ඇතැම් නිලධාරීන් දේශපාලනඥයන් සමඟ පවත්වන කිට්ටු සබඳතා රහසක් නොවේ. එහි වරද ඇත්තේ රාජ්‍ය නිලධාරීන් අත පමණක් නොවන බව ද සඳහන් කළ යුතුය. ඇතැම් දේශපාලනඥයන්ගේ මෙෙහයවීමෙන් කෙරෙන සංවර්ධන වැඩ හෝ රටට අවශ්‍ය වෙනත් ව්‍යාපෘති හෝ සාර්ථකව අවසන් කර ගැනීම සඳහා සුදුසු දක්ෂ, අවංක නිලධාරීහු කිට්ටු කර ගැනෙති. ඔවුන්ට වගකීම් බාරදෙති. එවැනි නිලධාරීහු වැඩෙත් ගොඩ දමා ඇමැතිවරයාත් ගොඩ දමති. එහෙත් තවත් සමහර දේශපාලනඥයන් තමන්ට ළංකර ගන්නේ තමන්ගේ ‘විශේෂ ව්‍යාපෘති’ දියත් කිරීම සඳහාය. ඒ ව්‍යාපෘති රටට, මහජනතාවට අවශ්‍ය ඒවා නොව තමන්ගේ මල්ල පුරවා ගැනීම සඳහා අරඹන ඒවාය. ඒවාට කිට්ටු වෙන නිලධාරීන් කරන්නේ ඇමැතිවරයාගේ පැත්තට ගලන ගංගාවෙන් තමන්ගේ පැත්තට ද ඇළක් කපා ගැනීමය. රාජ්‍ය සේවය පිරිහෙන්නේ මෙවැනි දේශපාලනඥයන් සහ නිලධාරීන් හේතුවෙන් බව අමුතුවෙන් කිව යුතු නැත. මේ නිසා දේශපාලනඥයන් සමඟ සමීප සබඳතා පැවැත්වීම නිසා රාජ්‍ය සේවයේ ගෞරවය පිරිහී ඇති බව පවසන විට ඒ වැරුද්දෙන් සියයට 50ක් දේශපාලනඥයාගේ පැත්තට වැටෙන බව ද මෙහිදී සිහිපත් කළ යුතුය.
මෙතෙක් කල් බලයට පත්වූ සෑම රජයක්ම තමන්ට ඉදිරිපත් වූ පරිපාලන ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් සහ වෙනත් වරප්‍රසාද පිළිබඳ ඉල්ලීම් ඉටුකරදීමට හැකි තරම් කටයුතු කළ බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබිණි. එසේ තිබියදීත් තමන්ගෙන් ඉටුවිය යුතු රාජකාරිවලදී ඉහළ කාර්යක්ෂමතාවක් පෙන්වීමට රාජ්‍ය නිලධාරීන් අසමත් වීම ද ජනාධිපතිවරයාගේ ප්‍රබල විවේචනයට හසුවිය. රජයකට ඉටුකළ නොහැකි තද ඉල්ලීම් ඉදිරිපත් කරන අතරවාරයේ රට නැංවීමට ලබාදිය යුතු සහයෝගය නොදැක්වීම ඕනෑම නායකයකුගේ විවේචනයට ලක්වීම සාධාරණය. සැලසුම් සකස්කොට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ද සොයාදුන්නාට පසුව ඕනෑම විශාල ව්‍යාපෘතියක් සාර්ථකව නිමකළ හැක්කේ කාර්යක්ෂම, උපරිම ඵලදායීතාවයකින් යුතුව සේවය ඉටුකරන උද්‍යෝගිමත් නිලධාරීන් සමූහයකගේ ක්‍රියාකාරීත්වයකින් පමණි. එවැනි නිලධාරීන් නැතැයි අපි නොකියමු. සිටින සියලු නිලධාරීන් අකාර්යක්ෂම බවත් අපි නොකියමු. එහෙත් මේ රටේ පරිපාලන නිලධාරීන් ඇතුළු සමස්ත රාජ්‍ය සේවය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළ සඳහන තුළ සත්‍ය කරුණු රැසක් ගැබ් වී ඇති බව සඳහන් කළ යුතුය.