රැකියාවට නොපැමිණ වැටුප් ලබන රෝහල් සේවකයෝ


05_PAGE_03_M  

 

රෝහලක් යනු අසරණ රෝගීන්ගේ ජීවිත බේරා ගෙන ඔවුන්  සුවපත් කරන ප්‍රධාන ආයතනයකි. ජාති, ආගම්, කුල භේදයකින් තොරව ඕනෑම අයෙකුට රජයේ රෝහලකින් ප්‍රතිකාර ලබා ගත හැකිය. රෝහලක් රෝගීන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කරන තැනක් නොවිය යුතුය. යහපත් සෞඛ්‍ය සේවාවක් ලබා දීමට නම් එහි කාර්ය මණ්ඩලය ද හොඳ ශරීර ශක්තියකින් හා හොඳ මානසික තත්ත්වයකින් සිටිය යුතුය. 


එහෙත් දකුණු පළාතේ ප්‍රධානතම රෝහලක් ලෙස සැලකෙන මාතර මහ රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවක සේවිකාවන් පිරිසකගෙන් සිය සේවාව නිසි පරිදි  සිදු වනවාද යන්න මේ වන විට විශාල කතාබහක් ඇති වී තිබේ. ඊට ප්‍රධානම හේතුවවී ඇත්තේ ඉකුත්දා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වූ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී අනාවරණය වූ තොරතුරකි. මාතර මහ රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩයේ සේවක සේවිකාවන් 150 පමණ පිරිසක් රැකියාවට නොපැමිණ වැටුප් ගෙවන දින ආසන්නව දින පහක පමණ කාලයක් පමණක් ඔවුන් රාජකාරියට පැමිණෙන බව එහි අධ්‍යක්ෂිකා වෛද්‍ය මල්කාන්ති මැදිවක මහත්මිය එම රැස්වීමේදී ප්‍රකාශ කළාය.

5
ඇය එසේ පැවසීමට හේතු වූයේ සෞඛ්‍ය කේෂ්ත්‍රයට අදාළ ප්‍රශ්න හා ගැටලු සාකච්ඡා වාරයේදී දකුණු පළාත් සභා මන්ත්‍රී ගයාන් සංජීව මහතා ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.


මාතර මහ රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවක සේවිකාවන් පිරිසකගේ වාර්ෂික නිල ඇඳුම් දීමනාව හා පොත් දීමනාව කපා හැර ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇති බවත් ඊට හේතුව කුමක්දැයි දැන ගැනීමට අවශ්‍ය බවත් ගයාන් සංජීව මහතා ඇසීය.


එවිට රෝහල් අධ්‍යක්ෂිකාව කියා සිටියේ ඔවුන් දෛනිකව රැකියාවට නොපැමිණ වැටුප් ගෙවන දින ආසන්නයේ දින පහක් පමණ පැමිණෙන නිසා ඒ අය ගෙන්වා ගැනීමේ උපක්‍රමයක් ලෙස නිල ඇඳුම් දීමනා හා පොත් මුදල් ලබා නොදෙන බව පැවසූ බවයි.


ඒ සමඟම මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති බුද්ධික පතිරණ මහතා ද රෝහල් අධ්‍යක්ෂිකාවගෙන් ප්‍රශ්න කරන්නට පටන්ගත්තේය. එහිදී ඔවුන් අතර ඇතිවූ සංවාදය මෙසේය. 


බුද්ධික පතිරණ මහතා - කොපමණ වගේ පිරිසක් රැකියාවට එන්නේ නැද්ද?


රෝහල් අධ්‍යක්ෂිකාව - සම සභාපතිතුමනි 150 ක වගේ පිරිසක් 


බුද්ධික පතිරණ මහතා - අපි දන්නවා වෛද්‍යවරු නම් රෝහල තුළ අත්සන් කරන්නේ නැහැ කියලා. ඒත් මේ අය පැමිණීම හා පිටවයාම අත්සන් කරනවා. ඒ නිසා හරියටම එන්නේ නැති ගාන කියන්න පුළුවන්ද?


රෝහල් අධ්‍යක්ෂිකාව - සියයත් එකසිය පනහත් අතර පිරිසක් සිටිනවා.


බුද්ධික පතිරණ මහතා - ඇයි ඔවුන් රැකියාවට නොඑන්නේ. අත්සන් කරලා හොරාට ගෙදර යනවද?


රෝහල් අධ්‍යක්ෂිකාව - නැහැ  එහෙම නැහැ ඔවුන් අත්සන් කරන්න එන්නෙත් නැහැ.


බුද්ධික පතිරණ මහතා - ඒක හරි වැඩක් නේ. එහෙනම් ඒ අය වෙන රැකියාවක්වත් කරනවද දන්නේ නැහැ. ඒ ගැන සොයා බැලුවද?


රෝහල් අධ්‍යක්ෂිකාව - විවිධ හේතූන් මත ඔවුන් රැකියාවට එන්නේ නැහැ.


බුද්ධික පතිරණ මහතා - ඒ හේතු මෙතන සියලු දෙනා ඉදිරිපිට කියන්න අපහසුනම් පෞද්ගලිකව මට ලිඛිතව හරි ලියලා දෙන්න, මේ වෙනුවෙන් ඔබතුමිය ගත් ක්‍රියාමාර්ගය කුමක්ද?


රෝහල් අධ්‍යක්ෂිකාව - ඔවුන් වැටුප් රහිත නිවාඩු යවා තිබෙනවා. ඊට අදාළව අයවිය යුතු මුදල වැටුපෙන් අය කර ගැනීමට කටයුතු කර තිබෙනවා.


බුද්ධික පතිරණ මහතා - ඔවුන් ඉවත් කරන්න බැරිද?


රෝහල් අධ්‍යක්ෂිකාව - එක පාරටම බැහැ. ඒ සඳහා නිසි ක්‍රමවේදයක් අවශ්‍යයි.


බුද්ධික පතිරණ මහතා - මේක මාධ්‍යයට හොඳ ප්‍රවෘත්තියක්. මාධ්‍යවේදීන් ඒ ගැන අවධානය යොමු කරන්න. රටටම වැදගත් වන ප්‍රවෘත්තියක් වේවි. රෝහල් අධ්‍යක්ෂකතුමිය මීට පෙර වැඩ කළ රෝහල්වලත් මෙහෙමද? 


රෝහල් අධ්‍යක්ෂිකාව - එවැනි ප්‍රවණතාවක් තිබුණා සාමාන්‍යයෙන් කුඹුරුවල ගොයම් කපන කාලයට වගේ රැකියාවට එන්නේ නැහැ.


මාතර දිස්ත්‍රික් සංවර්ධන කම්ටුවේ සම සභාපති මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කීවේ මේ තත්ත්වය තුළ රෝහලේ පුරප්පාඩු තිබේද යන්නයි.


එවිට වෛද්‍ය මැදිවක මහත්මිය කියා සිටියේ පුරප්පාඩු පවතින බවය. එම අවස්ථාවේදී රැකියා ලබාදීමට අවස්ථාවක් තිබෙනවා යයි අබේවර්ධන මහතා සිනාසෙමින් කීය.


කෙසේ වෙතත් මාතර මහ රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන්නේ දකුණු පළාතේ රෝගීන් පමණක් නොවේ. මොනරාගල, වැල්ලවාය, බදුල්ල අම්පාර ආදී ඈත දුෂ්කර ගම් පළාත්වල දුප්පත් අසරණ රෝගීහු පැමිණෙති. උද්ගතව ඇති තත්ත්වය හමුවේ ඔවුන්ට කාර්යක්ෂම සේවයක් ලබා දෙනවාද යන්න පිළිබඳව ද සිතා බැලිය යුතුය.


එම රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවක සේවිකාවන් 768 දෙනෙකු සිටිති. ඒ සෞඛ්‍ය අමාත්‍යංශය අවසන් වරට 2006 වර්ෂයේදී අනුමත කළ සංඛ්‍යාවයි. ගෙවීගිය වසර දහය තුළ රෝහලේ සායන හා විවිධ අංශ අලුතින් ආරම්භ විය. ඒ සඳහා තවත් වැඩිපුර සේවක සේවිකාවන් යෙදවීමට අවශ්‍යවේ. ඉන්න ප්‍රමාණයෙනුත් සැලකිය යුතු සංඛ්‍යාවක් රැකියාවට නොපැමිණෙන්නේ නම් එය රෝහල් කටයුතුවලට බාධාවකි.


පාර්ලිමේන්තු මන්ත්‍රි බුද්ධික පතිරණ මහතා විමසා සිටි රැකියාවට නොපැමිණෙන්නේ වෙනත් රැකියාවල් වත් කරනවාදැයි යන්න ප්‍රශ්නයට රෝහල් අධ්‍යක්ෂිකාවට ඍජු පිළිතුරක් ලබා දීමට නොහැකි වුවද රෝහල අවට පදිංචිකරුවන් වෙළඳසැල් හිමියෝ එම ප්‍රශ්නයට උත්තර දනිති.


ආබාධිත තත්ත්වයේ පසුවන කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයෙකු රෝහල ඉදිරිපිටට පැමිණෙන වාහනවලින් හිඟා කෑ බව කලක් ප්‍රචලිතව තිබිණි. තවත් සේවකයන් පිරිසක් රැකියාවට නොපැමිණ කුලී පදනම මත ත්‍රිරෝද රථ ධාවනය කර මුදල් උපයයි. ඊට අමතරව කිහිප දෙනෙකු වෙළඳ ව්‍යාපාර කටයුතු ද සිදු කරන බව කියති. 


එහෙත් රෝහල් කාර්ය මණ්ඩලයේ කනිෂ්ඨ සේවකයන්ගෙන් බහුතරයක් එසේ නොවන බව කිව යුතුමය. දෙවිවරු මෙන් රෝගී සත්කාර සේවා සපයන විශාල පිරිසක්ද සිටිති. කිහිප දෙනෙකුගේ ක්‍රියා නිසා ඔවුන්ද අපහසුතාවට පත්වීම කනගාටුදායක කරුණකි.


කෙසේ වෙතත් වසර දෙකක පමණ කාලයක් ස්ථිර වෛද්‍ය අධ්‍යක්ෂවරයකු නොමැතිවීම හේතුවෙන් මාතර මහ රෝහල අයාලේ යන තත්ත්වයට පත්වී තිබුණි. ඒ ගැන නිතර මාතර මහ නගර සභා රැස්වීමේදී මෙන්ම වෙනත් සාකච්ඡාවලදී ද කතාබහට ලක්විය. දක්ෂ වෛද්‍ය අධ්‍යක්ෂවරයකුගේ අවශ්‍යතාව කාලයක සිට ඇතිවී තිබුණි. ඒ අතරතුරදී කතරගම රෝහලේ සිට මහජන හිතවාදී වෛද්‍යවරයකු ලෙස ප්‍රසිද්ධ පමල් සුදුසිංහ මහතා මාතර මහ රෝහලේ වැඩ බැලීමට පැමිණිය ද ඔහුට වැඩි කාලයක් එම තනතුරේ රැඳී සිටීමට ඉඩ නොලැබුණි.


ඉන් ටික කාලයකට පසුව නව අධ්‍යක්ෂිකා වෛද්‍ය මල්කාන්තී මැදිවක මහත්මිය මාතර මහ රෝහලේ වැඩ භාර ගත්තාය. රෝහල සංවර්ධනය කිරීමට වඩා රෝහලක් බවට පත් කර ගැනීම ඇයගේ මූලික අරමුණ වූවාය. ඒ තරමටම විනය පිරිහී තිබුණි. ඇය වැඩ භාර ගත් මුල් දින කිහිපයේදී වෙනත් කටයුතුවලට මුදල් වියදම් කිරීමේ ලිපි ලේඛන අත්සන් කර ගැනීමේදි මුල් පිටු නැති ලිපි ලේඛනද පැමිණ තිබුණි. ඇය ඒවාට විරුද්ධ වූවාය. සම්පූර්ණම ලිය කියවිල්ලම ගෙනැවිත් හොඳින් පරීක්ෂාකර කියවා අත්සන් කිරීමට ඒ මහත්මිය ක්‍රියා කළාය. මාතර රෝහල තුළ කැපී පෙනෙන වෙනසක් ඇති කිරීම ඇයගේ අරමුණවී තිබේ. 


සේවකයන්ගේ නිල ඇඳුමේ පවා අඩු පාඩු පෙන්වා දෙමින් ඒවා නිවැරැදි කිරීමට ඇයට සිදුවූවාය. සාමාන්‍යයෙන් මාතර මහ රෝහල වැනි ආයතනයක සේවකයකුට ස්ථාන මාරුවක් වැනි සුළු දඬුවමක්වත් දීම පවා ආයතන ප්‍රධානියාට අපහසුය. අඩුම තරමින් වාට්ටුවකින් වාට්ටුවකට මාරු කිරීමද එතරම් ලෙහෙසි ක්‍රියාවක් නොවේ. ඒ තරමටම ඔවුන්ගේ වෘත්තීය සමිති බලවත්ය. යම් හෙයකින් ඔවුන්ට අවනත නොවුණහොත් එහි ප්‍රතිඵලය භුක්ති විඳීමට සිදුවන්නේ අහිංසක රෝගීන්ටය. 


මාතර මහ රෝහලේ හිටපු අධ්‍යක්ෂිකා වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය මීට වසර කිහිපයකට පෙර එවැනි සේවක මාරුවක් ලබාදුන් අවස්ථාවේදී ඔහු ගොඩනැගිල්ලක වහලක් මතට නැගී විශාල අරගලයක නිරත විය. එම නිසා ඍජු තීරණ ගන්නා වෛද්‍ය අධ්‍යක්ෂවරයකුට මාතර මහ රෝහල එතරම් හිත සුව පිණිස වන තැනක් නොවනු ඇත. 


නම පැවැසීමට අකමැති මාතර මහ රෝහලේ කනිෂ්ඨ සේවකයකු මෙසේ කිය.


අපිට වාර්ෂිකව නිවාඩු 45ක් ගන්න පුළුවන්. ඒ වෛද්‍ය නිවාඩු 24ක් හා සාමාන්‍ය නිවාඩු 21ක් වශයෙන්. ඊට අමතරව අඩ වැටුප් දින 30ක් ගන්නත් පුළුවන්. අළුතින් එන අය ඒ ගැන වැඩිය දන්නේ නැහැ. ඒ නිසා ඔවුන් වැටුප් රහිත නිවාඩු යනවා. එවිට දෙගුණයක් වැටුපෙන් කැපෙනවා.  ගිය වසරේ මගෙත් වැටප් රහිත නිවාඩු දින 13 ක් තිබුණා. රුපියල් 6900ක් පඩියෙන් කැපුවා. නිල ඇඳුම් හා පොත් දීමනාව ලැබුණෙත් නැහැ. මම ඉල්ලන්න ගියෙත් නැහැ.


ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමයේ මාතර ශාඛාවේ සභාපති ජගත් ප්‍රේමසිරි මහතාගෙන් විමසූ විට මෙසේ කීය.


දිනකට කනිෂ්ඨ සේවකයන් 150ක් විතර රැකියාවට නොඑනවා කියලා හිතාගන්න අමාරුයි. සමහරවිට සති විවේක හා නිදි විවේක ගන්න අයත් එක්ක ද දන්නේ නැහැ. වාර්ෂිකව නිවාඩු 45ක් ගන්න පුළුවන්. ඊට පසුව වැටුප් රහිත නිවාඩු ලැබෙනවා. එහෙම වුණා කියලා ඉවත් කරන්න බැහැ. ඒ වගේම නිල ඇඳුම් දීමනාව වන රුපියල් 9300 හා පොත් දීමනාව වන රුපියල් 4000ක මුදල නොදී ඉන්නත් බැහැ. සමහරවිට සේවකයන් ගෙන්වා ගැනීමේ අරමුණින් අධ්‍යක්ෂිකාව එසේ කරන්න ඇති. ඒත් ඒක කප්පාදු කරන්න බැහැ. ඇතැම් කනිෂ්ඨ සේවකයින් රාජකාරි අවසන් වූ පසු වෙනත් ව්‍යාපාර කටයුතු කරනවා. වඩු වැඩ කරන මේසන් වැඩ කරන අයත් ඒ අතර ඉන්නවා. ඒත් ඔවුන් රාජකාරි වේලාවේදී ඒවාට යන්නේ නැහැ. සේවකයන් රැකියාවට එන්නේ නැත්නම් පරිපාලනයත් ඒකට වගකියන්න ඕන. ඔවුන්ගෙන් නිදහසට කරුණු විමසන්න ඕන. එය පරිපාලනයේ දුර්වලකමක් නිසා වෙන දෙයක්. 


කෙසේ වෙතත් මාතර මහ රෝහල තුළ උද්ගතවී ඇති තත්ත්වය පිළිබඳව සොයා බැලීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා විශේෂ කමිටුවක් පත්කර ඇත. නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලන) ශ්‍රියානි ප්‍රනාන්දු හා අධ්‍යක්ෂක (පාලන 04) චතුරිකා දිසානායක යන මහත්ම මහත්මීහු එහි සාමාජිකයෝ වෙති. ඔවුන් මාතර මහ රෝහල වෙත පැමිණ අදාළ අයගෙන් ප්‍රකාශ සටහන් කරගෙන වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.


මේ අතර මාතර මහ රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ වැඩි දෙනෙකුට පත්වීම් ලැබෙන්නේ දේශපාලනඥයින්ගේ හිතවත්කම් මත බව කවුරුත් දන්නා දෙයකි. එම නිසා ඔවුන්ට දේශපාලන බලයද ආශිර්වාදයක්වී තිබේ. රෝහල් අධ්‍යක්ෂිකාව මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී හෙළි කළ තොරතුරු සත්‍යයක් නම් රෝගී සත්කාරක සේවයේ යෙදවීමට පෙර කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ රැකියාවට නොපැමිණෙන සේවක සේවිකාවන්ට වැළඳී තිබෙන රෝගය කුමක්දැයි හඳුනා ගැනීම කාලෝචිත කරුණක් වනු ඇත.

m