රෑට බීල බෙල්ල මිරිකන පුතා උදේට ඇවිත් ‘සොරි අම්මේ’ කියනවා


1   15_RASA_P_4

 

ජීවත් වෙන්න තිබුණ අන්තිම බලාපොරොත්තුවත් සුන්නත්දූලි වෙලා.දුක් විඳින

පිහිටක් නැති සරණක් නැති
සතුටක් ඇති මුහුණක් නැති
මේ සසර දනව්වේ
අපි අසරණ වෙලා වගේ
හිතට දැනෙනවා
බුදු හාමුදුරුවනේ

හබලක් නැති
ඔරුවක් ඇති
මිනිසුන් වෙති
වෙරළක් නැති
මේ සසර දනව්වේ
අපි අසරණ වෙලා වගේ
හිතට දැනෙනවා
බුදු හාමුදුරුවනේ

හිත ළඟ දුකම කැරලි ගහනකොට අඬන්න හිතෙන වාර ගානට වඩා මැරෙන්න හිතෙන වාර ගාන දස දහසින් වැඩි වෙනවා වුණත් මේ ජීවිතවලටත් හුස්ම වැටෙනවා.


අමතක කළේ කොහොමද පුතේ... අද මේ මහලූ මඩමේ නුඹේ අම්මා තනිවෙලා බව. දෑසින් රූරා වැටුණු කඳුළු....? අතරින් සිඳී ගියා. වාරු නැති දෙපය රෝද පුටුවේ රඳවාගෙන තම එකම පුතා වෙනුවෙන් පාරමිතා පුරණ මේ අම්මා අපට හමුවුණේ මොරටුව ප‍්‍රදේශයේ මහලූ මඩමක දී.
දන්නවද ඇය අපගෙන් මුලින්ම කළ ඉල්ලීම මොකක්ද කියලා.


”නෝනා... මමත් පූරුවේ කළ කරුමෙකට මගේ දරුවගෙන් මට වෙන්වෙලා මේ මඩමට වෙලා ජීවත් වෙන්න වුණා තමයි
මම කොයිතරම් දරු දුකක් ඉහිලූවත් මගේ පුතාට හානියක් අවැඩක් වෙනවට මම කැමති නෑ. ඒ නිසා මගේ කතාවෙන් එයාට කරදරයක් වෙන්න දෙන්න එපා.


ඒ මගේ එකම පුතා. මේ අත්දෙකේ තියාගෙන මැසි මදුරුවන්ගෙන් රැකගෙන මං ලොකු මහත් කරපු මගේ පුතා. අන්ධයට ඇහැක් වගේ දරුවෝ නැතුව හිටපු මට උපන්න එකම පුතා”


ඒ අම්මාගේ නම චන්ද්‍රාවතී. දෑසට ඉනු කඳුළින් යුතුව ඇය අපට කිව්වේ මෙන්න මෙහෙම කතාවක්.
මගේ ගම මාතර වලස්මුල්ලෙ. මගේ පවුලෙ සහෝදරයෝ තුන්දෙනයි සහෝදරියෝ එක්කෙනයි.


අපේ අම්මා තාත්තා අපට හොඳින් ඉගැන්නුවා. මම අධ්‍යාපනය හොඳින් ලැබූ කෙනෙක්. තේරෙන වයසේ ඉඳලා මට  ඕනෑ වුණේ ගුරුවරියක් වෙන්න. අපේ බලාපොරොත්තු ඉටු කරගන්න අපේ මව්පියො අපට හැම විදිහෙන්ම පාර පෙන්නුවා. ඒ නිසාම මට ගුරුවරියක් වෙන්න පුළුවන් වුණා. අපේ ගෙදර තිබුණේ සතුට විතරයි. අපි හැදුනේ වැඩුණේ සාමකාමී පරිසරයක.


මගේ මහත්තය මට මුණ ගැහුනේ මංගල යෝජනාවකින්. එයා වතු සුපිරින්ටන් කෙනෙක්. මාව මගදී දැකලා තමයි මගේ මහත්තයා මංගල යෝජනාවක් ගෙනාවේ. කියන්න තරම් වරදක් නොතිබුණ නිසා මගේ මව්පියෝ වගේම මමත් ඒ මංගල යේජනාවට කැමති වුණා.

 

2


මගේ මහත්තයාගෙ නම ක‍්‍රිස්ටෝපර්. එයා බොහොම හොඳ ගති පැවතුම් තියෙන කෙනෙක්. එයාගේ මව්පියොත් මට හරිම ආදරෙයි. මමත් මව්පියන්ට හිතවත්ව ජීවත් වුණා.


මගේ කසාදෙන් පස්සේ අපි වත්තල පැත්තේ පදිංචියට ආවා. මහත්තයයි මමයි ඒ කිට්ටුවම රස්සාව කළ නිසා අපට රැුකියාවෙ ගැටලූ මතුවුණේ නෑ.
වත්තල පැත්තේ ඉස්කෝලෙකට මාරුවක් ගන්න මට පුළුවන් වුණා.


මගේ මහත්තයා කොළඹ තාලෙ කෙනෙක් වුණාට බොහොම හොඳ ගතිගුණ තිබුණ කෙනෙක් නිසා මගේ ජීවිතේ ගතවුණේ සතුටින්.
ඒත් අපට පොඩි ප‍්‍රශ්නයක් තිබුණා. කසාද බැඳලා අවුරුද්දක් ගත වෙලත් අපට දරුවෝ ලැබුණේ නෑ.


අවුරුද්දක් තිස්සේ දරුවෙක් බලාපොරොත්තුව හිටියත් දරුවෝ ලැබුණේ නැති නිසා අපි වෛද්‍යවරු හම්බ වුණා. විවිධාකාර පරීක්‍ෂණ කළා. පන්සල්, පල්ලි ගිහින් බාරහාර වුණා. නමුත් අපට දරුවෙක් ලැබෙන කිසිම ලකුණක් තිබුණේ නෑ.


දවසින් දවස දරුවෙක් ලැබෙන්න ප‍්‍රමාද වෙනකොට මම වගේම මහත්තයා හිටියෙත් බොහොම දුකෙන්. දරුවෙක් බලාපොරොත්තුවෙන් නොගිය ඉස්පිරිතාලයක් නෑ. හැම විදිහෙන්ම ප‍්‍රතිකාර කරලා කරලා අවුරුදු හතරකට පස්සේ අපේ බලාපොරොත්තු ඉටුවුණා.


මට දරුවෙක් ලැබෙන්න ආවා. එදා තමයි අපි ගොඩක් සතුටු වුණ දවස. අප දෙන්නා උපදින්න ඉන්න දරුපැටියා වෙනුවෙන් හැම විදිහෙන්ම මග බැලූවා. පුතාලගේ තාත්තා මාව බලාගත්තේ බොහොම පරිස්සමෙන්. ඒත් දරුගැබට මාස තුනක් ගත වෙනකොට අපේ බලාපොරොත්තු විනාශ වුණා.


අපේ දරුවා නැති වුණා. එදා අපි දෙන්න බොහොම දුකෙන් හිටියේ. අපේ සතුට හොරු අරගෙන ගියා වගේ වුණා.


ආයෙමත් අපි පන්සල් පල්ලි ගානේ ගිහින් බාරහාර වුණා. දොස්තරලා හම්බවෙන්න ගියා. දවසින් දවස දරුවෙක් ලැබෙන්න කියලා ප‍්‍රාර්ථනා කළා.
පළමුවැනි දරුවා නැතිවෙලා අවුරුදු දෙකකට පස්සේ මට ආයෙත් දරුවෙක් ලැබෙන්න ආවා. ඒ දරුවත් අපට නැතිවුණොත් කියන බය අපට තිබුණා. අපි වෛද්‍ය උපදෙස් හරියටම පිළිපැද්දා.


අප දෙන්නගේ හැම බලාපොරොත්තුවම ඉටු කරගෙන පුතෙක් ඉපදුනා. අන්ධයාට ඇහැක් ලැබුණා වගේ ලෝකයක් වටින මගේ පුතාව අපි දෙන්න බලාගත්තේ ඇස් දෙක වගේ.


 කසාද බැඳලා අවුරුදු හයකට පස්සේ ලැබුණ අපේ දරුවා අපට කොයිතරම් වටිනවද කියන්න මට වචන නෑ.
අපි හැම මොහොතක්ම හැම දවසක්ම ගෙව්වේ අපේ දරුවා වෙනුවෙන්. පුතා ඉගෙන ගන්න බොහොම දක්‍ෂයි. මා ගුරුවරියක් නිසා දරුවගේ අධ්‍යාපනය ගැන මා හොඳින් හොයල බැලූවා.කොළඹ ප‍්‍රදේශයේ සුපිරි පාසලකට පුතාව ඇතුළත් කරගන්න අපට පුළුවන් වුණා. කාලය ගෙවිලා ගියේ අපේ පුතාව කරදඬු උස්වෙච්ච ඉලන්දාරියෙක් කරගෙන. අපි හම්බ කරපු හැම සතේම අපි එකතු කළේ අපේ පුතාට. පුතාගේ නම රන්දික.


ලොකු ඉලන්දාරියෙක් වුණත් පුතා අපි එක්ක ජීවත් වුණේ යාළුවෙක් වගේ. හිතුවේ නෑ මේ තරම් වෙනස් වේවි කියලා.


අපි අපේ පුතාට වත්තල පැත්තෙම තට්ටු දෙහෙක ගෙදරක් හැදුවා. නිසි කල වයස ආවහම එයා සම්බන්ධයක් පවත්වන් ගිය ගෑනු ළමයාව කසාද බන්දලා දුන්නා.

 

3


ඒ දුවත් බොහොම ගුණ යහපත් ළමයෙක්. අපටත් බොහොම ආදරෙන් සැලකුවා. මටයි පුතාගේ තාත්තටයි මුදල් හදල් අතිනුත් අඩුපාඩුවක් නොතිබුන නිසා අපේ ජීවිතවල ප‍්‍රශ්න කරදර තිබුණේ නෑ. පුතාලගේ තාත්තා හැමදාම වැඩ කළේ පුතා කියන විදිහට. එකම දරුවා නිසා මමත්් ඒ ගත්තු කිසිම තීරණයකට විරුද්ධ වුණේ නෑ.


අපේ ඉඩමක් තිබුණා වත්තල ප‍්‍රධාන පාරේ. ඒ ඉඩම පුතාගේ කීමට කෝටියකට විකිණුවා. පොත් පත්වල දාල තියාගත්තේ නෑ. හැම සතේම පුතාට දුන්නා. අතේ මිටේ සල්ලි ගැවසෙනකොට පුතාට  ඕන වුණේ ක්ලබ් යන්න, බාර්වල රස්තියාදු වෙන්න. අරක්කු බොන්න. මුල් දවස්වලටම මම රන්දිකට කිව්වා ඒ නිශාචර ජීවිතේ අපට ගැළපෙන්නේ නෑ පුතේ හොඳින් ජීවත් වෙන්න බලන්න කියලා. ඒත් ඒ කතා අහන්න අපේ පුතාට බැරිවුණා.


පුතා කසාද බැඳලා ඉන්න දුවත් කිව්වා බොන්න එපා කියල. ඒ්ත් වැඩක් වුණේ නෑ. මුල් කාලේ අරක්කු බීලා බොහොම නිශ්ශබ්දව හිටිය පුතා දවසින් දවස වෙනස් වෙන්න ගත්තා.


ගෙදර ආවේ ? ජාමෙට. අතේ තිබුණ සල්ලි වියදම් කරලා බීගෙන. ඒ ඇවිත් මා එක්ක, එයාගේ තාත්තා එක්ක රණ්ඩු කරනවා. එහෙම වෙලාවට කුණුහරුප කියලා කෑ ගහනවා. දන්නේ නෑ නෝනා ඒ දේවල් කොහොම ඉවස ගත්තද කියලා.


පුතාගේ නෝනා එන්නේ නෑ ඉස්සරහට එයා බයයි පුතා බීලා ඉන්න වෙලාවට. ඒත් අප දෙන්නා පුතා එක්කම හිිටියා. ඒත් අපට මොනතරම් දරුණු විදිහට බැන්නත් රැුව්වත් අපට හිතුණේ ඒ අපේ පුංචි පුතා කියලා විතරයි.


කරදඬු උස් මහත් වෙච්ච මහ ලොකු මිනිහෙක් කියල ලෝකයටම පේන අපේ පුතා අපට තවම දරුවෙක්. දවසින් දවස පුතාගේ බීමත්කම වැඩි වුණා. ගෙදර බඩු මුට්ටු පුතා පොළොවේ ගැහුවේ අපේ දෙපාමුල විසි වෙන්න.


නෝනා, අපි ලැජ්ජා බයට ජීවත් වුණ මිනිස්සු. කවදාවත් කා එක්කවත් රණ්ඩු වෙලා නෑ. බැණ අඬගහගෙන නෑ. මේ මොන දේ වුණත් අපි අපේ පුතා කියපු කරපු දේවල් ඉවසුවා.”


ඇයගේ දෑසට කඳුළු උනයි. කියනවාට වඩා සැඟවූ ඛේදවාචකයක සුළමුල සඟවාලමින් ඒ මවගේ වේදනාව කඳුළක් ලෙස එළි දකී. බීමත්ව නිවසට පැමිණි පුතා අම්මාට, තාත්තාට පහරදුන්න ද එය ඔවුන් ඉවසා ගත්තේ මොන ආකාරයෙන් ද යන්න වටහා ගැනීමට නොහැකිය.


පුතා අම්මාට ගහන්නත් ආවාදැයි අප විමසූ විට ඇයගේ වියපත් දෑත වෙව්ලා ගිය අයුරු විස්තර කළ නොහැකිය. අපි ඇයගේ වෙව්ලන දෑත අල්ලා සිටියෙමු. විශ්වාස කරන්න ඒ මව ඇඬුවාය. සිය පුතාව තුරුලට ගෙන සිප වැළඳ ගැනීමේ ආදරණීය හැඟීමක් පිළිබඳ අපට පවසමින් ඇඬුවාය.


”නෝනා මම මේ දේවල් ඉවසුවට දරාගත්තට පුතාගේ තාත්තට මේ හැමදේම ලොකු වේදනාවක් වුණා.
දවසක් පුතාගේ තාත්තා හිටි හැටියේ අසනීප වුණා. ඒ අසනීපෙන් මගේ මහත්තයා මැරෙයි කියල මම හිතුවෙ නෑ. නමුත් මහත්තයා පපුවේ අමාරුවකින් නැති වුණා.


කසාද බැන්ද දවසේ ඉඳලා අපි දෙන්න ජීවත් වුණේ බොහොම සමගිියෙන්. එයා පුතාට ආදරේ කළා. වෙලාවකට මට හිතෙනව මගේ මහත්තයා පුතාට මටත් වඩා ආදරේ කළා කියලා. අපේ පුතා බීලා බීලා නාස්ති වෙයි කියලා එයා හිතුවේ නෑ.


මා එක්ක පුතා ගැන කතා කළ හැම වෙලාවෙම මට දැනුණා අපේ මහත්තයා හිටියේ ලොකු හිතේ අමාරුවකින් බව. දන්නෙ නෑ මගේ මහත්තයා ජීවතුන් අතර නැති බව කොහොම විශ්වාස කරන්නද කියලා මම.


මහත්තයා නැති වුණාට පස්සේ මං පුතාට තේරුම් කරලා දුන්නා හොඳින් ජීවත් වෙන්න කියලා. එහෙම කිව්වම ඒක පිළිගත්තා. ඒත් ඒ පිළිගැනීම පිළිකන්නෙන් පැනල ගියේ හැන්දෑ වීගෙන එනකොට.


මගේ පුතාට දරුවෝ දෙන්නෙක් හිටියා. මට මතකයි එදා අපේ මුණුබුරෝ ඉපදුන දවසේ අපේ හිත්වල තිබුණ සතුට. අපි එදා හිතුවා අපේ පුතා දරුවෝ ගැන හිතලවත් බීම නවත්තයි කියලා. ඒත් එහෙම වුණේ නෑ.


පුතා ලේලි එක්කත් රණ්ඩු ඇති කර ගත්තා. අන්තිමේදී දරුවෝ දෙන්න අරගෙන ලේලි ගෙදර ගියා. දුව ගෙදර ගියාට පුතාගේ බීම අඩුවක් වුණේ නෑ. එයා දිගටම බිව්වා. ඒ නිසාම ලේලිගේ තාත්තා තීරණය කළා දික්කසාද කරවන්න.


අපේ පුතත් ඒ තීරණේ ඉස්සරහා පස්ස ගැහුවේ නෑ. එයත් ඩිවෝස් වෙන්න කැමති වුණා. මං පොඞ්ඩක්වත් කැමති වුණේ නෑ, මගේ පුතා ඩිවෝස් වෙනවට. මම පුතාට වගේම ලේලිටත් කිව්වා දරුවෝ ගැන හිතලා දික්කසාද නොවී ඉන්න කියලා. ඒත් පුතාවත් ලේලිවත් එකට ජීවත් වෙන්න කැමති උනේ නෑ. මේ නිසා එයාල දික්කසාද වුණා.


රුපියල් ලක්‍ෂ දහයක වන්දියක් පුතා ඒ දුවට ගෙව්වා.
දවස ගෙවාගන්න අමාරු කාලය උදාවුණේ ඉන් පස්සේ. බීලා එන වෙලාවට පුතා රණ්ඩුවලට පටලව ගත්තේ මාව.
මම වයසක ගෑනියෙක්. ඒ කුණුහරුප බැණ අඬගැහිල්ල බඩු කුඩු කිරීම වැඩි වුණා.

 

රෑට බීලා ඇවිත් බෙල්ල මිරිකුවත් උදේට මගේ පුතා සොරි අම්මා කියනවා. ඒත් හවසට ආයෙත් බීල ගෙදර ඇවිත් බඩු කුඩු කරනවා.
ආයෙත් උදේට සොරි කියනවා.


ඇත්තටම ඒක වයසක මට විශාල වධයක් වුණා. පුතා ගෙදර එනකොට සිහියක් පතක් නැතිවීම ඒ ඇවිත් පළාතටම ඇහෙන්න රණ්ඩු කිරීම ඉවසගන්න බැරි තැන මම තීරණය කළා, නෑ ගෙදරකට යන්න.


මං මගේ දුවක් වෙන කෙනකුගේ ගෙදර නැවතුණා. හැම දුකක්ම අමතක කරන්න පිංදහම් කළා. භාවනා කළා.


නෑයෝ ළඟ වුණත් දිගටම ඉන්නකොට කරදරයි. පස්සේ මම මේ මහලූ මඩමට ආවා. මෙහෙම තැනකට එන්න වෙන එක දුකක් තමයි. ඒත් දැන් මගේ හිතට සැනසිල්ලයි. මම මහලූ මඩමකට ගියා කියලා දැනගත්තාම මගේ පුතා මං බලන්න ආවා. ඇවිත් කිව්ව මඩමකට ඇවිත් එයාට ලැජ්ජා කළ නිසා මාව බලන්න එන්නේ නෑ කියලා.


දැන් මේ මඩමට ඇවිත් අවුරුදු දෙකක් විතර වෙනවා. පුතා අවේ නෑ මාව බලන්න.”


චන්ද්‍රාවතී නොකියූ බොහෝ දෑ ඇති බවට ඇයගේ දෑසින් වැටුන කඳුළක් ගානට අපට සාක්‍ෂි දරයි.


වරද ඇත්තේ කොතැනද? මෙහෙම වීමට හේතුව කුමක්ද? ජීවිතයේ කිසිවක් අහම්බයක් නොවේ. එය එසේ වූ කල තමන් කළා වූ දේ මගින් නෙළාගත්ත ප‍්‍රතිඵලය හෙට දවසේ මහලූ මඩමකින් ඔබ්බට යාවිද?


M