ඇය කුවේණිය නම් වූවාය. හිත නවාතැන් ගත් පේ‍්‍රමය අභිමුව, ඒ පේ‍්‍රමය ජීවිතයම කරගත් අනුහසින් තම ලේ පරපුරට පවා පිටු පෑ ඇය කුවේණිය නම් වූවාය. පාරමිතාවක් කොට ඒ පේ‍්‍රමය ජීවිතයේ හැම අංශුමාත‍්‍රයක්ම පෙම් කළ විජය වෙනුවෙන් කැප කළ කුවේණියට සියල්ල කෙළවර විජයගෙන් ලැබුණු තුටු පඬුර වූයේ සදාකාලික කඳුළක් හා පිටමං කිරීමකි. එදා-මෙදා තුර දකින හමුවෙන කුවේණිලා කොතෙක් දැයි රිච්මන්ඞ් කාසල් මහ මැඳුර දෙස බලාගෙන මම කල්පනා කළෙමි. මව්පිය සිත් නොරිදා දීගයක ආවද නොකළ වරදකට තම හිමි සඳ විසින් කුලගෙයින් පිටමං කරන ලද කුලවමියක පිළිබඳව අනුවේදනීය කතාන්දරයක් තවත් දිගු ඉතිහාසයක් සමගින් ම රිච්මන්ඞ් කාසල් මැඳුර දරා හිඳියි.
කළුතර කළු ගඟ ආසන්නයේ අක්කර 42ක් තරම් වූ රමණීය බිමක පිහිටි දැවැන්ත මන්දිරය පසුබිම් කරගත් උද්‍යානයේ තැනින් තැන මැඳුර දෙස බලා හිඳින ලෙසින් නිමිවුණු දරුවන්ගේ පිළි රූ එදා එහි ජීවත් වූ ඒ කුලවමියගේ ජීවිතය පිළිබඳව වදනින් පෙළ නොගැසූ තවත් එක් කතාවක්ද නිහඬව කියයි.
”දරුවෝ ඇති අම්මාලා
දරු සුරතල් පෙන්නාලා
හඬවා සිත මා හිත පාරනවා
දරුවෝ නැත මා පතලා”
ඒ වචනයට නොනැගූ කතාවයි.
මනරම් මන්දිරයේ අතීත පිටු මත මම දෑස රැඳෙව්වෙමි. මේ මැඳුර තැනූ එහි හිමිකරු වූකලී කලක් කළුතර දිස්ත‍්‍රික්කයේ ධනවත්ම පුද්ගලයා ලෙසින් වැජඹුණු මහමුදලිවරයෙකි. ලංකාවේ ජීවත් වූ මහමුදලිවරයකුට මේ තරම් අලංකාර මැදුරක් තනවන්නට තිබූ හැකියාව පිළිබඳව ඉන් සියක් වසරක් ඇවෑමෙන් වූවත් අප සිත්හි ඇතිවෙන්නේ ආඩම්බරයකි. යටත් විජිත සමයේ තැනුනු මේ මන්දිරය අද මහාභාරකාර දෙපාර්තමේන්තුව යටතේ පාලනය වෙන අතර එය අද අඩු ආදායම්ලාභී පවුල්වල පිරිමි දරුවන්ගේ අනාගත සුරක්ෂිතතාව පිළිබඳ වගකීමක් දරන නවාතැනක් බවට පත්ව ඇත්තේ එදා එහි හිමිකරු වූ නානායක්කාර රාජවාසල අප්පුහාමිලාගේ
![]() |
නර්තන නරඹන සඳළුතලයට පිවිසෙන පියගැටපෙළ |
දොන් ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන නම් වූ මුදලිතුමාගේ අන්තිම කැමති පත‍්‍රය අනුවය.
කොළොම් තොට සිට කිලෝමීටර් 44කට ආසන්න දුරක් ගෙවා කළුතර නගරයට පැමිණි අපි එතැන් සිට පලාතොට කෙත්හේන මාර්ගයේ සැතපුම් 1.5ක පමණ දුරක් ගෙවා මනරම් මල්ගොමු වලින් සුසැඳි උයනක් මැද පිහිටි මන්දිරය වෙත ළඟා වුණෙමු. දැවැන්ත කුළුණු කැටයම්, ශක්තිමත්ද්වාර, සිතුවම් සහිත වීදුරු ජනේල දෙපතුලට සීතල දනවන බිම, විසල් සඳළුතලය නෙතට දනවන සුන්දරත්වය පිටුපස ඉතිහාසයේ එක්තරා යුගයක ලියැවුණු කතාව මම පෑන් තුඩ වෙනුවෙන් ගොනු කරන්නට වෙහෙසෙමින් සිටියෙමි.
යුරෝපීය රටවල ඇති සිසිර සෘතුව සඳහා වූ මාලිගා (winter house) වලට බොහෝ සෙයින් සමාන බවක් දක්වන මේ මන්දිරය වූ කලී වලව්වක් නොව මන්දිරයකි. වහලය එක් අඟලකුදු පිටතට නොඑන සේ ඉදිකිරීම සහ එක් මැද මිදුලකින් සමන්විත වීම එය මාලිගාවක් බවට පත් වීමේ අනන්‍යතාවයි.
රිච්මන්ඞ් කාසල් ඉපැරැුණි වලව්වක් නොව මාළිගාවක් බවට පත් කරන්නේ මාළිගා සංස්කෘතියටම අනන්‍ය වූ එකී අනන්‍යතාවයි.
යාබද නාන කාමර සහිත කාමර දහ හතරකින්, සේවක නිවාස මුරකුටි, නර්තන ශාලා ඇතුළු සුඛෝපභෝගී දිවිපෙවෙතකට හුරු වූ ධනකුවේරයකුගේ ජීවිතයකට අවැසි සෑම අංගයකින්ම මේ මහා මන්දියර සමන්විතය.
ඉතා සියුම් කැටයම් ඔබ්බවන ලද තේක්ක කුළුණුන් ඔපවත් කළ නර්තන ශාලාවේ රැඟුම් උඩුමහලක සිට නැරඹිය හැකි සඳළුතලයකි. පටු රවුම් හැඩැති පියගැට පෙළක් පියමංකර ඒ සඳළුතලයට පිවිසිය හැකිය. නර්තන ශාලාව ස්වභාවිකව වායු සමනය කිරීමේ අපූරු ක‍්‍රමවේදයක් අනුව සකස් කර ඇත. නර්තන ශාලාවේ ගෙබිම පටු හතරැස් කොටු කිහිපයකි. එය මතුපිටින් බිම සකසන ලද ලීයෙන්ම ආවරණය වී ඇත. මේ මන්දිරය ඉදිව ඇත්තේ කළු ගඟට සමීප බිමකය. නර්තන ශාලාවේ එම හතරැස් කොටු අභ්‍යන්තරයේ සිට කළු ගඟ දක්වා දිවෙන බට පද්ධතියකි. ඒ බට පද්ධතිය ඔස්සේ කළු ගෙඟ් ඇති ජලයේ සිහිලස ඇදී විත් එයින් නර්තන ශාලාව වායුසමනය වීමේ ක‍්‍රමවේදයක් ඔස්සේ මේ ස්වාභාවික වායු සමන ක‍්‍රියාවලිය සැකසී ඇත.
![]() |
උද්‍යානයේ තැනුණු දරුවකුගේ පිළිරුව |
රිච්මන්ඞ් කාසල් මන්දිරය තැනුණු බොහොමයක් අමුද්‍රව්‍ය ගෙන්න ඇත්තේ විදේශයන්ගෙනි. රැන්ගූන් තේක්ක නමින් හඳුන්වන ලබන බුරුමයෙන් ගෙන් වූ තේක්ක ලී ඉතාලියෙන් හා ස්කොට්ලන්තයෙන් ගෙන් වූ වීදුරු ඉන්දියාවෙන් ගෙන්වන ලද උළු ගඩොල් හා කිරිගරුඬ ටයිල්, එංගලන්තයෙන් ගෙන් වූ නාන කාමර උපාංග ධනකුවේරයාගේ මහා මන්දිරය අලංකාරයේත් පෞඩත්වයේත් සංකේතයක් බවට පත් කර ඇත. මැදුර තනනුවස් මහ මුදලි අප රටින් ලබාගෙන ඇත්තේ කළුගල් හා වැලි පමණකි. උළුවහු 99ක් හා ජනෙල් 38ක් මේ විසිතුරු මන්දිරය සතුය.
මහ මැදුර කේන්ද්‍රකරගත් ශ්‍රී විභූතිය කොතෙක් වීද යත්, ඒ ශ්‍රී විභූතිය කොතෙක් නම් දිගත පතල විහිදී තිබුනේ ද යත් එවක ආණ්ඩුකාරධූරය දැරූ ජෝර්ජ් ඇන්ඩර්සන් ආණ්ඩුකාරවරයා විසින් රිච්මන්ඞ් කාසල් මැදුරේ ආරක්ෂාව සහ මහමුදලිතුමාගේ කටයුතු වෙනුවෙන් හතලිස් දෙනකුගෙන් සමන්විත සැබෑ පිරිසක් එංගලන්තයේ රජ පවුලෙන් ඉල්ලා සිටින ලදී. පඩිකාර නම් එංගලන්තයෙන් නම්බු නාම ලද මේ මහමුදලිතුමා යටතේ එදා මුදලිවරු දොලොස් දෙනෙක් පමණ රාජකාරී කර ඇති අතර ඔහු සතු වත්කම් දරන ලද තනතුරු අනුව ඔහුට එකල එවන් බලවත් ආරක්ෂක විධිවිධානයන්ගේ අවශ්‍යතාව දැඩිව දැනීමද පුදුමයට කරුණක් නොවන බවට ඉතිහාසය සාක්ෂි සපයයි.
මහ මැදුරේ උඩුමහලේ කාමරයක මම මොහොතකට තනි වුණෙමි. ඉතිහාසය සහ මහ මුදලි වූ මගේ ඉතිහාසය මේ යැයි වදනින් නොව රුවින් කියන කළු සුදු විශාල ඡායාරූප එකතුවක් එම කාමරයේ බිත්ති පුරාමත් බිමත් රඳවා ඇත. භෞතික සුඛ විහරණයෙන් ආඩ්‍ය වූ මහමුදලිගේත් ළමා තැනීගේත් ජීවිත පුරා විසිරුනු සුඛ සම්පත්තිය ඒ ඇතැම් සේයාරූ වලින් මැනවින් ධ්වනිතය. එහෙත් ඒ සුඛය ඒ සතුට ඒ යුවතිපතින්ගේ සිත් මඬල පුරා විසිරී කැටි වී තිබුණාද යන පැනය මන්දිරය ඇසුරේ ලියැවුණු ඉතිහාසය විසින්ම අපහමුවේ ශේෂ කර තබන පැනයකි.
මතක කන්දරාවක් දරා හිඳින රිච්මන්ඞ් කාසල් මතක සංකලනයේ තවත් මතක අහුරක් මම පිරික්සා බැලූවෙමි.
නානායක්කාර රාජවාසල අප්පුහාමිලාගේ දොන් ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන පඩිකාර මහ මුදලිගේ පරපුර
IV වැනි පරාක‍්‍රමබාහු නිරිඳුට නෑදෑකමත් ඇති කෝට්ටේ සිටි සිංහල ප‍්‍රභූවරයෙක් එක්දහස් හයසිය පනස් ගණන් වලදී ගාල්ලේ බද්දේගම ප‍්‍රදේශයට පැනගොස් එහි විසුවේය. ඒ ප‍්‍රභූවරයා එසේ පැනගියේ එම සමයේදී කෝට්ටේ රාජධානියේ සිටි බෞද්ධ රජවරුන් ඝාතනය කරන්නට උත්සාහ ගත් අවස්ථාවකදීය. නානායක්කාර රාජවාසල අප්පුහාමිලාගේ දොන් පවුලිස් ද සිල්වා ඒ පරපුරේ සාමාජිකයෙකි. මහ මැඳුරට පණ දුන් මහ මුදලි ඔහුට ජාතකව උත්පත්තිය ලද පුත‍්‍ර රත්නයයි.
පිය පාර්ශ්වය පිරිසිදු බෞද්ධ උරුමය කරපින්නා ගත්තත් කුඩා වියේදීම කොළොම්පුරයට සේන්දු වූ ඔහු පුතු එකල තිබූ සමාජ වාතාවරණය අනුව කතෝලික දහම වැළඳ ගත්තේය. එදා රට පාලනය කළ සුදු ජාතික නිලධාරීන් සමග සමීප සබඳතා පැවැත්වීමට විවිධ ව්‍යාපාර ඔස්සේ මුදල් ඉපැයූ මහමුදලිට හැකියාව ලැබී තිබුණි. මහ මුදලිට වැවිලි ක්ෂේත‍්‍රයේ ප‍්‍රබලයකු වීමට සුදු නිලධාරීන් සමග පැවැත්වූ මේ ඇයි හොඳයිකම් ප‍්‍රබල ආධාරයක් බවට පත් වී තිබුණි. රේන්ද, මිනිරන් පතල්, මැණික් පතල් හා වෙනත් වෙළෙඳ ව්‍යාපාරයන්හි මුදුන් පෙත්තටම නැගී මහ මුදලි වැවිලි රජ්ජුරුවෝ යන අන්වර්ථ නමින් හඳුන්වන්නට තරම් සාර සම්පත් එදා ඔහු සතු විය.
![]() |
රිච්මන්ඞ් කාසල් මන්දිරය |
මහමුදලිගේ පියා නානායක්කාර රාජවාසල අප්පුහාමිලාගේ දොන් පවුලිස් ද සිල්වා ප‍්‍රභූවරයා කොල්ලූපිටියට පැමිණියේද ළාබාල වියේදීමය. කොල්ලූපිටිය මංසන්දිය අසල ඉසබෙලා කෝට් නම් මන්දිරය තනවන ලද්දේ ඔහු විසිනි. ඔහු බිරිය ඉසබෙලා ද සිල්වා නම් වූවාය.
පවුලිස්-ඉසබෙලා යුවළට දරුවෝ තිදෙනෙක් වූහ. හෙක්ටර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන පළමු දරුවා වූ අතර දෙවැනියා වූයේ රිච්මන්ඞ් කාසල් මහ මැදුරේ නිර්මාතෘවරයාය. තෙවැනියා දියණියකි.
මහමැදුරේ සැලසුම ඇන්ද හැටි
මහමුදලිගේ ළමා කාලයේදීම හෙතෙම අධ්‍යාපන කටයුතු සඳහා එංගලන්තය බලා නැව් නැග්ගේය. එංගලන්තයේ නැවතී අකුරු ශාස්ත‍්‍රය හදාරන ඔහුට ලෝකයේ විවිධ රාජ්‍ය පාලකයන්ගේ හා ධනවතුන්ගේ දරුවන් මිතුරන් ලෙසින් ඇසුරු කිරීමේ ඉඩහසර ද උදාවිය. එදා එංගලන්තය පාලනය කළ ජෝර්ජ් රජ පවුල සමග ද මේ සිංහල දරුවා සමීප සබඳතාවක් ගොඩනඟා ගත්තේය.
![]() |
![]() |
මුදලිගේ පියා සහ මව
අකුරු ශාස්ත‍්‍රය නිමවා යළි මව්බිමට පැමිණි මේ තරුණයාට ඒ සමගම කළුතර දිස්ත‍්‍රික්කයේ මහමුදලි තනතුර ලැබෙනු පිණිස ඔහු විසින් ඇති කර ගෙන තිබුණු මෙකී රාජකීය සබඳතාවද පවුරු පදනම් සකසාලීය. වයසින් ළාබාල වූවද ජෝර්ජ් රජ පවුල මේ සිංහල තරුණයා කෙරෙහි දැක්වූ මනාපය හා පැහැදීම මහමුදලි තනතුර වැනි භාරදුර තනතුරක් ඔහුට ලාබදීම කෙරේ පාදක විය.
එංගලන්තයට ගිය මේ සිංහල තරුණයා රටවල් ගණනාවක සංචාරය කළේය. ඔහු ඉන්දියාවට පැමිණෙන්නේ එසේ ගිය සංචාරයකදීය. මදුරාසියේ මහාරාජාවරයකුගේ දරුවකු ඔහු පාසල් වියේදී දැන හඳුනාගෙන සිටි අතර ඒ මිත‍්‍රත්වයේ ප‍්‍රතිඵලයක් ලෙස ඔහුට මාහාරජාගේ මාළිගාවට යාමේ අවස්ථාවක් උදාවිය.
මහාරාජාගේ මාළිගාවේ විසිතුරු නිමැවුම් තරුණ සිත අමන්දානන්දයට පත් කළා පමණක් නොව මමද දිනයක මෙවන් මැඳුරක හිමිකරුවකු වෙමියි යන සිතුවිල්ලද ඔහු සිත මත ජනිත කළේය. මදුරාසියේ රාම්නාද් ප‍්‍රදේශයේ සිටි මහාරාජාගේ මාළිගාව වැනි මාළිගාවක සිහිනය ඔහු තම පපුතුර සඟවා ගත්තේය.
සිහිනය සිතේ බලාපොරොත්තුවක් පමණක් නොව පියාපත් හිමි යථාර්ථයක් බවට පත් කර ගැනීමේ අභිලාෂය පෙරදැරිව හෙතෙම ඉනික්තිබි සිහිනයේ යථාර්ථය වෙත යා යුතු මඟහසර කවරක්දැයි කලපනා කළේය.
එක් අතකින් මහාරාජා මෙම ළාබාල සිංහල තරුණයා වෙත එක්තරා අභියෝගයක් කර තිබුණේය. එදා මන්දිරයේ දර්ශනීය විසිතුරු බව ළඟ රැඳුනු නෙත මහාරාජගේ මාළිගාවේ සැලසුම ඉල්ලා සිටියේය.
ඔබට පුළුවන්ද මෙවැනි මන්දිරයක් තනන්න. එය සිතීමත් විහිළුවක්. මහාරාජා ළාබාල සිංහල තරුණයාගේ ඉල්ලීම එක්වරම ප‍්‍රතික්ෂේප කළේය.
![]() |
රිච්මන්ඞ් කාසල් හිමිකරු වූ මහමුදලි |
නැහැ... මම මෙවැනි මන්දිරයක් මගේ වාසය පිණිස ඉදිකරනවාමයි. යන අදිටන ඔහු සිත්හි පැළපැදියම් වූයේ එක්තරා අයුරක අභියෝගයක් වූ ඒ සිදුවීමත් සමගමය.
සැලසුමක් කල්පනා කළ තරුණයා ලංකාවේ සිටිතම ඥාතීන්ට දැනුම් දුන්නේ දක්ෂ වඩුකාර්මිකයකු හා පෙදරේරුවකු ඉන්දියාවට එවන ලෙසය. ලංකාවේ සිට පැමිණි වඩුකාර්මිකයාට සහ පෙදරේරුවාට තම අවශ්‍යතාව පැහැදිලි කළ තරුණයා මන්දිරය දෙස පිටතින් බලා සැලසුමක් ඇඳ දෙන්නැයි නියෝග කළේය. රිච්මන්ඞ් කාසල් මහ මැදුරේ සැලසුම ඇඳුණේ ඒ ලෙසය.
තුරුණු සිතේ අබිමන් ඔදවැඩි රජිඳකුගේ අබිමන් හා සමාන වූ සෙයකි. එදා තමා මන්දිරයේ සැලසුම ඉල්ලා සිටි මොහොතේ තමා නොසලකා හැරී මහරාජට මෙහි පැමිණෙන ලෙස ආරාධනා කරමින් මහාරාජාලවාම මහා මන්දිරය විවෘත කරන්නට තරුණ සිතට බල කළේ ඒ අබිමන විසිනි. මහාරාජා ඒ ඇරියුම පිළිගත්තේය. අභිනව මැදුර අබිමුව දී මහාරාජා මොහොතකට ගල් ගැසී ඒ අලංකාර මැදුර දෙස බලා සිටියේය. තම මාළිගයට සමාන නමුත් මේ මැදුරේ නිමැවුම හා විසිතුර මගේ මාළිගාවටත් වඩා උසස් නොවේ දැයි යන සිතුවිල්ල ඔහුට අදහාගත නොහැකි සිතුවිල්ලක් විය. ශ්‍රී ලාංකීය වඩුකාර්මිකයන්ගේ පෙදරේරුවන්ගේ හැකියාවේ අපූරුව මහාරාජාගේ සිතේ විස්මයක් දැනවූවාට සැකයක් නැත. ඒ විස්මය සිතේ දරාගෙනම ඔහු නානායක්කාර රාජවාසල අප්පුහාමිලාගේ දොන් ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන මහමුදලිට ප‍්‍රසංශා කළේය.
(මතු සම්බන්ධයි)
(තොරතුරු ලබා දෙමින් අප ගිය ගමනට එක් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යානාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නන්ද ධර්මරත්න මහතාට අපගේ විශේෂ ස්තූතිය)