රිදී ජුබිලිය සමරන ශ්‍රී ලංකාවේ 12 වැනි ජාතික විශ්ව විද‍්‍යාලය



(ප්‍රින්ස් රත්නායක)

කොළඹින් කිලෝමීටර් 160ක පමණ දුරකින් පිහිටි සබරගමු සරසවිය, සමනල කඳු පන්තිය සිසාරා හමනා පවනත්,  මධ්‍යම කඳුකරයේ හොර්ටන්තැන්න සිඹිමින් ගලනා දිය සිසිලසත්, මුසුකරමින් නිමවූ සෞම්‍ය පරිසරයක හෙඹියේය. කුඩාගම මැදිකර වටව ඇති හාගල, පරෙවියන්ගල ඇතුලු නන්පෙරියල් කඳුවළල්ලත්, සමනල, නියඳගල ඇතුළු අනෙකුත් රක්ෂිත වනාන්තරත් මෙහි ශිල්ප හදාරන්නට එන පිරිසට මානසික පෝෂණය සපයයි.

සබරගමුව සරසවිය, ඓතිහාසික වටිනාකම් සහිත නගරයක පිහිටා තිබේ. ලොව ප්‍රථම අගමැතිනිය වන සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියත්, බලන්ගොඩ ආනන්ද මෛත්‍රී මහ නාහිමියනුත් ජන්මය ලැබූ මෙම භූමියේ, අතීතයේදී බලන්ගොඩ මානවයා ද විසූ බවට සාධක සහිතය. මානව ජනාවාස, මහරහතන් වහන්සේලා වැඩ සිටි බවට සනාථ කරන බ්‍රාහ්මීය අක්ෂර සහිත කූරගල, කල්තොට, බුදුගල ආදී ප්‍රදේශ, හිරිගල් ගුහා  පර්යේෂකයන් විසින් සනාත කර තිබීම හේතුවෙන් පෞරාණික මෙන්ම ‌ෙඑතිහාසික වටිනාකම ද ඉස්මතු කරයි.

‘නත්ථී ප්‍රඥා-සමා අභා’ - ‘ප්‍රඥාවෙන් තොර වෙනත් ආලෝකයක් නොවේ’ යන පාලි පාඨය බලන්ගොඩ අනඳමෙත් හිමියන්ගේ අනුදැනුම ඇතිව සරසවි තේමා පාඨය බවට පත්ව තිබේ. එහි ලාංඡනයෙන් දක්වන  සමනොළ කන්ද හා දෙපසින් ඇති මැණික් ආදියෙන් සබරගමුවේ අනන්‍යතාවය හා පහණින් ප්‍රඥාව නැමති ආලෝකයත් නිරූපණය  කරයි.

වර්ෂ 1993දී අනුබද්ධ විශ්වවිද්‍යාලයක් ලෙසින් ආරම්භ වූ සබරගමුව විශ්වවිද්‍යාලයේ, කුලපති ධූරය 1996දී අතිපූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රී මහනාහිමි විසින් දරන ලදී. ඒ මාස කිහිපයක් සඳහා පමණි. එවකට අනුබද්ධ විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂ ධූරය හෙබවූ  මහාචාර්ය දයානන්ද සෝමසුන්දර මහතා එහි උපකුල පතිධූරය ද දැරුවේය.

ආරම්භයේදී පීඨ 3 කින් අනුබද්ධ විශ්වවිද්‍යාලයක් සබරගමුව විශ්වවිද්‍යාලය පැවතිණි. එහි කෘෂි විද්‍යා පීඨය මව් පරිශ්‍රයෙන් කිලෝමීටර් 40 කට ආසන්න දුරකින් බොරලන්ද රහංගල ප්‍රදේශයේ ද, අනෙක් පසින් ඌව පළාතටම අයිති වූ කිලෝමීටර් 75 කට ආසන්න දුරක වූ  බුත්තල ප්‍රදේශයේ ව්‍යවහාරික විද්‍යා පීඨය ද ස්ථාපිත කර ඇත.

එය 1996දී ශ්‍රී ලංකාවේ 12 වැනි ජාතික විශ්වවිද්‍යාලයක් බවට සරබගමුව විශ්වවිද්‍යාලය පත්වන අතර, ඒ අවධිය වනවිට සිසුහු 325ක් ඉගෙනුම ලැබූහ.

 එතැන් පටන් මේ දක්වා උපකුලපතිවරු  08 දෙනෙකුගේ පාලනයට නතුව පැවති විශ්වවිද්‍යාලයේ, වර්තමාන කුලපතිධූරය වජිරාභිධාන මහාචාර්ය කුඹුරුගමුවේ වජිර මහනාහිමියන් දරන අතර, උපකුලපති ධූරය මහාචාර්ය උදය රත්නායක මහතා හොඹවයි. සබරගමු සරසවියේ 25 වැනි සංවත්සරය එහි කාර්ය මණ්ඩලය එක්ව ඉකුත් 2 වැනි දින උත්සවාකාරයෙන් සමරන ලදී.

මේ වනවිට සරබගමුව විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීහු 4,000කට  ආසන්න සංඛ්‍යාවක් ඉගෙනුම ලබති. අධ්‍යන අනධ්‍යයන පරිපාලන කාර්ය මණ්ඩලය ද ඇතුළුව සියලු පිරිස 6,000ක් පමණ  මානව සම්පත් මෙහි  ක්‍රියාත්මක් වෙති.  අධ්‍යයන පීඨයන් ලෙස  කෘෂි විද්‍යා, ව්‍යවහාරික විද්‍යා, සමාජයීය විද්‍යා හා භාෂා, කළමනාකරණ මෙන්ම නව පීඨයන් ලෙසින් වෛද්‍ය, පශ්චාත් උපාධි හා තාක්ෂණ පීඨ  එක්වීම බොහෝ සිසුන්ගේ විෂය ධාරාවන් හා රුචිකත්වය අනුව අධ්‍යයනය කිරීමට අවස්ථාව හිමිවීමකි.

සබරගමුව සරසවියේ අධ්‍යයන පාඨමාලා අනෙක් සරසවින්ගෙන් වෙනස් මගක් ගනී. සංචාරක කළමනාකරණය, මූල්‍ය කළමනාකරණය මෙන්ම ජර්මන්, ජපන්, චීන, හින්දි භාෂාවන් පිළිබඳව මෙන්ම පර්වර්තන අධ්‍යයනය ද විෂයමාලාවන් තුළ අන්තර්ගතය.

ආහාර පෝෂණය, ස්වාභාවික සම්පත් අධ්‍යයනය, තොරතුරු තාක්ෂණය, ක්‍රීඩා ඒ ඒ පාඨමාලාවන්ට අදාළව සමහරකි. සම්ප්‍රදායික විෂය ධාරාවෙන් බැහැරව නව විෂය ක්ෂේත්‍රයන්ට යොමුවෙමින් නවීන සමාජයීය අවශ්‍යතාවයන්ට ගැළපෙන අයුරින් විෂය පථය සැකසී ඇත. එබැවින් රැකියා පෝලිමක නොසිටම තම උපාධිය සම්පූර්ණ කළ විගසින් තම අපේක්ෂිත ක්ෂේත්‍රය කරා යොමුවීමට විද්‍යාර්ථීන්ට අවස්ථාව සැලසේ. විශාල ඉල්ලුමක් පවතින මිනින්දෝරු වෘත්තිකයන් වෙනුවෙන් ද පාඨමාලාවන් මෙහි වෙයි. ශ්‍රී ලංකාවට ම පවතින එකම පීඨය වන භූ විඥාපන පීඨය  සබරගමුව සරසවියටම සුවිශේෂී වූවකි.

ඉදිරි වසර තුළ පශු වෛද්‍ය පීඨයක් ද ඇරඹීමට නියමිත අතර, එය පශු වෛද්‍යවරුන්ගේ හිඟයට පිළියමක් වනු ඇත.  


 පසෙකින් වලවේ ගඟ, පහන්තුඩා ඇල්ල, සුරතලී ඇල්ල, දියවිනි ඇල්ල, දූවිලි ඇල්ල, හිරිකටුඔය, බෙලිහුල්ඔය ආදීය ද, කළුපහන, බඹරකන්ද, නන්පේරියල් වංගෙඩිගල, හෝර්ටන්තැන්න වැනි ස්වභාවික පරිසරය ද විඳගතහැකි එකම විශ්වවිද්‍යාලය සබරගමුව විශ්වවිද්‍යාලයය. සිසුන්ගේ චාරිකා අතර සිසුන් අතර ‘ආදර කන්ද’ නමින් ප්‍රකට පරෙවියන්ගල කඳු තරණය සෑම වසරකම සිසුන්ට ආහ්ලාදජනක ආනන්දනීය කඳු තරණයකි. එහි දුෂ්කරබව  හේතුවෙන් එකිනෙකාට උදව් කරගැනීම මෙන්ම ආදර සම්බන්ධතා තහුවරු වීම ද මෙම ගමනෙහි විශේෂත්වයකි. මේ බව ප්‍රවීණ ගායක කරුණාරත්න දිවුල්ගනේ මහතා විසින්  ගායනා කරන ගීතයක ද ගැබ්ව ඇත.

සරසවි මාතාව කෙරෙහි වන ආදරය, ලැදියාව හේතුවෙන් විද්‍යාර්ථීහු සිය දෙවැනි මව ලෙසින් සරසවිය සලකති.