රුපියල් තුන්සීයක පගාවක් ගත් පවට විසි වසරක් මළවුන් සමඟ ජීවත්වෙන රාජ්‍ය සේවකයා


  11-page1-S2-3

 

ජීවිතයේ අසතුටු දායක කාලයක් ගතවෙද්දී ඉන් වගකීම බැහැර කිරීම හා හිතට සහනයක් ලබාගැනීමට මිනිස්සු ඊට විවිධ නිර්වචන ලබාදේ. ඇතැමුන් කියන්නේ අපල කාලයක් බවය. තවත් පිරිසක් කියනුයේ කරුමය යන්නය. තවත් පිරිස් කියන්නේ පෙර කළ අකුසල් පළදී තිබෙන බවය. තවත් පිරිස් කියන්නේ මෙලොවදී සිදුකළ පව් පටිසන් දී ඇති බවය. තවත් සමහරු කියන්නේ සියල්ල සිදුවන්නේ තමන්ගේ නොසැලකිල්ල නිසා බවය.

එහෙත් මේ සියලු දේ ප්‍රතික්ෂේප කරමින් තමන් කළ වරදට තමන්ම දඬුවම් ලබාදී දැනට දඬුවම් ලබන අපූරු පුද්ගලයකු පිළිබඳව අපට වාර්තා විය. ඒ ගලේවෙල කලාවැව පාරේ බේලියකන්ද ප්‍රදේශයෙනි. ගලේවෙල පදිංචි දුමින්ද බණ්ඩාරනායක මහතා අපට මේ අපූරු පුද්ගලයා පිළිබඳව දැනුම්දීමත් සමඟ අපි ඔහු සොයාගෙන ගියෙමු.

11-page1-S2-2
ඔහු නමින් රණවීර ආරච්චිගේ දොන් ඬේවිඞ් (75) වෙයි. මේ පුද්ගලයාගේ විශේෂත්වය වන්නේ වසර විස්සක පමණ කාලයක සිට බේලියකන්ද පොදු සුසාන භූමියේ තනා ඇති මළසිරුරු භූමදානය කිරීමට පෙර මඳ වේලාවක් තබා තිබීම සඳහා ඉදිකර ඇති කුඩා මඩුවේ ජීවත් වීමයි. මිනී පෙට්ටි තබන කොන්ක්‍රීට් බංකුවේ නිදා ගැනීමයි. ඊටත් වඩා විශේෂත්වය වන්නේ මේ පුද්ගලයා මීට පෙර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු වීමය. ඉංග්‍රීසි සිංහල භාෂාව කතා කිරීමට ලිවීමට ඉගැන්වීමට ඇති හැකියාව ද තවත් විශේෂයකි.


මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු ලෙස අනුරාධපුර ප්‍රදේශයේ සේවය කරමින් සිටින කාලයේ හරක් මස් කඩ හිමියකුගෙන් රුපියල් 300ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී මෙම පුද්ගලයා අල්ලස් හෝ දූෂණ කොමිසමේ නිලධාරීන්ට හසුවී අධිකරණයට ඉදිරිපත් කොට එකල නීතියෙන් දඬුවම් විඳ වර්තමානයේ තමන් කළ බරපතළ වරදට තමන් විසින් නියමකැර ගෙන තිබෙන දඬුවම විඳිමින් සිටීම ද විශේෂත්වයකි.


එම දඬුවම නම් ජීවිතාන්තය දක්වා මුදල් උපයීමක් නොකොට ලැබෙන දෙයකින් කුස පුරවාගෙන සොහොනකට වී මිය යන තුරුම එහි ජීවත්වීමයි. මෙම අරුම පුදුම දඬුවම් විඳින ඬේවිඞ් මහතා හමුවී අපි ඔහු සමඟ කතා කළෙමු.


“ඇත්තටම මාව බලන්න මේ කනත්තට ආපු ඔබතුමන්ලා බොහෝම  ගෞරවයෙන් පිළිගන්නවා. මං ඉතින් මේ අවුරුදු විස්සක්ම මේ සොහොනේ තමයි ඉන්නේ මේ ගමේ හැමෝම වගේ මට කන්න ටිකක් දෙනවා”.


“මගේ උපන්ගම හැංවැල්ලේ, මම රටේ බොහෝ ප්‍රදේශවල හිටියා. අන්තිමට තමයි මෙතෙන්ට ආවේ. ගොඩක් කල් හිටියා පන්සල් පල්ලිවල. අන්තිමට මම සොහොන තෝරාගත්තා අන්තිම කාලේ මෙතනම ගෙවන්න”


“මම ඉස්සර අනුරාධපුර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හැටියට තමයි සේවය කළේ. මම කසාද බැන්දේ නැහැ.” ඒ ඉන්න අතරේදී තමයි මම ලොකු වරදක් කළේ. අදටත් මම ඒ වරදට තමයි මේ දඬුවම් නියමකරගනු ලැබ තියෙන්නේ මම විසින්ම. මම මස්කඩ කාරයෙකුගෙන් රුපියල් 300ක මුදලක් ගත්තා. මස් කඬේකට අනුමැතියකට. එදා වෙස්වළාගෙන හිටපු නිලධාරී මාව අත්අඩංගුවට ගත්තා. දඬුවම් වින්දා රැකියාව අහිමි වුණා. ඊට පස්සේ මම තැන තැන ටියුෂන් පන්ති කළා. ඒත් හැම වෙලාවෙම මට මතක් වුණේ මේ කරපු වැරදි වැඬේ. රුපියල් ශත නිසා මගේ රැකියා, අධ්‍යාපනය, පවුලේ අය මේ සියල්ලටම හානියක් වුණේ. මම කල්පනා කළා තනිවම කොහේ හරි ගිහින් ජීවත් වෙන්න. සල්ලිවලින් තොරව කව්රුහරි දුන්නොත් කාලා පොතක් පත්තරයක් කියවලා ජීවිතයේ යථාර්ථය අවබෝධ කරලා මැරෙන්න. ඒ මැරෙන ගමන යන්න සුදුසුම තැන මෙතන. ඒ නිසා මම මෙතන ඉන්නවා.”


“මට සහෝදරයෙක් හිටියා. එයා දැන් ඉන්නවද මැරුණද කියලා දන්නේ නැහැ. මම සෙව්වෙත් නෑ. එයාලා මාව සොයාගෙන අවෙත් නෑ. ආයේ නම් එන්නේ නැතිවෙයි. දැන් මට අවුරුදු හැත්තෑ පහක් වෙනවා. ඔය තව ටික දවසක් ඉඳලා මැරිලා යාවි මෙතනම”


“මේ සොහොනේ ඉද්දී මම කවදාවත් බය වෙලා නැහැ. හොල්මන් දැකලා නෑ. මම මේ නිදා ගන්න කොන්ක්‍රීට් ලෑල්ලේ මේ අවුරුදු විස්සට මිනී කීයක් තියලා ඇද්ද. ගමේ කවුරු හරි මැරුණාම භූමි දානය කරන වෙලාවට මම මෙතනින් එහාට යනවා. එයාලා මිනී පෙට්ටිය මේ මම බුදියන එකේ තියලා අවසන් ගෞරව දක්වලා වළදාලා යනවා. ඊට පස්සේ මම ඇවිල්ලා අතු පතු ගාලා ආයෙත් නිදාගන්නවා. බයක් වෙන්න දෙයක් නැහැනේ. මොකද මම හිත හොඳට හදාගෙන ඉන්නේ. අවබෝධ කරගෙන තමයි ඉන්නේ.”

11-page1-S2-1

ඔහු ජීවත්වන සුසාන භූමියේ පිහිටි මඩුව

 


“මගේ ගම් පළාත්වල විස්තර කියන්න මම අකමැතියි. මොකද ඒ අය සොයාගෙන ආවොත් ඒක දුකට හේතුවක් වෙනවා. මම අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල ආදී ප්‍රදේශ ගණනාවක පිරිවෙන්වල නොමිලේ ඉංග්‍රීසි උගන්නැව්වා. මොනවා කරන්නද ඉතිහාසයේ රජවරුන් පාරේ හිඟාකාලා තියෙනවා. කම්පා වෙන්න දෙයක් නෑ. අපි කරන හැමදේටම ප්‍රතික්‍රියාවක් තියෙනවා. අපි ඒක දන්නේ නැතුව වැඩ කරනවා. ඒ නිසා සමස්ත ජනතාවට කියන්නේ ඒ ගැන අවබෝධයෙන් සේවය කළ යුතුයි. එහෙම නැත්තම් ප්‍රතික්‍රියාව එනකල් තමන්ම දන්නේ නැහැ. අපි කරගන්න දේවල්වලට අපි විසින්ම වන්දි ගෙවනු ලැබිය යුතුයි. මමත් ඒ වන්දිය තමයි මේ ගෙවන්නේ. එදා මේ රුපියල් 300 නොගෙන මගේ වැටුපෙන් සතුටු වුණා නම් අද මම හොඳ සේවකයෙක්. ඒත් අද මහ මඟට වෙලා මරණය එනතුරු මඟ බලා ඉන්නවා. මම ඉගෙන ගත්තේ කටුගස්තොට සෙන් ඇන්තනීස් කොලේජ් එකේ. අපි ඉගෙන ගත්තේ එංගලන්තෙන් ආපු අයගෙන්. ඒ කාලේ ඉගෙන ගත්තේ ඔක්කොම ඉංග්‍රීසියෙන්.”


“මොනවා උණත් වැඩක් නැහැ වැරදි කරලා අපිට හොඳින් ඉන්න බෑ. කවුරු හෝ දැන දැන වරදක් කළාම තමන්ගේ යටි හිත මේක කිය කියා වධ දෙනවා. ලෙඩ කරවනවා. බය ඇති වෙනවා. සමාජයට කොපමණ හොඳ මූණ පෙන්වාගෙන පිරුවට ඇඳගෙන ලොකු යාන වාහනවලින් ගියත් වැඩක් නෑ. තමන් හදවතින් මහා දුකක් විඳිනවා. ඒක කටවත් පේන්නේ නැහැ. ඒ හදවතින් විඳින දුක තමයි මම මේ නැතිකර ගන්නේ. අඩුම තරමේ මින් මතු ඉපදෙන බවයකදී හෝ මගේ අතින් මෙවැනි වැරැද්දක් නොවෙන්න කියලා. මේවා මම අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. වැරදි කරපු අය ඕනෑ තරම් ඉන්නවා.

 තමන්ගේ හදවතට තට්ටු කරලා අහන්න. එයා තමයි මේ සියල්ලටම උත්තර දෙන්නේ. ඒ උත්තරේ කාටවත් නොකීවාට වැඩක් නෑ. ඒක ලියවෙන්න ඕන තැන ලියවිලා ඉවරයි. ඒ නිසා පුළුවන් තරම් වැරදි අඩුවෙන් කරන්න. ජනතාවට උදව් කරන්න. දැහැමින් ජීවත් වෙන්න. එතකොට මේ වගේ ජීවිත ගෙවන්න වෙන්නේ නැහැ. ඇත්ත අවබෝධ කරගන්න උත්සාහ කරන්න”

Untitled-1