පාතාලයේ නැඟිටීම, රටේ ආරක්ෂාව අනතුරකද? රුපියලේ අගය බාල්දුවීමට බලපෑ සාධක, අපනයන නැංවීමට ගෙන ඇති පියවර මොනවාද? සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම යනාදී කරුණු සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සහ අාර්ථික කටයුතු රාජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.
ප්‍රශ්නය - රට පාතාලයට යටවෙලාද?
පිළිතුර - බොහෝවිට මාධ්‍යවල ප්‍රධාන සිරස්තලය බවට පත් වෙන්නේ කෙනෙකුට වෙඩි තැබීමක්, බෝම්බයක් ගැසීමක්, ඝාතනයක් වගේ සිද්ධියක්. එක්කෝ ජනතාවත් මේ වගේ කතා කියවන්න කැමැත්තක් තිබෙනවා. නැති නම් මාධ්‍යවලටත් තමන්ගේ අලෙවිය, රේටින්ස් වැඩිකර ගන්න මේවා අවශ්‍ය වෙනවා. ඒක එක පැත්තක්. ඇමෙරිකාව වැනි රටක් ගත්තොත් ප්‍රධාන පුවත්පත් හෝ මාධ්‍යවල මේවා පළකරන්නේ නෑ. වෙනම ටැබ්ලොයිඩ් තියෙනවා. ‘‘නැෂනල් ඉන්ක්වයර්’’ එයට උදාහරණයක්. හැබැයි නිව්ෙයා්ක් ටයිම්ස් පුවත්පතේ තිබෙන්නේ හරයක් තිබෙන කතා. පාතාලය, මිනීමැරුම් ගැන ඒ පුවත්පතේ කියන්නේ නැතුවා නෙමෙයි. එවැනි සිද්ධි නිරන්තරයෙන්ම ප්‍රමුඛ කොට ගන්නේ නෑ.
ඒ කොහොම වුවත් පාතාල සිද්ධිවල සංඛ්‍යාත්මක වැඩිවීමක් තිබෙනවද කියා පොලිස්පතිතුමාගෙන් මම විමසුවා. දත්ත අනුව එහෙම වැඩිවීමක් නැති බව එතුමා කිව්වා. යම් ක්‍රමයකට පාලනය වී තිබෙන බවයි එතුමා කියන්නේ. එහෙත් පසුගිය දින කීපයේ මාධ්‍යවල සිරස්තල දෙස බැලුවාම මිනීමැරුම් යනාදිය සිදුව තිබෙනවා. නිව්ස් ඇලර්ට්වලත් එන්නේ මේ වගේ පුවත්. උත්තරේ වෙන්නේ ‘ඔව්’ සහ ‘නෑ’ දෙකම. ඇත්තටම දත්ත නැති නිසා මේවා කොයිතරම් ප්‍රතිශතයකින් අඩුවෙලාද වැඩිවෙලාද කියා කියන්න මට බැහැ. එහෙත් මාධ්‍ය දිහා බැලුවාම මේක වැඩිවෙලා වගෙයි පේන්නේ.
ප්‍රශ්නය - හැබැයි වත්මන් ආණ්ඩුව යටතේ පාතාලය හිස ඔසවලා කියලයි චෝදනා නැඟෙන්නේ. නීතිය ක්‍රියාත්මකවීමක් නැතිද?
පිළිතුර - මෙතැන කරුණු දෙකක් තිබෙනවා. ඉස්සර කාලෙ නීතිය තිබ්බේ අතේ. දැන් නීතිය තිබෙන්නේ පොතේ. ලොකුම වෙනස ඒක තමයි. කසළ තේ පිටරට යවන ජාවාරමක් වසර කීපයකට පෙර තිබුණා. අපේ ගෙවල් ප්‍රදේශයෙත් මෙයට සම්බන්ධ අය සිටියා. ඒ අයට වුණේ මොකද්ද? සුදුපාට වෑන් රථයක් තුළ ඒ අය මරාදමා තිබුණා. එහෙමත් ප්‍රශ්න විසඳපු යුගයක් තිබුණා. මාතර සිද්ධියෙන් මියගිය පොලිස් නිලධාරියාට වෙඩිතැබූ පුද්ගලයා පැරැණි ක්‍රමයට ඝාතනය වී තිබුණා. මේකට මංගල ඇමැතිවරයා දැඩි ප්‍රහාරයක් එල්ල කළා. චූදිතයාටත් නීතිය එක සේ ක්‍රියාත්මක විය යුතු බව ඔහු කියා තිබුණා. යම් ආකාරයකට එදා පැවැති ක්‍රමයේ වෙනස්වීමක් අද සිදුව තිබෙනවා.
අපරාධ කියන්නේ මිනීමැරුම් පමණක් නෙමෙයි. මූල්‍ය වංචා, දූෂණ යනාදියත් එයට අයත්. අද සමහරු ලංකාවෙ ඉන්න ලොකුම නීතිඥයන් අල්ලාගෙන ඇප ගන්නවා. නැතිනම් බන්ධනාගාර ගත කරන්න එපා කියා මාස ගණනකට අධිකරණ නියෝග ගන්නවා. මේවා සියල්ල දෙස බලන්න ඕන සමස්ත ක්‍රමවේදයේ වෙනසත් සමඟයි නීතිය තිබෙන්නේ අතේද? පොතේද? චූදිතයකු වරදකරුවකු වනතෙක් ඔහු වරදකරුවකු කරන්න අපට බැහැ. පොලිස් නිලධාරියකු ඝාතනය කිරීම අප කිසි ලෙසකින්වත් අනුමත කරන්නේ නැහැ. එහෙත් සමස්ත වැඩපිළිවෙළේ වෙනස එතැන සිට බලන්න බැහැ. යම් චූදිතයකුට වුවත් ව්‍යවස්ථාවෙන් ඇති අයිතිවාසිකම් රැකෙනවාද කියා බලන්න ඕන. එදා ඒවා රැකුණේ නැහැ. එදා මාධ්‍යවේදීන්ට වුණු දේ අපි දන්නවානේ. ආණ්ඩුවට ආණ්ඩුවේ ප්‍රධානීන්ට අද දැඩි ප්‍රහාර මාධ්‍යයෙන් එල්ල වෙනවා. ඒ නිදහස අද තිබෙනවා.
එදා එහෙම කළාම ලසන්ත වික්‍රමතුංග, කීත් නොයාර්ට වුණු දේ අපි අමුතුවෙන් කියන්න ඕන නැහැ. සමස්ත ක්‍රමයේ වෙනස්වීමත් සමඟ අධිකරණ ක්‍රියාවලියෙන් සාමාන්‍ය පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ලැබී තිබෙනවා. එහෙම නම් ආණ්ඩුවට ඇඟිල්ල දිගු කරන්නේ කොහොමද? ආණ්ඩුවට ඇඟිල්ල දිගු කරන්නේ ව්‍යවස්ථාව අනුව ජනතාවට ඇති අයිතිවාසිකම් දී ඇති නිසාද? නැති නම් ඔය කියන රැල්ල මර්දනය කරන්න පොලිසියට බැරි නිසාද? මේ දෙකම බලපානවා. පොලිසියට මේ ප්‍රශ්නය හරියට පාලනය කරගන්න පුළුවන් වුණා නම් මේක මෙතරම් සමාජගත වෙන්නේ නැහැ. යම් අඩුපාඩුවක් එතැන ඇති බව පිළිගන්නවා. ව්‍යවස්ථාවෙන් ඇති අයිතිවාසිකම් ඒ පුද්ගලයන්ටත් ලැබී ඇති බව කියන්න ඕන.
ප්‍රශ්නය - දකුණේ වගේම උතුරෙත් භයානක අවි ආයුධ සමග පුද්ගලයන් හසුවෙනවා. රටේම ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් මතුවෙලාද?
පිළිතුර - මේ සම්බන්ධයෙන් මාධ්‍යයෙන් සාකච්ඡා වෙනවා දැක්කා. සමහරු භීතිකාවක් මවන්න උත්සාහ කරනවා. යුද්ධයක් තිබූ රටක වළදමා තිබෙන ආයුධ වරින් වර හසුවේවි. මේවා සමග මිනිස්සු හසුවේවි. ඒක අලුතෙන් කියන්න ඕන දෙයක් නෙමෙයි. එක තැනක වුණු සිද්ධියක් ලොකු කරලා කියන්න බැහැ. බස් එකේ බෝම්බයක් පිපිරුණු වෙලාවෙදි වැදගත් යැයි කියන දේශපාලනඥයන් කිව්වේ මොනවද? ඔන්න කොටි නැගිටලා කිව්වා. කඳවුරක සිටි සොල්දාදුවකු නිවාඩුවට ගෙදර යද්දී හොරකම් කරගෙන ගිය බෝම්බයක් මගදී පිපිරුවා. හැබැයි ඉතින් මේක සමාජගත කරන්න ගියේ වැරැදි ආකාරයට නේ. බොරු ප්‍රවෘත්ති නිර්මාණය කර සමාජ මාධ්‍යවල ප්‍රචාරය කළාම ඒව ඇත්ත කියා ජනතාව සිතනවා. මේ නිසා ඇත්ත බොරු මොකද්ද කියා දන්නේ නැහැ.
ප්‍රශ්නය - රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නය මතුවෙලා ද කියලයි ඔබෙන් ප්‍රශ්න ප්‍රශ්න කළේ?
පිළිතුර - රටේ ආරක්ෂාව පිළිබඳ සම්පූර්ණ වගකීම තිබෙන්නේ අපේ රජයට. විපක්ෂයට නෙමෙයිනේ. ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධ වගකීම රජය ගන්නවා. යම් පසුබෑමක් තිබෙනවා නම් රජය ඒ සම්බන්ධව ක්‍රියාත්මක වෙන්න ඕන. සිවිල් ආරක්ෂාවට පොලිසිය සිටිනවා. රටේ ආරක්ෂාවට ත්‍රිවිධ හමුදාව ඉන්නවා. රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ වගකීම ජනාධිපතිතුමත් රුවන් විජයවර්ධන ඇමැතිතුමත් දරනවා. රටේ ආරක්ෂාව පිළිබඳ ලොකු ගැටලුවක් තිබෙනවා කියා මම නම් සිතන්නේ නැහැ. තැන් තැන්වලින් ව්‍යාජ ප්‍රවෘත්ති නිර්මාණය කර ප්‍රචාරය කළාට එහෙම ගැටලු මහ පොළොවේ ඇති වෙන්න බැහැ. සුළු දේවල් පවා ලොකු කර පෙන්වන අවස්ථා තිබෙනවා.
එදා සමහර ඇමැතිවරු පාතාලයන්ට රැකවරණය දුන්නා. එක් ඇමැතිවරයකු ප්‍රභූ පර්යන්තයෙන් ගොස් පාතාලයකු ගුවන්යානය ඇතුළට ගෙනගොස් තිබුණා. නූරි වතු අධිකාරී ඝාතනය කළ අත කොටාට එදා දේශපාලන රැකවරණ තිබුණා. ඒ තත්ත්වයත් සමඟයි සසඳන්න ඕන. අද කාටවත් එහෙම බේරිලා යන්න බැහැ. දේශපාලනඥයන්ගෙ පවුල්වල අයටවත් අද බේරෙන්න බැහැ. නීතිය අතට අරගෙන කටයුතු කරපු කාලයත් අද වාතාවරණයත් අතර ලොකු වෙනසක් තිබෙන බව අපි පිළිගන්න ඕන.
ප්‍රශ්නය - බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා චෝදනා කරන ආකාරයට රුපියල මස්තබාල්දු වෙලාම ගියා නේද?
පිළිතුර - මගේ මිත්‍රයට කියන්න එක කතාවක් තිබෙනවා. අනෙක් රටවල් සමග සසඳන විට රුපියලේ තත්ත්වය මොකද්ද කියා කියන්නම්. රුපියලේ අගය රඳා පවතින්නේ දිගුකාලීනව හා මධ්‍ය කාලීනව අපට ලැබෙන ඩොලර් ආදායම මතයි. අපනයන, සංචාරකයන් හා අපේ අය පිටරටවලට ගොස් රැකියා කර ලබන ආදායම් අනුව රුපියලේ අගය රඳා පවතිනවා. කෙටි කාලීනව විදේශ ණය මෙයට බලපානවා. ඒ වගේම මධ්‍ය කාලීනව සෘජු විදේශ ආයෝජන බලපානවා. අපට තිබෙන ඩොලර් සංචිත වෙළෙඳපොළට මුදාහැර රුපියලේ අගය අල්ලගෙන ඉන්න පුළුවන්. ගිය ආණ්ඩුව කාලෙ රුපියල් 108 මට්ටමේ පවත්වාගෙන ඉන්න බව කිව්වා. 108 සිට 112ට ගොස් දින තුන හතරකින් ඩොලරයක වටිනාකම රුපියල් 134ට ගියා. එහෙම වුණේ සංචිත වෙළෙඳපොළට මුදාහැර රුපියලේ අගය රැකගන්න බැරි නිසයි. දැනට අපට ඩොලර් බිලියන 10ක සංචිත තිබෙනවා. මේ සංචිත වෙළෙඳපොළට මුදාහැර රුපියලේ අගය 155ට 156ට අල්ලගෙන ඉන්න පුළුවන්. හැබැයි ඒක දිගුකාලීන විසඳුමක් නෙමෙයි.
සමහරු මහ බැංකු අධිපතිට දෝෂාරෝපණය කරනවා. ඒක වැරැදියි. එතුමා දේශපාලනඥයකු නෙමෙයි. එතුමා අනුගමනය කරන්නේ රටට වඩාත්ම යෝග්‍ය වැඩපිළිවෙළයි. ඒ නිසා සමහර වෙලාවට ආණ්ඩුව අපහසුතාවට පත්වෙනවා. රුපියල අවප්‍රමාණය වෙනවට දේශපාලනඥයා කැමැති නැහැ. හැබැයි මහ බැංකු අධිපතිතුමා රුපියල දකින්නේ ආණ්ඩුවට ඕන හැටියට හෝ වෙනත් අයකුට ඕන ආකාරයට නෙමෙයි. දැන් අපනයන තරමක් වර්ධනය වෙමින් තිබෙනවා. මේක තව වැඩිකර ගන්නයි බලන්නේ.
මහ බැංකු අධිපතිට තිබෙන්නේ දේශපාලනයෙන් තොර වගකීමක්. දියුණු රටවල පවතින්නේ එහෙම වාතාවරණයක්. ඇමෙරිකාවේ මහ බැංකු අධිපතිවරයා ට්‍රම්ප්ට ඕන හැටියට ඩොලරය තියා ගන්නේ නැහැ. හොංකොං, සිංගප්පූරුව ආදී රටවල මහ බැංකු නැහැ. අපේ රට මෙච්චර කල් ඇන ගත්තේ සෑම දෙයක්ම පටු දේශපාලන කෝණයකින් බැලීම නිසයි. කෙටිකාලීනව රුපියලේ අවප්‍රමාණයක් හෝ අධිප්‍රමාණයක් පැවතීම මහා දේශපාලන ප්‍රශ්නයක් හැටියට නොගෙන තරගකාරී වෙළෙඳපොළක් නිර්මාණය කිරීමට අවශ්‍ය තාක්ෂණික තීරණ ගන්න අපට පුළුවන් වෙන්න ඕන. ඒ දැනුම, බුද්ධිය, පරිණත බව ඇති අයට එයට ඉඩ දෙන්න ඕන. රුපියලේ අගය පාලනය කිරීම ගැන දේශපාලනඥයන් දන්නේ මොනවද?
2012 - 2016 දී රුපියලට මොකද වුණේ. ඒවා සමඟයි අද තත්ත්වය දෙස බලන්න ඕන. මහ බැංකුව තාක්ෂණිකව අවශ්‍ය කටයුතු කරනවා.
ප්‍රශ්නය - රටේ අපනයන ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින පරිසරයකදීත් මෙවන් තත්ත්වයක් ඇති වී තිබෙන්නේ ඇයි?
පිළිතුර - මේකට ආසන්නම හේතුව තමයි ඇමෙරිකාව කීපවරක්ම ඔවුන්ගේ පොලී අනුපාත වැඩි කිරීම. අවම වශයෙන් තවත් දෙවරක් පමණ මේ වසරේදී පොලී අනුපාත වැඩිවන බව ඔවුන් කියා තිබෙනවා. අපි ඒකට සූදානම් වෙලා ඉන්න ඕන. ඇමෙරිකාවේ පොලී අනුපාත වැඩිවන විට ලංකාව ආදී රටවල ඇති ඩොලර් ඒ රටට ඇදී යනවා. මේ වසරේ ජනවාරි පළවැනිදා සිට පසුගිය 12 වැනිදා වනවිට ඉන්දීය රුපියල සියයට 6.6කින් අවප්‍රමාණය වෙලා. ඉන්දුනීසියාවේ සියයට 7.7කින්, පෝලන්තය සියයට 6.7කින්, හංගේරියාව සියයට 7.7කින්, පෝලන්තය සියයට 6.7කින්, රුසියාව සියයට 9.9කින්, ද. අප්‍රිකාව සියයට 10.7කින්, තුර්කිය සියයට 20.3කින්, ආර්ජන්ටිනාව සියයට 32.6කින්, බ්‍රසීලය සියයට 11.5කින්, වියට්නාමය සියයට 0.6කින්, ලංකාව සියයට 4.1කින් ආදී වශයෙන් මුදල් ඒකක අවප්‍රමාණය වී තිබෙනවා. ඕස් ට්‍රේලියාවේ පවා සියයට 4.6කින් මුදල් ඒකකය අවප්‍රමාණය වෙලා. මේ වගේ උදාහරණ රාශියක් දෙන්න පුළුවන්. ඉන්දියාවට ඕස්ට්‍ර්ලියාවට ඕන තරම් සංචිත තිබෙනවා. ඒත් ඒ රටවල් මුදල් අවප්‍රමාණය කර තිබෙන්නේ ඇයි? ඔවුන් මෙහෙම කරන්නේ තරගකාරී පරිසරය නිර්මාණය කරගන්න. දේශපාලනඥයන් අකමැති වුණාට මේවා තාක්ෂණික තීරණ.
අවප්‍රමාණය නිසා අපේ බඩුමිල වැඩි වෙන බව ඇත්ත. ආනයන යම් පමණකට අඩු වෙනවා. ඒ වුණත් තමන්ගේ මුදලේ අගය අවප්‍රමාණය වෙනවට කවුරුත් කැමැති නැහැ. රුපියලේ අගය ශක්තිමත් කළ හැකි එකම ක්‍රමය අපේ වෙළෙඳ පොළ ලෝකයට එකතු කිරීමයි. අපනයන වැඩි කරන්න ඕන. වෙන කිසිම ක්‍රමයක් ඕකට නැහැ. බන්දුල ගුණවර්ධන මගේ මිත්‍රයා මේක හොඳටම දන්නවා.
ප්‍රශ්නය - අපනයන වැඩි කරන්න ඕන කිව්වට නිෂ්‍පාදනය නංවන්න ආණ්‍ඩුව ගෙන ඇති පියවර මොකද්ද?
පිළිතුර - අපනයනයට අපි දෙන ප්‍රමුඛතාව මොකද්ද? ආයෝජකයන් වැඩියෙන් ආයෝජනය කරන්නේ වැඩි ලාබයක් ගන්න පුළුවන් තැන්වල. ඉදිකිරීම්වලට කාලයක් ආයෝජනය කළා. එයින් ලාබ ඉපැයුවා. ඒවා ලෝකයත් සමග වෙළෙඳාම් කරන භාණ්ඩ නෙමෙයි. අපනයන ආයෝජන අඩුවීමට මෙය බලපෑවා. රුපියල ශක්තිමත් කරන්න, රට සංවර්ධනය කරන්න නම් ලෝක වෙළෙඳපොළේ තරගකාරී භාණ්ඩ නිපදවන තැනට අපි යන්න ඕන. ඒකට අවශ්‍ය පසුබිම රජය සකසන්න ඕන. ජී.එස්.පී. ප්ලස් හරහා අපට යුරෝපයට භාණ්ඩ වර්ග 6600ක් බදු නැතිව යවන්න පුළුවන්. දැන් අපනයනකරුවන්ට ඇනවුම් විශාල වශයෙන් ලැබී තිබෙනවා. ධීවර අපනයන ශීග්‍ර ලෙස වැඩිවෙලා. වෙළෙඳ ගිවිසුම් අත්සන් කර අවස්ථාව උදාකරදීම රජයට කරන්න පුළුවන්. අපනයනකරුවන්ට අවශ්‍ය ණය පහසුකම් ලබාදෙන්න පුළුවන්. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා හරහා ව්‍යවසායකයන්ගේ කොතරම් පොලී කපා හරිනවාද? සමහර ව්‍යවසායවලට ණය පොලිය බින්දුවයි. තව තැනකදී සියයට හැටකින් පොලිය කපනවා. මෙවැනි ක්‍රමවේද හරහා උත්සාහ කරන්නේ නැවත මේ රටේ අපනයන ආර්ථිකයක් ස්ථාපිත කරන්නයි. ලෝක වෙළෙඳපොළෙන් එළියට ඇවිත් අපට තනිවම වෙළෙඳාම් කරන්න බැහැ. ඒ යථාර්ථය වටහා ගන්න ඕන. මේක අභියෝගයක්. අපි ඒක ජයගන්න ඕන. තව වසර කීපයකින් මේ වැඩේ ගොඩදාගන්න අපට පුළුවන්.
ප්‍රශ්නය - සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම හරහා මුළු ආර්ථිකයම බිල්ලට දෙන්න ආණ්‍ඩුව කටයුතු කරන බවට නැඟෙන චෝදනාව ගැන කියන්නේ මොකද්ද?
පිළිතුර - ඒක සම්පූර්ණයෙන්ම කරුණු විකෘති කිරීමක්. මේ ගිවිසුමේ මූලික අරමුණ සිංගප්පූරු ආයෝජන ලංකාවට ගෙන්වා ගැනීමටයි. අවශ්‍ය ස්ථාවරත්වය ඇති කිරීමයි. ආසියානු වෙළෙඳපොළ අග්නිදිග ආසියානු වෙළෙඳපොළ මේ හරහා අපට විවෘත වෙනවා. විවිධ අසත්‍ය ප්‍රචාර මේ ගැන ගොස් තිබෙනවා. විවිධ ස්වාධීන වෘත්තීයවේදීන් ඒවි කියන බිය පතුරා තිබෙනවා. මෙවන් අයට මේ ගිවිසුම යටතේ ලංකාවට පැමිණ ක්‍රියාත්මක වෙන්න බැහැ. අපි බලන්න ඕන අපේ වෙළෙඳපොළ තවත් විවෘත කර ගන්න. තවත් ව්‍යාප්ත කරගන්න. අභියෝගවල බය වුවොත් කවදාවත් අපට ඉදිරියට යන්න බැහැ. ලාංකිකයෝ බලගුල්ලෝ නෙමෙයි නේ. වියට්නාමය සම්පූර්ණයෙන් වෙළෙඳපොළ විවෘත කළා. ඔවුන් ඒ අභියෝගය ගත්තා. හතර වටේ බදු ගහලා ට්‍රම්ප් දැන් වැඩේ අනාගන්නයි යන්නේ. ඒ මානසිකත්වය අපට ඕන නැහැ. අපට අවශ්‍ය ලී ක්වාන් යූ වගේ මානසිකත්වයක්. මහතීර් මොහොමඩ් වගේ මානසිකත්වයක්. එහෙම මානසිකත්වයක් තිබුණොත් ඉදිරියට යන්න පුළුවන්.