විර්තාමුල්ලේ ගමගේ දොන් ප‍්‍රැන්සිස්කු සේනාරත්න කුමාරප්පෙරුමාල් උපන්නේ බෙලිඅත්තේ තදාවත්ත ප‍්‍රදේශයේය. තරුණ වියට පැමිණීමත් සමගම ප‍්‍රදේශයේ මුදලිවරයාගේ ලියනඅප්පු රස්සාව බාරගත් ඔහු තම ස්වාමියාට බොහෝ සේ ගරු සරු දක්වමින් හැකි උපරිමයෙන් රස්සාව කරගෙන ගියේය.
‘‘මුදලි තුමා, මාවත් ආණ්ඩුකාර උත්තමය ගාවට එක්කගෙන ගිහින්, මටත් ආණ්ඩුවේ රස්සාවක් අරගෙන දෙන්නකො’’ ලියන අප්පු, හැමදාමත්, මුදලිට කරදර කළේය.
එවකට ලංකාවේ පහතරට ප‍්‍රදේශයේ පාලනය සිදුවුණේ ලන්දේසි ආණ්ඩුකාරයා යටතේය. උඩරට ප‍්‍රදේශ රාජාධි රාජසිංහ රජුගේ පාලනයට අවනතව තිබිණි. වර්ෂයක් ලෙස සඳහන් කළොත් ඒ 1740 තරම්ය.
‘‘යමුකො එහෙනම්..’’
තම ලියන අප්පුගේ කරදරයේ අවසානයක් නොමැති තැන මුදලි පැවසුවේය.
ප‍්‍රැන්සිස්කු, කොළඹ යන්නේ ඒ අනුවය.
ආණ්ඩුකාර කාර්යාලයට ගිය මුදලි ආණ්ඩුකාරවරයා මුණගැසී තම ලියන අප්පු ගැන සඳහන් කළේය.
පහතරට ලන්දේසි පාලනයට උදව් උපකාර කරමින්, ඔවුන්ගේම ආගම අදහන සිංහලයන්ට, ලන්දේසි ආණ්ඩුකාරයාගේ ලොකු පැහැදීමක් තිබිණි. විශේෂයෙන් බෙලිඅත්තේ මුදලි කෙරෙහි ඔහුගේ විශ්වාසයද ඉහළය.
ප‍්‍රැන්සිස්කු තමා හමුවට කැඳවාගත් ආණ්ඩුකාරයා, ඔහු සමඟ කළ කතාවෙන් ඒ බව පැහැදුණේය. අන්තිමේදී කොළඹ වරායටත් අලි වෙළෙඳාමටත් සම්බන්ධ සුළු රාජකාරියකට ප‍්‍රැන්සිස්කුට පත්වීමක් ලැබිණි.
බෙලිඅත්තෙන් කොළඹට ආ ප‍්‍රැන්සිස්කු කොල්ලූපිටියෙන් ගෙයක් සොයාගත්තේය.
මේ වනවිට ලංකාවේ බොහෝ ප‍්‍රදේශ වනගතව පැවතියේය. අද ජනාකීර්ණව පවතින අවිස්සාවේල්ල සීතාවකසේම ගාල්ල හා මාතර පවා බොහෝ ප‍්‍රදේශ පැවතියේ වනගතවය. මේ වනගත ප‍්‍රදේශ වල්අලින්ගේ රාජධානි බවට පත්ව තිබිණි.
මේ නිසාම ලංකාවේ අලි අල්ලා එතෙරට පැටවීම ලන්දේසි ආණ්ඩුව කාලයේ රජයට ආදායම් ලබාදුන් වෙළෙඳාමක් බවට පත්ව තිබිණි. ප‍්‍රැන්සිස්කු සේනාරත්න ද කොල්ලූපිටියට වී මේ අලි වෙළඳාම පිළිබඳ විවිධ කටයුතුවල නිරතව සිටියේය.
බබානෝනා හාමිනේ ඔහුගේ ඇසගැසුණේ ඔන්න ඔය කාලයේය. එවක පාසල් පවත්වා ගෙන ගියේ පල්ලියෙනි. මේ පල්ලියේ පාසලක උගැන්වීම් කටයුතු කරගෙන ගිය හුරුබුහුටි ගුරුතුමිය දුටුවිට ප‍්‍රැන්සිස්කුගේ පෙම් හැඟීම් අවදිවිය.
කකුල්දෙකම වැහෙන දිගු සායත් පපුව සහ දෑත මුළුමණින්ම වැසී තිබුණු කබාකුරුත්තාවක් ඇඳ සිටි මේ තරුණිය ප‍්‍රැන්සිස්කුට රසඳුනක් විය.
මුලින් මුලින් ඇය පාසලට යන හැටි දුරතියා බලාගෙන සිටි ප‍්‍රැන්සිස්කු අවසානයේ ඇයට විවාහ යෝජනාව ඉදිරිපත් කළේය.
බබානෝනා හාමිනේගේ කැමැත්ත ද ඔහුට ලැබුණේ ඔහු ආණ්ඩුවේ සේවය කිරීම නිසාමය. මෙකල ආණ්ඩුවට සම්බන්ධ කරන රස්සාවලට හිමිව තිබුණේ ලොකු පිළිගැනීමකි. ගැහැනියකට දුකක් නැතිව ජීවත්වීමට නම් ඇගේ සැමියා ආණ්ඩුවේ රස්සාවක් කළ යුතුය යන පිළිගැනීමක් මෙකල පැවතිණි.
ඉතින් ප‍්‍රැන්සිස්කුගේත් බබානෝනා හාමිනේගේත් විවාහය අලංකාරවත් ලෙස සිදුවිය. ප‍්‍රැන්සිස්කුගේ කොල්ලූපිටියේ ගෙදර තිබුණු හුදෙකලාව මේ සුන්දර ගුරුවරිය නිසා තුරන් වී ගියේය.
වැඩිකල් නොයාම මේ ගෙදරින් කිරිකැටියකුගේ හැඬීම ඇසිණි. දවසින් දවස ආදරයේ සුන්දරත්වය මැද දවස් ගෙවීගිය අතර ප‍්‍රැන්සිස්කුටද දරුවන් පස්දෙනකුගේ ආදරය විඳින්නට ඉඩ ලැබිණි. මේ දරුවෝ අම්මා ඉගැන්වීම් තුළ පාසලෙන්ම මූලික අධ්‍යාපනය ලබාගන්නට තරම් වාසනාවන්ත වූහ.
මොවුන් බම්බලපිටියේ මිලාගිරිය පල්ලියේදී බෞතීස්ම කෙරුණේ ඔවුන් ඇදහූ මේ ක‍්‍රිස්තියානි ආගම වූ නිසාය.
කරතොට ධර්මාරාම හිමි වාසය කළ ගොඩනැගිල්ල |
ප‍්‍රැන්සිස්කු සේනාරත්නගේ දෙවැනි දුව 1759 අවුරුද්දේ දී බෞතීස්ම කෙරුණේ දෝන ඉසබෙලා කොර්නේලියා යන නමිනි.
මෙන්න මේ දෝන ඉසබෙලා යනු පසුකලෙක අපේ රටේ අතිශය ජනප‍්‍රිය චරිතයක් බවට පත්වූ කාන්තාවකි. අද මෙසේ ඇය ගැන ලියවෙන්නේ ඇත්තටම ඇය චරිතයක් බවට පත්වුණු නිසාමය. ඉතින් ඇය ගජමන් නෝනා ලෙස රට පතළ වූ කාන්තාව බව තව දුරටත් නොකියා නොසිටිමු.
ගජමන් නෝනාගේ වයස අවුරුදු දාහතරට කිට්ටුවෙද්දී ඇගේ පියාවූ ප‍්‍රැන්සිස්කුට රස්සාවේ උසස්වීමක් ලැබිණි. ගජමන් ආරච්චි ලෙසද හැඳින්වුණු මේ තනතුරත් සමඟම ප‍්‍රැන්සිස්කුට මාරුවීමක්ද ලැබිණි. ඒ අනුව මාතරට ගිය ඔහු කොල්ලූපිටියෙන් ගියේ තම දරු පවුලද කැඳවාගෙනය. මාතර දිස්ති‍්‍රක්කයේ අලි ඇල්ලීමේ සහ හීලෑ කිරීමේ කටයුතු බාර නිලයේ ප‍්‍රධානත්වය ප‍්‍රැන්සිස්කෝට දරන්නට සිදුවිය. එසේම කහවත්ත තෝම්බුවද බාරකෙරුණේ ඔහුටය.
යළි උපන් ගමට පැමිණීමේ සතුට හදපුරා භුක්ති විඳි ඔහුට පත්තායමේ ලේකම්ගේ ඇසුරද ලැබිණි. තම ඥාතියකු වූ ඔහු ඒ වනවිට ප‍්‍රදේශයේ පත්තායම් හෙවත් වීගබඩා පහක් බාරව සිටියේය.
මොහු ලන්දේසි ආණ්ඩුවේ අනෙකුත් නිලධාරීන් මෙන් නොව හොඳට සිංහල භාෂාව ඉගෙනගෙන සිටියේය. කාව්‍යය ශාස්ත‍්‍රයටද කුසලතා දැක්වූ හෙතෙම සිංහල උගත්තේ රුහුණු පුරවරයේ පමණක් නොව උඩරට රාජ්‍යයේද නම පතළ වූ උගත් පඬිරුවනකගෙනි. ඒ කරතොට ධර්මාරාම හාමුදුරුවන්ගෙනි.
පත්තායමේ ලේකම් ප‍්‍රැන්සිස්කු සේනාරත්නගේ දරුවන් කෙරෙහි විශේෂ සෙනෙහසක් දැක්වීය. මේ අතුරින්ද ඔහුගේ හිතගත්තේ හුරුබුහුටි ගැහැනු දරුවාය. සිංහල භාෂාවට මෙන්ම කාව්‍ය රචනයටද ඇල්මක් දැක්වූ ඇය ළංකරගෙන තමා දන්නා සිංහලත් කාව්‍ය ශාස්ත‍්‍රයත් ඇයට උගැන්වීම පත්තායමේ ලේකම්ට සතුටක් විය. එහෙත් ඔහු දන්නා ශාස්ත‍්‍රය මදිබව වටහාගත් පත්තායමේ ලේකම් ප‍්‍රැන්සිස්කු හමුවී ඔහුට ඉදිරිපත් කළේ අපූරු යෝජනාවකි.
”මේ කෙල්ල ඉගෙනීමට බොහොම දක්ෂයි. කවියටත් බොහොම කැමැත්තක් තියෙනවා. කරතොට හාමුදුරුවො ළඟට යවල උගන්න ගත්තා නම් රට පතළ කවිකාරියක් කරගන්න තිබුණා.”
ප‍්‍රැන්සිස්කු තම ඥාතියා දෙස බැලූවේ විසල් කරගත් දෑසිනි.
”කරතොට උන්නාන්සේ ගෑනු දරුවන්ට උගන්වන්නෙ නෑ නොවැ පත්තායමේ ලේකම්...”
”ඒකනම් එහෙම තමා. ඒත් මේ කෙල්ල තාම පොඩි නිසා කොණ්ඩෙ කපල පිරිමි ඇඳුම් අන්දලා ගත්තොත් කෙල්ලක් කියලා අඳුනගන්න අපේ හාමුදුරුවන්ට බැරිවෙයි...”
ප‍්‍රැන්සිස්කු සේනාරත්න තම දරුවා දෙස බැලූවේය. තවමත් වැඩිවියට පත්නොවූ බැවින් ඇගේ ළය පෙදෙසද උස්ව තිබුණේ නැත.
”අපි එහෙනම් එහෙම කරමු, හැබැයි හාමුදුරුවො රහස දැනගත්තොත් නම් විනාශයක් වෙන්නෙ.”
”අපි කෙල්ලට කියමු පන්සලේදී කොල්ලෙක් වගේ ඉන්න කියල.”
පත්තායමේ ලේකම් කීවේය. ප‍්‍රැන්සිස්කු හිස වැනුවේය. කොර්නේලියා තමන් වෙත කැඳවූ පත්තායමේ ලේකම් දරුවාගේ හිස අතගා ළඟට ගත්තේය.
‘‘දුව ආසයි නේද කාව්‍ය ශාස්ත‍්‍රය පරතෙරටම ඉගෙනගන්න.’’
කෙල්ල සතුටින් ඔව් කීවාය.
‘‘ඒත් මම නම් ඒ ගැන මහා ගොඩාක් දන්නෙ නෑ. මමත් ඉගෙනගත්තෙ කරතොට හාමුදුරුවන්ගෙන්.’’
ගජමන් නෝනා බෞතිස්ම කළ මිලාගිරිය පල්ලිය
‘‘ඉතින් මාවත් ඒ හාමුදුරුවො ළඟට යවන්න මාමෙ.’’
‘‘පොඩි ප‍්‍රශ්නයක් තියෙනවා දරුවො... ඒ හාමුදුරුවො ගෑනු ළමයින්ට උගන්නන්න බාරගන්නෙ නෑ. ඔයා යනව නම් යන්න වෙන්නෙ කොල්ලෙක් වගේ පිරිමි වෙස් අරගෙන.’’
”ඉතින් මාමෙ මම කොල්ලෙක් වගේ ඉන්නම්.”
කොර්නේලියා කීවාය.
පත්තායමේ ලේකම් ප‍්‍රැන්සිස්කු දෙදෙනා බබා නෝනා හාමිනේගේද සහය ඇතිව, කෙල්ලට කොල්ලකුගේ වෙස් ගැන්වීම ආරම්භ කළෝය.
ලබන සතියට