රෝ, බිය දුරු වී ජය, සතුට උදා වේවා


වර්ෂයක් ගෙවී නව වර්ෂයක් උදාවීම පුද්ගල චින්තනයත් බාහිර ක්‍රියාකාරකනුත් යම් තරමකින් හෝ වෙනස්කමක් දැකීමට පෙළගැස්වීමකි. එහිදී බොහෝ දුරට නව චින්තනයක් අපේක්ෂා කරනු ඇත. සෑම දෙයක්ම සුබ විදියට සිදුවීම කාගේත් අපේක්ෂාව වනු ඇත. යහපත් සිතුම් පැතුම් යහපත් ක්‍රියාකරකම් නව වර්ෂයක පුද්ගල සන්තානයෙන් ඇති විය යුතුව ඇත. ඒ සඳහා අභියෝග ජයගත යුතුය. සියලු බාධක ජය ගැනීමට හැකියාව ඇත්තේ ඉවසීමේ ගුණය වර්ධනය කළ අයට පමණි. ‘‘ඉක්මන් කොටයි’’ සේම ඉවසීමෙන් සැනසීම ලැබේ’’ යන පාඨ පිළිබඳව සිතීම දේශපාලන ක්ෂේත්‍රයේ ඉහළ සිට පහළ අය දක්වාම වැදගත් වන්නකි.

බුදු දහම තුළ ඇති ‘‘අභික්කම’’ යන වචනයෙන් අර්ථවත් වන්නේ පෙරමුණටම (ඉදිරියටම) යන්න කියායි. මා යන උපසර්ග පදය ඒ සඳහා එකතු වූවෝතින් එපා යන අර්ථය ගෙන දේ. මා ‘‘නිවන්ත අභික්කම’’ යනුවෙන් සිදුහත් කුමරු බුද්ධත්වය පතා රජමාලිගයෙන් නික්මෙන අවස්ථාවේදී මාරයා විසින් කළ ප්‍රකාශය තුළින් ඉදිරියට නොයන්න හා නවතින්න යන අර්ථය ප්‍රකාශ කොට ඇත. ඒ අනුව විශෙෂයෙන් රජයක් වශයෙන් එම ප්‍රකාශ පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් වනු ඇත. රටට සුබ වැඩ පිළිවෙළක් කිරීමට ප්‍රයත්න දරන ඕනෑම වේලාවක සතුරෝ මාරයින් විලසින් කුපිත වී එම සුබ වැඩය කඩාකප්පල් කිරීම සාමාන්‍ය ක්‍රියාවකි. එවැනි අවස්ථාවලදී බුද්ධිමත්ව ක්‍රියා කිරීම රටට ආදරය කරන දේශපාලනඥයින්ගේ වගකීම විය යුතුය.

2021 වර්ෂය නිමා වී අදා වන්නේ 2022 වර්ෂයයි. එහිදී තවත් අවධානය යොමු කළ යුතු දෙයක්නම් වැරදි අඩුපාඩු සකස් කරගෙන ඉදිරියට යෑමයි. පුහුදුන් සත්ත්වයන් වශයෙන් හා තුළත් වැරදි අඩුපාඩු තිබෙනු ඇත. කෙනෙකුට තවත් කෙනෙකුට ඇඟිල්ල දික් කිරීමට බැරි තරමට පුහුදුන් සත්වයන් තුළින් වැරදි අඩුපාඩු සිදු වේ. සිත, කය, වචන යන තුන් දොරින් ම එම ක්‍රියාව සිදු වේ. ‘‘හොඳ මිනිසුන් කියන්නේ වැරදි නොකරන අය නොව වැරදි හදාගත් අයයි’’ යනුවෙන් විලියම් ශේක්ෂ්පියර් පවසා ඇත. කෙනෙක් තුළ වැරැද්දක් නැතැයි කීම සාධාරණ කියමනක් නොවේ.

රටක විවිධ ජාතීන් සේම විවිධ ආගමිකයන් ද වසනු ඇත. ඒ අනුව වර්ග කිරීම දැඩි ලෙස ගැනීම පාලන කටයුතුවලට බාධා පැමිණෙනු ඇත. විශාලව වැවුණු වෘක්ෂයක අතු කපා දැමීම නිශ්ඵල ක්‍රියාවකි. එසේ වෘක්ෂය විනාශ කිරීමට අවශ්‍යනම් එය හට ගැනීමේ බීජයම විනාශ කළ යුතුය. හේතුඵල ධර්මයට අනුව බීජය ඇති කල්හි පැළය වේ. බීජය නැති කල්හි පැළය නොවේ. නමුදු බොහෝ දෙනෙක් රටක ප්‍රශ්න දෙස බලන්නේ තම තම දෘෂ්ඨිකෝණ තුළිනි. පොදු දෘෂ්ඨි කෝණයකින් බලන්නෝ ඉතා අල්පය. ඒ අනුව රටක් ඉදිරියට යෑම සිදු නොවේ.

කා තුළත් ඇත්තේ රතු රුධිරයයි. යම් ගමනක් ඇරඹීමේදී කාටත් පොදු න්‍යායක් දෙස පළමුව අවධානය යොමු කොට පුද්ගල වර්ගීකරණයක් ඊට පසු සිදු කිරීම වැදගත් වනු ඇත. විවිධ ප්‍රභේද හේතුවෙන් සියල්ලෝටම ඒකමතික අදහසක් දීමට අපහසුය. 

ඉදිරියටම යෑමේදී වැදගත් වන කරුණක් නම් දුර බලන්න ළඟ නොබලන්න යන්නයි. ජාතක පොත් වහන්සේ තුළ ඇති දිඝති කෝසල ජාතකය තුළින් ඒ බව අර්ථවත් කොට ඇත. දීඝං පස්ස මා රස්සං

දුර බලන්න ළග නොබලන්න යන්නෙහි ලොකු අර්ථයක් තිබෙනු ඇත. දීඝති කුමරුගේ මව පියා දෙදෙනාම දීඝකෝසල රජු විසින් මරා දැමූහ. දිඝති කුමරුට මවුපියන් මැරූ පළිය ගැනීමේ වරාය උදා වුවද කුමරු එසේ නොකොට අනුන්ට හිංසා කිරීම සත්පුරුෂ ධර්මයක් නොවේයැයි දැන රජු සමග කඩුවෙහි අත ගසා දිවුරා ඔවුනොවුන් ක්ෂමා කරගත්හ. ඒ අනුව සිතීමේදී අද සිදු වන්නේ එහි අනිත් පැත්තය. පුංචි දේට පවා රණ්ඩු වීම අඩ දබර වීම, ඇන කොටා ගැනීම, ගහමරා ගැනීම සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇත.

සමහරු බලයට එන්නට උත්සහා කරන්නේ අනෙකාට තරගයක් දීමටය. සදාකාලික ගින්නක් ඇති කිරීමෙන් රටක්, සමාජයක් ඉදිරියට යෑමක් සිදු නොවේ. හැමදාම උසාවි ගානේ​ ​පොලිසි ගානේ ළඟින්ම නඩු හබම විසදා විසදා ඉන්නවා හැර ඉදිරියට යෑමක් දක්නට නොලැබේ. ඒ අනුව පළිගැනීමේ චේතනා ඉවත් කොට රට ඉදිරියට ගෙන යෑමේ සුබ වැඩ පිළිවෙළකට එකතු වීම හා සහයෝගය දීම කළ යුතුව ඇත. දේශපාලනඥයන් බෙදා ගැනීමට ඔවුන්ට ඇති පක්ෂපාතිත්වය අනුව රට වැසියාද නිරන්තරයෙන් කලකෝලහාවලට යොමුවීම ද අනුවණ ක්‍රියාවකි.

සුද්ධි අසුද්ධි පච්චත්තං - නාඤ්ඤාමඤ්ඤාං විසෝධයෙ

පිරිසුදුකමද අපිරිසුදුකමද පවත්නේ තමන් තුළය අනෙකෙක් අනෙකකු පිරිසුදු කරන්නේවත් අපිරිසුදු කරන්නේවත් නොවේ.

අප රටේ දේශපාලනය කරන්නන් තුළ ඇති ප්‍රධාන ලක්ෂණයක් වන්නේ නිරන්තරයෙන් අනෙකාට බැණ වැදීමය. තම තමා පිළිබඳව වර්ණනා කරගන්නවා හැර තමා තමාගේ වැරදි අඩුපාඩු ගැන සිතීමක් නැත. සියල්ලෝම එක අත්තේ ගෙඩි කන කුරුල්ලන්ය. හොඳ හොඳ ගෙඩි සොයමින් ඒ ඒ ගසට පියාඹමින් අතු නගා ගෙඩි කන්නවුන් සේ කරන විනාශය කියා නිමකළ නොහැක. රට වැසියාද නිරන්තරයෙන් හඩ නගන්නේ අනවශ්‍ය දේවල් සඳහා ඒවා වැඩි දියුණු කර ගැනීම සඳහාය. ගෙවල් – දොරවල් ආහාරපාන ඇඳුම්, පැළඳුම් බේත් හේත් යන ජනතා මූලික අවශ්‍යතා බොහෝ දෙනෙකුට තිබුණද සෑහීමකට පත් නොවනු ඇත. අද පොල් අතු ගෙයක් දකින්නට නැති තරම්ය. බොහෝ ගෙවල්වල මෝටර් සයිකලයක් හෝ දකින්නට ලැබෙනු ඇත. පුංචි අය තුළ පවා ෆෝන් දෙක තුනය. ඉන්දියාව, නේපාලය වැනි රටවල නිරන්තරයෙන් වන්දනාවේ යාමද සිදු වේ. අප රටේ ද වන්දනා ගමන් නිරන්තරයෙන් යෑම සිදුවේ. අද ඒවා වාර්තා වශයෙන් ශ්‍රද්ධාවක් නොමැතිවම සිදුවේ. නගරයට ගියකල ඇඳුම් කඩවල පෝලිමට ඇඳුම් ගැනීමට සැරසී ඇත. මේ ආදී වශයෙන් බලන කල්හි අන් රටවල් සමග සංසන්ධනය කිරීමේ දී අප රට ප්‍රපාතයටම නොවැටී ඇත. නමුදු බොහොමයක් පිරිස් ලද දෙයින් සතුටු නොවී හූල්ල හූල්ල පිනට ලැබෙන දේ පිළිබඳව සිත සිතා ඒ පිළිබඳ විවේචනය කරමින් සිටිති. බංගලිදේශ ඉන්දියා, නේපාල, සෝමාලියා, ඉතියෝපියා වැනි රටවල මොනතරම් මිනිසුන් දුක් විදිනවාද ඉන්දියාවේ මිනිසුන් එදා වේල සොයා ගැනීමට තව මිනිසෙක් රික්ෂෝ එකක දමාගෙන පැදගෙන යති. ආසියාතික සමහර රටවල භික්ෂුන් වහන්සේලා එහි ඇති දුෂ්කරතා හේතුවෙන් අප රටට පැමිණ අධ්‍යාපන කටයුතු සිදු කරති.

ඒ තරමටම දුක් විදීමට තරම් අප රටේ මිනිසුන්ට අවස්ථාව උදාවී නැත. ගහක් කොළක් හෝ එදා වේල සරිකර ගැනීමට ඇත. රැකියාවලට ඇබෑර්තු නිරන්තරයෙන් පුවත්පත්, පෝස්ටර් , ආදිය තුළින් නිකුත් වේ. නමුදු හඬ නගන්නේ අන් දුප්පත් රටවැසියන්ටත් වඩා නැතිබැරි කමින් අන්තයට වැටුණා සේය. එයට හේතුව අනවශ්‍ය වියදම් හා ලද දෙයින් සතුටු නොවීමය. අපේ අතීතයේ මිනිසුන් ගෙවූ ජීවිත ගැන සිතුවොත් ඔවුන්

සුහර – ආහාරයෙහි පමණ දැන ක්‍රියා කිරීම
සල්ලහුකවුත්ති - සැහැල්ලු දිවි පෙවෙත
අප්පිච්ජතා - අපේක්ෂා අඩු බව
සන්තින්ද්‍රිය – ඉදුරන් සංවර කර ගැනීම
සන්තුට්ඨි - ලද දෙයින් සතුටු වීම
මුදු - මෘදු සිත් ඇත්තෙක් වීම
අප්පකිච්ච – වැඩ අඩු බව

යනාදී ගුණ තුළින් පෝෂිතව ඉතා සතුටින් ජීවන රටාව ගෙන ගියහ. අද බොහෝ පිරිස් නිතරම අතෘප්තිය, අපහාසය තුළ ජීවත් වන්නේ තම තමන්ගේ දෝෂයක් හේතුවෙනි. අප ජීවත් වීමේදී අධික ආශාවන්ගෙන් මිදිය යුතුය. තරගකාරී බවෙන් (රැල්ලට යෑමෙන්) සිදුවන්නේ ලොකු විනාශයකි. එදිනෙදා ජීවන රටාව තුළ අතවශ්‍යය දේ ලබා ගැනීමෙන් සොම්නසේ ජීවන රටාවක් ගෙන යෑමට අපහසු නැත. බඩ පිරුනට හිත පිරෙන්න නෑ වගේ සැහැල්ලු බවින් කවදාවත් සෑහීමකට පත් නොවීමෙන් ප්‍රශ්නද නොවිසදීම සිදු වනු ඇත. ඒ අනුව තම තමන්ගේ ප්‍රශ්න දැන හඳුනාගෙන උදාවන 2022 වර්ෂයෙ වැරදි අඩුපාඩු සකස් කර ගනිමින් රජය කර වන පිරිසක් රටවැසියන් බුද්ධිමත්ව ජීවිතයට මුහුණ දීමට අධිෂ්ඨාන කර ගත යුතුය.

(***)
මහව උඩගම ශ්‍රී ඉන්දසුමන මහ පිරිවෙන්හි
ගලගෙදර රතනවංස හිමි