රෝගීන් තව තවත් ලෙඩ කරන පෞද්ගලික රෝහල් ගාස්තු


06_SLTK_P6_Back

 

එක දවසකට හවස් වරුවක රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම ඉදිවෙන දිගම පෝලිම කුමක්ද? නගර ගම් බිම් සිසාරා තැන තැන ඉදිවෙන පෞද්ගලික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන අසල රැස් කරන ජනතාවක් දක්නට ලැබීම සාමාන්‍ය කරුණක් වී තිබේ. අපේ රටේ බාහිර රෝගී ප්‍රතිකාර සේවාවන්ගෙන් සියයට තිස් පහක් (35%) සිදුවන්නේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන වලිනි.


පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන යනු කුමක්ද? 2006 අංක 21 දරන පෞද්ගලික වෛද්‍ය ආයතන ලියාපදිංචි කිරීමේ පනතට අනුව පෞද්ගලික වෛද්‍ය ආයතන යනු යම් රෝගයක් හේතුවෙන් තුවාල වූ හෝ දුබල තාවකට පත්වූවෙකුට වෛද්‍ය, සාත්තුසේවා යනාදිය සැපයීම සඳහා රජයේ නොවන ආයතනයක් ලෙස ලියාපදිංචි කරන ලද ආයතනයකි.


සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ඇති පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාව මගින් සපයන වාර්තාවන්ට අනුව පෞද්ගලික රෝහල් සාත්තු නිවාස සහ මාතෘ නිවාස පෞද්ගලික වෛද්‍ය රසායනාගාර, වෛද්‍ය මධ්‍යස්ථාන, වෛද්‍ය පරීක්ෂණ මධ්‍යස්ථාන, දිවා සත්කාර වෛද්‍ය මධ්‍යස්ථාන, චැනල් සේවා, පූර්ණ කාලීන සාමාන්‍ය වෛද්‍ය ප්‍රතිකාර සේවා බෙහෙත් ශාලා, වෛද්‍ය සායන, පූර්ණ කාලීන හා අර්ධ කාලීන දන්ත ශල්‍ය වෛද්‍ය සේවා, පූර්ණ කාලීන විශේෂඥ සේවා හා පෞද්ගලික ගිලන් රථ සේවා මෙන්ම ලේ බැංකු, මූල සෛල බැංකු දන්ත රසායනාගාර, නිවාස සාත්තු සේවා සහ වෛද්‍ය මිනිස් බල පුහුණු ආයතන යනාදිය පෞද්ගලික වෛද්‍ය ආයතන කුලකයට අයත්වේ.


ඉහත කවර වර්ගයේ ප්‍රතිකාර සේවාවන් ලබා ගැනීමට හෝ වේවා ඔබ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට පිවිසිය හොත් පෞද්ගලික වෛද්‍ය සේවා නියාමන සභාව මගින් නිකුත් කරන ලද ලියාපදිංචි සහතිකයක් හෝ හඳුනාගැනීමේ පුවරුව එහි ප්‍රදර්ශනය වී ඇත්දැයි විමසිලිමත්ව බැලිය යුතුවේ.
ජනතාව තම සෞඛ්‍ය සේවාවන් සඳහා පෞද්ගලික වෛද්‍ය ආයතනවලට යොමු වන්නේ රජයෙන් සැපයෙන නිදහස් සෞඛ්‍ය සේවාවන් ප්‍රමාණවත් නොවීම නිසා යැයි පැවසීමේ වරදක් නැත.දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘදයාබාද වැනි දීර්ඝ කාලීන රෝගී තත්ත්වයන් සහ වකුගඩු රෝගය වැනි කලින් කලට ව්‍යාප්ත වන රෝගයන් සෞඛ්‍ය සේවාවන්වල පෝලිම් වැඩි කිරීමට හේතුවේ.


රටේ ඇතැම් පෞද්ගලික වෛද්‍ය සේවා සපයන ආයතන සිය සේවාවන් සැපයීමේ දී අයකරනු ලබන ගාස්තු සහ එම සේවාවන්ගේ ගුණාත්මක භාවය සම්බන්ධයෙන් ගැටලු මතුවූ අවස්ථා බොහෝමයක් අපට හමුවී ඇත.


පෞද්ගලික වෛද්‍ය සේවා සපයන ආයතන මගින් සිදු කෙරෙන්නේ ව්‍යාපාරයකි. නමුත් රජයේ රෝහල්වලට සාපේක්ෂව හොඳ ආගන්තුක සත්කාරයක් සැපයීම, රෝගීයා කෙරෙහි නිතර නිතර අවධානය යොමු කරමින් කටයුතු කිරීම, වැනි හේතූන් නිසා ජනතාව පෞද්ගලික වෛද්‍ය සේවා ලබා ගැනීමට පැමිණේ.


මෙරට පෞද්ගලික වෛද්‍ය ආයතන මගින් සපයන සේවාවන් ගුණාත්මකද? ඒවායේ සිදු කෙරෙන අය කිරීමේ වංචනිකද? කොපමණ මුදලක් අය කරයිද? ඉන් ලැබෙන ප්‍රතිකාර ප්‍රමාණවත්ද? යන්න විමසීම මෙවර ගවේෂණයේ දී අපගේ අරමුණ විය.


ගවේෂණයේ දී අපට හමුවූ කොළඹ ප්‍රදේශයේ මවක් දැක් වූ අදහස් මෙසේය.


“මගේ පුතාට උගුරේ අමාරුවක් හැදුණා. ඉස්කෝලේ මගේ පුතාගේම පන්තියේ දරුවෙක්ගේ මවක් මට කිව්වා එක්තරා පෞද්ගලික රෝහලක උගුර කන නාසය පිළිබඳව ඉන්න විශේෂඥ වෛද්‍යවරයා ගොඩක් හොඳයි. එයාගේ ප්‍රතිකාරවලට දරුවා යොමු කරන්න කියලා. එක සෙනසුරාදාවක උදේ මම පුතාවත් එක්කගෙන එම රෝහලට ගියා. මුලින්ම පුතාගේ උගුර ස්කෑන් පරීක්ෂාවක් කළා. ඊට පස්සේ ලේ පරීක්ෂාවක් කළා. තවත් පරීක්ෂණයක් කළා කිව්වා. කඩහඬ ගැන. ඊට පස්සේ දොස්තර මහත්තයා පොඩි සිරප් එකක් ලියලා දුන්නා. ඩොක්ටර් පුතාට මොකුත් ප්‍රශ්නයක් නැද්ද? කියලා ඇහුවාම ඩොක්ඩර් කිව්වා. සෙල්ලම් කරද්දි කෑගහන්න ඇති. ළමයි වුණාම ඔහොම තමයි. උගුරේ ආබාධ මග හැරේවි කිව්වා. මම ඉතින් සතුටින් එළියට ඇවිත් එතැන තිබුණූ කවුන්ටර් එකෙන් බිල ඉල්ලා ගත්තා. බලද්දී බිල රුපියල් 23,000 යි. දොස්තර ගාස්තු, ලේ පරීක්ෂණය, ස්කෑන් පරීක්ෂණය, කටහඬ පරීක්ෂණය, සාත්තු සේවා ගාස්තු කියලා බිලට රුපියල් 23,000 ක් එකතු කරලා ගණන් හදලා තිබුණා. පුතාට බෙහෙත් සාප්පුවෙන් ගන්න කියලා දුන් සිරප් එක රුපියල් 230.00 යි.


පෞද්ගලික රෝහල්වල ප්‍රතිකාර ගැනීමට යෑමේදී එම රෝහල්වල අය කෙරෙන ගාස්තු පිළිබඳව කලින් අවධානයෙන් සිටීම වැදගත් බව ඇය අප සමග පැවසුවාය.


මීළඟට අපි පෞද්ගලික රෝහල් කීපයක් ගෙන ඒවායෙහි මුදල් අයකරන ක්‍රමවේදය නිරීක්ෂණය කළෙමු. එහිදී ඔවුන් නේවාසික රෝගියාගේ බිලට එකතු කර තිබුණේ මෙවන් දේය.


කාමර ගාස්තු (දිනකට රු. 3400)    11,900.00
ලියාපදිංචි ගාස්තු    1,500.00
වෛද්‍ය සේවා    4,500.00
හෙද සේවා    3,375.00
පිරිසිදු කිරීම්    2,250.00
එන්නත්    2250.00
ඖෂධ    6985.00
විද්‍යාගාර සේවා    2020.00
එකතුව    34780.00


මෙය එක් රෝහලක උණ රෝගය වැළඳී ප්‍රතිකාර ලැබූ රෝගියෙකු සඳහා ගෙවීමට නියමිත වූ බිලක් පමණි.


මෙම සේවාවන් සඳහා වෙනත් රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබාගන්නේ නම් එහි බිල මීට වඩා අඩු හෝ වැඩි විය හැකිය. එය තීරණය වන්නේ රෝහලේ ජනප්‍රිය භාවයත් සමගය.


තවද ලංකාව පුරා විසිරි ඇති පෞද්ගලික රෝහල්වල විවිධ වෛද්‍ය පරීක්ෂණ සඳහා අයකරන මුදල් ප්‍රමාණය ද විවිධාකාරය.


හදිසි හෘදයාබාධයකට බයිපාස් එකක් කර ගැනීමට කොළඹ නගරයේ ප්‍රසිද්ධ රෝහල් දෙකක ප්‍රතිකාර ලැබූ රෝගීන් දෙදෙනෙකුගෙන් ගත් තොරතුරුවලට අනුව එක් රෝහලක අයකළ ගාස්තුව රුපියල් හාර ලක්ෂ හැත්තෑපන්දාහකි. අනිත් රෝහලේ එවැනිම සැත්කමක් සඳහා රුපියල් හත්ලක්ෂ හැටපන්දහසක මුදලක් අය කර ඇත. එවැනි මුදලක් වියදම් වුවද පසුතැවිලි නොවන එක් පුද්ගලයෙක් අපසමග මෙවැනි ප්‍රකාශයක් කළේය.


“මට පාන්දර පපුවේ අමාරුව හැදුණේ. මගේ දරුවෝ තුන්දෙනාම පාසල් යනවා. ගොඩාක් කලබල වුණා. ළඟම තියෙන රජයේ රෝහලටයි මාව ඇතුළත් කළේ. එතැන හිටිය එක වෛද්‍යවරයෙක් මගේ දරුවන් ඉදිරියේම ප්‍රකාශ කළේ මරණය කාටත් පොදු දෙයක් නිසා හිත හදාගන්න කියලා. මගේ පොඩි දරුවා බයවෙලා අඬන්න ගත්තා. බිරිඳත් කලබල වුණා. මට මූල්‍ය වත්කමක් තිබුණ නිසා එදා එළිවෙන්න පෞද්ගලික රෝහලකට කතා කරලා වෛද්‍යවරයෙක් සහ ගිලන් රථයක් ගෙන්වා ගත්තා. එක දවසක් අයි.සී.යූ. හිටියා. අනිත් දවසේ බයිපාස් එක කරලා ගෙදර ගියා. හැමදේම හොඳට සිද්ධ වුණා. මේ දේ මූල්‍යමය වත්කමක් නැති පුද්ගලයෙකුට වුණා නම් ඇතිවන තත්ත්වය හිතා ගන්නවත් බෑ. රජයේ රෝහල්වල අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් අඩුයි. ඒ වගේම සමහර වෛද්‍යවරුනුත් හැසිරෙන්නේ අඳබාලයෝ වගේ. තමන්ටත් පවුලේ ඥාතියෝ ඉන්නවා කියලා හිතන්නේ නෑ. මේ හේතු නිසායි මිනිස්සු පෞද්ගලික රෝහල්වලට යන්නේ. අපි දන්නවා ඒවායේ එකකට එකක් බිල් එකතු කරනවා කියලා. ඒත් කරන්න දෙයක් නෑ. ලංකාවේ සෞඛ්‍ය සේවය ප්‍රමිතිකරණය වෙනකන් මිනිස්සු මේ විදිහේ පිීඩාවලට ලක්වෙයි.”


දියවැඩියාව රෝගයෙන් පෙළෙන මවක් අප සමග දැක් වූ අදහස් මෙසේය.


“මගේ පුතා රට ඉන්නේ. මහත්තයා නැතිවෙලා අවුරුදු හතරක් වෙනවා. දියවැඩියාවට බෙහෙත් ගන්න යන්නේ මහරගමට නුදුරුව පිහිටි පෞද්ගලික වෛද්‍ය ආයතනයකට. සීනි මට්ටම ගැන කෙරෙන පරීක්ෂණ රුධිරය පරීක්ෂණ ආදිය නිතර නිතර කර ගැනීමට සිදු වෙනවා. ගෙදර කවුරුවත් නැති නිසා අහල පහල ගෙදරක දරුවෙක් එක්ක තමයි බෙහෙත් ගන්න යන්නේ. බෙහෙත්වලට වගේම අනෙක් පරීක්ෂණවලට මට මාසයකට රුපියල් විසිදහසක් විතර වැය වෙනවා. ආණ්ඩුවේ රෝහලෙන් බෙහෙත් ගන්න ගියාම පෝලිම වැඩියි. පුතා මට රට ඉඳන් සල්ලි එවන නිසා වියදම් පිරිමසා ගන්න පුළුවන්. නැත්නම් ඉතින් මැරෙන්න තමයි වෙන්නේ.


සමහර පෞද්ගලික වෛද්‍ය ආයතනවල පරීක්ෂණ සඳහා අය කරන මුදල තවත් සමහර ඒවාට වඩා හුඟක් වැඩියි. ප්‍රසිද්ධිය අනුව තමයි මිල වැඩි වෙන්නේ. රුපියල් 2500ක් විතර දීලා කරගන්න පුළුවන් එක්ස් කිරණ පරීක්ෂණයට සමහර පෞද්ගලික රෝහල්වල රුපියල් 8000 වගේ අය කෙරෙන අවස්ථාත් තිබෙනවා. පෞද්ගලික වෛද්‍ය සේවාවල අය හිතාගෙන ඉන්නේ ලෙඞ්ඩු කියන්නේ සල්ලි උනන උල්පත් කියලයි.


මේ තවත් අයකුගේ කතාවකි.


“මම පදිංචි වෙලා ඉන්නේ මීගමුවේ. මගේ බිරිඳට ළඟ දී ඩෙංගු හැදුණා. මම එයාව මහ රෝහලක නැවැත්තුවා. අපිට මාස නවයක පුංචි පුතෙක් ඉන්නවා. එයා නිතර මව් කිරි හොයනවා. ඒ රෝහලේ ලෙඞ්ඩු බලන්න දෙන්නේ නියමිත කාල සීමාවකට පමණයි. පුතා නිතර කිරි ඉල්ලා අඬනවා. ඩෙංගු හැදුණු මවගෙන් කිරි බොන්න දෙන්න එපා කියලා වෛද්‍යවරු මට බැන්නා. මම මගේ බිරිඳගේ ටිකට් කපාගෙන පෞද්ගලික රෝහලක ප්‍රතිකාර සඳහා නතර කළා. ඒක පුතාටත් සැනසිල්ලක් වුණා. මමත් බිරිඳ සමග පෞද්ගලික රෝහලේ නවාතැන් ගත්තා. ඇයට බොන්න දුන්නේ දියර ආහාර. රුධිර පරීක්ෂණ දෙක තුනක් එහෙමත් කළා. තව බෙහෙත් කිහිපයක් දුන්නා. නිතර නිතර සාත්තු සේවිකාවන් ඇවිත් ඇයට සාත්තු කළා. ප්‍රධාන වෛද්‍යවරයාත් දවස් තුනටම අවස්ථා තුනක් ඇවිත් මගේ බිරිඳගේ ප්‍රතිකාර මට්ටම නිරීක්ෂණය කළා. හෙදියොත් නිතර ඇවිත් බැලුවා. අපේ පුංචි දරුවා ගැනත් අවධානය යොමු කළ නිසා මම රෝහලේ සේවා ගැන හුඟක් සෑහීමකට පත් වුණා. දවස් තුනක් යද්දී බිරිඳගේ රෝගී තත්ත්වය හොඳ අතට හැරුණා. අපි ගෙදර යන්න සූදානම් වෙලා හිටියේ. රෝහලේ නිලධාරියෙක් ඇවිත් මට බිලක් දුන්නා. එම බිලේ රුපියල් හතළිස් තුන් දහසක් (43,000) ලෙස සටහන් වෙලා තිබුණා.

රෝහලට ඇතුළත් කරගැනීමේ ගාස්තු, වෛද්‍ය සේවා, හෙද සේවා, සාත්තු සේවා, සුළු සේවක ගාස්තු, කාමර පහසුකම් සඳහා ගාස්තු, වෛද්‍ය පරීක්ෂණ සඳහා ගාස්තු බෙහෙත් ගාස්තු යනුවෙන් එහි ගාස්තු වර්ග නම් කොට තිබුණා. ඒ වෙලාවේ හැටියට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. අන්තිමට මම රෝහලේ බිල ගෙවන්න ණය වෙන්නත් සිදුවුණා” ඔහු කියයි.


මේ තවත් මවක් අප සමඟ දැක්වූ අදහස්ය.


“මගේ පළමුවැනි දරුවා ලැබුණේ රජයේ රෝහලක. ඒ රෝහල ශික්ෂණ රෝහලක්. පුහුණුවන වෛද්‍යවරුන් නිතර නිතර ඇවිත් පරීක්ෂණ කරනවා. ඒක මට හිසරදයක් වුණා. සමහර දේවල් දරාගන්නත් අමාරුයි. ඒ නිසාම දෙවැනි වතාවේ දරුවා ලැබෙන්න මම ගියේ පෞද්ගලික රෝහලකට. මගේ මහත්තයා ඒ වෙද්දි විදේශගත වී සිටි නිසා නිතර නිතර සොයා බලන්න කෙනෙක් හිටියේ නැහැ. මගේ මව ඇවිත් අන්තිම දවස්වල මට උදව් කළා. පෞද්ගලික රෝහලේ නතර වීමට දවස් කිහිපයකට කලින් මම අම්මාට මගේ තනිවට එන්න කිව්වා. මගේ ස්වාමි පුරුෂයාගේ නංගි කෙනෙකුත් මගේ උදව්වට ආවා. රෝහලේ නතර වූ පළමුවැනි දවසේ හවස මා නිතර ප්‍රතිකාර ලබාගන්නා වෙද්‍යවරයාට අමතා දැන් සිටින තත්ත්වය ගැනත් පැහැදිලි කළා. එම වෛද්‍යවරයා මෙම අදාළ රෝහලේ වෛද්‍යවරුන්ට මා ගැන සොයා බලන ලෙස දැනුම් දෙන්නම් කිව්වා. හවස් යාමයේ වෛද්‍යවරයෙක් මගේ කාමරයට ආවා. එදා වෙලාවේ කුමක් හෝ හේතුවකට මගේ මවත් රෝහලෙන් බැහැරට ගිහින් තිබුණා. වෛද්‍යවරයා ආවේ හෙදියක් සමග නෙවෙයි. මම ඒ මොහොතේ ටිකක් බය වුණා. වෛද්‍යවරයා මා ළඟටම ඇවිත් කතා කළා. මගේ අතත් අත ගෑවා. ඒ වෛද්‍යවරයාගේ හැසිරීම හරි නැති බව මට වැටහෙමින් තිබුණා. නමුත් මම මවටවත් ඒ ගැන කිව්වේ නැහැ. රාත්‍රියේ දොළහට පමණ නැවත වතාවක් මගේ කාමරයේ දොරට කවුදෝ තට්ටු කළා. මම දොර ඇරියේ නැහැ. දෙතුන් වතාවක්ම අඩි සද්දත් ඇහුණා. පසුව මම ඇඳ අසල ඇති සීනුව නාද කළා. නමුත් ඒ වෙද්දි දොර ළඟ රැඳී සිටි කෙනා එතැනින් බැහැර වී තිබුණා.


පසුදා උදේම මම එම රෝහලෙන් ටිකට් කපාගෙන ආවා. එදා හවසම රජයේ රෝහලේ දී මට මගේ දෙවැනි දරුවා ලැබුණා.


පෞද්ගලික වෛද්‍ය සේවාවන්වල දී සැපයෙන රසායනාගාර සේවාවන් පිළිබඳවද අප මෙහිදී විමසීමට ලක් කළෙමු. රජයේ සහතික ලත් වෛද්‍ය රසායනාගාර ශිල්පියෙකු (ඵඛඔ) ගෙන් රසායනාගාර සේවා සපයා ගැනීම අනිවාර්ය නමුත් ඇතැම් පෞද්ගලික රසායනාගාරවල එම කටයුතුවල නියැළෙන්නන් අදාළ සහතිකය නොලැබූ අයයි. එයින් සමහර තැනක එම්.එල්.ටී. සහතිකය බිත්තියේ රාමු කර ප්‍රසිද්ධ කර තිබුණ ද අදාළ සහතික හිමියා එම රසායනාගාරයේ සේවය කරන්නේ නැත. එවැනි ඇතැම් තැනක පුවරුවේ නම් සඳහන් පුද්ගලයා පිරිමියෙක් නමුත් රසායනාගාරයේ වැඩකටයුතු කරන්නේ කාන්තාවකි. රජයේ රෝහලක් ආශ්‍රිතව රසායනාගාරයක් ආරම්භ කිරීම ඔවුන් සලකන්නේ නිධානයක් පහළ වූවාසේය.


කලකට ඉහත දී ගාල්ලට නුදුරු කරන්දෙණීයේ වෛද්‍යවරයකුගේ ඝාතන සිද්ධියක් රටපුරා ආන්දෝලනයකට ලක්වූවා ඔබට මතක ඇති. එම ඝාතනයට ප්‍රධාන හේතුව වූයේද එක වෛද්‍යවරයකු වටා රෝගීන් විශාල ප්‍රමාණයක් එක්රොක්වීම නිසා බව වෛද්‍යවරයා ඝාතනයට සම්බන්ධ සිදුවීමේ ප්‍රධාන සැකකරුවා සිදුකළ පාපෝච්චාරණයක සඳහන් වී තිබුණි.


පෞද්ගලික වෛද්‍ය සේවාවන්වල තවත් අඳුරු පැතිකඩක් වන්නේ ගබ්සා මධ්‍යස්ථාන පවත්වාගෙ යෑමයි. ගබ්සාවක් කිරීමට කාන්තාවක් පෙළෙඹීම සම්බන්ධයෙන් විවිධ සමාජමය හේතු තිබෙන්නට පුළුවන. නමුත් එය දඩමීමා කරගනිමින් කාන්තාවන්ගේ මුදල් ගසා කෑමට ඇතැම් වෛද්‍යවරු පෙලඹෙති. ගම්පහ ප්‍රදේශයේ එවැනි ගබ්සා මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන අතර ඒ සම්බන්ධ කරුණු බොහෝමයක් විවිධාකාරයෙන් සමාජගතවී ඇත. මේවා රජයේ නියාමනයන්ට අසු නොවීම ද ගැටලුවක් ලෙස පෙන්වා දිය යුතුය.


2015 වර්ෂයේ අප්‍රේල් තිහ දිනය වන විට පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාවේ ලියාපදිංචි පෞද්ගලික රෝහල් 16 කි. ඒ වන විට ලියාපදිංචියට නියමිත තවත් රෝහල් 24ක් ද ඇති අතර ඒවායින් සියයට 75% ප්‍රමාණයක් අයත් වන්නේ කොළඹ දිස්ත්‍රික්කයටය.


පෞද්ගලික සෞඛ්‍ය සේවාවන්ට අයත් සියලු රෝහල් සාත්තු සේවා ආදිය ගුණාත්මක භාවයෙන් අල්ප යැයි අපි මෙහි දී නොපවසන්නෙමු. නමුත් සෞඛ්‍ය සේවාව යනු ව්‍යාපාරයක්ම පමණක් නොවන බව අවධාරණය කළ යුතුය.

m