රෝහණ විජේවීරගේ කනත්තේ අන්තිම පැය


පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර හෙවත් රෝහණ විජේවීර නමින් ලෝකයා හඳුනාගෙන සිටි ඔහු මීට වසර 31කට පෙර එනම් 1989 නොවැම්බර් 13 වැනිද‌ා ඝාතනයට ලක්විය. ජනතා විමුක්ති පෙරමුණේ විප්ලවීය නායකයා වූ ඔහු මිය යන විට 49 වැනි වියේ පසු වූයේය.

1971 සහ 1987, 1989 සමයේ ලේ වැගිරීම් සහිත කැරලි දෙකකට පසුබිමේ සිට නායකත්වය සැපයූ ඔහු 1989 නොවැම්බර් 12 වැනිද‌ා මහනුවර දිස්ත්‍රික්කයේ දී අත්අඩංගුවට ගෙන කොළඹට රැගෙන එනු ලැබීය. විජේවීර අත්අඩංගුවට ගෙන ඝාතනය කිරීමත් සමඟම ජවිපෙ දෙවැනි කැරැල්ල ද කෙමෙන් වියැකී ගොස් නිමාවට පත් වූයේය.

 ජවිපෙ දෙවැනි කැරැල්ල අවුරුදු තුනකට වඩා කාලයක් පැවතුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස දහස් ගණනක් ජ.වි.පෙ. අතින් මෙන්ම ඊට එරෙහි හමුද‌ා අතින් ද කුරිරු ලෙස ඝාතනය වූහ. එම හමුද‌ා, පොලිසිය, හමුද‌ාවලට සහාය දෙන නීත්‍යනුකූල නොවන බළකා හා ආරක්ෂක හමුද‌ා නිලධාරීන්ගෙන් සමන්විත විය. ආරක්ෂක හමුද‌ා නිලධාරීන් සහ රාජය නියෝජනය කළ වෙනත් හමුද‌ා අතින් ඝාතනය වූ පිරිස පිළිබඳ විශ්වාසද‌ායි තොරතුරු හා සංඛ්‍යාලේඛන නැතත් ජවිපෙ අතින් මරා දැමුණ පුද්ගලයන් ගැන නිල සංඛ්‍යා ලේඛන පවතී.

කැරැල්ල පැවැති වසර තුනක කාලය ඇතුළත රජයේ සේවකයන් 487 ක්, පොලිස් නිලධාරීන් 342 ක්, ආරක්ෂක හමුද‌ාවේ 209 ක්, දේශපාලන නායකයන් 16 ක් හා සාමාන්‍ය වැසියන් 4945 ක් ජවිපෙ විසින් මරාදමන ලදැයි කියවේ. මේ අතර බෞද්ධ භික්ෂුන් වහන්සේලා 30 ක්ද, කතෝලික පූජකවරු දෙනමක් ද, විදුහල්පතිවරු 52 ක් ද, වෛද්‍යවරු 4 දෙනෙක් ද, වතු අධිකාරීවරු 18 ක් ද, වෘත්තීය සමිති නායකයෝ 27 ක් ද සිටියහ.

 මේ හැරුණු කොට පොලිස් නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයෝ 93 ක් සහ සන්නද්ධ සේවා නිලධාරීහු 69 ක් ද වූහ.
 මෙම සියලු මනුෂ්‍ය ඝාතන හා මරණ භීතිය මුද‌ා හැර තිබිය දී ජවිපෙ විප්ලවීය නායකයා නිමල් කිත්සිරි අත්තනායක යන නමින් වැවිලිකරුවකු ලෙස තම පවුල සහ සේවකයන් දෙදෙනකු සමඟ මහනුවර උලපනේ සුඛෝපභෝගී ජීවිතයක් ගත කළේය.

ජවිපෙ විසින් සිදුකරන ලදයි පැවසූ කුරිරු ප්‍රචණ්ඩ ක්‍රියා මැද්දේ පොලිසියේ හා ආරක්ෂක හමුද‌ා නිලධාරීන් තුළ ද ජවිපෙ නායකයා කෙරෙහි වූ වෛරය කැකෑරෙමින් පැවතිණි. රෝහණ විජේවීරගේ මරණය සඟවාලීමට ‘නිල නොවන මරණ දණ්ඩනයක්, නිල දඬුවමක්’ බවට පත් කළ බව බහුල ලෙස පැතිර ගිය විශ්වාසය වූයේය.

මේ සඳහා නිල වශයෙන් ඉදිරිපත් කළ කතාව වූයේ මෙයයි. විජේවීර සහ තවත් ජවිපෙ ජ්‍යෙෂ්ඨ නායකයකු වූ එච්.බී. හේරත් දෙදෙනා ජවිපෙ කටයුතු රහසේ පවත්වා ගෙන ගිය කොළඹ තද‌ාසන්න නගරයක පිහිටි නිවසකට රැගෙන යනු ලැබුවේ ජවිපෙ භාවිත කළ ඇතැම් ලිපි ලේඛන අත්අඩංගුවට ගැනීමට බලාපොරොත්තුවෙනි. මෙහිදී යම් කඩද‌ාසි ගොනු වගයක් ඉවතට ගන්නා මුවාවෙන් පිස්තෝලයක් ඉවතට ඇදගත් හේරත් විජේවීරට වෙඩි තබද්දී ආරක්ෂක හමුද‌ා විජේවීර සහ හේරත් යන දෙදෙනාටම වෙඩි තැබීමෙන් දෙදෙනාම මිය ගියහ. පසුව ඔවුන්ගේ සිරුරු ද ආද‌ාහනය කෙරිණි.

මේ සම්බන්ධයෙන් ඇසෝසියේටඩ් ප්‍රෙස් හා නිව්​ෙ යා්ර්ක් ටයිම්ස් පුවත්පත 1989 නොවැම්බර් 14 වැනිද‌ා ‘ශ්‍රී ලංකා හමුද‌ා සිංහල කණ්ඩායම් නයකයකු මරා දමති.’ යන හිසින් වාර්තාවක් පළ කළේය. එවකට නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය රන්ජන් විජේරත්න කළ ප්‍රකාශයකට අනුව ශ්‍රී ලංකා රජය පැත්තෙන් ඉදිරිපත් කළ කතාව එම පුවතේ විස්තර කර තිබිණි.

 ඒ අනුව එම වාර්තාව පළවූයේ මේ අයුරෙනි.
‘ත්‍රස්තවාදී කටයුතුවල නියැලෙමින් රාජ්‍ය විරෝධී වැඩපිළිවෙළක නිරත වූ සිංහල කැරලි කණ්ඩායම් නායකයකු අද දින රජයේ හමුද‌ා අත්අඩංගුවේ පසුවන විට වෙඩි තබා මරා දමා ඇතැයි විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර ඉරිද‌ා හවස් වරුවේ, මධ්‍යම කඳුකර දිස්ත්‍රික්කයකදී අත්අඩංගුවට ගෙන ඇති බව රන්ජන් විජේරත්න පුවත්පත් සාකච්ඡාවක දී නිල වශයෙන් පැවසීය.

විදේශ අමාත්‍යවරයා කී ආකාරයට අත්අඩංගුවට ගැනීමෙන් පසු විජේවීර මහතා රජයේ ආරක්ෂක නිලධාරීන් භට කොළඹ තද‌ාසන්න ප්‍රදේශයක පිහිටි තම පෙරමුණේ කාර්යාලයක් පෙන්වන්නට එකඟ වී තිබේ.

 එම කාර්යාලයේ සිටිය දී විජේවීර මහතා තම පෙරමුණේ මධ්‍යම කාරක සභාවේ නායකයකු වූ එච්.බී. හේරත්ට යම් ලේඛන කිහිපයක් ඉවතට ගන්නා ලෙස උපදෙස් දී ඇති බව විදේශ ඇමැතිවරයා කීවේය.

 හේරත් මහතා සිය නායකයාගේ ඉල්ලීම ඉටු කරන මුවාවෙන්, පිස්තෝලයක් ඉවතට ගෙන එයින් විජේවීර මහතාට වෙඩි තබා ඇත. එහිදී රජයේ හමුද‌ා විජේවීර සහ හේරත් යන දෙදෙනාටම වෙඩි තබා මරා දමා ඇතැයි අමාත්‍යවරයා කීවේය.

මෙම වෙඩි තැබීම් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ජනාධිපති රණසිංහගේ ප්‍රේමද‌ාස නියෝග කර ඇත. නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය ධුරය ද දරන විජේරත්න මහතා කියා සිටියේ ආරක්ෂක හමුද‌ා හදිසි නීති රෙගුලාසි යටතේ තමන්ට පැවරී ඇති බලතල අනුව තවදුරටත් විමර්ශනයක් පැවැත්වීමකින් තොරව විජේවීර මහතාගේත්, හේරත් මහතාගේත් මෘත දේහ දෙකම ආද‌ාහනය කිරීමට පියවර ගෙන ඇති බවයි.

 විජේවීර මහතාගේ මරණයට පසුබිම් වූ වාතාවරණය සාක්ෂි මගින් සනාථ කළ නොහැකි බව පෙනුණත් ඔහු ආරක්ෂක හමුද‌ා අතින් ඝාතනය වූ බවට චෝදනා කරන්නට උත්සාහ කරන සෙයක් පෙනේ. එවැනි චෝදනා මගින් රට තුළ සිංහල ජනතාව අතර ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිකොට ඔවුන් කුපිත කිරීමේ හැකියාව පවතී.

විජේවීර මහතාගේ සංවිධානය, සිංහල ආධිපත්‍ය දැරූ රජයට චෝදනා කරනු ලැබුයේ රටේ බහුතර සිංහල ජනතාව, දෙමළ ජාතිවාදී ගරිල්ලා කණ්ඩායම් වලට සාමය උද‌‌ා කරන මුවාවෙන් පාවා දෙන්නට උත්සාහ ගන්නා බව කියමිනි. පසුගිය වසර දෙක තුළ 6000කට වඩා ජනතාවක් රජය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර ගැටුම් නිසා මරණයට පත්ව සිටිති.

හමුද‌ාපති හැමිල්ටන් වනසිංහගේ ප්‍රකාශයක් කියවමින් විජේරත්න මහතා කියා සිටියේ විජේවීර මහතා තම බිරිඳ හා දරුවන් පස්දෙනා සමග ඉරිද‌ා හවස. කොළඹට සැතපුම් 55 ක් නැගෙනහිර මහනුවර සමීපයේ පිහිටි උලපනේ ගම්මානයේ නැවතී සිටි බවයි.

 එම විස්තරයට අනුව විජේවීර මහතා තම රැවුල කපා ඉවත් කරගෙන සිටිය ද, හමුද‌ාව ඔහු කෙරේ සැක පහළකොට තිබේ. ඒ වන විට කොණ්ඩය කොටට කපා සිටි ඔහු සිරුරෙන් මහත්ව වැඩී සිටි නිසා වයසට වඩා තරුණ පෙනුමක් ඔහුට ලැබී තිබිණි. 1943 දී උපත ලැබූ විජේවීර මහතා තම අනන්‍යතාව පිළිගැනීමෙන් පසු කොළඹට රැගෙන ආ බව ප්‍රකාශයෙන් කියවිණි.

වරක් සෝවියට් සමූහාණ්ඩුවේ අධ්‍යාපනය ලැබූ විජේවීර මහතා ජනතා විමුක්ති පෙරමුණේ පුරෝගාමියාය. එය මාක්ස්වාදය ගුරුකොට ගත් කණ්ඩායමකි. ත්‍රස්තවාදය ඉවහල් කරගෙන එම කණ්ඩායම බොහෝ ඝාතන මෙහෙය වූ බව කියමින් රජය එම පෙරමුණට චෝදනා එල්ල කළේය. එහෙත් මානව හිමිකම් මතධාරීන් වූ විපක්ෂ දේශපාලනඥයන් කියා සිටින්නේ බොහෝ ඝාතන රජයේ හමුද‌ා සහ නීත්‍යානුකූල නොවන රජයේ කල්ලි විසින් පලිගැනීමේ අභිප්‍රායෙන් කළ ඝාතන බවයි.

රෝහණ විජේවීරගේ අවසන් හෝරා කිහිපය
ජවිපෙ ත්‍රස්ත ක්‍රියා පවතින වාතාවරණය තුළ ශ්‍රී ලාංකිකයන් දැඩි ලෙස පීඩාවට පත් වූ අතර විජේවීරගේ මරණය පිළිබඳ පුවතින් ත්‍රස්ත විරෝධීහු මහත් අස්වැසිල්ලක් ලැබූහ. එවකට රටේ පැවැති තත්ත්වය නිසා බොහෝ දෙනා රජය නිල වශයෙන් කළ ප්‍රකාශ අසා කරබාගෙන සිටියහ. එහෙත් පෞද්ගලිකව එම ප්‍රකාශ විශ්වාස කළේ ටික දෙනෙකි. එහෙත් එවැනි වාතාවරණයක කෙරෙන්නා සේ සුපුරුදු පරිදි රෝහණ විජේවීරගේ අවසන් පැය කිහිපය ගැන විවිධ කට කතා දසත පැතිරෙන්නට ගත්තේය.

බොහෝ දෙනා පිළිගත් කතාව වූයේ රෝහණ විජේවීර කොළඹ ගොල්ෆ් ක්‍රීඩා පිටියේ දී දුවන්නට අණ දී අමු අමුවේ වෙඩි තබා ඝාතනය කළ බවයි. ජවිපෙ විසින් සිය පවුලේ සාමාජිකයන් කුරිරු ලෙස ඝාතනය කරනු ලැබූ පවුලක ප්‍රධානියා වූ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු අනෙකුත් හමුද‌ා  නිලධාරීන් බලා සිටිය දී මෙම වෙඩි තැබීම කළ බව ද තවත් කතා වලින් කියැවිනි. ඉන් අනතුරුව මෘතදේහ දෙකම රාත්‍රියේදී කොළඹ කනත්තට රැගෙන විත් ආද‌ාහනය කර ඇත.

 මෙම බියකරු කතාවට අනුව ඔහු කුරිරු ලෙස ආද‌ාහනය කර ඇත්තේ මුළුමනින්ම මරණයට පත් නොවී බාගෙට මැරී සිටියදීය.
මෙහි ප්‍රතිඵලයක් ලෙස රෝහණ විජේවීර අත්අඩංගුවට පත්වීම සහ ඔහුගේ මරණය ගැන තතු දන්නා බොහෝ දෙනකුගෙන් තොරතුරු හා සම්මුඛ සාකච්ඡා ලබාගෙන බොහෝ දේ ලියැවිණි.

 පහත දැක්වෙන තොරතුරු උපුටාගෙන ඇත්තේ විවිධ මූලාශ්‍ර හරහා ලැබුණු තොරතුරු ඒකරාශිකොට ගෙනයි. වසර 31 කට පෙර, ජවිපෙ නායකයා අත්අඩංගුවට ගෙන මරා දැමීම පිළිබඳ පුවත ඒ ඔස්සේ අනාවරණය කරන්නට මෙහිදී උත්සාහ ගැනේ. විජේවීර මරා දැමීම සම්බන්ධයෙන් විවිධාකාරයෙන් පැතිර ගිය අවිධිමත් කට කතා බොහෝ දුරට සත්‍ය බව පෙනී යාම මෙහි ඇති උනන්දුව දල්වන කාරණයයි.
 රෝහණ විජේවීරගේ අවසන් අවස්ථාව පිළිබඳ දෑසින් දුටු විස්තරයක් නිල වශයෙන් දැනගන්නට නැත. ඔහුගේ මරණයට පෙර අවසන් හෝරා කිහිපය ගතකළ ආකාරය ගැන ප්‍රසිද්ධියට පත් එක් විශ්වාසද‌ායී විස්තරයක් ඇත. එය සඳහන්ව ඇත්තේ ‘සොල්ද‌ාදුවකුගේ කතාව’ (A Soldier's Story) යනුවෙන් මේජර් ජනරාල් සරත් මුණසිංහ තම චරිතාපද‌ාය ලියා ඇති පොතේය. ඒ අනුව 1989 නොවැම්බර් 12 වැනිද‌ා මගේ ප්‍රධාන බලධාරි කර්නල් ලයනල් බලගල්ල සුහදශීලීව හමුවන්නට මම ඔහුගේ නිවෙසට ගියෙමි. ඔහු එවකට හමුද‌ා බුද්ධි තොරතුරු අංශයේ අධ්‍යක්ෂවරයාය. පස්වරු. 8.00 පමණ වූ එවේලේ කර්නල්වරයා තම නිවෙසේ විවේකීව ගත කළේය.

ජවිපෙ ක්‍රියාකාරකම් මෙන්ම එල්ටීටීඊයේ ක්‍රියාකාරකම් ගැන ද කතාබහ කරන අතර අපි මීවිතෙන් ද සප්පායම් වූයෙමු. මගේ මතකය නිවැරැදි නම් අපි ඒ වන විට වඩි දෙක බැගින් තොලගා සිටියෙමු. එවිට දුරකතනය නාද වූයේය. ඔහු ඇමතුවේ හමුද‌ාපතිවරයාය. හමුද‌ාපතිවරයාට දුරකතනයෙන් දෙන්නට වැදගත් පණිවිඩයක් තිබිණි.

 අප දෙදෙනාවම ජනාධිපති ප්‍රේමද‌ාසගේ නිවහන වෙත කැඳවනු ලැබිණි. ඒ වන විට ජවිපෙ නායක රෝහණ විජේවීර මහනුවර උලපනේදී හමුද‌ා නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබ කොළඹට පැමිණෙමින් තිබිණි.

 දුරකතන පණිඩය ආ විගස අපගේ වෙරිමත එසැනින්ම නිවී ගියේය. අප දෙදෙනාම සැරසී සිටියේ සිවිල් ඇඳුමෙනි. එහෙත් අප එවිටම යා යුතුය. අපගේ මුවේ මත්පැන් ගඳ යන්නට කියා බලගලල්ල මහත්මිය අපට කරඳමුංගු සපන්නට දුන්නාය. ජනාධිපති ප්‍රේමද‌ාසගේ ‘සුචරිත’ නිවසේ ආරක්ෂක නිලධාරීන් අප පිළිගත්තේ ඉතාමත් සාදරයෙනි. සාකච්ඡා මේසයේ දී අපි දෙදෙන එකිනෙකාට ළංව හිඳගතිමු.

විනාඩි පහක ප්‍රමාදයෙන් ජනාධිපතිතුමා සිනා මුවින් යුතුව පැමිණ අපට අතට අත දුන්නේය. අපි සාකච්ඡාවට වැටුණෙමු. රෝහණ විජේවීර ගැනත්, ජවිපෙ ගැනත් තොරතුරු මතක් කරගන්නට මම දැඩි උත්සාහයක යෙදුණෙමි. එහෙත් අපගේ වාසනාවට ජනාධිපතිවරයා ප්‍රශ්න කරන්නට ගත්තේ එල්ටීටීඊ ය ගැනය. එවිටම වාගේ ආරක්ෂක ලේකම් ජනරාල් සිරිල් රණතුංග, හමුද‌ාපති  ලෙෆ්ටිනන් ජනරාල් හැමිල්ටන් වනසිංහ සමග එතැනට පැමිණ රෝහණ විජේවීර කොළඹට රැගෙන විත් ඇති බව දැනුම් දුන්නේය. රෝහණ විජේවීරගෙන් ප්‍රශ්න කරන්නට අප දෙදෙනා අවශ්‍ය වන බව ද ඔහු කියා සිටියේය. ජනාධිපතිතුමා අප දෙදෙනාට ස්තූති කළ පසුව අපි හමුද‌ාපතිවරයා පසු පස ගොස් ඔහුගේ රථයට ගොඩවීමු.

වේලාව ප.ව. 11.30 පමණ විය. අපි ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ පරිශ්‍රය වෙත ළඟා වීමු. අනෙකුත් සන්නද්ධ සේවාවලට අයත් නිලධාරිහු ද එවේලේ එහි සිටියහ. රෝහණ විජේවීර හිඳගෙන සිටි සාකච්ඡා මේසය වෙත අප කැඳවාගෙන ගියේය. මේසයේ හරියටම විජේවීර ඉදිරියේ වූ පුටුවක් මට පිරිනැමුණේය. මම ඔහු සමග සාකච්ඡාව ආරම්භ කළෙමි. ජාතික බුද්ධි කාර්යාංශයේ අධ්‍යක්ෂ සර්නී විජේසූරිය මහතාත්, ඔහුගේ දෙවැන්නාත් තවත් කිහිප දෙනකුත් එහි සිටියහ. මම දිගින් දිගටම රෝහණ විජේවීරගෙන් ප්‍රශ්න කළෙමි.
 මා ඔහුගෙන් ඉංග්‍රීසියෙන් ප්‍රශ්න කළ විට ඔහු සිංහලෙන් පිළිතුරු දුන්නේය. මා රුසියානු බස දන්නේ දැයි ඔහු මගෙන් විමසුවේය. මා එම බස නොදන්නා බව කීවෙමි. ඔහුගේ දෙවැනි බස රුසියානු බස බව විජේවීර මට කීවේය. තමන්ගේ පෞද්ගලික ජීවිතයට අද‌ාළ සියලු දේ ඔහු මට කීවේය. මුලින්ම බණ්ඩාරවෙල සිටි බවත් පසුව මහනුවර උලපනේට පැමිණි බවත් ඔහු කියා සිටියේය. එහෙත් ජවිපෙ ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු කීමට ඔහු අකමැති විය.

 මෙම සාකච්ඡා පැවැත්වෙන අතරතුර ඒකාබද්ධ මෙහෙයුම් අණදෙන නිලධාරි තම දෙවැන්නා සමඟ යාබද කාමරය වූ තම කාර්යාල කාමරයේ සිටියේය. මැදියම් රැය ගෙවී යද්දී නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය ජනරාල් රන්ජන් විජේරත්න ශාලාවට පැමිණ සාකච්ඡා මේසයේ ප්‍රධාන ආසනයේ හිඳ ගත්තේය. විජේරත්න මහතා ප්‍රශ්න කිහිපයක් ඇසූ මුත් රෝහණ විජේවීර පිළිතුරු දුන්නේ නැත.

ජනරාල් විජේරත්න ඒකාබද්ධ මෙහෙයුම් අණදෙන නිලධාරිගේ කාර්යාලයට ගොස් ඔහු සමඟ එක් වූයේය. අපි අපගේ සාකච්ඡාව දිගටම කරගෙන ගියෙමු. අපි කතා කරන අතර තේ කෝප්ප කිහිපයක් හිස් කළෙමු. ත්‍රස්ත ක්‍රියාවලින් වැළකී සිටින සේ තම පක්ෂ සාමාජිකයන්ට උපදෙස් දෙන ලෙස මම විජේවීරගෙන් ඉල්ලා සිටියෙමි. බලකොට කියා සිටීමෙන් පසු ඔහු ඊට එකඟ විය. ඔහු කී දේ පටිගත කරගත් අපි නිසල කැමරාවකින් ඔහුගේ පින්තූර කිහිපයක් ගතිමු. ටික වේලාවකට පසු අප හොඳින් දන්නා හඳුනන පොලිස් අධිකාරිවරයෙක් ඒකාබද්ධ මෙහෙයුම් කාර්යාලයට පැමිණියේය. ඇතුළට පැමිණි පොලිස් නිලධාරියා රෝහණ විජේවීරගේ කොණ්ඩය පසුපසින් අල්ලාගෙන ඔහුගේ කම්මුලට දෙවරක් තට්ටු කළේය. පසුපස හැරී බැලූ විජේවීර ‘තමුන්නාන්සේ වගේ කෙනෙක් වෙන්න ඇති කියල මම හිතුවා’ කියා කීවේය. පොලිස් නිලධාරියා, ඒකාබද්ධ මෙහෙයුම් ප්‍රධානි හා ඇමැතිවරයා සමඟ සාකච්ඡාවට ඉන්පසු එක් වූයේය.

අපි අපගේ සාකච්ඡාව දිගටම පවත්වා ගතිමු. විජේවීර රසවත් කතා කිහිපයක් කීවේය. දිනක් ජේවීපී ක්‍රියාකාරීන් පිරිසක් නිමල් කිත්සිරි අත්තනායකගේ (රෝහණ විජේවීරගේ) උලපනේ නිවසට පැමිණියහ. තම ව්‍යාපාරය සඳහා ඔවුහු මුදල් ඉල්ලා සිටියහ. විජේවීර එසැනින්ම ඔවුන්ට රුපියල් 100 ක් දෙමින් ප්‍රතිචාර දැක්වූයේය. තරුණ ක්‍රියාකාරීහු තම නායකයා හඳුනා නොගත්හ. මෙම කතාව කියා විජේවීර හොඳින් සිනාසුනේය.

1989 නොවැම්බර් 13 වැනිද‌ා පාන්දර 3.45 ට පමණ ප්‍රශ්න කිරීම අවසන් කරන ලෙසත් රෝහණ විජේවීර පහළ තට්ටුවට රැගෙන එන ලෙසත් මට දැනුම් දීමක් ලැබිණි.

අපි එකිනෙකාට ළංව එක්ව පහළට බැස්සෙමු. විජේවීර මගේ අත අල්ලාගෙන මෙසේ කීවේය. ‘අන්තිම මොහොත ඔබතුමා වගේ කෙනෙක් හමුවීම ගැන මට හුඟක් සතුටුයි. මම වැඩි දවසක් ජීවත් වෙන එකක් නෑ. මගේ පණිවිඩේ කරුණාකරලා මගේ බිරිඳට දෙන්න.’ විජේවීරගේ පණිවිඩයේ වැදගත් කරුණු පහක් අඩංගු වූයේය. ඒවා සියල්ල ඔහුගේ පවුලට සම්බන්ධ අති පෞද්ගලික කරුණුය.
 මොහොතකට පසුව විජේවීරගේ දෑස් වසා බදිනු ලදුව කොළපාට පැජරෝ ජීප් රථයේ පසුපස ආසනයේ ඔහු ඉන් ද වූයේය. දෙදෙනෙක් විජේවීරගේ දෙපස අසුන් ගත්හ. අනෙක් අය ගොඩ වූයේ ඉන් පසුපස ආසනවලටයි. එවේලේම වාගේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා වාහනය සමීපයට ආවේය. ඔවුන් හා එක්වන්නට ඔහු කළ ඇරියුම මම විනීත ලෙස ප්‍රතික්ෂේප කළෙමි. පැජරෝ රථය ඉදිරියට ඇදී ගියේය. මම කර්නල් ලයනල් බලගල්ල සමග එක්වී ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථාන ගොඩනැගිල්ලට පිවිසෙන ස්ථානයේ සිටගෙන සිටියෙමු. හොඳ නින්දක් ලබන අටියෙන් අපි නිවෙස් බලා ගියෙමු.

පසුද‌ා උදයේ මම ලහි ලහියේ විජේවීරගේ ඡායාරූප මුද්‍රණය කරවා ගත්තෙමි. රැවුල නැතිව විජේවීර හඳුනා ගැනීමට හැකි කිසි කෙනෙක් නොවීය. එම නිසා විජේවීරගේ ඡායාරූපයට රැවුල එක්කොට ඇඳගන්නට මම උත්සාහ කළෙමි. රැවුල ඔහුගේ මුහුණට හොඳින් ගැළපුණේය. එදින හවස ඒකාබද්ධ මෙහෙයුම් ප්‍රධාන කාර්යාලයේ පුවත්පත් සාකච්ඡාවක් පැවැත්විණි.

අමාත්‍ය රන්ජන් විජේරත්න පුවත්පත්වලට කරුණු පැහැදිලි කළේය. ‘විජේවීර තවත් ජේවීපී නායකයකු වන එච්.බී. හේරත් සමඟ කොළඹින් පිට පිහිටි නිවසකට ගෙන ගියා. ජේවීපියේ බොහෝ රහස් දේ සඟවා තිබුණේ එතැනයි. එම සෝදිසි මෙහෙයුම සිදුවන අතර හේරත් පිස්තෝලයක් ඉවත ඇදගෙන විජේවීරගේ හිසට වෙඩි තැබුවා.’

ඇමැතිවරයා තවදුරටත් ඒ ගැන විස්තර ඉදිරිපත් කළේය. ඉන්පසු විජේවීර මරා දැමීමේ ප්‍රතිඵලයක් ලෙස ජවිපෙ ත්‍රස්ත ක්‍රියා ක්‍රමයෙන් අඩු වී ගොස් උතුරු නැගෙනහිර හැරුණු කොට රටේ සෙසු පෙදෙස්වලට සාමය උද‌ා වූයේය.’

ජනරල් මුණසිංහගේ මෙම විස්තරයෙන් විජේවීරගේ ජීවිතයේ අවසන් අවස්ථාවට පෙර අවස්ථාව ගැන බොහෝ දුරට කරුණු කියැවුණ ද මියගිය ආකාරය ගැන කරුණ පුවත්පත් සාකච්ඡාවල කියැවුණ දේට සීමාවන්නට සිදුවිය. විජේවීර අත්අඩංගුවට ගත් ආකාරය ගැන ද තොරතුරු අඩුවෙන් වාර්තා වූයේ ජනරල්වරයා සෘජුවම ඊට සම්බන්ධ නොවූ බැවිනි.

රෝහණ විජේවීර අල්ලාගත් ආකාරය පිළිබඳ කෙටි එහෙත් නිශ්චිත විස්තරයක් පුවත්පත් කලාවේදී රචක සී.ඒ. චන්ද්‍රප්‍රේම විසින් සපයා ඇත. (චන්ද්‍රප්‍රේම අපගේ එක්සත් ජාතීන්ගේ ජීනිවාහි තානාපතිවරයාය.) ඔහුගේ 'Sri Lanka: The Years of Terror – The JVP Insurrection 1987 – 1989' නම් ග්‍රන්ථයේ එම විස්තරය ලියා තිබේ. එයින් උපුටා ගත් කොටසක් පහත දැක්වේ.

පියද‌ාස රණසිංහ හා එච්.බී. හේරත් දෙදෙනා ගලහ දී අත්අඩංගුවට ගනු ලැබූහ. රෝහණ විජේවීර නිරන්තරයෙන්ම මුණ ගැසුණේ මෙම ජවිපෙ නායකයන් දෙදෙනාය. කෙටි ප්‍රශ්න කිරීමකින් පසුව හේරත් විජේවීර රැඳී ඉන්න තැන් පිළිබඳ තොරතුරු පවසා තිබේ. ඊට පැය කිහිපයකට පසුව මහනුවර උලපනේ දී විජේවීර අත්අඩංගුවට ගැනිණි. ඒ අත්තනායක නමින්, වැවිලිකරුවකු ලෙස ඔහු සුඛෝපභෝගී දිවියක් ගෙවූ වතු බංගලාවේදීය.

දහවල් 2.00 ට පමණ පිරිස එහි ගිය අවස්ථාවේ විජේවීර සිටියේ රැවුල කපමිනි. හමුද‌ා භට පිරිස් ගේට්ටුව උඩින් පැන නිවෙස වට කළහ. විජේවීර පිටතට පැමිණියේ ‘මම අත්තනායක, ඔහෙලට මෙහෙට එන්න කිසිම අයිතියක් නෑ. මං සාමකාමීව ඉන්න මනුස්සයෙක්.’
විජේවීර කී වදන් අසා කර්නල් ජානක පෙරේරා දෙගඩියාවට පත් වූයේය. විජේවීර අල්ලා ගන්නට පැමිණියේ වැරදි තැනකට දැයි ඔහුට සිතුණේය. එහෙත් ඔහු පිස්තෝලයේ කොකා ඇද අත්තනායකගේ ඔළුවට තැබුවේය. ‘ඔයා විජෙවීර ද?’

කර්නල් කොකා ගස්සාවිදැයි බියපත් වූ අත්තනායක, තමා විජේවීර බව පිළිගනිමින් මෙසේ කීවේය. ‘මං එන්නම් ඔහෙලත් එක්ක. ඒත් මගේ පවුලෙ අයට කරදරයක් කරන්න එපා.’ විජේවීරගේ බිරිඳ සමග එහි තවත් සේවිකාවෝ දෙදෙනෙක් උන්හ. විජේවීර පිටතට රැගෙන යන විට ගැහැනු සියලු දෙනා ගැහෙන්නට ගත්තෝය.

ඒ විජේවීර මහනුවර දී අත්අඩංගුවට ගෙන කොළඹට රැගෙන ආ අයුරුය. අත්අඩංගුවට පත්ව සිටිය දී හමුද‌ා කැමරා ශිල්පියෙක් විජේවීර ස්වෙච්ඡාවෙන් කළ ප්‍රකාශය රූගත කළේය. එහිදී ඔහු තම පක්ෂ සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටියේ ආයුධ අතහැර ත්‍රස්ත ක්‍රියා නවතා දමන ලෙසයි.

අවුරුදු විසි දෙකකට පසුව ඉන්ද්‍රානන්ද ද සිල්වා සමග සිලෝන් ටුඩේ පුවත්පතේ උදේනි සමන් කුමාර සම්මුඛ සාකච්ඡාවක් පවත්වා විජේවීරගේ අවසන් අවස්ථාව පිළිබඳ විස්තරාත්මක කරුණු හෙළි කළේය. ආද‌ාහනාගාරයට වීසිකරන විටත් විජේවීර පණපිටින් කෙඳිරිගාමින් සිටි බව එහිදී අනාවරණය විය. හිටපු සොල්ද‌ාදුවකු වූ ඔහු විජේවීර ගැන එහිදී සඳහන් කළේ විජේවීර සහෝදරයා යනුවෙන් ඔහු ගැන කියමිනි. අද‌ාළ උපුටා ගැනීම් පහත දැක්වේ.

 ප්‍රශ්නය:- විජේවීර වෙඩි තබා ඝාතනය කළ තැනට ඔබ ගියා ද?
පිළිතුර:- නෑ, අපි කෙළින්ම ගියේ කනත්තට. අපි ගෑස් ද‌ාහකය ළඟට ගිය වේලේම වගේ විජේවීර සහෝදරයාව එතැනට ගෙනත් තිබුණා. ගොල්ෆ් පිට්ටනියේ දී වෙඩි තැබුවට පස්සේ.

ප්‍රශ්නය:- ඔය දේවි බාලිකාව එහා පැත්තෙ තියෙන ආද‌ාහනාගාරෙද?
පිළිතුර:- අන්න හරි. විජේවීර සහෝදරයව ගෙනැල්ල එතැන සිමෙන්ති පොළොවෙ බිම ද‌ාල තිබුණේ.

 ප්‍රශ්නය:- ඔබ එතැනට ගිහින් බැලුව ද?
 පිළිතුර:- ඔව්. එළිය ටිකක් තිබුණා. එයා උඩු බැල්ලෙන් වැතිරිලා හිටියේ.

ප්‍රශ්නය:- ඇඳල හිටිය ඇඳුම් මොනවා ද?
පිළිතුර:- ඒ කමිසෙයි කලිසමයි තමා.

ප්‍රශ්නය:- ඇස්?
පිළිතුර:- ඇස් බැඳලා.

ප්‍රශ්නය:- තුවාල මුකුත් තියෙනව දැක්ක ද?
පිළිතුර:- ඔව්. පපුවෙ වෙඩි වැදුණු පාර තිබුණා. කමිසෙ ලේ වලින් පෙගිලා.

ප්‍රශ්නය:- ලේ ගැලුව ද?
පිළිතුර:- ලේ සිමෙන්ති පොළොවේ ගැලුවා.

ප්‍රශ්නය:- අත් ?
පිළිතුර:- අත් බැඳල නෑ. ඒවා සාමාන්‍ය මිනියක වගේ දෙපැත්තට වැටිලා.

ප්‍රශ්නය:- ශරීරෙ හෙලවුණේ එහෙම නැද්ද?
පිළිතුර:- නෑ. ආද‌ාහනාගාරෙ බාර සේවකයව කැඳවගෙන ආවා. එයා කිව්වා. ‘මට ඔය වැඩේ ​ඔහොම කරන්න බෑ. මං මෙහෙ රාජකාරි කරන මනුස්සයා.’ මේජර් තෝරදෙණිය එයාගෙ ඔළුවට පිස්තෝලෙ තියලා නියෝග කළා. ‘යතුරු දීපං බල්ලා. නැත්තං මරණව උඹවත්.’ එයා යටහත් පහත්ව යතුර දුන්නා. මිනිය පුච්චන හැටිත් එයාගෙන අහළ දැන ගත්තා.

ප්‍රශ්නය:- විජේවීරගේ මිනිය මොකක හරි දැම්මා ද?
පිළිතුර:- නෑ. එයාගෙ මිනිය ඇතුළට වීසිකරන්න නියම කළා. දෙන්නෙක් ඔහුව උස්සල විසි කළා. ඒත් බිත්තියේ වැදිල බිම වැටුණා.

ප්‍රශ්නය:- ඊට පස්සෙ.
පිළිතුර:- එයා හයියෙන් කෙඳිරි ගෑවා. මහා වේදනාකාරී කෙඳිරියක්. මගේ හදවත පිච්චිලා ගියා ඒකෙන්. රෝහණ විජේවීර සහෝදරයා මැරිල නැති විත්තිය හැමෝම දැනගෙන හිටියා. කව්ද කෑගැහුවා. ‘උඹලට හරියට වැඩක් කරගන්න බෑ.’ කියලා.

ප්‍රශ්නය:- කව්ද කෑ ගැහුවේ?
පිළිතුර:- මං හරියට දැක්කෙ නෑ. මං හිතන්නෙ ඒ මේජර් මුතාලිෆ් වෙන්න ඇති. දෙවෙනි පාර එයාව ඇතුළට වීසි කළා. ඊට පස්සෙ ගෑස් ඔන් කළා. ඊට පස්සේ විනාඩි දෙකකට වඩා අපි එතන හිටියේ නෑ.

ප්‍රශ්නය:- හැබෑටම කව්ද විජේවීරට වෙඩි තිබ්බේ ?
පිළිතුර:- මං එතන හිටියේ නෑ. මං ගියේ කනත්තට. ඒ හින්ද මං දැක්කෙ නෑ. ඊට පස්සෙ මං ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයට ගියා. මං දන්නවා ඒ වැඩේට ගිය සොල්ද‌ාදුවෝ කව්ද කියලා. ඒ අයගෙන් මං දැන ගත්තා. ආමි මේජර් කෙනෙකුයි, පොලිස් අධිකාරිවරයයි එයාට වෙඩි තිබ්බ බව.

(*** ඩී.බී.එස්. ජෙයරාජ් විසිනි)