ලංකාව දණගස්වා ඉන්දියාවේ ප්‍රාන්තයක් කරන මෙහෙයුම


 

පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ මහ බැංකුව විසින් රුපියලේ අගය ‘පා කිරීම’ට අදාළ තාක්ෂණික තීන්දුව ගැනීම සඳහා ඉන්දියාවට සහ ඇමෙරිකාවට එකසේ සමීප ප්‍රබල රාජ්‍යතාන්ත්‍රිකයෙකු විසින් බරපතළ බලපෑමක් සිදුකළ බව වාර්තා විය. දැනට එළිදරව් වී ඇති අභ්‍යන්තර තොරතුරු අනුව මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය විසින් රුපියලේ අගය රු. 10කින් අව ප්‍රමාණය කළ යුතු බවට 2022.03.03 දින තීන්දුවක් ගෙන ඇත. නමුත් පවතින ආපදා තත්ත්වය උපයෝගීකර ගනිමින් රුපියලේ අගය කඩා වැටීමට සලස්වා ඉන්දියානු රුපියල ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතියට ආදේශ කිරීමේ උපාය මාර්ගයට අනුව එම තීන්දුව වෙනස් කරන ලෙසට එසේ බලපෑම් එල්ල වී ඇත. ඒ අනුව 2022.03.7 දින රැස්වූ මූල්‍ය මණ්ඩලය තමා විසින් දින 3කට පෙර ගනු ලැබූ තීන්දුව සම්පූර්ණයෙන්ම ආපසු හරවා රුපියලේ අගය අසීමිතව පාකිරීමට තීරණය කළ බව දැන් ඔප්පු වී තිබේ.   

 

ඒ මගින් සිහිපත් වන්නේ එදා සුනාමි ආපදාව යොදා ගනිමින් සුනාමි සහන මණ්ඩලය නමින් තාවකාලික ආණ්ඩුවක් පිහිටුවා ඊළම නිර්මාණය කිරීමට ගනු ලැබූ උත්සාහය නොවේද? එම ක්‍රියාවලිය එදා හඳුන්වනු ලැබුවේ ආපදා අධිරාජ්‍යවාදය ලෙසය. අද වසර 18කට පසුව ආර්ථික ආපදාව මත පදනම්ව නිර්මාණය වී ඇති දේශපාලන අර්බුදය යොදාගනිමින් ආපදා අධිරාජ්‍යවාදී මෙහෙයුමකට අවස්ථාව නිර්මාණය වී ඇත. එහිදී ඉතිහාසයේ සරදම වන්නේ එදා සුනාමි සහන මණ්ඩලය පරාජය කළ බලවේග අද ශ්‍රී ලංකාව ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්කිරීමේ ආපදා අධිරාජ්‍යවාදී මෙහෙයුමට වක්‍රව සහාය දැක්වීමය. එය සමාන කළ හැක්කේ ආණ්ඩු විරෝධය මුල්කරගෙන ප්‍රභාකරන් හමුවේ රාජ්‍ය දණගැස්සවීම සඳහා යුද විරෝධී සටන් පාඨ එසවීමවැනි තත්වයකටය. අද තත්ත්වයද ඊට බොහෝ සේ සමාන බවට තර්ක කළ හැක. ආණ්ඩු විරෝධය මෙන්ම ආණ්ඩුව ගෙදර යැවීමේ වුවමනාව ඉතා සාධාරණ බවට විවාදයක් නැත. මේ වන විට එය සමාජ මාධ්‍යවල සැරිසරන සහ අරගල භූමියේ වැඩමුර ක්‍රමයට විරෝධය දක්වන මිලියන 1කට අඩු පිරිසකගේ වුවමනාවක් ලෙස පෙනේ. එහෙත් අර්බුදය වර්ධනය වන තත්ත්වයක් යටතේ එය මිලියන 14ක් වන දැනට නිහඬව දුක් දරා සිටින සෙසු ජනතාවගේ අපේක්ෂාව බවට පත්විය හැකිය.   


කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් පසුව මහා ඉන්දියානු අධිරාජ්‍යයක් ගොඩනැගීම පිළිබඳ සිහින දුටු ඉන්දියානු රාජ්‍යතාන්ත‍්‍රික විද්වතෙකු වූ සර්ධාර් පනික්කාර්ගේ න්‍යායන්ට අනුව සිකීමය, ටිබෙටය සහ නේපාලය පමණක් නොව ශ‍්‍රී ලංකාව ද එම අධිරාජ්‍යයේ අර්ධ යටත් විජිතයක් බවට පත් කළ යුතුය. අර්ධ යටත්විජිත නිර්මාණය කරනු ලබන්නේ ගිවිසුම් මගිනි. එනම් ආරක්ෂක, ආර්ථික, වෙළෙඳ සහ භූ දේශපාලන සහයෝගිතාවයන්ට අදාළ ගිවිසුම් සමූහයක් මගිනි. එම උපාය මාර්ගික ප‍්‍රවේශය අනුව ගිවිසුම් වලට යටත් වීම සඳහා පොළඹවනු ලබන්නේ අභ්‍යන්තර ගැටුම් නිර්මාණය කිරීම මෙන්ම ආර්ථික වශයෙන් පරාධීනත්වයට පත් කිරීම සහ ඔත්තුකරුවන් මගින් සිදුකරන කූඨ දේශපාලන එකඟතාවයන් මගිනි. එසේ නැතහොත් ස්වභාවික හෝ සැලසුම් සහගතව නිර්මාණය කරනු ලබන ජාතික ආපදා තත්ත්වයක් යොදා ගනිමිනි. බෙදුම්වාදී ගැටුමට අදාළව එම අර්ධ යටත් විජිතය ඊලාම් රාජ්‍යයට සීමා වුවද වර්තමාන අර්බුදය තුළ එම තත්ත්වය සමස්ත රාජ්‍යයටම දිගු විය හැක.   


බෙදුම්වාදී ත‍්‍රස්තවාදය නිර්මාණය කිරීම සහ එම උපාංගය යොදාගනිමින් ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීම මගින් සහ ඉන්දු ලංකා ගිවිසුම් මගින් දීර්ඝකාලීනව ශ‍්‍රී ලංකා රාජ්‍ය දුර්වල කිරීමේ සහ හැසිරවීමේ ක්‍රියාවලියට අදාළ ඉන්දියාවේ භූමිකාව කුමක්දැයි මේ වන විට ඉතිහාසය විසින් ඉතා නිරවුල්ව තහවුරු කර ඇත. එම ක්‍රියාවලියේම දිගුවක් ලෙස මේ වන විට ශ‍්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය සහ ඒ තුළින් පැන නැගී ඇති දේශපාලන අර්බුදය යොදා ගනිමින් ඉන්දියාව විසින් දියත් කර ඇති මෙහෙයුමද දැන් රහසක් නොවේ. ඩොලර් බිලියන 1.5 ක ණය කැරට් අලයක් පෙන්වා, ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය, කන්තලේ අක්කර 20,000ක් සහ සීනි කම්හල, සාම්පූර් සූර්ය බලාගාරය නමින් අක්කර 1000ක් මන්නාරමේ සුළං බලාගාරය නමින් අක්කර 1000ක් කොළඹ වරායේ බටහිර ජැටිය සහ ත‍්‍රිකුණාමල වරායේ නව ජැටියක් නිර්මාණය කිරීම, පලාලි තොටුපොළට පය තබා ගැනීම ආදී වශයෙන් සිදුකළ අත්පත්කර ගැනීම් ප‍්‍රමාණය කෙතරම් බරපතළද?   


ඊට අමතරව ඉන්දියාව සමග ආරක්ෂක ගිවිසුම් ත‍්‍රිත්වයක් අත්සන් කිරීම මගින් ඇමෙරිකාව සමඟ අත්සන් කළ “ඇක්සා”‍ ගිවිසුමේ දිගුවක් නිර්මාණය කිරීම සහ අත්සන් නොකළ “සෝෆා”‍ ගිවිසුමේ අඩුව පිරවීමේ තත්ත්වයක් ද නිර්මාණය කර ඇත. ඒ අනුව පුහුණු වීම හෝ වෙනත් තාක්ෂණික හෝ මානුෂීය මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවන ඉන්දියානු හමුදා නිලධාරීන්ට ශ‍්‍රී ලංකාවේදී තානාපති මුක්තිය ලැබෙනු ඇත. සෝෆා ගිවිසුම අවශ්‍ය වූයේ අමෙරිකානු හමුදාවලට එම තත්ත්වය ලබා දීම සඳහා ය. පවතින ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා ඉන්දියාව ලබාදෙන ණය ප‍්‍රමාණය කිසිසේත්ම නොසෑහෙන බව සාමාන්‍ය පෙළ අංක ගණිතය දන්නා සිසුවෙකුට වුවද තේරුම් ගත හැක. ඉන්දියානු මැදිහත්වීම තුළ ශ‍්‍රී ලංකාවට චීනය සහ රුසියාව සමග ගනුදෙනු කිරීමේ රාජ්‍ය තාන්ත‍්‍රික ඉඩකඩ බරපතළ ලෙස සීමා වී ඇති බව දැන් රහසක් නොවේ. එය ඉන්දියාව විසින් සැළසුම් සහගතව නිර්මාණය කරන තත්ත්වයක් බවට විවාදයක් නැත. අවසානයේ දී ඉන්දියාවේ “ඊනියා ක්‍රෙඩිට් ලයින්”‍ එක භාවිතා කරමින් අත්‍යවශ්‍ය ඖෂධ ආනයනය කිරීම සඳහා නිසි වේලාවට මුදල් නිදහස් නොකිරීම සහ ඛණිජ තෙල් තොග පමා වීම තුළින් පෙන්වන්නේ කුමක්ද?   
ඒ මගින් පැහැදිලි වන්නේ ඉන්දියානු විදේශ අමාත්‍යවරයා පේරාදෙණිය රෝහලේ ශල්‍යකර්ම නැවැත්වීම පිළිබඳව කිඹුල් කඳුළු හෙළුවද සමස්තයක් ලෙස රටේ ඖෂධ සැපයුම් අඩාළ කිරීම ඔවුන්ගේ ප්‍රාර්ථනය බව නොවේද? ශ්‍රී ලංකාව තුළ අර්බුදය උත්සන්න වීම ඉන්දියාවේ උපායමාර්ගික අවශ්‍යතාවයකි. දැනටමත් තමිල්නාඩු මහ ඇමතිවරයා ප්‍රමුඛ විවිධ පාර්ශව ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාවට ගුවනින් ආහාර සහ ඖෂධ ලබාදිය යුතු බව සහ ශ්‍රී ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් සේ සලකා කටයුතු කළ යුතු බවය. එවැනි තත්ත්වයක් තුළ රටේ ආරක්ෂක තත්ත්වය සහ අත්‍යවශ්‍ය සේවා බිඳ වැටීමක් සිදුවුවහොත් ඊනියා මානුෂීය මෙහෙයුම් නාමයෙන් හමුදාමය මැදිහත්වීම් සඳහා ද අවස්ථාව නිර්මාණය කර ගැනීමට ඉඩක් විවර වේ. මේ වන විට ශ්‍රී ලංකාව හිඟන රටක් බවට පෙන්වීම සඳහා ආධාර එකතු කිරීම සහ සංවිධානාත්මකව උතුරේ ජනතාව ආහාර සොයා ඉන්දියාවට පලායන බවට පෙන්වීමට උත්සාහ කිරීම මගින් එවැනි මැදහත්වීම් තවදුරටත් සාධාරනීකරණය වේ.   


ඉස්ලාම් අන්තවාදය මව්බිමෙන් අතුගා දැමීම සඳහා ඉතා ප්‍රතිඵලදායක ලෙස ක්‍රියාත්මක කළ හැකි යෝජනා 57ක් කුණු කූඩයට වැටෙන්නේ යම් කුමන්ත්‍රණකාරී මෙහෙයුම් තුළ බව ඉතා පැහැදිලිය. ජනාධිපතිවරයා විසින් 2021-02-18 වැනි දින අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් ඉදිරිපත් කළ එම යෝජනා කිසිවක් මේ වන තුරු ක්‍රියාත්මක වී නැත. එම ක්‍රියාවලිය තුළ කතෝලික ප්‍රජාව අතර පමණක් නොව බහුතර සිංහල බෞද්ධ ජනතාව අතර ද අනාරක්ෂිත මානසික තත්ත්වයක් වර්ධනය වන අතර ආණ්ඩුව කෙරෙහි විශ්වාසය පළුදු වීමට එය ප්‍රබල හේතුවක් බවට පත්වේ. මෙම ඉස්ලාම් අන්තවාදයේ දේශපාලන පෙරමුණ ආරක්ෂා කරනු ලබන්නේ ඉන්දියානු යටත්විජිත ආණ්ඩුකාරයා වීමට සිහින දකින දේශපාලන නායකයින් විසින් බව මහා සමාජයට රහසක් නොවේ. මෙම වටලෑමේ පස්වැනි පෙරමුණ දෙස් විදෙස් බෙදුම්වාදී බලවේග බව පසුගිය දිනවල ඉතා හොඳින් ඔප්පු විය. දෙමළ ඩයස්පෝරාවේ ඩොලර් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම බලාත්මක කර උතුරු පළාත් සභාව ස්ථාපිත කරන ලෙසට ඔවුහු කොන්දේසි පනවති.   


ඊට අමතරව ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමේ නාමයෙන් 13 වැනි සංශෝධනය බලාත්මක කරන වගන්ති ඊට ඇතුළු කිරීමටද යම් බලවේග ක්‍රියාත්මක වන බව පෙනේ. එසේ වුවත් වීදි බසින ජනතාවට මෙම පෙරමුණු හඳුනා ගැනීමේ බුද්ධිමය සංවාදයට අවස්ථාව නිර්මාණය වන්නේ නැත. ඔවුන් විසින් ”ගෝඨා ගෝ හෝම්” සටන් පාඨය පමණක් ඉහළට එසවීම තුළ ගෝඨා ගෙදර යවා ඉටුකරගත යුතු අපේක්ෂාවලට අදාළ සටන් පාඨ කරළියට පැමිණෙන්නේ නැත. විපක්ෂයේ දැනුම්වත් බලවේගද ගෝඨා ගෙදර යැවිය යුත්තේ කුමක් නිසාද යන්න පිළිබඳව සහ ඉන්පසු බලයට පත්වන බලවේගය විසින් අර්බුදය විසඳන ආකාරය පිළිබඳව සටන්පාඨ ඉදිරිපත් කරන්නේ නැත. ආණ්ඩුව පාර්ශවයෙන්ද තමන් විසින් අර්බුදය විසඳන්නේ මෙසේ යැයි උපායමාර්ගික රාමුවක් තුළ කෙටිකාලීන සහ දිර්ඝකාලීන විසඳුම් මාලාවක් නිශ්චිත ඉලක්ක සහිතව ඉදිරිපත් කරන්නේ නැත.   


ඒ නිසා විපක්ෂයට, මෙන්ම උද්ඝෝෂකයින්ට ද කිසිදු අභියෝගයක් නොමැතිව ‘‘ගෝඨා ගෝ හෝම්’’ සටන් පාඨයේ පමණක් එල්ලී සිටීමට හැකිවී ඇත. ආණ්ඩුව පාර්ශවයෙන් නිශ්චිත යෝජනාවලියක් ඉදිරිපත් කළහොත් විපක්ෂයට ඊට එරෙහිව තර්ක ඉදිරිපත් කිරීමට හෝ ඊට විකල්ප යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට බලකෙරේ. ආණ්ඩුවේ එම දුර්වලතාවය විපක්ෂයට ආශිර්වාදයක් වී ඇති අතර උද්ඝෝෂකයින්ගේ කෝපය වර්ධනය කිරීමට සහ සාධාරණීකරණය කිරීමට ඒ මගින් ඉඩ ලැබී ඇත. මේ වන විට උද්ඝෝෂණ ව්‍යාපාරයට සම්බන්ධවන බහුතරය සිසුන් සහ උගත් මධ්‍යම පාන්තික රැකියා නියුක්තිකයන් බව පහැදිලිව දැකගත හැක. ඔවුන් කෙටිකාලීන අපහසුතා මෙන්ම දිර්ඝකාලීනව පවත්වාගෙන යනු ලබන සමස්ත සමාජ ක්‍රමයට එරෙහිව හැඟීම්බරව පාරට බසින පිරිසකි. නමුත් සැබෑ ලෙසම අර්බුදය නිසා ජීවිත කඩා වැටී ඇති දරිද්‍රතාවයෙන් පෙළෙන පිරිස් මෙම උද්ඝෝණවලට ප්‍රබලව දායක වී නැත. එසේ වුවත් ආණ්ඩුව ඉතාමත් පසුගාමී ලෙස අඳුරේ අතපත ගාමින් ඉන්දු පැසිෆික් න්‍යායපත්‍රයේ ගොදුරක් බවට පත්වන තත්ත්වයක් යටතේ සහ විසඳුම් පමා වන තත්ත්වයක් යටතේ සමාජයේ පහළ ස්ථර උද්ඝෝෂණ වලට බද්ධ වීමේ ඉඩකඩ වර්ධනය වේ.   


ආණ්ඩුව එක් පැත්තකින් බහුපාර්ශවීය එකඟතාවයක් ඇතිකර ගැනීම මගින් විසඳුම් ඉදිරිපත් කිරීමට අසමත් වී ඇත. අනිත් පැත්තෙන් මූල්‍ය අරමුදල වන්දනා කිරීම හැර වෙනත් විකල්ප විසඳුම් පිළිබඳ අබමල් රේණුවක සඳහන් කිරීමක් නොකරන දෙපළක් ප්‍රශ්නය විසඳීමට අදාළ ප්‍රධාන වගකීම් දෙකකට පත් කර ඇත. ඔවුන් වසර ගණනාවක් වගකිවයුතු තනතුරු දරමින් වර්තමාන අර්බුදයට හේතු වූ ආර්ථික මොඩලය නඩත්තු කිරීමට දායක වූ අය බවට විවාදයක් නැත. ඔවුහු මීට පෙර 16 වතාවක් අයි.එම්.එෆ්. දේවාලය වන්දනා කරමින් දේවාශිර්වාදයෙන් ප්‍රශ්න විසඳීමට විද්වත් දායකත්වය සැපයූහ. මෙවැනි තත්ත්වයක් තුළ ඉන්දු පැසිෆික් න්‍යය පත්‍රයට අනුව ශ්‍රී ලංකාව දණ ගැස්සවීමේ සහ අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් වෙමින් ඇත. එහිදී ආණ්ඩුවේ දුප්පත්කම ප්‍රදර්ශනය කෙරෙන ප්‍රබලම අවස්ථාවක් වන්නේ 2015 සිට 2019 දක්වා යහපාලන ආණ්ඩු කාලය තුළ 7.5%ක තරම් ඉහළ පොලියකට ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හෙවත් වාණිජ ණය ඇමෙරිකානු ඩොලර් මිලියන 12500ක් ලබාගත් හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අර්බුදය විසඳීම සඳහා පත්කළ විද්වත් කමිටුවට ඇතුළු කිරීමය. අඩු තරමින් ඒ ආකාරයට කෙටි කාලීනව ආපසු ගෙවීම සඳහා නිකුත් කළ ඉතිහාසයේ විශාලතම බැඳුම්කර තොගය වර්තමාන විදේශ විනිමය අර්බුදයේ විශාල පැතිකඩක් නියෝජනය කරන බව ජනතාවට පැහැදිලි කිරීමට පවා ආණ්ඩුව අසමත් වී ඇත. 
ඒ ආකාරයට මහජන උද්ඝෝෂණ ආරම්භ වී මාසයකට අධික කාලයක් දිනෙන් දින තත්ත්වය වර්ධනය වීමට ඉඩ හරින තත්ත්වයක් ආණ්ඩුව විසින් ප්‍රදර්ශනය කිරීම තුළින් පැහැදිළි වන්නේ කුමක්ද? එම හැසිරීම වඩා හොඳින් පැහැදිළි කළ හැක්කේ සුවිශේෂි තර්කයක් මගිනි. එනම් ආණ්ඩුවේ යම් පාර්ශ්වයක් ශ්‍රී ලංකාවේ රාජ්‍යය දණ ගස්වා ඉන්දියාවේ අර්ධ යටත්විජිතයක් හෙවත් ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ඉන්දියාවේ 29වැනි ප්‍රාන්තය බවට පත්කර එහි ආණ්ඩුකාරවරයා බවට පත්වීම සඳහා සැලසුම් සහගතව ක්‍රියාත්මක වන බවය. එසේ වුවත් ආණ්ඩුවේ සෙසු පාර්ශවලට එම තත්ත්වය වෙනස් කිරීම සඳහා නිසි කළ නිසි පියවර නොගැනීමේ වගකීමෙන් නිදහස් විය නොහැක.   

 

 

වෛද්‍ය වසන්ත බණ්ඩාර   
මාධ්‍ය ප්‍රකාශක ජාතික සංවිධාන එකමුතුව