ලංකාවට බුදු දහම පැමිණියේ කවදාද ?


ඉන්දියාවේ පැවැත් වූ තෙවැනි ධර්ම සංගායනාවෙන් අනතුරුව අසෝක අධිරාජයාගේ සහායෙන් මොග්ගලිපුත්තතිස්ස මාහිමියන් විසින් බුද්ධ පරිනිර්වාණයෙන් 236 වැන්නෙහි දී මිහිදු මාහිමියන් ප්‍රධාන සත් දෙනකුගෙන් සමන්විත ධර්ම දූත පිරිසක් පොසොන් පුරපසළොස්වක පොහොයදා මිහින්තලයට වැඩම කළහ. එහිදී දඩ කෙළියෙහි යෙදෙමින් සිටි දෙවනපෑතිස් රජතුමා ප්‍රධාන පිරිස මුණගැසුණු බවත්, මිහිදු මාහිමියන් දෙසූ ධර්මය ශ්‍රවණය කර පැහැදී රජතුමා ප්‍රධාන පිරිස බුදු දහම වැළඳගත් බවත් දීපවංශ, මහාවංශ සහ සමන්තපාසාදිකා ආදී ග්‍රන්ථ සවිස්තරව සඳහන් කරයි. ලංකාවට සැපත් වූ මේ ධර්ම දූත පිරිස පිළිබඳ මඩකළපුවේ රජගල සහ මිහින්තලයේ තිබී සොයාගත් සෙල්ලිපිවලින් තවදුරටත් සනාථ වී ඇත. මිහිදු මාහිමියන් ලංකාවට බුදු දහම පමණක් නොව මුළු සභ්‍යත්වය ද ආර්ථික ආදී සෑම අංශයකම අභිවෘද්ධිය සැලසීමට අදාළ කරුණු ද මෙරටට දායාද කොට දීමට ක්‍රියා කළ බව බොහෝ උගතුන් විසින් පෙන්වා දෙනු ලැබ ඇත. මේ අනුව බොහෝ දෙනාගේ පිළිගැනීම වී ඇත්තේ මිහිදු මාහිමියන්ගේ පටන් බුදු දහම මේ රටේ ව්‍යාප්ත වන්නට පටන් ගත් බවයි.

ඓතිහාසික කරුණු විමසන විට මිහිදු මාහිමියන්ටත් පෙර සිට ලංකාවේ බෞද්ධයන් ජීවත් වූ බවට සෑහෙන සාධක ඇත. බුද්ධත්වයෙන් නව වැනි මාසයේදී මහියංගනයටත්, පස්වැනි වසරේදී නාගදීපයටත්, අට වන වසරේදී කැලණියටත් බුදුරදුන් වැඩම වූ බව දීපවංශ, මහාවංශ, සමන්තපාසාදිකා යන ග්‍රන්ථවල පැහැදිලිව සඳහන් කොට ඇත. විශේෂයෙන් තුන් වන ගමනේදී ලංකාවේ විවිධ ප්‍රදේශවල පිහිටි තවත් ස්ථාන දහතුනකට වැඩමවා සමාධි සුවයෙන් වැඩ සිටිමින් ද ධර්ම දේශනා පැවැත්වීමෙන් පසු ද පූජනීයත්වය ලබාදීමට බුදුහු ක්‍රියා කළහ. මේ නිසා එවකට ලංකාවේ විසූ යක්ෂ, නාග, දේව ආදී ගෝත්‍රවලට අයත් පාලකයන් පමණක් නොව දහස් සංඛ්‍යාත ජනතාව ද බුදු දහම වැළඳ ගත් බව පැහැදිලිය. දැනට අප අතට පත්වී ඇති ත්‍රිපිටකයෙහි ඇතුළත් වී තිබෙන්නේ බුද්ධත්වයෙන් විසි වසරේ සිට උපස්ථායක ධුරයට පත්වූ ආනන්ද හිමිපාණන් විසින් අසා දැනගත් ධර්ම කරුණු පමණි. බුදුරදුන් ලංකාවට වැඩම වූයේ එයට පෙර බැවින් මෙරට දී දේශනා කළ ධර්මය ත්‍රිපිටකයේ ඇතුළත් නොවීම අපට සිදුවූ බලවත් පාඩුවකි. අනිත් අතට හතළිස් පස් වසරක් වැඩ සිට බුදුරදුන් දේශනා කළ සියලු ධර්මය ත්‍රිපිටකයේ අන්තර්ගතවී නැතැයි සැලකීම මුළාවකි.

වංශ කතාවලට අනුව ලංකා රාජාවලියෙහි ආරම්භක ආර්ය වංශික පාලකයා වූ විජය කුමාරයා පිරිවර සමග ඉන්දියාවේ සිට ලංකාවට පැමිණියේ බුද්ධ පරිනිර්වාණ දිනයේය. ඔහු ජීවත් වූ ඉන්දියාවේ සිංහ පුරයේදී වැසියාට හිංසා කරමින් දරුණු ක්‍රියාවල යෙදුන හෙයින් පිය රජතුමා වූ සිංහබාහු විසින් හිසකෙස් අඩක් කපා පිරිමි අය වෙනත් නැවකත් ඔවුනගේ කාන්තාවන් තවත් නැවකත් දමා පිටුවහල් කළ බව වංශ කතාව පවසන තොරතුරුවලින් මේ පිරිස දරුණු දාමරික වැඩවල යෙදුණු අය යැයි අවබෝධයක් ලබාදෙයි. විමසිලිමත්ව බලන විට එය එසේ නොවේ.

බුදුරදුන් ජීවමාන අවධියේ දී ඉන්දියාවේ සිංහ පුරය අයත් වූ වයඹදිග කොටසෙහි සෑහෙන දුරට බුදු දහම පැතිරෙමින් පැවතුනි. පුක්කුසාති රජතුමා තපස්සුබල්ලුක වෙළෙඳ නායක ආදීන් ගැන පමණක් නොව වේරන්ජාවේ බුදුරදුන් වස් වසා සිටියදී උපස්ථාන කළ වෙළෙන්දන් කාම්බෝජයේ සිට පැමිණි බව සටහන්වීම වැනි පුවත්වලින් ඉන්දියාවේ වයඹදිග බුදු දහම ව්‍යාප්තව තිබුණු බව පැහැදිලි වෙයි. හිස මුඩු කළ බුදුපාමොක් සංඝයා අනුගමනය කිරීමට දඬුවමක් වශයෙන් විජය කුමාරයා ඇතුළු පිරිසගේ හිසේ කෙස්වල දිගෙන් අඩක් කපා දැමූ බවත් කාම සේවනයට විරුද්ධ වූ ධර්මයක් පිළිගැනීම නිසා කාන්තාවන් වෙන් කොට වෙනම නැවක දා පා කිරීම සිදු වූයේ යැයි සැලකීම සාධාරණයි.

බුදුරදුන් පිරිනිවන් මඤ්චකයේ වැඩ සිටිමින් අවසන් වරට ලෝකය දෙස බලද්දී ලංකාවට සැපත්වන විජය ඇතුළු පිරිස දැක ඔවුනට ආරක්ෂාව සපයන්න යැයි සක්දෙවිඳුන්ට නියම කළ බව වංශ කතාව සඳහන් කරයි. සක් දෙවිඳුන්ගේ නියමයෙන් පැමිණි උපුල්වන් දෙවියන් ගසක් මුල සිට ලංකාවට පැමිණි විජය කුමාරයා ඇතුළු පිරිසට පිරිත් පැන් දී පිරිත් නූල් බැඳ ආරක්ෂාව සලසන ලදී. ඒ පිරිසට කලින්ම පිරිත් පැන් හා පිරිත් නූල් ගැන අවබෝධයක් ලැබී තිබුණ හෙයින් මෙසේ පිරිත් පැන් හා පිරිත් නූල් ලබා ගන්නට ඇතැයි සැලකීම සාධාරණය. කෙසේ වුවත් මේ පිරිසගේ පැමිණීම මේ රටේ බුදු දහම තදින් පැතිර යාමට හේතු වූවාට සැක නැත.

දෙවනපෑතිස් රාජ්‍ය සමයෙහි ඉන්දියාවේ සිට ලංකාවට වැඩමවාගෙන ආ ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව අනුරාධපුර මහමෙව්නා උයනේ රෝපනය කිරීමේ උත්සවයට රුහුණේ කතරගම හා චන්දනගම විසූ ක්ෂත්‍රිය වංශිකයන් පැමිණි බවත්, පසුව එම බෝධින් වහන්සේගෙන් හටගත් අංකුර ඉහත කී රුහුණේ පිහිටි ග්‍රාමවල රෝපණය කළ බවත් වංශ කතාව සඳහන් කරයි.

ක්‍රිස්තු පූර්ව පස්වැනි සියවසේ බලයට පත් පණ්ඩුකාභය රජතුමාගේ පාලන කාලය වන විට ඉන්දියාවේ පැවැති බ්‍රාහ්මන, ජෛන, ආජීවක, පරිබ්‍රාජක ආදී බොහෝ ආගමික කොටස් මෙරට වාසය කළ බවත්, ඔවුන් සඳහා ආයතන රජතුමා විසින් ඉදිකර දුන් බවත් සඳහන් වෙයි. මහාවංශයෙහි දසවන පරිච්ඡේදයෙහි සිය වන ගාථාවෙන් පෙන්වා දෙන අන්දමට පණ්ඩුකාභය රජතුමා විසින් අනුරාධපුර නුවර බටහිර ප්‍රදේශවල පදිංචිකරවූ විවිධ ආගමික පවුල් පන්සියය අතර බෞද්ධයන්ද සිටින බවට සැකයක් නැත.

සත්සතිය ගෙවා අවසන් කළ බුදුරදුන්ට අත්සුනු සහ මී පිඩු පිළිගැන් වූ තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයෝ උන්වහන්සේගෙන් බණ අසා බුදුරදුන් හා සඳහම් සරණ ගොස් පූජා කිරීම පිණිස කේශ ධාතු ලබා ගත්හ. වෙළෙඳාමේ යමින් සිටි මේ දෙදෙන පසුව ලංකාවට පැමිණ තිරියායේ කේශ ධාතුවලින් කොටසක් නිදන් කොට චෛත්‍යයක් කර වූ බව එහි ලියන ලද සෙල්ලිපියෙන් සනාථ වෙයි. මෙසේ සෑයක් ඉදිකරන ලද්දේ බෞද්ධයන් එහි විසූ නිසා විය යුතුය. මේ කරුණු අනුව ‘‘පැරණි ලක්දිව බෞද්ධ ඉතිහාසය’’ යන විචාරාත්මක අගනා ග්‍රන්ථය ලියූ ආචාර්ය ඊ.ඩබ්ලිව්. අදිකාරම් මහතා ඇතුළු බුද්ධිමතුන් සඳහන් කරන අන්දමට මහින්දාගමනයට පෙර බොහෝ කලක සිට අප රටේ බුදු දහම පැවතුන බවත්, අනුබුදු මිහිදු මාහිමියන් අසම වූ බුද්ධියකින් යුක්තව, දූරදර්ශී ඥානයකින් ශ්‍රී ලංකාවට වැඩමවා සංඝ සමාජයක නායකත්වයෙන් නිර්මල බුද්ධ ධර්මය ස්ථිරසාරව පවත්වාගෙන යාමටත් ආර්ථික, සාමාජික, සංස්කෘතික ආදී සියලු අංශයන්ගෙන් ශ්‍රී ලංකාව උච්චස්ථානයකට පත් කිරීම සඳහාත් පියවර ගත් බව ගෞරවපූර්වකව සිහිපත් කළ යුතුය.

(***)
ගල්කිස්ස බෞද්ධායතනාධිපති,
ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ උප සභාපති
ආචාර්ය දිවියාගහ යසස්සි නා හිමි