ලංකාවේ පළමු සිංහල පුවත්පත “ලංකා ලෝකය”


ශ්‍රී ලංකාවේ පළමුවන සිංහල පුවත්පත වන ලංකා ලෝකය මුද්‍රණය කරන ලද්දේ වසර 164කට පමණ පෙරාතුව ය. ලංකෝපකාර මුද්‍රණාලය දැනට ලංකාවේ තිබෙන පැරණිම මුද්‍රණ යන්ත්‍රය වන අතර එය මේ වනවිට ඇත්තේ අහංගම කතලු‍ව රන්වැල්ල විහාරස්ථානයේ ය.

මෙම රන්වැල්ල විහාරස්ථානයේ නිර්මාතෘ බුලත්ගම ධම්මාලංකාර සිරි සුමණතිස්ස හිමියෝය. එවකට බුද්ධාගමට එල්ල වූ විවේචනවලට පිළිතුරු සැපයීමට මෙන්ම බෞද්ධ පොතපත මුද්‍රණය කර ගැනීමට මුද්‍රණාලයක් නොතිබීම විශාල අඩුවක් බව දුටු බුලත්ගම නාහිමියන් බෞද්ධයින් සඳහා අච්චු කන්තෝරුවක් (මුද්‍රණාලයක්) ආරම්භ කිරිමේ අරමුණින් සමිතියක් පිහිටුවා ගෙන ඇත‍. ඒ සඳහා පළමු සාකච්ඡාව බුලත්ගම නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත්තේ ගාල්ල පරමානන්ද විහාරස්ථානයේදී ය.

එම සාකච්ඡාව අනුව ධනවත් බෞද්ධයන්ගෙන් බෞද්ධ අච්චු කන්තෝරුවක් මිලදී ගැනීම සඳහා පවුම් 10 බැගින් එකතු කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇත. එම සමිතියේ මුදල් ද උඩුහාවර මුදලිතුමා විසින් පරිත්‍යාග කරන ලද මුදල් ද අංග සම්පූර්ණ මුද්‍රණාලයක් පිහිටුවීමට ප්‍රමාණවත් නොවූ නිසා අච්චු කන්තෝරුවක් මිලදී ගැනීම සඳහා උදව් කරන ලෙස බුලත්ගම හිමියන් තම මිත්‍ර සියම් දේශයේ(තායිලන්තය) මොන්කට් රජුගෙන් ද ඉල්ලීමක් කර ඇත.

එම ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ මොන්කට් රජතුමා මුදල් පරිත්‍යාග කර ඇති අතර පසුව එම මුදල් ද යොඳවා කොලොම්බියන් වර්ගයේ මුද්‍රණ යන්ත්‍රයක් මිල‍ට ගෙන ඇත. ඒ අනුව මෙම මුද්‍රණාලය ගැනීමට සියම් දේශයේ මොන්කට් රජුගෙන් ද උපකාර ලැබුණ නිසා එය “ලංකෝපකාර අච්චු කන්තොරුව “නමින් හැඳින්වූ බවද විහාරස්ථාන ඉතිහාස කතාවේ සඳහන් වේ.

පළමුවෙන්ම ගාල්ල දංගෙදර විදියේ කුඩා ගොඩනැගිල්ලක මෙම මුද්‍රණාලය සවි කර ඇත. “ලංකා ලෝකය” පුවත්පතේ පළමු මුද්‍රණය නිකුත්ව ඇත්තේ 1860 සැප්තැම්බර් 10වන දිනය. පුල්ස් කැප් පිටුවක ප්‍රමාණයක වූ ලංකා ලෝකය පුවත්පත සති දෙකකට වරක් මුද්‍රණය කර ඇති අතර එහි මිල සත 10කි.

පුවත්පතේ ඉහළ වම්පස පළවි ඇත්තේ මෙසේය. මෙම ප්‍රවෘත්ති පත්‍රය සති දෙකකට වරක් සෑම බදාදා දවස්වල අච්චුගසා ප්‍රසිද්ධ කරනු ලැබේ. මීට දායක මුදල මාසෙකට සත 20කි. තැපැල් වියදමත් සමඟ සත 28.කි. අප පත්‍රයේ ප්‍රසිද්ධ කිරීම පිණිස එවන ලියුම් පැහැදිලි ලෙස එක පැත්තේ ලියා ගාල්ලේ දන්ගෙදර විදියේ 369 දරණ ස්ථානයේ ලංකාලෝක කර්තෘ නමට එවිය යුතුයි.

පත්‍රයේ පළකරන දැන්වීම් සඳහා අය කරන ගාස්තු දකුණු පස කෙළවර් සඳහන් කර ඇත්තේ මෙසේය. දැන්වීම් පත්‍ර ප්‍රසිද්ධ කරවන්නන්ට දැන්වීමයි. එක වතාවකට අකුරු දහයකට නොහොත් ඉන් කොටසකට සත 2 බැගින් අය කරනු ලැබේ.

ඉංග්‍රීසියෙන් ප්‍රසිද්ධ කරනවා නම් එක වතාවකට වචන දහයකට හෝ ඉන් කොටසකට සත 4 බැගින් අය කරනු ලැබේ. දායක මිල අවුරුද්දකට රු.2.40තැපැල් වියදමත් සමඟ රු.3.36.” කි.

1867 ජනවාරි 5 වැනිදා මුද්‍රණය කරන ලද “ලංකාලෝකය” පුවත්පතේ මුල් පිටුවේ ගාල්ල දිස්ත්‍රික්කයේ මිනිසුන්ගේ දුක්ගැනවිල්ලක් පිළිබඳ ප්‍රවෘත්තියක් පළවි තිබුණේ මෙසේය “ගාල්ලේ තල්පෙ පත්තුවේ වැසි මනුෂයන්ගේ අයදුම් පත” තල්පෙ පත්තුවේ පිහිටුවා තිබෙන ගම් සභාව අහක්කරවා ගැනීම පිණිස ආණ්ඩුවට ඔප්පු කරන ලද අයදුම්පත අරබයා ටයිම්ස් පත්‍ර කර්‍තෘගේ වාක්‍යයක් සිංහලට නගා අපවෙත එවන ලදි. අයදුම්පතේ කියා තිබෙන කොහුවළවල් වලින් අයබදු අයකරවීම දුප්පත් වැසියාට ඉසිලිය නොහැකි බරක් බව සත්තකයි. එම පළාත් වැසි දුප්පත් පොහොසත් වැසියන්ගේ ප්‍රධාන කර්මාන්තය නම් පොල්ලෙලි පල්කරවා තළා ලණු ඇඹරවීමයි. නොයෙක් විට දුප්පත් ස්ත්‍රීහු ලණු අඹරා විකුණුවා මුදල් ගෙවනා පොරොන්දුව පිට පොල්ලෙලි ණයට ගෙන පල් කරවා ලණු අඹරති. නොයෙක් විට පොල්ලෙලිවල ණය ගෙවන්නට තබා එයින් ඔවුන්ගේ දිවි රැක ගැනීමට පවා මිල උපදවන්නට නොහැකි වෙති. එයින් ඔවුන්ට අයබදු ගෙවන්නට පුළුවන් යැයි නොකියමු. ලණු ඇඹරීමෙන් ජීවිකාව ලබන ස්ත්‍රිහු දුප්පත්කම නිසා නොයෙක්විට දෙවේල නොකති. ලණු කැරලි දෙක තුනක් අඹරා ගෙන ගොස් විකුණා හාල් සේරු භාගයක් හෝ කාලක් රැගෙනවිත් කිසිම ව්‍යාංජනයක් ලබාගන්ට නුපුළුවන්ව ලු‍ණුත් බතුත් කති.

මුල් පිටුවේ මෙසේද මුද්‍රණය කර ඇත “පත්‍රය අත්පිට මුදලට මිස ණයට දෙනු නොලැබේ” යන්න එම වැකියයි.

දෙවන ලෝක යුද්ධය ආරම්භවීමත් සමඟ කතලු‍වට ආසන්න කොග්ගල හමුදා කඳවුරක් ඉදිකිරිම නිසා මුද්‍රණාලයේ ආරක්ෂාව සඳහා එහි වැඩ කරමින් සිටි පුද්ගලයෙකුට බදු ඔප්පුවකින් පවරාදී ඇති අතර එම පුද්ගලයා පානදුර වල්පල ප්‍රදේශයේ පිහිටි නිවසට ගෙන ගොස් මුද්‍රණ කටයුතු සිදුකර ගෙන ගොස් ඇත. එහෙත් බදු කාල සීමාව අවසන් වුව ද ඔහු යළිත් එය නොදීම නිසා එවකට විහාරාධිපතිව සිටි කෝදාගොඩ සුගුණපාල හිමියන්ට අධිකරණයට යෑමට සිදුවිය. ඒ අනුව 1954 මාර්තු මාසයේ අච්චු කන්තොරුව යළිත් කතලු‍ව රන්වැල්ල විහාරස්ථානයට ගෙන එන ලදි.

මේ අතර වසර එකසිය පනහකට වඩා පැරණි ලංකාවේ පළමු සිංහල පුවත්පත මුද්‍රණය කර ඇති ලංකෝපකාර මුද්‍රණාලය 2012 නොවැම්බර් 19වැනිදා රාත්‍රි හදිසියේ ඇති වූ ගින්නෙන් විනාශ විය. ලී අකුරු සියල්ල ද විනාශ විය. එහෙත් වසර නවයක් ගතවන තුරු එය ප්‍රතිසංස්කරණය කිරීමට කිසිම රජයක් පියවර ගෙන නොතිබිණ.

මේ අතර වත්මන් විහාරාධිපති මාරකොල්ලියේ විමල ජෝති හිමියෝ තායිලන්ත තානාපතිවරයා හමුවී මුද්‍රණ යන්ත්‍රයට ඇති වූ තත්වය පිළිබඳව කරුණු පැහැදිලි කළහ. ඒ සම්බන්ධයෙන් විහාරාධිපති හිමියෝ මෙසේ පැවැසුහ.“ කිසිම රජයක් මේකට උදව් කළේ නැහැ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් ඇවිල්ලා බලලා ගියා විතරයි. පස්සේ දායක සභාවේ කෙනෙකුගේ මැදිහත්වීම මත තායිලන්ත තානාපතිවරයා හමුවී විස්තර කිව්වා. තානාපතිවරයා කම්පාවට පත්වුණා. ඔබේ රජය සැලකිල්ල දැක්වුයේ නැත්තේ ඇයි කියල ඇහුවා.

මේ කෞතුක භාණ්ඩය ප්‍රතිසංස්කරණය කරලා ආරක්ෂා කිරීමට තායිලන්තයේ ආධාර ලැබුණා. පසුව තායිලන්තයේ වියදමින් ඉංජිනේරු සංස්ථාව විසින් ප්‍රතිසංස්කරණය කළා. එය 2021 ජනවාරි 28 වැනිදා හිටපු තායිලන්ත තානාපතිවරිය විසින් විවෘත කළා.

මෙම මුද්‍රණාලය තිබෙන ගොඩනැගිල්ල කෞතුකාගාරයක් ලෙසට සකස් කොට එය සිසුන්ටත් මහජනයාටත් නැරඹීමට හැකි ආකාරයට ප්‍රදර්ශන කුටියක තැන්පත් කිරීමටත් ඒ වගේම වැලි පිල්ලේ සිට ගල් කූර ගල්ලෑල්ල පැන්සල පෑනේ සිට පරිගණකය දක්වා නවීන තාක්ෂණයත් සිංහල අකුරු විකාශය පිළිබඳවත් ප්‍රදර්ශන කුටියේ තැන්පත් කිරීමටත් බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ගොඩනැගිල්ලක් අවශ්‍ය වෙනවා. එයට රජයේ මැදිහත්වීම අවශ්‍යයි.

(*** උණවටුන ඩී.ජී.සුගතපාල)