ලලිත් අඹන්වෙලලා තව තවත් බිහිවේවා


අවංක මිනිසකුගේ කැමැත්ත මිලදී ගැනීමට මුළු විශ්වයම පොහොසත් නැතැයි කතාවක් තිබේ. අපට මේ කතාව සිහිපත් වූයේ රජයේ සේවයේ හිටපු කීර්තිමත් සහ අවංක රාජ්‍ය නිලධාරියකු වශයෙන් සම්මානයට පාත්‍ර වූ ලලිත් අඹන්වෙල මහතාගේ අභාවයත් සමඟය. තමන්ගේ වංචනික ක්‍රියා යට ගසා දැමීමට අඹන්වෙල මහතාගේ කැමැත්ත හිමි නොවීමේ ප්‍රතිඵලයක් වශයෙන් එකී වංචනිකයන් විසින් එල්ල කෙරුණු දරුණු ඇසිඩ් ප්‍රහාරය හේතුවෙන් ඔහුට එක් ඇසක් අහිමි විය. මුහුණ දැඩිව පිළිස්සී ගියේය. මේ අපරාධය ඒ කාලයේ රටම කම්පනයට පත්කළ සිද්ධියක් බවට පත් විය.

අඹන්වෙල මහතාට එල්ල වූ එම ඇසිඩ් ප්‍රහාරය හඳුන්වනු ලැබුවේ අප රටේ රාජ්‍ය සේවයේ අවංක නිලධාරීන් සමස්තයටම එල්ල වූ ප්‍රහාරයක් වශයෙනි. අවංක රාජ්‍ය නිලධාරීන් තම රාජකාරි ඉටු කිරීමේදී අභ්‍යන්තර වශයෙන් සහ බාහිර වශයෙන් එල්ල වන බලපෑම් බොහොමයක් තිබෙන බැව් රහසක් නොවේ. මේ බලපෑම් හමුවේ ඇතැම් නිලධාරීන් තම සේවයේ ගෞරවය සහ අභිමානය පාවා දෙමින් කටයුතු කර තම සාක්කු පුරවා ගන්නා අවධියක අඹන්වෙල වැනි නිලධාරීන් සමස්ත රාජ්‍ය සේවයේම අවංකභාවයේ ප්‍රතිමූර්තියක් වශයෙන් සැලකිය යුතුය. ඔවුන්ගේ සේවය නිසි අගැයුමකට ලක් කරමින් එවැනි නිලධාරීන් වඩ වඩාත් දිරිමත් කිරීමට රුකුල් දීම රාජ්‍ය පාලකයන්ගේ වගකීමකි.

මධ්‍යම පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරීවරයකු වශයෙන් රාජකාරි කරමින් සිටි ලලිත් අඹන්වෙල මහතා මේ දරුණු ඇසිඩ් ප්‍රහාරයට මුහුණ දී තිබුණේ 2002 වසරේදීය. 1979 වසරේ පටන් එම දෙපාර්තමේන්තුවේ පරිගණක මිලදී ගැනීමේ ව්‍යාපෘතියක සිදුව තිබූ මිලියන 12ක වංචාවක් පිළිබඳ කරුණු හෙළිකරගත් ඒ මහතා සිද්ධිය පසුපස සිටි නිලධාරීන් පිරිසක් ගුරු පුහුණු සැසි පැවැත්වීමේ මුවාවෙන් රුපියල් ලක්ෂ 85ක මුදලක් සොරාගෙන ඇති බව ද සොයාගෙන තිබිණි. ඒ කාලයේ මුදල් වටිනාකම සමඟ සලකන විට මෙය ඉතා විශාල වංචාවක් විය. එකී වංචාවට සම්බන්ධ වී සිටියේ අදාළ දෙපාර්තමේන්තුවේම නිලධාරීන් කිහිප දෙනකුවීම හේතුවෙන් ඔහු අභ්‍යන්තරව දැඩි බලපෑම්වලට හසුවිය. එසේම බාහිරව ද එල්ල වී තිබුණේ දැඩි බලපෑම් රැසකි. එහෙත් ඒ හමුවේ තම හිස නොනැමූ මේ රාජ්‍ය නිලධාරියා තම රාජකාරිය අවංකව ඉටුකර වැරැදිකරුවන් නීතිය හමුවට කැඳවීමට අවශ්‍ය පියවර ගත්තේය. එයට ඔහුට වන්දි ගෙවීමට සිදු වූයේ එක් ඇසක් අන්ධ කරමින් සහ මුහුණ පුළුස්සා දමමින් එල්ල වූ ඇසිඩ් ප්‍රහාරයකට ලක්වීමය.

මේ සිද්ධිය අප රටේ රාජ්‍ය සේවය සම්බන්ධයෙන් අලු‍තින් සිතා බැලීමට රටම පෙළැඹවීය. එහිදී දූෂිත රාජ්‍ය සේවකයන්ට එරෙහිව දැඩිව කටයුතු කිරීම අවශ්‍ය බවට විශාල හඬක් නැගුණු බව ද අපගේ මතකයේ රැඳී තිබේ. එහෙත් 1977 වසරෙන් ඇරැඹුණු විවෘත ආර්ථික ප්‍රතිපත්තිය සහ අසීමිත විධායක බලතල සහිත පාලන ක්‍රමය මගින් රාජ්‍ය සේවයේ අවංක නිලධාරීන් ආරක්ෂා කරන ප්‍රතිපත්තියකට වඩා තල්ලු‍ වූයේ දූෂිත පුද්ගලයන් ආරක්ෂා කරන ප්‍රතිපත්තියකට බව අපගේ වැටහීමය. අඹන්වෙල මහතාට එල්ල වූ ඇසිඩ් ප්‍රහාරය එතෙක් මේ රටේ අවංක රාජ්‍ය සේවකයන්ගේ ආරක්ෂාව දැඩිව ප්‍රශ්න කළ පළමු අවස්ථාව බවට පත්වූයේ ඒ හේතුවෙනි. ඉන් පසුව රාජ්‍ය සේවය තුළට එල්ල වූ දේශපාලන ඇඟිලි ගැසීම් ඉහළ ගිය බවත් ඒ සමඟ දූෂිත රාජ්‍ය නිලධාරීන් රැල්ලක් බිහි වූ බවත් හඳුනා ගැනීම අපහසු නැත. එවැනි ප්‍රවණතාවක් ඇතිවීමට එකී රාජ්‍ය පාලන ක්‍රමය ප්‍රබල අත්වැලක් වූ බව ද පෙන්වාදිය යුතුය. එහෙත් අවාසනාව නම් ඉන් පසුව මෙතෙක් බලයට පැමිණි වෙනත් කිසිම පාලනයක් හෝ එම තත්ත්වය වෙනස් කිරීමට කිසිදු උනන්දුවක් නොදැක්වීමය. දූෂණ ක්‍රියාවලට රුකුල් දීමක් මිස ඒවා වැළැක්වීමට පියවර ගැනීමක් සිදු නොවුණා තරම්ය.

පසුගිය යහපාලන රජය මගින් රාජ්‍ය සේවය ශක්තිමත්ව පවත්වාගෙන යාමේ අරමුණින් ස්ථාපනය කරන ලද ස්වාධීන කොමිෂන් සභා තුළ ද මෙයට විසඳුමක් නොතිබිණි. ඊට හොඳම උදාහරණය එහිදී රාජ්‍ය සේවයේ අවංකභාවය රැකීමට යෝජනා වූ ජාතික විගණන කොමිසට අත් වූ ඉරණමමය. එය කවදාවත් බලාත්මක කෙරුණේ නැත. එහි තිබූ ඇතැම් වගන්ති එම රජයේ ඇතැම් ප්‍රබල දේශපාලනඥයන්ට නයාට අඳු කොළ මෙන් වීම ඊට ප්‍රධාන හේතුව විය. අදටත් එවැනි විගණන කොමිසමක් ක්‍රියාත්මක වීම සිහිනයක් පමණක් බව ද පෙන්වා දිය යුතුය.

තම රාජකාරි කිසිදු බලපෑමකට යටත් නොවී නොපිරිහෙලා ඉටුකරන අවංක රාජ්‍ය නිලධාරීන් රැකගැනීමට ශක්තිමත් වැඩපිළිවෙළක් නොමැති බව ලලිත් අඹන්වෙල මහතාගේ සිද්ධිය අපට පෙන්වා දුන් කටුක යථාර්ථයයි. අඩුම තරමින් ඒ මහතාගේ නාමයෙන් අවංක රාජ්‍ය සේවයට පිදෙන වාර්ෂික සම්මානයක් හෝ ස්ථාපිත කිරීමට රජය උනන්දු වන්නේ නම් එය අවංක රාජ්‍ය නිලධාරීන් දිරිගැන්වීමට නිසැකවම හේතුවනු ඇත.

(***)