ලෙඩේට තිත්ත බේත් නැතිව බෑ


රටේ මූල්‍ය ස්ථාවරත්වය ඉතා අවදානම්සහගත බව රජය පිළිගත්තේ මුල්වරටය. මේ දක්වා අපට දක්නට ලැබුණේ එම තත්ත්වය සැඟවීමට දැරූ උත්සාහයකි. එහෙත් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රථම වතාවට ඉදිරි මාස කිහිපය සඳහා ගෙවීමට තිබෙන විදේශ ණය පියවීම තාවකාලිකව අත්හිටුවන බව නිවේදනය කළේය. එසේවුවත් මෙහිදී අපගේ අවධානයට යොමු විය යුතු වැදගත් කරුණක් තිබේ. එනම් ණය හිමියන් සමග සාකච්ඡා කිරීමකින් තොරව ඒකපාර්ශවිකව ණය ගෙවීම අත්හිටුවන බව ප්‍රකාශ කිරීමය. එබැවින් මේ තීන්දුවේ ප්‍රතිවිපාක හා ප්‍රතිඵල දැන ගැනීමට තවත් කෙටි කාලයක් බලා සිටීමට සිදු වනු ඇත. කෙසේවෙතත් මාගේ පෞද්ගලික මතය අනුව මේ තීරණය ඉතාම හොඳ එකකි. එනම් පුරසාරම් දෙඩීමෙන් බැහැර වෙමින් ආර්ථික හා මූල්‍ය අර්බුදයක රට තිබෙන බව මහ බැංකුව මුල්වරට පිළිගැනීමය.

මේ තීරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමත් සමග ෆිච් රේටිංග්ස් ආයතනය ලංකාව සම්බන්ධයෙන් ප්‍රකාශන දෙකක් ප්‍රසිද්ධ කළේය. එම ආයතනය රාජ්‍යයන්හි ආර්ථික මූල්‍ය තත්ත්ව පිළිබඳව නිර්පාක්ෂික සහතික නිකුත් කරයි. එවැනි තවත් ආයතන ඇත. අදාළ වාර්තා දෙකෙන් එකක් මෙරට බැංකු සම්බන්ධයෙන් වන අතර අනෙක පොදුවේ ආර්ථික තත්ත්වය ගැනය. පළමු ප්‍රකාශනයෙන් ලංකාවේ වාණිජ බැංකු 13ක් ශ්‍රේණිගත කිරීම්වලින් පහළට ඇද දමා තිබේ. ඒවා CCC තත්ත්වයේ සිට CC ශ්‍රේණිය දක්වා පහත හෙළා ඇත. විදේශ ගනුදෙනුවලදී එම බැංකු සමග කටයුතු කිරීම අවදානම් සහගතය යන පණිවුඩය එමගින් ලෝකයට ලබා දී ඇත. අනෙක් වාර්තාවෙන් ලංකාවේ ආර්ථික තත්ත්වය CC සිට C ශ්‍රේණිය දක්වා පහත හෙළා තිබේ.

පොදුවේ මේ නිවේදන දෙකෙන්ම සිදු කර තිබෙන්නේ ලංකාවේ මූල්‍ය තත්ත්වය පහත හෙළීමකි. ෆිච් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය2005 වසරේ දෙසැම්බර් මස 7 වැනි දින නිකුත් කළ වාර්තාවක් මගින් ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් BB‐ ශ්‍රේණිය දක්වා පහත හෙළුවේ ය. යළිත් 2008 වසරේ අප්‍රේල් 02 වැනි දින BB‐ හි සිට B+ ශ්‍රේණිය දක්වා පහත හෙළුවේය. නැවතත් 2018 වර්ෂයේ දෙසැම්බර් මස 03 වැනි දින ප්‍රකාශයට පත් කළ වාර්තාවක් මගින් මෙරට මූල්‍ය තත්ත්වය B ශ්‍රේණිය දක්වා පහළට ඇද දැමුවේය. 2020 අප්‍රේල් මස 24 වැනිදා B- ශ්‍රේණිය දක්වාත් යළිත් එම වසරේම නොවැම්බර් 27 වැනිදා CCC ශ්‍රේණිය දක්වාත් 2022 වසරේ ජනවාරිවලදී CC ශ්‍රේණිය දක්වාත් මෙරට ණය ශ්‍රේණිගත කිරීම් පහත හෙළුවේය.  අවසන් වරට මේ මස 13 වැනි දින නිකුත් කළ වාර්තාව මගින් C ශ්‍රේණිය දක්වා මෙරට ණය ශ්‍රේණිගත කිරීම්වලින් පහළට ඇද දමා තිබේ.

ලංකාවේ මූල්‍ය අවදානම ඉහළ බව වෙසෙසින්ම විදේශීය වත්කම් තත්ත්වය දුර්වල බව මේ ශ්‍රේණිගත කිරීම්වලින් ගම්‍යවෙයි. එම අවදානමේ ස්වරූපය ඉංග්‍රීසි අක්ෂරවලින් ප්‍රකාශිත වෙයි. 1960 වසරේ සිට වාර්ෂිකව වෙළෙඳ ගිණුමේ පවතින ඩොලර් බිලියන 6 කට ආසන්න හිඟය මේ මෙහිදී සැලකිල්ලට ලක් කරන ප්‍රධාන සාධකයකි. ඊට අමතරව රටේ මූල්‍ය විනය යහපාලනය ආදී තවත් කරුණු බොහෝ ප්‍රමාණයක් මේ ආකාරයේ ශ්‍රේණිගත කිරීමක් සකස් කිරීමේදී අවධානයට ගනියි.

මෙමගින් ගම්‍ය වන ප්‍රධාන අදහසක් තිබේ. එනම් ලංකාව 2005 වසරේ සිට මූල්‍ය කළමනාකරණය මූල්‍ය විනය සහ විදේශ වත්කම් කළමනාකරණය ආදී තත්ත්වලින් අඛණ්ඩව ආපස්සට ගමන් කොට ඇති බවය. මෙවැනි ස්වාධීන මූල්‍ය ආයතනවලට හා ඒවායෙන් නිකුත් කරන ප්‍රකාශනවලට එරෙහිව බැණ අඬගැසීමෙන් ඵලක් වන්නේ නැත. එහෙත් පසුගිය කාලයේ මහ බැංකුව හා තවත් රාජ්‍ය ආයතන සිදු කළේ මෙවැනි වාර්තා ප්‍රතික්ෂේප කරමින් නිවේදන නිකුත් කිරීමය. පණිවුඩය නොසලකා පණිවුඩකරුට පහර දීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කෙරිණි. එහෙත් සිදු විය යුතුව තිබුණේ එය නොවේ. පණිවුඩකරුගේ ඇඟට ගොඩ වෙනවා වෙනුවට ලබා දෙන පණිවුඩය හා එහි ඇඟවුම් නිවැරදිව තේරුම් ගැනීම කළ යුතුව තිබිණි.

මේ වන විට ලංකාවේ මාසික අපනයන ආදායම ඩොලර් බිලියනයකට ආසන්න අගයක පවතියි. අත්‍යවශ්‍ය ආනයන ප්‍රමාණාත්මකව සීමා කිරීමකට ලක් කර තිබේ. එවැනි තත්ත්වයක් යටතේ වුව මාසික ආනයන වෙනුවෙන් ඩොලර් මිලියන 2,000 ක පමණ මුදලක් වැය වෙයි. ඒ අනුව මෙරට වෙළෙඳ ගිණුමේ මාසිකව නිරූපණය වන හිඟය ඩොලර් බිලියනයක් පමණ වෙයි. මේ වසරට අදාළව ලංකාව ගෙවිය යුතු මුළු ණය පොලි වාරික ප්‍රමාණය ඩොලර් බිලියන 6.9 කට ආසන්න අගයක් ගනියි. එයින් ඩොලර් මිලියන 500 කට ආසන්න මුදලක් මේ වසරේ ජනවාරි මස 18 වැනි දින පියවූවේය. එම මුදල නොගෙවූයේ නම් අපට ඉන්ධන නෞකා 14 ක් පමණ ආනයනය කළ හැකිව තිබිණි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගුවන් යානා 21 ක් කුලියට ගැනීම සඳහා මිල ගණන් කැඳවා ඇති බවට මාධ්‍ය වාර්තා පළ ව තිබේ. මගේ අදහස අනුව මෙවැනි අර්බුදයක් පවතින අවස්ථාවක ඩොලර් වැය වෙන එවැනි තීන්දු රටට හිතකර නැත.

2021 වර්ෂයේ මහ බැංකු වාර්තාව අනුව එම වසරේ අප්‍රේල් මාසය වන විට අප ගෙවීමට තිබූ සමස්ත විදේශ ණය ප්‍රමාණය දැක්වුණේ ඩොලර් බිලියන 35.1 ක් වශයෙනි. මේ වසරේ අප්‍රේල් වන විට මුළු විදේශ ණය ඩොලර් බිලියන 52ක් පමණය. 2022 වසරේ ජනවාරි මස සිට අප්‍රේල් දක්වා කාලයේදී වෙළෙඳ ගිණුමේ හිඟය ඩොලර් බිලියන 3.6 කට ආසන්නය. එම ණය මුදලද අප පියවිය යුතුය. රජය අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග කරන සාකච්ඡාවලදී වුව අපට උපරිම වශයෙන් ලැබෙන්නට ඉඩ තිබෙන්නේ ඩොලර් බිලියන 4 කට ආසන්න ණය මුදල් ප්‍රමාණයකි. එම මුදල වුව එක්වර මුදා නොහැරෙන අතර වාරික වශයෙන් ලබා දීම සිදු වෙයි. මේ මුදල ප්‍රමාණවත් නොවන බව පැහැදිලිය. එයින් යට කී ඩොලර් බිලියන 3.6 ක ණය මුදල පියවනු ලැබුවහොත් ඉතිරි වන්නේ ඩොලර් මිලියන 400 ක් පමණි. එබැවින් මූල්‍ය අරමුදලට ගිය පමණින් මේ අර්බුදය එක් රැයකින් නොවිසඳෙන බව පැහැදිලිය. රජය අන්තර්ජාතික මූල්‍ය අරමුදල වෙත යා යුතුව තිබුණේ 2019 වසරේ අගභාගයේදීය. එහෙත් ආණ්ඩුව නිසි පියවර නොගත්තේය. ඒ වෙනුවට හිටපු මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රවේශය වූයේ නූතන මුදල් න්‍යාය භාවිත කරමින් මුදල් අච්චු ගැසීමය. එය අමනෝඥ ක්‍රියාවකි.

බදු අඩු කිරීමෙන් සහ මුදල් සැපයුම වැඩි කිරීම මගින් උද්ධමනය පාලනය වන බව මෙම නූතන මුදල් න්‍යායෙන් ප්‍රකාශ වෙයි. එහෙත් එය අදාළ වන්නේ අන්තර්ජාතික වශයෙන් පිළිගත් ව්‍යවහාරික මුදල් ඒකක භාවිත වන රාජ්‍ය සම්බන්ධයෙනි. ඇමෙරිකාව ජපානය යනු ඊට දැක්විය හැකි නිදසුන්ය. එම රටවල මුදල් ඒකක ජාත්‍යන්තර වශයෙන් ව්‍යවහාර වන හෙයින් ඒවායෙහි මුදල් සැපුයම වැඩි කළද උද්ධමනය ඉහළ යෑමක් සිදු වන්නේ නැත. එසේවුවත් ලංකාව වැනි රටවල් සම්බන්ධයෙන් එම න්‍යාය අදාළ කර ගත නොහැකිය. රුපියල අන්තර්ජාතික මුදල් ඒකකයක් නොවන නිසාය. 2020 වසරට සාපේක්ෂව 2021 වර්ෂයේදී ලංකාවේ මුදල් සැපයුම සියයට 40 න් පමණ වැඩි කර තිබේ. වැඩි කර ඇති මුදල් සැපයුමෙහි මුළු වටිනාකම රුපියල් බිලියන 3,000 ක් පමණ වෙයි. එහෙත් එම දෙවර්ෂයේදීම මෙරටේ ආර්ථික වර්ධන වේගය දැක්වුණේ සෘණ අගයන්වලිනි. එහි ප්‍රතිඵලයක් ලෙස උද්ධමනය සියයට 18 දක්වා ඉහළ ගොස් තිබේ. මරණාසන්නව සිටින රෝගියකුට දෙළුම් යුෂ ස්වල්පයක් දුන් විට තවත් පැය දෙක තුනක කාලයක් ජීවත් විය හැකි බවට ගම්වල කතාවක් තිබේ. ලංකා රජය මේ මොහොතේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලට යෑම ද එවැනි තාවකාලික අස්වැසිල්ලක් පමණි.

රාජ්‍යයක ආර්ථික සංවර්ධනය අරබයා අදාළ වන ප්‍රධාන ප්‍රතිපත්ති දෙකක් ඇත. එනම් මූල්‍ය ප්‍රතිපත්තිය හා ආදායම් සහ වියදම් (පිස්කල්) ප්‍රතිපත්තියයි. රටක මූල්‍ය ප්‍රතිපත්තිය සම්බන්ධ පූර්ණ වගකීම පැවරෙන්නේ මහ බැංකුවටය. මුදල් සැපයුමෙහි පවත්වා ගත යුතු ස්ථායීකරණය මූල්‍ය ප්‍රතිපත්තියට අදාළ වැදගත් සංරචකයකි. උද්ධමනය පාලනය, බැංකු පොලි අනුපාත තීරණය කිරීම, රුපියල අවප්‍රමාණය වීම ආදියෙහි ස්ථාවරත්වය සහතික කිරීමද මහ බැංකුවට අයත් වන කටයුතුය. රටක ආර්ථික සංවර්ධනය ඇති කළ හැක්කේ ආදායම් හා වියදම් ප්‍රතිපත්තිය මගිනි. වාර්ෂිකව අයවැය ලේඛනයක් ඉදිරිපත් කරන්නේ ඒ වෙනුවෙනි. මහා භාණ්ඩාගාරයේ වගකීම වන්නේ රටේ ආදායම වැඩි කර ගැනීමය. ඒ සඳහා කළ යුතු ප්‍රධාන කර්තව්‍යය වන්නේ ජාතික ආදායම ඉහළ නංවා ගැනීමය.

ලංකාවේ පසුගිය කාලයේදී මේ ප්‍රතිපත්ති ද්විත්වයම එක් තැනකින් පාලනය වන ස්වභාවයක් දැකගන්නට ලැබිණි. එහෙත් ආර්ථික විද්‍යාත්මකව පිළිගත් කාරණය වන්නේ රටක මූල්‍ය ප්‍රතිපත්තිය සහ ආදායම් හා වියදම් ප්‍රතිපත්තිය වෙන් වෙන්ව ක්‍රියාත්මක විය යුතු බවය. ඊට වෙනස්ව ඒවා එක් තැනකින් පාලනය වන විට සිදු වන්නේ අර්බුද හට ගැනීමය.

ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය කොවිඩ් වසංගතය නිසා ඇති වූවකැයි කිසි ලෙසකවත් කිව නොහැකිය. 1950 දසකයේදී ලංකාවේ ඒක පුද්ගල ආදායම දැක්වුණේ ඩොලර් 89 ක් වශයෙනි. එවකට අප ආසියාවේදී දෙවැනි වූයේ ජපානයට පමණි. ජපානයේ ඩොලර් 90 ක් ලෙසද සිංගප්පූරුවේ ඩොලර් 30 ක් වශයෙන්ද ඒක පුද්ගල ආදායම දැක්විණි. එහෙත් අද වන විට තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. ලංකාවේ ඒකපුද්ගල ආදායම ඩොලර් 3800 ක් පමණ වෙයි. සිංගප්පූරුවේ එය ඩොලර් 56,000 ත් 57,000 ත් අතර අගයකි. ජපානයේ ඩොලර් 40,000ක පමණ අගයක් ගනී.

ලංකාවේ ඒකපුද්ගල ආදායම අඩුවීමට බලපෑ එක් හේතුවක් වන්නේ අපේ මූල්‍ය ප්‍රතිපත්තියයි. නාස්තිය, වංචාව, දූෂණය සහ ඵලදායීතාව නොමැති වීම ආදී තත්ත්වද ඊට බලපා තිබේ.

මූල්‍ය ප්‍රතිපත්තිය හා පිස්කල් ප්‍රතිපත්තිය එකට පාලනය කිරීමෙන් සිදු වූයේ ආර්ථිකයට ප්‍රතිලාභ නොදෙන අනවශ්‍ය සංවර්ධන යෝජනා ක්‍රමවල වැඩි වශයෙන් මුදල් ආයෝජනය කිරීමය. ඒවාට අවැසි මුදල් සොයා දෙනු ලැබුවේ මහ බැංකුව විසිනි. නෙළුම් කුලුන එවැනි අනවශ්‍ය ව්‍යාපෘතියකට දැක්විය හැකි කදිම නිදර්ශනයකි. එයින් ආර්ථිකයට ප්‍රතිලාභ ලැබෙන්නේ නැත. එවැනි ව්‍යාපෘති බොහෝ ප්‍රමාණයක් ඇත. යථොක්ත ප්‍රතිපත්ති ද්විත්වය වෙන් වෙන්ව පැවතියේ නම් එනම් මහ බැංකුව ස්වාධීන ආයතනයක්ව පැවතියේ නම් එහි මුදල් මණ්ඩලයට එවැනි ව්‍යාපෘතිවල අදාළත්වය ප්‍රශ්න කළ හැකිව තිබිණි. 2005 න් පසු මහ බැංකුවේ ස්වාධීනත්වය අඛණ්ඩව පිරිහුණි. 2012 සිට 2019 දක්වා කාලයේ මෙරට සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය සියයට 7 ක් බව මහ බැංකු වාර්තාවල සඳහන් විය. එහෙත් එය නිරූපණය වූයේ ආර්ථිකයට ප්‍රතිලාභ නොදෙන ආයෝජන ව්‍යාපෘතිවලිනි. ඉදිකිරීම්වලිනි.

දේශපාලන බලවතුන්ගේ හා ඉහළ රාජ්‍ය නිලධාරීන්ගේ මූලාශ්‍ර හෙළි කළ නොහැකි වත්කම් යළි රජයට පවරා ගන්නේ කෙසේද ආයෝජකයන් ආකර්ෂණය කර ගන්නේ කෙසේද කවර ඵලදායී ව්‍යාපෘතිවල මුදල් ආයෝජනය කළ යුතුද සහ අපේ නිෂ්පාදන වැඩි පරිමාවකින් ලෝක වෙළෙඳපොළට එක් කරන්නේ කෙසේද යන ප්‍රශ්නවලට පිළිතුරු සොයමින් පවතින ආර්ථික අර්බුදය විසඳීමට අදාළ ව්‍යුහාත්මක වෙනස්කම් ඇති කළ යුතුය. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ දත්ත අනුව ලංකාවෙන් බැහැරට ගෙන ගොස් ඇති ධනය ඩොලර් බිලියන 35ට වැඩිය. ඒ මහා ධනස්කන්ධය යළි රටේ ආර්ථිකය ලබා ගන්නේ කෙසේද යන පැනයට මහ බැංකුවට පිළිතුරු ඇති බවක් නොපෙනේ.

වත්මන් මහ බැංකු අධිපතිවරයා ආර්ථිකයේ ඇතිව තිබෙන මේ අර්බුදය විසඳීමට ඔවුන්ගේ පැත්තෙන් ගත හැකි පියවර ගැනීමට උත්සාහ දරමින් සිටින්නේ යැයි කිව හැකිය. පොලි අනුපාතය සියයට සියයකින් ඉහළ නැංවීමට ගත් තීරණය ඒ අතරින් එකකි. එහෙත් එමගින් ආයෝජන කෙරෙහි අහිතකර බලපෑම් ඇති විය හැකි වුවත් ජනතාවට දනෙන පීඩනය අවම කිරීම සඳහා ගත් තාවකාලික පියවරක් වශයෙන් එය සැලකිය හැකිය. පවතින ආර්ථික රෝගී තත්ත්වය හමුවේ රටට දැන් තිත්ත බෙහෙත් බීමට සිදු වේ. ඉදිරියේදී තවත් තිත්ත බෙහෙත් බීමට සිදු වනු ඇත.

(*** සටහන - උපුල් වික්‍රමසිංහ)