ලේ පයින්ට් 90 ක් දන්දුන් පොලිස් සහෝදරයා


දැනට රුධිරය පයින්ට් අනූවක් දන්දීලා  


වාර්ෂිකව රුධිරය පරිත්‍යාග කරන්නන් ලක්ෂ හතර හමාරකට වැඩි පිරිසක් අතරින් දෙවැනි ස්ථානයේ පසුවන්නේ රුධිර පයින්ට් අනූවක් (90) දායාද කළ අපූරු පොලිස් නිලධාරියෙකි. 

 
 කුරුණෑගල පොලිස් ස්ථානයේ උපපොලිස් පරීක්ෂකවරයකු ලෙස රාජකාරි කටයුතු කරන ඔහු ලෝක රුධිර පරිත්‍යාග කිරීමේ දිනයට සමගාමීව රුධිරය පරිත්‍යාග කළ අවස්ථාවකදී අප සමග සමඟ කතාබහට එක් විය.   
 ජුලි මස 14 වැනිදා සෑම වසරකදීම උත්සවාකාරයෙන් ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය සමරති. එම දිනය සමරන ජාතික උත්සව අවස්ථාවට සහභාගි වන මේ අපූරු මිනිසා කුරුණෑගල පොලිස් ස්ථානයේ උපපොලිස් පරීක්ෂකවරයකු ලෙස රාජකාරි කටයුතු කරන මාපා හාමිලාගේ ආනන්ද ජනක සිරිකුමාර මහතාය. 

 
 වර්තමානය වනවිට පොලිස් දෙපාර්තමේන්තුවේ බොහෝ නිලධාරීන් විවේචනයට ලක්වන අවස්ථාවක නිහඬව රාජකාරි කරන අතරම, ජාතික මෙහෙවරක යෙදෙන නිලධාරීන් ද නැතුවාම නොවේ.   
අපේ කතානායකයා පොලිස් දෙපාර්තමේන්තුවට ආදර්ශයක් සපයන නිහඬ සමාජ සේවයක් කරන පොලිස් නිලධාරියෙකි.   


 ඔහු 1996 වසරේ ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්ව යම්කිසි ආබාධිත තත්ත්වයකට පත්විය.   
 වම් අතේ උරහිස ආබාධ තත්ත්වයට පත්වීමෙන් පසුව සිවිල් නිලධාරියකු ලෙස රාජකාරි කටයුතු කරයි.   
 වසර 28ක පමණ සේවය කළ කාලය තුළ දී මහරගම පිළිකා රෝහලේ පැවැති දානමය පින්කම් අවස්ථාවකට සහභාගි වීමෙන් පසුව ජීවිතයත් මරණයත් අතර ජීවත්වන අයකුට රුධිරයෙහි අවශ්‍යතාව හඳුනාගෙන මුල්ම වරට 1998 වසරේ දී රුධිරය පරිත්‍යාග කරන්නට ආරම්භ කර ඇත.   

 


 ඉන් පසුව ඔහු කළ පරිත්‍යාග පිළිබඳව මෙලෙස අදහස් දැක්වීය.   


 “මම මේ වනවිට මහරගම පිළිකා රෝහලට දහසය වතාවක් රුධිරය පරිත්‍යාග කරලා තියෙනවා. ඊට අමතරව කෑගල්ල, කොළඹ නවලෝක රෝහල, කුරුණෑගල රෝහල වැනි ස්ථානවලදීත්, රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහන්වලදීත් රුධිරය පරිත්‍යාග කළා.   


 මේ සඳහා තිබෙන කැමැත්ත නිසාම රුධිරය පරිත්‍යාග කිරීමේ කඳවුරු දෙකක් මා විසින්ම සංවිධානය කළා.   
අද වෙද්දි මා රුධිරය පරිත්‍යාග කළ අවස්ථාව අනූව (90) වතාවක්. එහි ප්‍රමාණය සඳහන් කළොත් රුධිර පයින්ට් අනූවක්.   


 1998 වසරේ ඉඳන් 2019 වසර දක්වාම මම එක දිගට මාස තුනකට වරක් රුධිරය පරිත්‍යාග කළා. 2020 වසරේ ඉඳලා මාස හතරකට වරක් මම රුධිරය පරිත්‍යාග කරනවා.   
 මම අහලා තියෙනවා රුධිර පරිත්‍යාගය දාන උපපාරමිතා ගණයට එන උදාර කුසලකර්මයක් කියලා. එයින් නිරෝගී ජීවිතයක්, දීර්ඝායුෂ බවත්, ශරීර ශක්තියත්, වගේම සසර ගමනේ යම් විපතකට පත්වුවහොත් පිහිට වන අය හමුවීමත් සිදු වෙනවායි කියලා මං අහලා තියෙනවා.   


 නමුත් මේ දේවල් බලාගෙන නෙවෙයි මම රුධිරය පරිත්‍යාග කරන්නේ. එක ලේ පයින්ට් එකකින් ජීවිත තුනක් බේරගන්න පුළුවන්ලු‍. ලංකාවේ සෑම විනාඩි දෙකකට වරක් ලේ පයින්ට් එකක අවශ්‍යතාවක් තියෙනවලු‍. රට පුරා ලේ බැංකු එකසිය හතක් තිබෙනවා. මේවාට සම්බන්ධ වෙමින් වසරකට පුද්ගලයින් ලක්ෂ හයක් පමණ රුධිර පරිත්‍යාග කරන්න ලියාපදිංචි වුණත්, රුධිරය පරිත්‍යාග කිරීමේ හැකියාව ලැබෙන්නේ ලක්ෂ හතර හමාරකට වැනි පිරිසකට. ඒ අය අතරත් මම දෙවැනි ස්ථානයේ පසු වීම ගැන පුදුමාකාර සතුටක් දැනෙනවා.   
 එලැඹෙන ජුලි 14 වැනිදා ලෝක රුධිර පරිත්‍යාග කරන්නන්ගේ දිනය ලෙස ලොව පුරා රටවල් ගණනාවක උත්සව පැවැත්වෙනවා.   


 2020 සහ 2021 යන අවුරුදු දෙකේ පමණයි ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ උත්සවය පැවැත්වුණේ නැත්තේ. එහෙත් ඊට සමගාමීව ළඟම තියෙන කුරුණෑගල රෝහලට ගිහින් රුධිරය පරිත්‍යාග කිරීමට මම කටයුතු කළා. මේ වගේ වසංගත තත්ත්වයක් හමුවේ රෝහල්වල රුධිර අවශ්‍යතාව ඇති. විශේෂයෙන්ම කුරුණෑගල රෝහලේ ස්ථාපිත කර තිබෙන ජාතික තැලසීමියා මධ්‍යස්ථානයෙන් රුධිරය ලබාගන්නා දරුවන්ගේ රුධිර අවශ්‍යතාව දිනපතා සැපැයිය යුතුයි. ඉතින් ජීවිතයක් බේරගන්න මං වගේම ඔබත් නිරෝගී පුද්ගලයෙක් නම්, රුධිරය පරිත්‍යාග කරන්න කියලා කාරුණික ඉල්ලීමක් කරන්නත් මම කැමැතියි.   

 


 අපි හැමෝටම හැමදාම රුධිරය පරිත්‍යාග කරන්න බෑ. ජීවිත කාලෙන් ඉතාමත් කෙටි කාලයක් තුළදී පමණයි රුධිරය පරිත්‍යාග කරන්න පුළුවන්. ඒ කාලයේදීත් කොන්දේසි ගණනාවක් යටතේ සුදුසුකම් සපුරා තිබිය යුතුයි.” ඔහු සඳහන් කළේය. 

 
 අවසාන වශයෙන් අනිකුත් අයගේ රුධිරයෙහි ඇති වටිනාකම පිළිබඳව සඳහන් කරන්නට ද ඔහු අමතක නොකළේය.   

 

 

සටහන/ ඡායාරූප 
චාන්දනී දිසානායක