එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර දිනය අදට (16) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. රටක ආහාර සුරක්ෂිතතාවය පවත්වා ගැනීම සඳහා එකිනෙකට සම්බන්ධ මූලිකාංග හතරක් පිළිපැදිය යුතුය. එනම්,
1. රටපුරා සැමවිටම හිඟයකින් තොර ප්‍රමාණවත් භෞතික ආහාර තොග පවත්වා ගැනීම
2. සියලු ආහාර වර්ග මහජනයාට මිලදී ගත හැකිවන පරිදි මිල මට්ටම පවත්වා ගැනීම
3. ගෘහස්තයක සිටින සියලු දෙනාගේම පෝෂණ අවශ්‍යතා ඉටුවන පරිදි ආහාර ලබාගැනීමේ හැකියාව පවත්වා ගැනීම
4. අඛණ්ඩ ස්ථාවර ආහාර සැපයුම් දාමයක් පවත්වා ගැනීම
යන කරුණු වේ.
ප්‍රමාණවත් ආහාර තොග පවත්වා ගැනීමේදී නියමිත අවස්ථාවක රටේ පවතින තොග තත්ත්වය පිළිබඳ අවධානය ඉතා වැදගත් වේ. පසුගිය කාලය තුළ කොපමණ ප්‍රමාණයක් ආහාර නිෂ්පාදනය වීද? කොපමණ ආනයනය කර තිබේද? පරිභෝජන රටාව අනුව කොපමණ දැනට තිබිය හැකිද? එය කොපමණ කාලයකට ප්‍රමාණවත්ද? එම ආහාර ගබඩා ගතව ඇත්තේ කුමන ස්ථානවලද? වැනි සියලු තොරතුරු නිතර සමාලෝචනය කළ යුතුවේ.
ආනයන කළ ආහාර ද්‍රව්‍ය පිළිබඳවද එවැනි තොරතුරු පවත්වා ගතයුතු වේ. එමෙන්ම ඉදිරි කාලය තුළ කොපමණ නිෂ්පාදනයක් සිදුවේද? එය ප්‍රමාණවත්ද, නොවේනම් ආනයන මගින් කුමන කාලයේදී ආනයනය කළ යුතුද යන්න පිළිබඳව අඛණ්ඩ අධීක්ෂණයකින් සිටිය යුතුය. එසේ නොවුවහොත් ස්වභාවික විපතක් ඇතිවූවිට ඉහළ මිලකට හදිසි මිලදී ගැනීම් කළයුතු අතර එය රටකට විශාල පාඩුවක් විය හැකිය.
ප්‍රමාණවත් ආහාර තොග පවත්වා ගැනීම පමණකින් ආහාර සුරක්ෂිතතාව ආරක්ෂා නොවේ. රටේ සියලු ජනතාවට ආර්ථික වශයෙන් ආහාර මිලදී ගැනීමේ හැකියාවක් ඇතිවන පරිදි ආහාර ද්‍රව්‍ය මිල මට්ටම් පවත්වා ගත යුතුය. අත්‍යාවශ්‍ය ආහාර වර්ග සෑම ගෘහස්තයකටම, අඩු ආදායම්ලාභීන්ට සහ දෛනික ආදායම් ලබන්නන් ආදීන්ට මිලදී ගැනීමට හැකිවන පරිදි ආහාර මිල මට්ටම රට තුළ පවත්වා ගත යුතුය.
එසේ නොහැකිවන අයට සමාජ ආරක්ෂණ ක්‍රම මගින් සහන සැලසිය යුතුය. රටේ සෑම ජන කොට්ඨාසයකටම අවශ්‍ය ආහාර කැමති පරිදි ලබාගත නොහැකිනම් එවැනි රටක ආහාර සුරක්ෂිතතාවක් නොමැත.
ගෘහස්තයක ආහාර ලබාගැනීමේදී පවුලේ සියලු දෙනාටම ඔවුන්ගේ වයස, ස්ත්‍රී පුරුෂ භාවය, රෝගී බව, ගර්භනී බව, ශාරීරික ක්‍රියාකාරිත්වය ආදිය සලකා එම අයගේ පෝෂණ අවශ්‍යතා සහ සෞඛ්‍යමය අවශ්‍යතා සපිරෙන පරිදි ආහාර ලබා ගැනීමේ හැකියාව ආහාර සුරක්ෂිතතාවයේ තවත් වැදගත් අංගයකි. එසේ නොමැති වුවහොත් එම ගෘහස්ථය මෙන්ම රටේ බහුතරයක් මන්ද පෝෂණය මෙන්ම පෝෂණ ආශ්‍රිත රෝගවලට ගොදුරුවීම නොවැළැක්විය හැකිය. ආහාර මගින් පවුලේ ළමුයින්ට නිසි පෝෂණය නොලැබුණහොත් ඔවුන්ගේ ශාරීරික සහ මානසික වර්ධනය අඩුවීම, අන්ධ භාවය ඇතිවීම නිසා එම පරපුර සමාජයට ආර්ථිකව ප්‍රයෝජනවත් නොවන පුද්ගලයෙකු වීමටද ඉඩ තිබේ.
ජාත්‍යන්තර මිනිස් අයිතිවාසිකම් ප්‍රඥප්තියට අනුව පුද්ගලයෙකුට ආහාර ලබාගැනීමේ අයිතිය මූලික මිනිස් අයිතිවාසියකි. එමෙන්ම කිසිදු රටක්, කිසිදු ජන කොට්ඨාසයකට සාගින්න ඇතිවන අයුරු කටයුතු නොකළයුතු අතර යුධ උපක්‍රමයක් ලෙස ආහාර සැපයීමට බාධා කිරීමද ජාත්‍යන්තර නීතිය අනුව සපුරා තහනම් වේ. ආහාර සුරක්ෂිතතාවයේ ඇති වැදගත්කම නිසාම 2015දී එක්සත් ජාතීන්ගේ සංගමය මගින් සියලුම රටවල්වල එකඟත්වය මත යෝජනා කරන ලද තිරසාර සංවර්ධන ඉලක්ක17න් දෙවැනි ඉලක්කය වන්නේ “2030 වනවිට ලොව සෑම රටකම සාගින්න තුරන් කිරීම, ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම, පෝෂණ තත්ත්වය වැඩිදියුණු කිරීම සහ තිරසාර කෘෂි කර්මාන්තය වැඩිදියුණු කිරීමයි.” මෙම ඉලක්කය කරා ළඟාවීමට කොවිඩ් වසංගතය මහත් බාධාවක් වී ඇත. තම පුරවැසියන්ගේ ආහාර සුරක්ෂිතතාවය ආරක්ෂා කිරීම මගින් ඔවුන්ගේ ආහාර ලබාගැනීමේ අයිතිය සපුරාලීම සෑම රජයකම වගකීමකි.
ආහාර සුරක්ෂිතතා මූලිකාංගයන්ට යම් බාධාවක් හෝ බිඳවැටීමක් ඇති වුවහොත් ආහාර අනාරක්ෂිතතාවයකට මුහුණ දීමට සිදුවේ. කොවිඩ් 19 වසංගතයට පෙර සිටම ලෝකයේ විශාල ජනතාවක් ආහාර අනාරක්ෂිතතාවයෙන් පීඩා විඳි අතර දැනටමත් ලෝක ජනගහනයෙන් මිලියන 800ක් පමණ ජනතාවක් දෛනිකව ප්‍රමාණවත් ආහාර නොමැතිකමින් පීඩා විඳිනු ලැබේ. ඊට ප්‍රධාන හේතුව දරිද්‍රතාවයයි. ඔවුන්ගේ දිනක ආදායම ඇමෙරිකානු ඩොලර් 1.90කට වඩා අඩුය. දරිද්‍රතාවය ඔවුන්ගේ ආහාර අනාරක්ෂිතතාවයේ මූලික හේතුවයි. දරිද්‍රතාවයෙන් පෙලෙන බොහෝදෙනාට හිසට සෙවනක් හෝ තමන් සතු ඉඩමක් නොමැත. ඔවුන්ට ආහාර මිලදී ගැනීමට හෝ තමන් සඳහා නිෂ්පාදනය කිරීමටද හැකියාවක් නැත. කුසගින්න ඔවුන්ගේ දෛනික පුරුද්දක් වී ඇත. නිසි ආහාර නොමැතිකමින් වන මන්ද පෝෂණය උරුමයක් වී ඇත.
එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර සංවිධානය ප්‍රකාශ කරන පරිදි කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ගෝලීය ආහාර සුරක්ෂිතතාවය සැපයුම සහ ඉල්ලුම යන අංශ දෙකෙහිම බාධා සිදුව ඇත. මෙය සම්පූර්ණ ආහාර පද්ධතිය කෙරේ මෙන්ම ආහාර සුරක්ෂිතතාවයේදී අන්තරාකාරී ලෙස බලපානු ලැබේ. වගා කිරීමට බීජ සහ වෙනත් යෙදවුම් සපයා ගැනීමේ සිට පාරිභෝගිකයා දක්වා වන ආහාර පද්ධතිය සම්පූර්ණයෙන් අඩපණ වී ඇත. දේශීය සංචරණ සීමා හේතුවෙන් ශ්‍රම සැපයුම දුර්වල වී ඇත. දෛනික වැටුප් ලබන්නන් සමාජ ආරක්ෂණ ක්‍රමයකින් ආවරණය වී නොමැතිවීම හේතුවෙන් ශ්‍රමිකයින් සහ ඔවුන්ගෙන් යැපෙන්නන්ගේ ආහාර සුරක්ෂිතතාවය අනතුරුදායක තත්ත්වයකට පත්ව ඇත.
තවමත් පාලනකින් තොරව කොවිඩ් වසංගතය ලෝ පුරා පැතිරෙමින් පවතී. කොවිඩ් වසංගතයෙන් මිලියන 200ක පමණ ජනතාවගේ රැකියා අහිමි විය හැකිබව ලෝක කම්කරු සංවිධානය ප්‍රකාශ කර ඇත. වසංගතය නිසාවෙන් බලපවත්වන ලද සංචරණ සීමා හේතුවෙන් දෛනික සහ අනෙකුත් සේවාවන්වල යෙදුන සියලුම සේවකයන්ගේ ජීවන මාර්ග සම්පූර්ණයෙන් අඩාළ වී ඇත. මේ නිසා වර්ෂයේ ගෝලීය ආර්ථික වර්ධන වේගය සියයට 5කින් අඩුවිය හැකි බව ලෝක බැංකුව පුරෝකථනය කර ඇත. ජීවනෝපාය අහිමිවීමෙන් එම පවුල්වල ආහාර සුරක්ෂිතතාවට මහත් ව්‍යසනකාරී තත්ත්වයක් ඇතිවිය හැකිය. එහෙත් එය සියලු රටවලට සමානුපාතික නොවන හෙයින් අඩු ආදායම් ලබන රටවල ජනතාවගේ ආහාර සුරක්ෂිතතාවයට වඩාත් අනතුරුදායක බලපෑමක් ඇතිවිය හැකිය. එමෙන්ම තවදුරටත් ආර්ථික වර්ධනය අඩු වුවහොත් ගෝලීය ආර්ථික අවපාත තත්ත්වයක් ඇතිවිය හැකි අතර එය බොහෝ රටවල් මෙතෙක් ලබාගත් ආර්ථික දියුණුව විශාල පසුබෑමකට ලක්විය හැකි හේතුවක් වනු ඇත. එවැනි තත්වයකින් ඇතැම් අඩු ආදායම් රාජ්‍යයන්හි උග්‍ර සාගත තත්වයක් ඇතිවීම නොවැළක්විය හැකිය.
කෘෂි, ධීවර සහ සත්ව නිෂ්පාදන කර්මාන්ත හා ආහාර සැපයුම් ජාලය කොවිඩ් වසංගතය හේතුවෙන් පවත්වාගෙන යාමේ බාධා සිදුවී ඇත. ලෝක ප්‍රජාව සාමූහිකව මෙන්ම එක් එක් රටවල්ද වෙන් වෙන් වශයෙන් ඉක්මන් ක්‍රියාකාරී පිළිවෙතක් නොගතහොත් බොහෝ රටවල ආහාර සුරක්ෂිතතාවයට මෙන්ම මිලියන ගණනක් වන දැනටමත් ආහාර අනාරක්ෂිත ජනතාවගේ ජීවිත මහත් ව්‍යසනකාරී තත්ත්වයකට පත්වනු ඇත. එය ගෝලීය සහ දේශීය ආහාර නිෂ්පාදනයේ සිට පාරිභෝගිකයා දක්වා වන සම්පූර්ණ ආහාර සැපයුම් පද්ධතියේ ක්‍රියාකාරීන් වන ගොවීන්, නිෂ්පාදකයන්, ගබඩා කරන්නන්, ප්‍රවාහන කරන්නන් සහ වෙළෙඳුන්ට අනතුරුදායක ලෙස බලපාමින් පවතී.
(***)
එන්.බී. ලියනආරච්චි
විශ්‍රාමික අතිරේක ලේකම් සහ හිටපු ආහාර කොමසාරිස්