රජය මගින් ඉන්ධන මිල පාලනය කිරීමක් සිදු නොවේ. ලෝක වෙළෙඳ පොළේ මිල ගණන් අනුව ඉන්ධන මිල ගණන් තීරණය වීමට ඉඩ හැර තිබේ. එහෙත් එය සර්ව සාධාරණව සිදු වන්නක් නොවේ. එනම්, ලෝක වෙළෙඳ පොළෙහි ඉන්ධන මිල ගණන් ඉහළ යන විට සහ ඩොලරයේ අගය වැඩි වනවිට ඉන්ධන මිල ගණන් ඉහළ නැංවූවද ලෝක වෙළෙඳ පොළෙහි තෙල් මිල පහළ යන විට සහ ඩොලරයේ අගය පහත බසින විට ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල ගණන් අඩු වෙන්නේ නැත.
අගෝස්තු මස 31 වැනිදා ක්‍රියාත්මක කළ ඉන්ධන මිල සංශෝධනය අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 348 සිට 361 දක්වා රුපියල් 13 න් වැඩි කෙරිණි. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල වැඩි වූයේ රුපියල් 42 කිනි. එසේම ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 306 සිට 341 දක්වා රුපියල් 35 න් ඉහළ නංවන ලදී. ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල ගණන් යම් ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව, පසුගිය ජූලි මස මුල් භාගයේ ඇමෙරිකානු ඩොලර් 67 ක අගයක පැවති බොරතෙල් බැරලයක මිල මේ වනවිට ඩොලර් 86 දක්වා වැඩි වී ඇත. එබැවින් ඊට සමගාමීව ඉන්ධන මිල ගණන් වැඩි කළ යුතුව ඇත.
ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල ගණන්හි සිදුවන උච්චාවචන අනුව දේශීය වෙළෙඳ පොළේ තෙල් මිල තීරණය වීමට ඉඩ හරින්නේ නම්, ඒ සඳහා බලශක්ති අමාත්‍යවරයකු හෝ ආණ්ඩුවක් හෝ අවශ්‍ය වන්නේ නැත. විෂය භාර අමාත්‍යවරයාගේ හා ආණ්ඩුවේ වගකීම වන්නේ ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල ගණන් අඩු වනවිට ලැබෙන වාසිය පාරිභෝගිකයාට ලබා දීමය. එවැන්නක් මේ දක්වා සිදුව නොමැත.
මේ පසුබිමේ ඉන්ධන සඳහා ස්ථායීකරණ අරමුදලක් පිහිටුවිය යුතු බවට විශේෂඥයෝ පෙන්වා දෙති. එයින් සිදු වන්නේ ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල ගණන් පහළ යන විට ආණ්ඩුව ලබන ලාබය එම ස්ථායීකරණ අරමුදලේ තැන්පතුවක් වශයෙන් තබා ගැනීමත් තෙල් මිල ඉහළ යන අවස්ථාවලදී එමගින් ඇති වෙන අවාසිය පියවීම සඳහා ඒ මුදල් භාවිත කර පාරිභෝගිකයාට මිල වැඩි කිරීමකින් තොරව ඉන්ධන සැපයීමත්ය.
වසර 2022 දෙසැම්බර්වලදී තෙල් බැරලයක මිල ඩොලර් 69 දක්වා අඩු විය. යළිත් 2023 මාර්තුවලදී මෑත කාලයේදී ලෝක වෙළෙඳ පොළේ අඩුම ඉන්ධන මිල වාර්තා කරමින් තෙල් බැරලයක මිල ඩොලර් 65 දක්වා පහත වැටුණි. ඒ අවස්ථාවලදී ලැබූ වාසිය රැස් කර මිල ඉහළ යන අවස්ථාවලදී වන අවාසිය පියවීම සඳහා ආණ්ඩුව වැඩපිළිවෙළක් සකස් කළේ නැත. එහි ප්‍රතිඵලයක් ලෙස ලෝක වෙළෙඳ පොළෙහි ඉන්ධන මිල ගණන් වැඩි වූ විට දේශීය වෙළෙඳ පොළෙහි මිල ගණන් වැඩි කිරීමට සිදුව තිබේ.
ඉන්ධන මිල වැඩි කර තිබෙන්නේ ලෝක වෙළෙඳපොළෙහි ඇති වූ තත්ත්ව මතම නොවේ. ඒ, ඉන්ධනවලට තවත් අමතර වියදම් සහ බදු අය කෙරෙන නිසාය. නිදසුනක් ලෙස ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් මෙරටට ගොඩබාන අවස්ථාවේ මිල රුපියල් 224 කි. වාෂ්ප වීමේ පාඩුව ශත 33 ක් ද සැකසීමේ පිරිවැය රුපියල් 18 ක් ද තොග පවත්වා ගෙන යෑමේ පිරිවැය රුපියල් 4.74 ක්ද බෙදාහරින්නන්ගේ ලාභාංශය රුපියල් 10.18 ක්ද වශයෙන් තවත් වියදම් ගණනාවක් ඊට එකතු වේ. මේ සියල්ලේ එකතුව ගත් විට පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 360 දක්වා වැඩි වන්නේ නැත. එහෙත් ඊට රුපියල් 103.33 ක බද්දක් එකතු කරන හෙයින් මේ වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 360 දක්වා වැඩි වේ.
ඉන්ධන යනු බදු ආදායම් ලබාගැනීම සඳහා තිබෙන හොඳ මූලාශ්‍රයකි. එබැවින් ආණ්ඩුව බදු පැනවිය යුතුය. එහෙත් පෙට්‍රල් ලීටරයක් සඳහා පනවා තිබෙන රුපියල් 103.33 ක බද්ද ඇතුළත තෙල් සංස්ථාවේ අතීත අලාබයෙන් කොටසක් ද මේ රටේ පාරිභෝගිකයෝ ගෙවති. ඒ අතීත අලාබය සිදුව තිබෙන්නේ විවිධ වංචා දූෂණ නැව්වලට ගෙවූ ප්‍රමාද ගාස්තු ආදී හේතු රාශියක් නිසාය. මේ අනුව පැහැදිලි වන්නේ පාරිභෝගිකයා අද ඉන්ධන ලීටරයක් සඳහා ගෙවන මිල තීරණය වී තිබෙන්නේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන්වල සිදු වූ මිල ඉහළ යෑම මතම නොවන බවය.
ඉන්ධන මිල ගණන් වැඩි කිරීමත් සමග එහි අයහපත් බලපෑම අංශ ගණනාවකට දැනේ. ප්‍රවාහන ගාස්තු ඉහළ යෑමට පමණක් සීමා නොවී භාණ්ඩ හා සේවාවල මිල ගණන් වැඩි වීමද සිදු වේ. ඒ අනුව වරායේ සිට ප්‍රවාහනය කරන සියලුම භාණ්ඩවල මිල ගණන් වැඩි වීම අමුද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යෑම ආදී වශයෙන් අංශ කිහිපයකට මේ තත්ත්වය බලපෑ හැකිය. ඊට අමතරව ඉන්ධන මත සපයන විදුලිය පිරිවැය ගාස්තු ඉහළ යෑමද සිදු විය හැකිය.
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් වැඩි වීමේ රටාව සම්බන්ධයෙන් ආණ්ඩුවට යම් පුරෝකථනයක් තිබිය යුතුය. එසේ තිබිණි නම් මිල ගණන් වැඩි වනවිට ස්ථායීකරණ වැඩපිළිවෙළක් හරහා දරන්නට සිදු වන පාඩුව සෘජුවම පාරිභෝගිකයා මත නොපටවා සිටින්නට ද හැකියාව තිබිණි. එහෙත් ආණ්ඩුව ඒ ගැන සිතා තිබුණේ නැත.
මේ වනවිට විදේශීය සමාගම් සඳහා මෙරට ඉන්ධන වෙළෙඳ පොළ විවෘත කර තිබේ. ඒ අනුව, මේ වනවිටත් චීනයේ සිනෝ පෙක් ආයතනය ඉන්ධන අලෙවියට අවතීර්ණ වී තිබේ. මේ ආකාරයට ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළෙඳපොළ විදේශීය සමාගාම්වලට විවෘත කිරීමත් සමග ආණ්ඩුව ප්‍රකාශ කරන පරිදි ඉන්ධන මිල ගණන්වල අඩු වීමක් අපේක්ෂා කළ හැකි නම් එය සිදු වන්නේ නැත.
ඒ සඳහා හේතු ගණනාවක් බලපායි. එකක් නම්, ඔවුන් ඉන්ධන අලෙවියට ඉදිරිපත් වුවද දැනට පවතින පිරවුම්හල් කිහිපයක් අත්පත් කර ගන්නවා මිසක අලුතින් පිරවුම්හල් ඉදිනොකිරීමය. දෙවැන්න නම්, ඉන්ධන අලෙවිය සඳහා සමාගම් දෙකක් හෝ තුනක් පැමිණියද විය හැක්කේ එම සමාගම් විසින් ඒකාබද්ධව ඉන්ධන මිල ගණන් තීරණය කරනු ලැබීමය. එබැවින් ඉන්ධන මිල පහළ යෑමක් බලාපොරොත්තු විය නොහැකිය.
ඉකුත්දා ක්‍රියාත්මක කළ ඉන්ධන මිල වැඩි කිරීම හරහා ආණ්ඩුව සිනෝ පෙක් ආයතනයට අනපේක්ෂිත ලාබයක් අත්කර දීමට කටයුතු කර තිබේ. සිනෝ පෙක් ආයතනය මෙරටට ඉන්ධන ගෙන්වූයේ මීට සති තුනකට පමණ ඉහතදීය. ඔවුන් ඒවා ගෙනාවේ ඒ වනවිට මෙරට පැවති ඉන්ධන මිල ගණන් යටතේ පාරිභෝගිකයාට ලබාදීමේ අරමුණිනි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ තෙල් මිල ගණන්වලට වඩා රුපියල් 3ක් අඩුවෙන් ඉන්ධන ලීටරයක් අලෙවි කරන බවටත් ඉන්ධන බෙදාහරින්නන්ට අමතර රුපියල් 3 ක වාසියක් ලබා දෙන බවටත් එම සමාගම පැවසීය. එහෙත් ඉන්ධන මිල වැඩි කිරීමත් සමග එම සමාගමට දැන් ඉන්ධන අලෙවියෙන් අතිරේක වාසියක් ලබාගැනීමට හැකියාව ලැබී තිබේ. ඒ අනුව, එක් රැයකදී එම සමාගමට බලාපොරොත්තු නොවූ අයුරින් රුපියල් මිලියන 900 ක පමණ අතිරේක ලාබයක් ඉපයීමට හැකි වී තිබේ.
වෙනත් විදේශ සමාගම් ඉන්ධන වෙළෙඳ පොළට අවතීර්ණ වූ පමණින් අප රටට වාසියක් ලැබෙන්නේ නැත. තෙල් පිරිපහදුවක් සහිත ආයෝජකයකු පැමිණිය හොත් ආර්ථිකමය වාසි අපේක්ෂා කළ හැකිය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ පුරෝකථනය වූයේ මේ වසර අවසානයට පෙර උද්ධමනය තනි ඉලක්කමේ අගයකට ගෙනා හැකි බවය. එහෙත් මේ වනවිටත් උද්ධමනය සියයට 4 දක්වා තනි ඉලක්කමේ අගයකට පහත බැස තිබේ. මේ සන්දර්භයේ සාමාන්‍ය ජනතාවට මතු විය හැකි ප්‍රශ්නය නම්, උද්ධමනය අඩු වී ඇති විටකදීත් භාණ්ඩ මිල ගණන් අඩු නොවන්නේ ඇයි ද යන්නය. මෙහිදී රටේ ජනතාව තේරුම් ගත යුතු පළමු කාරණය නම්, උද්ධමනය යනු මිල මට්ටම නොවන බවය.
උද්ධමනය යනු මිල මට්ටම වෙනස්වීමේ ශ්‍රීඝ්‍රතාවයි. ඒ අනුව, උද්ධමනය අඩු වුවද භාණ්ඩවල මිල මට්ටම අඩු වෙතැයි අපේක්ෂා කළ නොහැකිය. උද්ධමනය සියයට 4 යන්නෙහි තේරුම නම් එදාට සාපේක්ෂව අද වනවිට භාණ්ඩ මිල ඉහළ යෑමේ වේගය සියයට 4 ක අඩු අගයක පවතින බවය.
භාණ්ඩ මිල ගණන් අඩු වීමක් සිදු වන්නේ උද්ධමනය සෘණ අගයක් වාර්තා කළ හොත් පමණි. එහෙත් ලෝකයේ කිසිදු රටක රජයක් උද්ධමනය සෘණ අගයකට යෑමට ඉඩ දෙන්නේ නැත. එවැන්නක් ආර්ථික විශේෂඥයන් නිර්දේශ කරන්නේ ද නැත.
වසර 2019 ට සාපෙක්ෂව සලකා බැලුව හොත් මිල මට්ටම් දෙගුණ විය. එහි තේරුම නම්, පාරිභෝගිකයන්ගේ මිලදී ගැනීමේ හැකියාව භාගයකින් පමණ අඩු වූ බවය. එනම්, ඔවුන්ගේ වැටුපෙන් මිලදී ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය හරි අඩකින් අඩු වීමය. උද්ධමනය සියයට බින්දුවේ මටට්මට පැමිණියද පාරිභෝගිකයන්ගේ මිලදී ගැනීමේ හැකියාව පෙර මට්ටමේම පවතින බැවින් ජීවන මට්ටමේ ඉහළ යෑමක් අපේක්ෂා කළ නොහැකිය. උද්ධමනය ශූන්‍ය මට්ටමට පැමිණියද පාරිභෝගිකයන්ට තමන්ගේ අහිමි වූ ජීවන මට්ටම යළි ලැබෙන්නේ නැත.
සාකච්ඡා සටහන - උපුල් වික්‍රමසිංහ
රුහුණ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි