ලෝක බලවතා කමලාද? ට්‍රම්ප්ද?


ඇමෙරිකන් ජනාධිපතිවරණය හෙට (5) පැවැත්වෙයි. ජනාධිපතිවරණ සටන පවතින්නේ, රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේය.

එහෙත්, සටන ආරම්භ වූයේ එසේ නොවේ. සටන ආරම්භ වූයේ ට්‍රම්ප් සහ වත්මන් ජනාධිපති ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩන් අතරේය. කෙසේ නමුත්, බයිඩන්ට ඔහුගේ වයස බාධාවක් විය. 81 හැවිරිදි බයිඩන් සටනින් ඉවත් වූයේ ඔහු වෙනුවට, ඔහුගේ දෙවැනියා මෙන්ම උප ජනාධිපති සගයා වන කමලා හැරිස් ඉදිරිපත් කරමිණි. පසුව ඩිමොක්‍රටික් පක්ෂයේ අනුමැතිය ද හැරිස්ට හිමිවිය. අවසානයේ 60 හැවිරිදි ඇය, 78 හැවිරිදි ට්‍රම්ප්ට අභියෝග කරමින් සටනට පිවිසුණාය.

ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී උප ජනාධිපතිවරුන් ද තෝරා ගැනීම සිදුවෙයි. ට්‍රම්ප් ජයග්‍රහණය කළහොත්, ඔහු උප ජනාධිපති සගයා ලෙස තෝරා ගත් 40 හැවිරිදි ජේ. ඩී. වෑන්ස්ට උප ජනාධිපති ධුරය හිමිවනු ඇති අතර, හැරිස් ජයග්‍රහණය කළහොත්, 60 හැවිරිදි ටිම් වොල්ට්ස් උප ජනාධිපති ධුරයට පත් වනු ඇත. ට්‍රම්ප්ට, බයිඩන් අභියෝගයක් වූ අවස්ථාවේ ජනමත සමීක්ෂණවලින් පෙනී ගියේ වැඩි වාසි ට්‍රම්ප් සතු බවය. කෙසේ නමුත්, කමලා හැරිස්ගේ ආගමනයත් සමඟ තත්වය වෙනස් විය. දැන් නවතම සමීක්ෂණ අනුව ට්‍රම්ප් සහ කමලා අතරේ තියුණු සටනක් පැවැත්වෙනු ඇත.

තමන් ජනාධිපතිවරණය පරාජය වුවහොත්, යළි ජනාධිපතිවරණයකට ඉදිරිපත් නොවන බව ට්‍රම්ප් පවසා ඇත. රුසියන් යුක්රේන යුද්ධය ද පැය 24 කින් නිමා කරන බවටත්, ඇමෙරිකානුවන්ට මුල් තැන දී, යළිත් වරක් ඇමෙරිකාව ශ්‍රෙ‌්ෂ්ඨත්වය කරා ගෙන යන බවටත් ට්‍රම්ප් පොරොන්දු වී ඇත. ඊශ්‍රායලයට සහාය දෙමින්, ඉරානයට එරෙහි වන බව අවධාරණය කර ඇත.

කමලා හැරිස්, ඉන්දීය සහ ජැමෙයිකා සම්භවයක් ඇති ඇමෙරිකන් කළු ජාතික කාන්තාවකි. ඇය ජනාධිපති ධුරයට පත්වුවහොත්, එම ධුරයට පත් වන පළමු කාන්තාව වන්නේ ඇයයි. ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත් වන ඉන්දීය සම්භවයක් ඇති පළමු කාන්තාව වනු ඇත්තේ ද ඇයයි. නව ජනාධිපතිවරයා හෝ ජනාධිපතිවරිය දිවුරුම් දීම සිදුවනු ඇත්තේ ලබන 2025 වසරේ ජනවාරි 20 වැනිදාය.

ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප් 1946 ජුනි 14 වැනිදා නිව්‌යෝක් ජනපදයේ ක්වීන්ස් පළාතේ උපත ලැබුවේය. ට්‍රම්ප්ගේ පියා දේපළ වෙෙළඳාම්කරුයෙකි. ඔහු ෆ්‍රෙඩ් ට්‍රම්ප්ය. මව ස්කොට්ලන්තයේ සිට ඇමෙරිකාවට සංක්‍රමණය වූ කාන්තාවකි. ඇය මේරි ඈන් මැක්ලියෝඩ්ය. ෆ්‍රෙඩ් සහ මේරි ඈන් යුවළට දරුවන් පස් දෙනෙකි. ට්‍රම්ප් පවුලේ බාලයාය. කුඩා කල සිටම ට්‍රම්ප් හිතුවක්කාරයෙකි.

ට්‍රම්ප්ගේ පියා, ඔහු නිව්‌යෝක් හමුදා පාසලට අධ්‍යාපනය සඳහා යැවීමට ක්‍රියා කළේ ද ඒ නිසාය. එවිට ට්‍රම්ප්ගේ වයස අවුරුදු 13 කි. ට්‍රම්ප්, උපාධිය හිමි කර ගත්තේ ෆෝඩ්හම් විශ්ව විද්‍යාලයෙනි. ඒ, 1968 දීය. ඉන්පසු සිවු වසරක් ට්‍රම්ප්, පියාගේ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වී සිටියේය. 2017 දී, ට්‍රම්ප්, බෘක්ලින් සහ ක්වීන්ස් පළාත්වල ඩොලර් මිලියන 250 ක් වටිනා මහල් නිවාස සංකීර්ණවලට හිමිකම් කීවේය. ට්‍රම්ප් කෝටිපති ව්‍යාපාරිකයෙකි. ඔහුටම කියා ගුවන් යානයක් ද ඇත.

1977 දී හිටපු ඔලිම්පික් ස්කී ක්‍රීඩිකාවක මෙන්ම නිරූපිකාවක ද වන ඉවානා සෙල්නිකෝවා සමඟ ට්‍රම්ප් විවාහ විය. මේ ට්‍රම්ප්ගේ පළමු විවාහයයි. මෙම විවාහයෙන් ට්‍රම්ප්ට දරුවෝ තිදෙනෙක් සිටිති. ඉවන්කා, එරික් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනියර් යනු ඔවුන් තිදෙනාය. ට්‍රම්ප් සහ ඉවානා යුවළ දික්කසාද වූයේ 1990 දීය.

1984 දී නිව්‌යෝක් නුවර ට්‍රම්ප් කුලු‍න නමැති මහල් ගොඩනැගිල්ල ඉදි කර අවසන් කෙරුණි. මෙය මීටර් 202 ක් උසැතිය. මහල් 58 කින් සමන්විතය. සුඛෝපභෝගී නවාතැන් කාමර, සිල්ලර වෙෙළඳසැල්, ගැලරි, අවන්හල් සහ කාර්යාල මෙහි ඇත. ට්‍රම්ප් නිව්‌යෝක් පැමිණෙන විට නැවතී සිටින්නේ ද මෙම ගොඩනැගිල්ලේය.

ට්‍රම්ප් පොත් කීපයක් රචනා කර ඇත. ඒ තවත් ලේඛකයන්ගේ ද සහාය ඇතිවය. ඔහුගේ පළමු පොත ද ආර්ට් ඔෆ් ද ඩීල්’ ය. මෙය 1987 වසරේ එළිදක්වන ලදී. ව්‍යාපාර ගනුදෙනු සහ දක්ෂ ව්‍යාපාරිකයකු වන ආකාරය ආදිය ට්‍රම්ප්ගේ එම පොත්වලට පාදක වෙයි. ට්‍රම්ප් කෝටිපතියකු වූයේ ඔහුගේ ව්‍යාපාර ඥානය නිසාය. ට්‍රම්ප්ගේ දෙවැනි විවාහය සිදුවූයේ 1993 වසරේදීය. දෙවැනි බිරිඳ මාර්ලා මේපල්ස්ය. 1999 දී යුවළ දික්කසාද වූහ. මෙම විවාහයෙන්, ටිෆනි නමින් දියණියක සිටී.

2005 වසරේ දී ස්ලෝවේනියානු නිරූපිකාවක වන මෙලානියා ක්නවුස් සමඟ ට්‍රම්ප් විවාහ විය. මෙලානියා ට්‍රම්ප්ගේ තෙවැනි සහ වත්මන් බිරිඳය. ට්‍රම්ප්ගේ පළමු ධුර කාලයේ දී ඇමෙරිකන් ජනාධිපති ආර්යාව වූයේ ද මෙලානියාය. ට්‍රම්ප් සහ මෙලානියාට බැරන් නමින් පුතෙක් සිටී.

2016 වසරේ ජනාධිපතිවරණයට ට්‍රම්ප් ඉදිරිපත් වූ අවස්ථාවේ, ඔහුගේ ප්‍රතිවාදියා වූයේ ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ය. හිලරි ක්ලින්ටන්, හිටපු ඇමෙරිකන් ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ බිරිඳය. හිලරි, ඔබාමා පරිපාලනය යටතේ ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරිය ලෙස ද කටයුතු කළාය. කෙසේ නමුත් 2016 ජනාධිපතිවරණයෙන් හිලරි ක්ලින්ටන් පරාජය වූවාය.

කවුරුත් මවිත කරමින් ජනාධිපති බවට තේරී පත් වුණු ට්‍රම්ප්, 2017 වසරේ ජනවාරියේ, ඇමෙරිකාවේ 45 වැනි ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේය. ට්‍රම්ප්, ඇමෙරිකන් ඉතිහාසයේ ධනවත්ම ජනාධිපතිවරයාය. ෆෝබ්ස් සඟරාවට අනුව, ට්‍රම්ප්ගේ ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 3.5 ඉක්මවයි. ජනාධිපති ලෙස ට්‍රම්ප් ඔහුට නියමිත වැටුප ලබා ගත්තේ ද නැත.

ඇමෙරිකා ව්‍යවස්ථාවට අනුව, ජනාධිපතිවරයකුට ධුර කාල දෙකක් සේවය කළ හැකිය. ට්‍රම්ප්, 45 වැනි ඇමෙරිකන් ජනාධිපතිවරයා ලෙස 2017 වසරේ සිට 2021 දක්වා එම ධුරය හෙබවීය. 2020 ජනාධිපතිවරණයේ දී ට්‍රම්ප්, ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන්ට පරාජය විය. ට්‍රම්ප් මෙම 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ඔහුට තවත් එක් ධුර කාලයක් ඉතිරි වී ඇති බැවිනි.

කමලා දේවි හැරිස්, කැලිෆෝනියාවේ ඕක්ලන්ඩ් නගරයේ උපත ලැබුවේ 1964 වසරේ ඔක්තෝබර් 20 වැනිදාය. ඉන්දීය පිළිකා පර්‌යේෂිකා ශ්‍යාමලා ගෝපාලන් සහ ජැමෙයිකාවේ ආර්ථික විද්‍යාඥ ඩොනල්ඩ් හැරිස්ට දියණියන් දෙදෙනෙකි. එම දියණියන් දෙදෙනාගෙන් වැඩිමලා කමලා හැරිස්ය. ශ්‍යාමලා ගෝපාලන් සහ ඩොනල්ඞ් හැරිස් එකිනෙකා හඳුනාගෙන විවාහ වූයේ ඔවුන් කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබද්දීය.

මවුපියන් දික්කසාද වන විට, කමලාට අවුරුදු 7 කි. පිය සෙනෙහස අහිමි වුණු කමලා සහ ඇගේ නැගණිය ‌මායා ලොකු මහත් කළේ ශ්‍යාමලා තනිවමය. මව ඉන්දියානුවකු වුවත්, පියා කළු ජාතිකයකු වූ බැවින්, ඕක්ලන්ඩ් කළු ජාතිකයන්ගේ සංස්කෘතියට අනුව කමලා සහ නැගණිය මායා හැදී වැඩුණාහ. එසේ වුවත් හින්දු සංස්කෘතිය සහ ඉන්දීය උරුමය දියණියන්ට හුරු කිරීමට ශ්‍යාමලා සැමවිටම කටයුතු කළ බව ඇගේ ස්වයං ලිඛිත චරිතාපදානයේ සඳහන් වෙයි. කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන් නීති උපාධිය ලද කමලා සිය වෘත්තීය ඇරඹුවේ ඇලමීඩා දිස්ත්‍රික් නීතිඥ කාර්යාලයෙනි.

2003 වසරේ දී කමලා සැන් ෆ්‍රැන්සිස්කෝ දිස්ත්‍රික් නීති නිලධාරී තනතුරට පත් වූවාය. ඇමෙරිකාවේ වැඩි ම ජනගහණයකින් යුතු කැලිෆෝර්නියා ජනපදයේ නීතිපති තනතුරට පත් කමලා හැරිස්, එම ධුරයේ සේවය කළ පළමු කළු තැනැත්තා මෙන්ම පළමු කාන්තාව ද වන්නීය.

නීතිපති ලෙස දෙවරකට ආසන්න නිල කාලයක් ගෙවූ ඇය, ඩිමොක්‍රටික් පක්ෂයේ නැගී එන තරුවක ලෙස ලද කීර්තිය උපයෝගී කරගෙන මැතිවරණ කටයුතු ඇරැඹුවාය. 2017 දී කැලිෆෝනියා කණිෂ්ඨ සෙනෙට් මන්ත්‍රීවරියක ලෙස තේරී පත්වූවාය. කමලා හැරිස් විවාහ වී සිටින්නේ නීතිඥ ඩග් එම්හොෆ් සමගය. 2014 දී විවාහ වූ ඇය ඔහුගේ දරු දෙදෙනාට සුළු මව වී සිටින්නීය. එම්හොෆ් සහ කමලා හැරිස්ට දරුවන් නැත.

ඇමෙරිකාව ලෝක බලවතා බැවින්, ඇමෙරිකා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන්නේ කවුරුන්දැයි යන්න ගැන මුළු ලෝකයම ඇස් දල්වා සිටී. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් එක් අවස්ථාවක, ඇමෙරිකාවේ ද විකාශනය වන රුසියන් ටුඬේ රූපවාහිනී පුවත් නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටියේ, කමලා හැරිස් ජනාධිපති වන්නේ නම් තමන් එය ප්‍රිය කරන බවය. පුටින්ගේ මෙම ප්‍රකාශය ඇමෙරිකාවේ විරෝධයට හේතුවක් වූ අතර, පුටින් ඇමෙරිකන් දේශපාලනයෙන් ඈත් වී සිටිය යුතු බව ඇමෙරිකාව තරවටු කළේ රුසියන් ටුඬේ නාළිකාවට සම්බාධක පනවමිනි. දේශපාලන විශ්ලේෂකයන්ට අනුව, ට්‍රම්ප් සහ රුසියාව අතරේ මෙන්ම ට්‍රම්ප් සහ පුටින් අතරේ ද යහපත් සබඳතා පවතින බැවින්, ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත්වීම රුසියාවට වාසියකි.

චීන ජනාධිපති ෂී ජින්පින් ඇමෙරිකන් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කිසිවක් පවසා නැත. 2018 දී, ට්‍රම්ප්, ජනාධිපති ධුරය හොබවද්දී, ඩොලර් බිලියන 250 ක චීන ආනයන සඳහා තීරුබදු පැනවමින් චීනය සමඟ වෙෙළඳ යුද්ධයකට මුල පිරුවේය. චීනය ද එකට එක කිරීමක් ලෙස ඇමෙරිකාවට ඩොලර් බිලියන 110ක් මත තීරු බදු පැනවීය. මේ වෙළෙඳ යුද්ධය, ට්‍රම්ප්ගෙන් පසු, බයිඩන් ජනාධිපති ධුරයට පත්වුණු අවස්ථාවේදී පවා වෙනස් වූයේ නැත. එසේ වුවත්, කමලා හැරිස් ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත් වෙනවා දැකීමට චීනය කැමැති වනු ඇතැයි දේශපාලන

විශ්ලේෂකයන් මෙන්ම ආර්ථික විශ්ලේෂකයන් ද පෙන්වා දී තිබේ.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, කිසිදු අවස්ථාවක ප්‍රසිද්ධියේ කමලාට හෝ ට්‍රම්ප්ට හෝ කැමැත්ත පළ කර නැත. ඇමෙරිකාවේ යුදෙව් ඡන්ද අපේක්ෂාවෙන්, ට්‍රම්ප් මෙන්ම කමලා ද ඊශ්‍රායලයට කොන්දේසි විරහිතව සහාය දෙයි. ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සටන්කාමීන් සමඟ ගෙන යන සටනේදීත්, ලෙබනන් හිස්බුල්ලා සංවිධානයට සහ ඉරානයට එරෙහිව ඊශ්‍රායලය ගන්නා ඕනෑම තීරණයකදීත් කවුරු ඇමෙරිකාවේ ජනාධිපති ධුරයේ සිටියත් ඇමෙරිකාවේ සහාය හිමිවන්නේ ඊශ්‍රායලයටය. ට්‍රම්ප් සහ නෙදන්යාහු අතරේ ශක්තිමත් මිත්‍රත්වයක් පවතී. 2019 දී, ජෙරුසලම ඊශ්‍රායලයට අයත් බව පවසමින්, ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගනිමින්, ඇමෙරිකන් තානාපති කාර්යාලය ටෙල් අවීව් සිට ජෙරුසලමට මාරු කළේ ද ට්‍රම්ප් මැදිහත් වෙමිනි. එදා ට්‍රම්ප් ගත් මෙම තීරණය ඊශ්‍රායල පලස්තීන අර්බුදය උත්සන්න කිරීමට හේතුවක් විය. එහෙයින්, ට්‍රම්ප් කමලා හැරිස්ට වඩා ඊශ්‍රායල යුදෙව් රාජ්‍යයේ මිතුරකු වනු ඇතැයි යන්න රහසක් නොවේ. යුරෝපා රටවල් බොහොමයක් ට්‍රම්ප්ට අකැමැති බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙයින් ප්‍රසිද්ධියේ නොකීවත්, බටහිර යුරෝපා රටවල් කමලා හැරිස්ට සහාය දක්වනු ඇත. යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සෘජුව කමලා හැරිස්ට සහාය දක්වයි. ඒ, ට්‍රම්ප්, රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් තැකීමක් නොකරන බව ප්‍රසිද්ධියේ පවසා ඇති බැවිනි.

නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය ඇමෙරිකාව කැනඩාව සහ යුරෝපා බටහිර රටවල එකමුතුවෙන් පිහිටුවා ගත් යුද සන්ධානයයි. නේටෝ සංවිධානය පිහිටුවීමේ අරමුණ රුසියාවෙන් එල්ල වන තර්ජන පිටුදැකීමය. ට්‍රම්ප් සිය පළමු ධුර කාලයේ දී නේටෝ සංවිධානයෙන් ඇමෙරිකාව ඉවත් කර ගැනීමට උත්සාහ ගත්තේය. නේටෝවට ආධාර ලබා දීම සහ සාමාජික මුදල් ලබා දීම පවා ප්‍රතික්ෂේප කළේය. ඒ, ඇමෙරිකාවට සහ ඇමෙරිකන් වැසියන්ට මුල් තැන දීම ඊට වඩා ප්‍රයෝජනවත් බව පෙන්වා දෙමිනි. එහෙයින්, මෙවර ජනාධිපතිවරණයෙන් කමලා හැරිස් ජයග්‍රහණය කරනු දැකීම යුරෝපා රටවලත්, නේටෝවේත් අපේක්ෂාව වනු ඇත.

ට්‍රම්ප් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතරේ සබඳතා වර්ධනය වූයේත් ශක්තිමත් වූයේත් ට්‍රම්ප්ගේ පළමු ජනාධිපති ධුර කාලය අවසන් වෙද්දීය. ට්‍රම්ප්ට වඩා මෝදි ශක්තිමත් මිත්‍රත්වයක් වර්ධනය කර ගත්තේ බයිඩන් සමගය.‍ රුසියන් යුක්රේන යුද්ධයේ දී පවා මෝදි රුසියන් ජනාධිපති පුටින් සමගත්, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී සමගත් යහපත් සබඳතා පවත්වයි. ඒ, ඇමෙරිකාවේ කිසිදු බලපෑමකින් තොරවය. 2020 දී ජෝ බයිඩන්, ට්‍රම්ප් පරාජය කරමින් ජයග්‍රහණය කළ අවස්ථාවේ, බයිඩන්ට පළමුවෙන්ම සුබ පැතූ ලෝක නායකයකු වන්නේ ද මෝදිය. චීනය එදිරිවාදියකු වෙද්දී, ආසියානු කලාපයේ තම බලය විදහා පෑමට, ඇමෙරිකාවට ඉන්දියාවේ සහාය අවශ්‍යය. ඒ නිසාම, බයිඩන් පරිපාලනය ඉන්දියාව ඇමෙරිකාවේ ප්‍රධානතම ආරක්ෂක හවුල් කර බවට ද පත් කරගෙන සිටී. මෙවර ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී ට්‍රම්ප්ට වඩා, කමලා හැරිස් ජනාධිපති වන්නේ නම්, මෝදි රජය ඊට කැමැති වනු ඇත. කමලා හැරිස්ට ඉන්දීය සම්භවයක් ද තිබීම, ඉන්දියාවට ආඩම්බරයක් වනු ඇත. ඉන්දු පැසිෆික් කලාපයේ, ඇමෙරිකාවේ ප්‍රධානතම සගයකු වන්නේ දකුණු කොරියාවය. බයිඩන් පරිපාලනය යටතේ ඇමෙරිකාවත් දකුණු කොරියාවත් අතර සබඳතා ශක්තිමත් විය. එහෙයින් ට්‍රම්ප්ට වඩා දකුණු කොරියාව කමලා හැරිස් ප්‍රිය කරනු නිසැකය.

ට්‍රම්ප් ඇමෙරිකන් ජනාධිපති ලෙස කටයුතු කරද්දී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් හමුවීමට ද පැමිණියේය. හමුව පැවැත්වූයේ උතුරු සහ දකුණු කොරියානු දේශසිමාවේදීය. එදා දකුණු කොරියානු ජනාධිපති ධුරය හෙබවූයේ මූන් ජේ ඉන් ය. අද උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතරේ යුද උණුසුම වර්ධනය වී ඇත. රුසියනු යුක්රේන යුද්ධයේ දී රුසියාවට සහාය දීමට ද උතුරු කොරියාව ඔවුන්ගේ හමුදා සෙබළුන් 10,000 ක් යවා ඇතැයි ද පැවැසෙයි. මෙවර ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් ජනාධිපති වුවහොත්, ඔහු සහ නායක කිම් ජොන් උන් අතරේ යළි යහපත් සබඳතා වර්ධනය වීමට ඉඩ ඇත.

ජපානය සහ ඇමෙරිකාව අතරේ යහපත් සබඳතා පවතී. ජපානයට ඇමෙරිකාවේ හමුදා සහාය නොඅඩුව හිමිවෙයි. ට්‍රම්ප් අනුගමනය කරන්නේ, ඇමෙරිකාවට සහ ඇමෙරිකානුවන්ට මුල් තැන දෙන ප්‍රතිපත්තියකි. එහෙයින්, ජපානයට ඇමෙරිකාවෙන් ලැබෙන සහාය අඩුවනු ඇති අතර, ජපානයට ඇමෙරිකාව තීරු බදු පැනැවීමක් ද සිදු කරනු ඇත. එහෙයින්, ට්‍රම්ප්ට වඩා කමලා හැරිස්, ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත්වනු දැකීමට ජපානය ප්‍රිය කරයි.

ඕස්ට්‍රේලියාව ඇමෙරිකාවේ මිතුරෙකි. ට්‍රම්ප් පරිපාලනය පැවැති අවස්ථාවේදී ඕස්ට්‍රේලියාව සහ ඇමෙරිකාව අතරේ මිතුදම් පළුදු වී තිබුණි. එහෙයින්, ට්‍රම්ප් යළි ඇමෙරිකන් ජනාධිපති පුටුවට පැමිණෙනු දැකීම ඕස්ට්‍රේලියාව ප්‍රිය නොකරනු ඇත. ලෝකයේ සියලු‍ම රටවල් එකමුතු වී, වායු විමෝචනය අවම කර ගනිමින්, දේශගුණික විපර්යාස පිටුදැකීමට ප්‍රංශයේ පැරිස් අගනුවර දී ඇති කරගත් එකඟතාව පැරිස් සම්මුතියයි. මෙම සම්මුතිය සකස් කළ රටවල් අතරේ ඕස්ට්‍රේලියාව ද සිටී. තමන් යළි ජනාධිපති වුවහොත් පැරිස් සම්මුතියෙන් ඇමෙරිකාව ඉවත් කර ගන්නා බව ට්‍රම්ප් අවධාරණය කර ඇත. ඒ අනුව, ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත්වීම, ඕස්ට්‍රේලියාව කැමැත්තක් දක්වන්නේ නැත. ඕස්ට්‍රේලියාව, චීනය සමඟ යහපත් වෙළෙඳ ගනුදෙනු පවත්වයි. ට්‍රම්ප් ජනාධිපති වීම ඊට බාධාවක් වෙයි. එය චීන ආර්ථිකයට ගැටලු‍සහගත වනු ඇත.

විදෙස් පුවත් ඇසුරිනි.

(*** ලු‍සිත ජයමාන්න)