අමෙරිකාව තමන් හඳුන්වා ගන්නේ ප්රජාතන්ත්රවාදයේ මුරදේවතාවුන් වශයෙනි. එසේ තමන් හඳුන්වා ගත්තත් තම රටේ ප්රජාතන්ත්රවාදයේ ප්‍රධානම ආයතනය වන “කැපිටල් හිල්” ගොඩනැගිල්ලට එල්ල වූ ප්‍රචණ්ඩකාරී ප්‍රහාරය හේතුවෙන් අමෙරිකාවට ජනවාරි 06 වැනිදා කළු බදාදා දිනයක් බවට පත්විය. ඒ සම්බන්ධයෙන් “නිව්ෙයා්ර්ක් ටයිම්ස්” පුවත්පත පළ කළ කතුවැකියක සඳහන් වූයේ ‘‘නිදහස් ලෝකයේ නායකයා වශයෙන් ද ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් සටන් වදින ජනතාවගේ හඬට බලාපොරොත්තුවේ සහ සහයෝගයේ දෑත දිගුකරන රටක් වශයෙන් ද අමෙරිකාව ලබා තිබූ මහත් වූ අභිමානයට එම සිද්ධිය හේතුවෙන් බරපතළ හානියක්’’ සිදු වූ බවය.
අමෙරිකාවේ මාධ්‍ය එම ප්‍රහාරය තම රටට සිදු වූ මහත් අවමානයක් වශයෙන් එසේ හුවා දක්වන විට ලොවපුරා සමාජ මාධ්‍ය හරහා වේගයෙන් සංසරණය වූ තනි වැකියේ සටහනකට කාගේත් අවධානය යොමු වී තිබිණි. එම වැකියේ සඳහන් අර්ථය වූයේ “මේ වසරේ පවතින සංචාරක ගමන් සීමා හේතුවෙන් තම රට තුළම කුමන්ත්‍රණයක් සංවිධානය කිරීමට අමෙරිකාවට සිදු වූ” බවය.
අමෙරිකාවේම වචනවලින් කිවහොත් දේශපාලන උද්ඝෝෂණ සඳහා ගැන්සියක් මෙහෙය වූ බළකාමී පිළිකුල් කළ යුතු ජනාධිපතිවරයෙක් එරට සිටී. දැන් එරටේ සෙසු බලධාරීන්ගේ උත්සාහය එම සිද්ධියට වගකිවයුත්තා වශයෙන් හඳුන්වනු ලබන වත්මන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දෝෂාභියෝගයක් මගින් ධූරයෙන් නෙරපා දැමීමටය. ලබන 20 වැනිදා නව ජනාධිපති ජෝ බයිඩන් අමෙරිකානු ජනාධිපති ධුරයේ රාජකාරි ඇරඹීමට නියමිත බැවින් දෝෂාභියෝගයකින් ට්‍රම්ප් එළවා දැමීමට කාලය තිබේදැයි යන්න ගැටලුවකි. එවැනි ගැටලුවක් තිබියදීත් දෝෂාභියෝග වැඩපිළිවෙළ ඉදිරියටම ගෙනයාමට කටයුතු කිරීමේ යටි අරමුණ ජනාධිපති ට්‍රම්ප් අපකීර්තියට සහ ලජ්ජාවට පත් කිරීම විය හැකිය. මේ සිදුවීම් පෙළගැස්වීමේ දී තමන්ගේ ඇඟිලි ගැසීම් හේතුවෙන් වෙනත් රටවල ආණ්ඩු එරට නායකයන්ගේ හිස මත කඩා වැටෙනු බලා සතුටට පත් වූ අමෙරිකාවට අද “තමන්ගේම බෙහෙත් රස විඳීමට” සිදුව තිබෙන බව පෙනී යයි.
ලොවේ තමන් අකැමැති නායකයන් සිටින රටවල ආණ්ඩු නූල් සූත්තර මගින් පෙරළා දැමීමට අමෙරිකාව අතීතයේ සිටම චිරප්රසිද්ධියට පත්ව සිටී. තම ආසන්නයේ රටවල් පමණක් නොව අමෙරිකාවට විරුද්ධ ඈත පෙරදිග ඇතැම් රටවල්වලට පවා මේ අවනඩුවලින් ගැලවීමක් නැත. එම රටවල ජනතාව උසි ගැන්වී ඒ ඒ රටවල පාර්ලිමේන්තු ගොඩනැගිලිවලට කඩා වදින විට, දේපළ ගිනි තැබීම් සිදුකරන විට, ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන විට අමෙරිකාව ඒවා දකින්නේ ප්රජාතන්ත්රවාදය රැකගැනීමේ සටන් වශයෙනි. ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීමේ නිදහස් අරගල වශයෙනි. ඒ අර්ථයෙන් ගත්තොත් පසුගිය 06 වැනිදා සිදු වූයේ එම “නිදහසේ අරගල” අමෙරිකාවේ ප්රජාතන්ත්රවාදයේ දෙවොලටම කඩා වැදීමය. එම “ජ්‍රජාතන්ත්‍රවාදයේ දිනා ගැනීමේ අරගලය” ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වූ වත්මන් ජනාධිපතිවරයා විසින්ම මෙහෙයවනු ලැබීම මෙහිදී කැපී පෙනුණු ලක්ෂණය විය. එසේ වුවද වෙනත් රටවල ප්රජාතන්ත්රවාදය සැබෑ ලෙසම තර්ජනයට ලක් වූ විට අමෙරිකානු දේශපාලන නායකයන්, බටහිර සහ යුරෝපයේ මාධ්‍ය පමණක් නොව එම රට රාජ්‍යවල ක්‍රියාත්මක මානව හිමිකම් සංවිධාන පවා ප්‍රතිචාර දක්වන්නේ එය රටේ ජනතාවගේ හෝ ජන කොටසකගේ හෝ අයිතිවාසිකම් පැහැර ගැනීමක්, පාගා දැමීමක් හැටියටය. මේ සම්බන්ධයෙන් අපට හොඳම උදාහරණය ගත හැක්කේ අපේ රට තුළින්මය.
මේ රටේ ප්රජාතන්ත්රවාදය වෙනුවට මිනීමරු කොටි සංවිධානයේ ත්‍රස්තවාදය ශක්තිමත් වනවිට අමෙරිකාව හෝ සෙසු යුරෝපීය රටවල් හෝ මුලින් එය දුටුවේ නිදහස ඉල්ලා සිදුකරන අරගලයක් වශයෙනි. එයට ”සාකච්ඡාමය විසඳුමක්” වඩාත් උචිත යැයි බණ දෙසූ ඔවුහු තමන්ගේ රටවලට පැනගත් මිනීමරු ත්රස්තවාදීන්ට නිදහසේ හැසිරීමට ඉඩ දුන්හ. ඒ හේතුවෙන් මේ ඊනියා සටන්කාමීහු එම රටවල සිට මුදල් ගරා ගනිමින් මෙරට සිංහල, දෙමළ, මුස්ලිම් සියලුදෙනා ඝාතනය කිරීමට අවශ්‍ය අවි ආයුධ මිලට ගත්හ. එම ආයුධ හේතුවෙන් මරණයට පත්වූයේ එක් ජාතියකට අයත් පිරිසක් නොවේ. ඔවුන්ගේම නායකයන්ට මරණය වැළඳ ගැනීමට සිදුවිය. මේ සියලු ඝාතන සිදුකරද්දීත් අමෙරිකාව ඇතුළු බටහිර සහ යුරෝපීය ඇතැම් නායකයන්ට කොටින් යනු විමුක්තිකාමියෝ වූහ. නිදහස් අරගලයක එඩිතර සටන්කාමීහු වූහ. මේ විමුක්තිකාමියෝ ‘‘සාකච්ඡාමය විසඳුමකට’’ පාර කැපූ ඉන්දියාවේ හිටපු අගමැති රජීව් ගාන්ධි පවා මරාගෙන මැරෙන බෝම්බයකින් පරලොව යැවූහ. එහෙත් ඒ රටරාජ්‍යවල නිදහසේ පියවරුන්ගේ හෝ ප්රජාතන්ත්රවාදයේ මුරදේවතාවුන්ගේ හෝ ඇස් ඇරුණේ නැත. ඔවුන් සිටි මර නින්දෙන් ඇහැරුණේ අමෙරිකාවේ අභිමානය වූ ලෝක වෙළෙඳපොළ මරාගෙන මැරෙන ගුවන් බෝම්බ දෙකකින් විනාශකර දැමීමෙන් පසුවය.
ඒ වනවිට අපේ රටේ ආර්. ප්‍රේමදාස හිටපු ජනපති ඝාතනයට ලක්වී සිටියේය. චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය මරාගෙන මැරීමෙන් යන්තම් දිවි ගලවා ගත්තේ එක් ඇසක් ද අහිමි කර ගනිමිනි. හිටපු විදේශ ඇමැති ලක්ෂ්මන් කදිරගාමර්, ආචාර්ය නීලන් තිරුචෙල්වම් වැනි දෙමළ උගතුන් පමණක් නොව අමිර්තලිංගම් වැනි දෙමළ ජනතාවගේ දේශපාලන නායකයෝද මරා දමනු ලැබ සිටියහ. මේ ලැයිස්තුව තවත් දිගුකරනවාට වඩා මිනීමරු ත්රස්තවාදයේත් සැබෑ නිදහස් ප්රජාතන්ත්රවාදී අරගලයකත් වෙනස වටහා ගැනීමට අමෙරිකාව ඇතුළු බලවත් රටවලට ගෙවන්නට තිබෙන වන්දිය ඉතා විශාල බව පමණක් සටහන් කිරීම ප්‍රමාණවත් යැයි සිතමු.
අමෙරිකාවේ ලබන 20 වැනිදා ජනාධිපති පදවියේ රාජකාරි අරඹන ජෝ. බයිඩන් පාලනය මේ පවතින යථාර්ථය වටහාගෙන ඒ අනුව ක්‍රියාකරනු ඇතැයි යන්න අපගේ ප්‍රාර්ථනයයි. ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත් බයිඩන්ගේ ජයග්‍රහණය පරාජයට පත් වූ ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රචණ්ඩකාරී අතවැසියන්ට උදුරා ගැනීමට ඉඩහළ යුතු නැත. ත්‍රස්තවාදය යනු තම රට වන අමෙරිකාවේ පමණක් නොව ලොවේ මොනම රටක වුව ද ත්‍රස්තවාදයම බැව් තේරුම් ගැනීමට අමෙරිකාවට තවදුරටත් පාඩමක් අවශ්‍ය නැත.
(***)