ලෝකය දිනාගැනීමේ අවශ්‍යතාවය


කියුබාව බොහෝ දෙනකු විසින් දැන සිටින්නේ ලෝක සමාජවාදී විප්ලවයන්ගේ පෙරමුණ ගත් ජනප්‍රිය නායකයන් දෙදෙනකු නිසාය. ඒ කියුබානු විප්ලවයේ නායක ෆිඩෙල් කැස්ත්‍රෝ සහ ආජන්ටිනාවෙන් කියුබාවට පැමිණි කියුබානු විප්ලවයට සහාය දුන් චේගුවේරා නිසාය. 1971 දී අප්‍රේල් කැරැල්ල පැතිර යන විට එහි සාමාජිකයන් හඳුන්වනු ලැබූයේ චේගුවේරාකාරයන් ලෙසය.

එයට හේතුව ජනතා විමුක්ති පෙරමුණේ නම පිළිබඳ දැනීමක් එම අවධියේ මහජනතාවට නොතිබීමත් විප්ලවයක අවශ්‍යතාව පිළිබඳ ලොවට අවධාරණය කරන ජාත්‍යන්තර විප්ලවවාදියකු සහ ගරිල්ලා නායකයකු ලෙස චේ ගුවේරා ලොව ප්‍රසිද්ධ වී සිටීම නිසාත්ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම ධුරයේ සිටි වසරක පමණ කාලය තුළ ජපානය, ඉන්දියාව, එංගලන්තය, ප්‍රංශය, සිංගප්පූරුව සහ අමෙරිකාව යන රටවල රාජ්‍ය තාන්ත්‍රික චාරිකාවල යෙදුණේය. ඒ හැම රටක්ම පාහේ ශ්‍රී ලංකාව සමග රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පවත්වාගෙන යන, විවිධ අයුරින් ද්වී පාර්ශ්වීය සම්බන්ධතා ගොඩනගාගෙන සහ ඒවා බොහෝදුරට ශක්තිමත්ව පවත්වාගෙන යන රටවල්ය.

ජනාධිපතිවරයා මේ සතියේ තවත් සංචාරයක යෙදුණු අතර ඔහු මෙවර ගියේ කියුබාවටය. පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාව සහ කියුබාව අතර සම්බන්ධතාවල වෙනසක් හෝ වර්ධනයක් සිදු වූයේ යැයි ප්‍රකාශ කළ නොහැකිය. ජනාධිපතිවරයා සංචාරය කළ අනෙක් සියලු‍ම රටවල් ධනවාදය තුළින් සංවර්ධනය ළඟා කරගත් හෝ ළඟා කර ගනිමින් සිටින රටවල්ය.

එහෙත් කියුබාව තවමත් සමාජවාදයේ හෙවණැල්ල අතහැර යෑමට හැකියාවක් ලැබී නැති, තවමත් තරමක් දුරට හෝ සමාජවාදී ආර්ථික ක්‍රමයක් පවත්වාගෙන යන රටකි. එසේ වුවද කියුබාව එක්තරා කාලයක දී ශ්‍රී ලංකාව සමග ඉතා සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන ගියේය. ජනාධිපතිවරයාට එම සම්බන්ධතා නැවත තහවුරු කරගන්නා අතරම G 77 + චීන සමුළුවට සහභාගී වීමට ද මෙම සංචාරය නිසා අවස්ථාව සැලසේ. පසුගිය 15 වැනිදා ඔහු G 77+ චීන සමුළුව ඇමතුවේය. ඔහු එහිදී ලෝකයේ අද පවත්නා ආර්ථික හා සමාජ අර්බුදය ද ශ්‍රී ලංකාව වැනි රටවලට එයට මුහුණ දීමේ දී දැරීමට සිදුව ඇති අපහසුතාවන් සහ පීඩනයන් පිළිබඳව ද පැහැදිලි කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (21 වැනිදා) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 78 වැනි සමුළුවට සහභාගී වීමට නියමිත අතර එදින එම සමුළුව ඇමතීමට ද නියමිතය. එක කලෙක ශ්‍රී ලංකාවට තේ නිසා විශාල ප්‍රසිද්ධියක් ලැබී තිබුණි. දශක කිහිපයකට පෙර ශ්‍රී ලංකාව ලොව පුරා ප්‍රසිද්ධ වී තිබුණේ සංචාරක ආකර්ෂණය දිනාගත් ඉතා සුන්දර රටක් ලෙසය.

එහෙත් 2022 දී ශ්‍රී ලංකාව ප්‍රසිද්ධියට පත් වූයේ ණය ගෙවා ගැනීමට නොහැකිව බංකොළොත්භාවය ප්‍රකාශ කළ රටක් ලෙසය. දිග පෝලිම්වල ගෑස්, ඉන්ධන හා ඖෂධ ආදිය ලබා ගැනීමට මිනිසුන් දින ගණන් රැඳී සිටින රටක් ලෙසය. මහජනතාව උද්ඝෝෂණය කර 69 ලක්ෂයක් ජනතාව විසින් පත් කරගන්නා  ලද ජනාධිපතිවරයා බලෙන් ඉවත් කර දැමූ රටක් ලෙසය. ලොව ඉහළම උද්ධමනය පවත්නා රටවල් පහ අතරට වැටෙන රටක් ලෙසය.

IMF සංවිධානය විසින් ශ්‍රී ලංකාවට එම සංවිධානයේ විස්තීරණ ණය ක්‍රමය යටතේ ණය ලබාදීමට තීරණය කිරීමත් සමග බොහෝ ප්‍රශ්න සැලකිය යුතු ප්‍රමාණයකින් විසඳා ගැනීමට හැකියාව ලැබී තිබේ. එසේ වුවද ණය ගෙවා ගැනීමට නොහැකිව අසරණභාවයට පත්ව, මිනිසුන් තම අවශ්‍යතා සපුරා ගැනීමට මහ මග රැස් කකා සිටින ආකාරය පිළිබඳව ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය තවත් ලෝවැසි බොහෝ දෙනෙකුගේ මතකයන්ගෙන් ඉවත්ව නැතැයි සිතමි. ශ්‍රී ලංකාව පිළිබඳ මතක් කරන විට බොහෝ දෙනෙකුට බංකොළොත්භාවය පිළිබඳවත් ඉන්ධන පෝලිම්වල ළමයින් වඩාගෙන කාන්තාවන් පවා පෝලිම් ගැසී සිටින ආකාරයත් මතක් වනු ඇතැයි සිතමි.

එබැවින් ශ්‍රී ලංකාව එම ඛේදජනක තත්ත්වය පසුකර යළිත් වරක් සාමාන්‍ය තත්ත්වයකට පත්ව ඇතැයි යන පුවත ලෝක ප්‍රජාව වෙත ගෙන යෑමට නම් තවත් බොහෝ දුරක් යෑමට සිදුවනු ඇත. එසේ වුවද බොහෝ දුරට තම අවශ්‍යතාවන් සඳහා විදේශ රටවල් මත යැපෙන්නට සිදුව ඇති ශ්‍රී ලංකාව වැනි රටකට එම තත්ත්වය ඇති කර ගැනීම අනිවාර්ය අවශ්‍යතාවක් බවට පත්ව තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය යළි ගොඩනගා ගැනීම ලෙහෙසි කරුණක් නොවේ. රටේ ප්‍රතිරූපය ගොඩ නැගීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා එවැනි ප්‍රයත්නයක් ගනිද්දී අපේම පිරිස් ශ්‍රී ලංකාව තව තවත් මඬේ එබ්බවීමට සූදානම් වන බව පෙනේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මෙවර සැසි වාරය ආරම්භ කිරීමට ඔන්න මෙන්න තිබියදී පාස්කු ප්‍රහාරය පිළිබඳ වීඩියෝවක් චැනල් 4 නාලිකාව විසින් නිකුත් කරන ලදී.

මානව හිමිකම් කොමිසමේ දී රජය රට රැකීමට ඉදිරිපත් වෙද්දී විපක්ෂයේ බොහෝ දෙනකු එයට එරෙහි වීම සඳහා තම බල ඇණි එහි යවා තිබේ. සංචාරකයන් ගෙන්වා ගැනීමටත් ආයෝජකයන් අද්දවා ගැනීමටත් රට ස්ථාවර තත්ත්වයකට පත්ව තිබෙන බව ලොවට පෙන්වා දීම අත්‍යාවශ්‍ය කරුණක් වී තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා G77+චීනය සමුළුව අමතා කළ ප්‍රකාශය ඉතා වැදගත් එකක් යැයි ඕනෑම කෙනෙකුට පෙනී යනු ඇත. ඔහු වඩාත් අවධාරණය කළ කරුණක් වූයේ දකුණ-දකුණ අතර එනම් සංවර්ධනය වෙමින් පවත්නා රටවල් අතර සම්බන්ධතාව වැඩිදියුණු කර ගැනීම මගින් ලොව බොහෝ ප්‍රශ්නවලට විසඳුම් ලබා ගැනීමට හැකියාව ලැබේය යන්නයි.

ඩිජිටල්කරණය, සෞඛ්‍ය සහ වෛද්‍ය අංශ සම්බන්ධයෙන් රටවල් අතර සම්බන්ධතා ඉහළ මට්ටමකට ගෙන ඒම, සෞඛ්‍ය, වෛද්‍ය සහ කෘත්‍රිම බුද්ධිය වැනි අංශ සම්බන්ධයෙන් සංවාද ඇති කර ගැනීම සහ ඒ තුළින් ඒකාබද්ධ වැඩපිළිවෙළකට පැමිණීමේ අවශ්‍යතාව, දේශගුණික විපර්යාස පිළිබඳ අධ්‍යයනය කිරීමේ අවශ්‍යතාව ආදිය සම්බන්ධයෙන් බොහෝ කරුණු එම කතාවෙන් ඉදිරිපත් කර තිබුණි.

උතුරේ රටවල් ඔහු විසින් විවේචනය කරනු ලැබුවේ නැත. එසේ වුවද උතුරේ ධනවත් රටවල් එම කරුණු පිළිබඳව තම වගකීම ඉටු නොකරන්නේ නම් ලෝක සමබරතාව ගිලිහී යන ආකාරය පිළිබඳව විස්තර කළේය. එම රටවල ආදායමෙන් සියයට එකක්වත් ඒ සඳහා ලබා දිය යුතුව ඇතැයි ඔහු සඳහන් කළේය.

කෝවිඩ් සහ ලෝක ආර්ථික අවපාතය හමුවේ දකුණේ රටවල බොහෝ දෙනෙකු රැකියා සහ ඉහළ ආදායම් සොයා බටහිර රටවලට සංක්‍රමණය වන තත්ත්වයක් ඇතිව තිබේ. මේ දිනවල එම ප්‍රවණතාව ශ්‍රී ලංකාව වැනි රටවල සංවර්ධන කටයුතු නිසි පරිදි පවත්වාගෙන යෑමේදී බාධකයක් බවට පත්ව තිබේ. ලොකු කුඩා බොහෝ දෙනෙක් හුදෙක් රටින් බැහැර වීම පමණක් අරමුණු කරගෙන විදේශගත වෙති. මෙය අද ඇතිවූ ප්‍රශ්නයක් නොව නිදහසින් පසු දීර්ඝ කාල පරිච්ඡේදයක් තුළ ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදු වූ ගැටලුවක් විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමුළුව අමතමින් ප්‍රකාශ කළේ බුද්ධි ගලනය හේතුවෙන් දුෂ්කරතාවලට මුහුණ දෙන දකුණේ රටවලට උතුරේ රටවල් විසින් වන්දි ගෙවිය යුතු බවයි.

ඉහළ ඉල්ලු‍මක් පවතින වෛද්‍ය, ඉංජිනේරු, පරිගණක තාක්ෂණ වැනි විෂය ධාරාවන්ට අදාළ බුද්ධිමතුන් එම රටවලට ඔරොත්තු නොදෙන ආකාරයේ වියදමක් දරා පුහුණු කරනු ලැබීමෙන් පසු ඔවුහු බටහිර රටවල සේවය සඳහා පිටත්ව යති. උතුරේ රටවල් විසින් බුද්ධි ගලනය නැවැත්වීම සඳහා පියවර ගැනීම වෙනුවට බුද්ධි ගලනය ඉහළ නැංවීම සඳහා කටයුතු කරති.

අවසන් ප්‍රතිඵලය වන්නේ බටහිර රටවල අවශ්‍යතා ඉටු කිරීම සඳහා ශ්‍රී ලංකාව වැනි රටවල් තම අධ්‍යාපන පද්ධතිය පවත්වාගෙන යන්නා වූ තත්ත්වයකි. එක අතෙකින් එම රටවල් එවැනි අය පුහුණු කිරීම සඳහා දැරීමට සිදුවන වියදම් වළක්වාගෙන සිටී. අනෙක් අතින් දකුණේ රටවල් විසින් විශාල වියදමක් දරා පුහුණු කරන එම පිරිස් වැඩි මිලක් ගෙවා ලබා ගැනීම හේතුවෙන් දකුණේ රටවලට එම සේවාවන් ලබා ගැනීමේ අවස්ථාව අහිමි කර තිබේ.

ජාත්‍යන්තරය තුළ පවතින ලෝක දේශපාලන හා සමාජ රටාව තුළ ශ්‍රී ලංකාව වැනි දකුණේ රටවලට මුහුණ දීමට සිදුව ඇති ගැටලු පිළිබඳ ලෝක අවධානය යොමු කර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගේ විදේශ සංචාර උපයෝගී කරගෙන ඇති බව පෙනේ. ඒ අතරම දේශගුණික විපර්යාස වැනි තත්ත්වය සාමූහික ප්‍රයත්නයක් මගින් කළමනාකරණය කර ගැනීමේ අවශ්‍යතාව ද ඔහු විසින් පෙන්වා දෙනු ලැබ ඇත. ඒ අතරම එක් එක් රටක් වෙන් වෙන්ව ගෙන ශ්‍රී ලංකාව සමග ඇතිකර ගත හැකි ද්වීපාර්ශ්වීය සම්බන්ධතා පිළිබඳව ද කටයුතු කරනු ලබයි.

මෑත යුගයේ බංකොළොත් බව ප්‍රකාශ කළ රටක් වශයෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරය දිනා ගැනීමේ අවශ්‍යතාව දැඩිව පැහැදිලි වී ඇති අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ඔස්සේ රටේ ප්‍රතිරූපය ගොඩනගා ගැනීම ආර්ථික හා සමාජයීය කවර කරුණකදී වුවද ඉතා වැදගත් වනු ඇත.‍

කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර