ලෝකයට ඉලක්ක ආර්ථිකයක්


ලංකාව තවමත් ගමන් කරමින් සිටින්නේ ආර්ථික අවපාතයකය. රටේ පවතින්නේ අක්‍රීය ආර්ථිකයක් මිස සක්‍රීය ආර්ථිකයක් නොවේ. 2018 දී ලංකාවේ ආර්ථිකයේ විශාලත්වය නැතිනම් දළ දේශීය නිෂ්පාදිතය ඇමෙරිකන් ඩොලර් බිලියන 95කි. 2022 වෙද්දි එය ඩොලර් බිලිය 77 දක්වා පල්ලම් බැස තිබේ. 2023 දී ආර්ථිකය සියයට තුනකින් හැකිළෙන බවට පුරෝකතනය කර තිබේ. 2022 දී ආර්ථිකය හැකිලුණේ සියයට 7.8කිනි. ඒ අනුව ලංකා ආර්ථිකය පවතින්නේ ඝන අඳුරකය.

රටේ දෙස් විදෙස් ණය බර ඇමෙරිකන් ඩොලර් බිලියන 80කි. ඉන් ඩොලර් බිලියන 36ක් විදේශ ණයයි. රටේ ජනගහනයෙන් සියයට 25ක් දැන් දිළින්ඳෝය. 2019 දී රටේ දිළිඳු ජනගහනය සියයට 14කි. ඒ ලෝක බැංකුවේ දත්තය.

රට එවැනි තත්ත්වයක තිබිය දී තවත් අවුරුදු 25කින් එනම් 2048 දී ලංකාව සංවර්ධිත රටක් බවට පත්කරන බව මුදල් අමාත්‍යවරයා ද වන ජනාධිපතිවරයා කියයි. එවැනි ප්‍රකාශයකින් රට සංවර්ධනය කළ නොහැකිය. ඒ සඳහා පැහැදිලි වැඩසටහනක් තිබිය යුතුය.

සංවර්ධිත රටක් පිළිබඳ ලෝක බැංකු නිර්වචනය අනුව ඒක පුද්ගල වාර්ෂික ආදායම ඇමෙරිකන් ඩොලර් 12,000කට වැඩි විය යුතුය. අඩු ආදායම් රටවල්, පහළ මැදි ආදායම් රටවල්, ඉහළ මැදි ආදායම් රටවල් සහ ඉහළ ආදායම් රටවල් ලෙස ලෝක බැංකුව ආදායම අනුව රටවල් කොටස් හතරකට බෙදයි. ලංකාව සිටින්නේ පහළ මැදි ආදායම් ලබන රටවල් අතරය. 2022 මහ බැංකු වාර්තාවට අනුව දැන් ලංකාවේ ඒක පුද්ගල වාර්ෂික ආදායම ඇමෙරිකන් ඩොලර් 3,475කි.

එය ඩොලර් 12,000කට ඉහළ නංවනවා කියන්නේ ඉතා විශාල අභිලාෂයකි. එසේම බරපතළ අභියෝගයකි. 2048 වෙද්දී රටේ ජනගහනය ද මිලියන 25ක් පමණ වෙතැයි පුරෝකතනය කළ හැකිය. එසේ වුවහොත් 2048 වෙද්දී දළ දේශීය නිෂ්පාදිතය ඇමෙරිකන් ඩොලර් බිලියන 300ක් පමණ විය යුතුය. එය බිලියන 300ක් නොවුණොත් ඒක පුද්ගල ආදායම ඇමෙරිකන් ඩොලර් 12,000කට ඉහළ නැංවිය නොහැකිය.

2022 දී ඩොලර් බිලියන 77ක් වන දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 300ක් දක්වා ඉහළ නංවන සැලැස්ම හා වැඩ පිළිවෙළ කුමක්දැයි තවමත් රට හමුවේ ප්‍රකාශයට පත්කර නැත. ඒ අනුව දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 77 සිට 300ක් දක්වා වර්ධනය කරනවාය කීම කල්පිතයකි. ඒ ඉලක්කයට යාමට නම් අවුරුද්දකට සියයට 10ක වර්ධනයක්වත් තිබිය යුතුය. එහෙත් 2024 දි ආර්ථිකය වර්ධනය වෙතැයි අපේක්ෂා කරන්නේ සියයට දෙකකට අඩු ගණනකිනි. ලංකාවේ ආර්ථිකය 2024 දී එපමණකින් වර්ධනය වෙතැයි අපේක්ෂා කරන්නේ ආසියානු සංවර්ධන බැංකුවයි.

ලංකාව ප්‍රධාන අර්බුද දෙකක ගිලී සිටියි. විදේශ වෙළෙඳාමේ අර්බුදය ඉන් එකකි. අනෙක රාජ්‍ය මූල්‍ය අර්බුදයයි. නිදහස ලැබූ දවසේ සිටම ඒ අර්බුද දෙකම පවතී. එදා සිට බලයේ සිටි කිසිම පාලකයකු ඒ අර්බුද දෙකට නිශ්චිත විසඳුම් දී නැත. පිළියම් කර නැත. රාජ්‍ය මූල්‍ය අර්බුදය කියන්නේ අය-වැය හිඟය වැඩිවීමය. ණය ගන්නේ ඒ හිඟය පාලනය කිරීමටය. රට ඇතුළෙන් සේම පිටින් ද ණය ගනියි. 1948 සිටම එය සිදු වෙයි. අය වැය අතර හිඟයක් ඇති වන්නේ රටේ ආදායමට වඩා වියදම ඉහළ මට්ටමක පැවැතීම නිසාය. රටේ ආදායම වැඩි නොවී වියදම් ඉහළ යයි. 

ඇතැම් වියදම් නොකර බැරිය. ඒවා අඩු කළ නොහැකිය. රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් ඊට නිදසුන්ය. එසේම ගත් ණයවලට පොලී ගෙවීම තවත් උදාහරණයකි. එසේම අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට කරන වියදම් ද අඩු කළ නොහැකිය. එහෙත් ඒවාට අවශ්‍ය තරමට මුදල් නොමැති නිසා ණය ගනියි. 2022 දී ආණ්ඩුවේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 7.3කි. 1990 දී එය සියයට 19 කි.

ආණ්ඩුව ආදායම් ඉපයීමට කෙතරම් දක්ෂ ද කියා ඒ ඉලක්කම්වලින් මැනවින් අවබෝධ වෙයි. 1990 දී ඒක පුද්ගල වාර්ෂික ආදායම ඇමෙරිකන් ඩොලර් 472කි. 2022 දී එය 3,474කි. ඊට සාපේක්ෂව රජයේ බදු ආදායම වැඩිවී නැත. රටක පුද්ගල ආදායම වැඩි වනවිට ආණ්ඩුවේ බදු ආදායම ද වැඩි විය යුතුය. එහෙත් දිගටම සිදුවී තිබෙන්නේ රටේ බදු ආදායම් ප්‍රතිශතය අඩුවීමය. අය වැය හිඟය වැඩිවන්නේ එබැවිනි.

පවතින ඒ තත්ත්වය වෙනස් කිරීමට ප්‍රබල ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍යයය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කර තිබෙන්නේ ද කළ වැරැදි නිවැරැදි කරගන්නා ලෙසය. ඒ සඳහා ඍජු බදු ආදායම වැඩි කරගත යුතුය. අනෙක් කාරණය ආණ්ඩුවේ අසීමිත වියදම් පාලනය කරගත යුතුය. බදු ආදායම වැඩි කර ගැනීමට නොහැකිවීමට එක් හේතුවක් වන්නේ බදු ගෙවිය හැකි අයත් බදු නොගෙවා සිටීමය.

අනෙක් කාරණය ආර්ථිකයේ නොවිධිමත් අංශයෙන් අවශ්‍ය තරම් බදු එකතු නොවීමය. භාණ්ඩ සහ සේවා මත අසීමිතව වක්‍ර බදු පනවන්නේ එහෙයිනි. බදු ගෙවීමට හැකියාව තිබෙන අය බදු නොගෙවන්නේ තමන් ගෙවන බදු හොරකම් සහ කොල්ල කන බව ඇස් පනාපිට පෙනෙන බැවිනි. නාස්ති කරන බව සහ දූෂණයට ගොදුරුවන බව පෙනෙන නිසාය. එබැවින් බදු ගෙවිය හැකි අයත් බදු ගෙවීමට අකමැත්තක් දක්වති. ඒ නිසා බදු ක්‍රම සහ අණ පනත් සංශෝධනය කිරීමෙන් ප්‍රයෝජනයක් නොවෙයි. ආණ්ඩුව පළමුව කළ යුත්තේ දැනට ජනතාව අතර නැති විශ්වාසය ගොඩනැගීමය. වගවීම සහ පාරදෘෂ්‍ය භාවය ප්‍රදර්ශනය කිරීමය. 

අධ්‍යාපනයට, සෞඛ්‍යයට සේම සමාජ ආරක්ෂණ ආධාර සමෘද්ධි සහ අස් වැසුම වැනි සහනාධාර දීමට අවශ්‍ය තරම් මුදල් නොලැබෙන්නේ පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාර නඩත්තු කිරීමට අනවශ්‍ය ලෙස මුදල් පොම්ප කිරීම නිසාය. උපාය මාර්ගික වශයෙන් වැදගත් රාජ්‍ය ව්‍යාපාර 55කින් 2006 සිට 2020 දක්වා ලබා තිබෙන පාඩුව රුපියල් ට්‍රිලියන 1.2කි. බිලියනවලින් නම් 1,200කි. රාජ්‍ය අංශයේ සේවයේ නියුතු අයගෙන් සියයට 16ක් සිටින්නේ ඒ රාජ්‍ය ව්‍යාපාරවලය.

පාඩු ලබන මේ රාජ්‍ය ව්‍යපාර ප්‍රතිසංස්කරණය කළ යුතුමය. ප්‍රතිසංස්කරණය කියන්නේ පෞද්ගලීකරණය හෝ විකුණා දැමීමම නොවේ. ඒ සඳහා වෙනත් විකල්ප ක්‍රම ද තිබේ. පාඩු ලබන තත්ත්වයෙන් මුදාගෙන ලාබ ලබන තත්ත්වයට පත්කළ හැකි ක්‍රම කොතෙකුත් තිබේ. කළමනාකරණ ප්‍රතිසංස්කරණ මගින් පමණක් ගොඩගත හැකි රාජ්‍ය ව්‍යාපාර ද තිබේ. එහෙත් විශාල වශයෙන් පාඩු ලබන ශ්‍රී ලන්කන් එයාර් ලයින් වැනි ආයතන නම් ප්‍රතිව්‍යුහගත කළ යුතුමය. ඒ ප්‍රතිසංස්කරණ නොකළොත් ආර්ථික අවපාතයක දිගින් දිගටම ගිලී සිටින්නට සිදුවෙයි. නැතිනම් සිටින තැනින් තව තවත් කඩා වැටෙයි.

අවධානය යොමු කළ යුතු අනෙක් අංශය විදේශ වෙළෙඳාමයි. පවතින ආර්ථික අර්බුදය ඇතැමුන් හඳුන්වන්නේ ඩොලර් අර්බුදයක් ලෙසිනි. ලංකාවට අවශ්‍ය තරමට විදේශ විනිමය නොලැබෙයි. ඒවා ලැබෙන්නේ අපනයනයෙනි. අපනයනවලින් ලැබෙන ආදායම ආනයන සඳහා ප්‍රමාණවත් නොවෙයි. අපනයනවලින් අවුරුද්දකට උපයන්නේ ඩොලර් බිලියන 10ක් තරම් සුළු ප්‍රමාණයකි.

එහෙත් අවුරුද්දකට ඩොලර් බිලියන 20 ක තරම් බඩු ආනයනය කරයි. ඒනිසා වෙළෙඳ ශේෂයේ හෙවත් ආනයන වියදම සහ අපනයන ආදායම අතර පරතරයක් හෙවත් හිඟයක් ඇතිවෙයි. ඒ හිඟය පියවන්න විදේශ ණය ගනියි. ඒ ණය ගෙවීමට තවත් ණය ගනියි. ඒ පිළිවෙත නිසා ණය බර නොනැවතී ඉහළ යයි. 

මේ ප්‍රශ්නවලට දිය යුත්තේ කල්පවතින විසඳුම්ය. අපනයන වෙළඳාම ක්‍රමයෙන් මන්දගාමී වන නිසා නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කළ  යුතුය. තවමත් යැපෙන්නේ සාම්ප්‍රදායික අපනයන කීපයක් මතය. කෘෂිකාර්මික අපනයන ලෙස තවමත් තේ, පොල්, රබර් රට පටවයි.

කාර්මික අපනයන ලෙස ඇඟලුම් හා රබර් භාණ්ඩ කිහිපයකුත් අපනයනය කරයි. ඒ නිසා පළමුව අපනයනය කරන භාණ්ඩ ප්‍රමාණය පුළුල් කළ යුතුය. දෙවනුව ගෝලීය අපනයන කරා යොමුවිය යුතුය. නිෂ්පාදන ක්‍රියාවලිය රට ඇතුළට සීමා නොකර ගෝලීය වෙළෙඳ පොළ ඉලක්ක කරගෙන නිෂ්පාදනය කළ යුතුය. ලෝක වෙළෙඳ පොළේ තරග කළ හැකි මට්ටමේ භාණ්ඩ නිෂ්පාදනය කළ යුතුය. ඊට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වන්නේ තාක්ෂණයයි.

දැන් ලෝකය ගමන් කරමින් සිටින්නේ හතරවැනි කාර්මික විප්ලවයටය. එහි ප්‍රමුඛ වන්නේ ‘සයිබ’ තාක්ෂණයයි. එය පරිගණක තාක්ෂණයෙන් ඔබ්බට ගිය දෙයකි. භාණ්ඩ නිෂ්පාදන ක්‍රියාවලියට සයිබ තාක්ෂණය යොදා ගැනීම අතින් ලංකාව බෙහෙවින් මන්දගාමීය. ඒ තාක්ෂණය සමග මුසුවන්නේ මන්දගාමීවය. ඒ නිසා ලෝක වෙළෙඳපොළ ඉල්ලන ආකාරයේ භාණ්ඩ නිපදවීමට අපට නොහැකිය.

ඒ නිසා නවෝත්පාදන සඳහා හැකි තරම් යොමුවිය යුතුය. ඒ සඳහා අවශ්‍ය වන්නේ නවීන තාක්ෂණික දැනුමයි. එය කළ හැක්කේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ මගිනි. එසේම කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර මරණයෙන් උත්ථානය කළ යුතුය. ආර්ථිකයක ගාමක බලවේගය වන්නේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යපාරය.

එහෙත් අද ඔවුන් බෙහෙවින් අසරණය. දරාගත හැකි පොලියකට බැංකු ණය ගත නොහැකිය. රාජ්‍ය සේවකයන් සහ නිලධාරීන් ඔවුනට අවශ්‍ය කටයුතු පමාවකින් හිරිහැරයකින් තොරව කර දෙන්නේද නැත. ජල, විදුලි, ප්‍රවාහන ගාස්තු ඉතා ඉහළය. ඒ නිසා අපේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ ලෝකයේ පවතින තරගයට මුහුණ දීමට නොහැකිව අසරණව සිටිති. ඔවුනට එසේවී තිබෙන්නේ පහසුකම් සපයන්නා ලෙස ආණ්ඩුවේ වගකීම් ඉටු නොවන නිසාය.

අනෙක් කාරණය පර් යේෂණ සඳහා ආයෝජනය කළ යුතුය. ලෝකයේ රටවල් තම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.7ක් පර් යේෂණ සඳහා වෙන් කරයි. එහෙත් ලංකාව පර් යේෂණ සඳහා වැය කරන්නේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 0.2කි. ඒ නිසා ගෝලීය නවෝත්පාදන දර්ශකය අතින් ලංකාව ලෝකයේ රටවල් 141ක් අතරින් 85 වැනි තැන සිටියි.

සිංගප්පූරුව සිටින්නේ 07 වැනි ස්ථානයේය. චීනය 11 වැනි තැන සහ ඉන්දියාව 40 වැනි තැන සිටියි. එහෙත් ලංකාව සිටින්නේ 85 වැනි ස්ථානයේය. ඒ නිසා නිෂ්පාදනය නවීන තාක්ෂණය සමඟ මුසු කිරීම දැඩිව වේගවත් කළ යුතුය. ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් මගින් ඒ ගමන වේගවත් කර ගත හැකිය.

ගෝලීය වෙළඳපොළට ගැළපෙන භාණ්ඩ නිෂ්පාදනය කළ හැකි මට්ටමට තාක්ෂණික වශයෙන් පොහොසත් විය යුතුය. ඒ සඳහා ආණ්ඩුවට ප්‍රබල සැලසුමක් සහ මාර්ග සිතියමක් තිබිය යුතුය. එහෙත් දැනටත් එවැනි සිතියමක් නැති නිසා 2048 දී ලංකාව සංවර්ධිත රටක් කරනවාය කීම සිහිනයක් පමණක්ම වෙයි.

රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පීඨයේ හිටපු පීඨාධිපති සම්මානිත මහාචාර්ය ඩැනී අතපත්තු

සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්