ලෝකයට මහ උගතුන් බිහිකළ බොනවිස්ටා පාසලේ ඉරණම


23-page-12-S2_-(6)      

566

 

සොඳුරු දසුනකි. එක් පසෙකින් පෙනෙන්නේ ඈත ඉම දක්වා විහිදී පැතිරී පවතින මහා සාගරයයි. තවත් පසෙකින් ගාලූ කොටු පවුර විරාජමානව සිටියි. පිටුපස බැලූ විට වක ගැසී ගිය උස් කඳුවැටිය දැවැන්ත රූස්ස වනාන්තරයක් මෙන් පෙනේ. වක ගැසුණු වෙරළ සුදු පැහැයෙන් දිදුලයි. ගොඩබිම දෙස බැලූ විට ඈතින් සිරිපා කඳුවැටිය ආසන්නයේ ඇති කඳුවළල්ල මනරම්ව දැකගත හැකිය. පහත මුහුද වඩාත් පැහැදිලිය. එහි ඇති කොරල් පරයේ සුන්දරත්වය කඳු මුදුණේ සිට නැරඹිය හැකි තරමට මුහුද පැහැදිලිය.

 


මෙය සැබැවින්ම සොඳුරු දසුනකි. මේ සොඳුරු දසුනින්23-page-12-S2_-(3) බොහෝ දෙනා මන්මත් වූහ. ඒ සිරි නැරඹූ  ඕලන්ද ජාතිකයෝ මේ ස්ථානයට ”බොනවිස්ටා” යැයි නම් තැබූහ. බොනවිස්ටා යනු  ඕලන්ද බසින් සුන්දර දසුන යන්නයි. බොනවිස්ටා යනු ගාල්ලේ සුප‍්‍රසිද්ධ රූමස්සල කඳුවැටියේ එක් කොටසකි. නමුත් මේ සුන්දර දසුන් මවන බොනවිස්ටාවෙන් දැන් ඇසෙන්නේ අසුන්දර කතාවකි.


ඉංග‍්‍රීසි ජාතිකයන් මිෂනාරී අධ්‍යාපනය මෙරට ස්ථාපිත කරමින් පාඨශාලා ආරම්භ කළ මුල් කාලයේ ගාල්ල නගරයේ ආරම්භ කළ පළමු පාසල පිහිටුවූයේ බොනවිස්ටාවේය. එය බොනවිස්ටා ඉංග‍්‍රීසි පාඨශාලාව ලෙස හැඳින්විණි. 1848 දී ආරම්භ කළ දින පටන් අද දක්වා දේශයට මහ වියතුන් රැුසක් බිහිකළ බොනවිස්ටා මහා විද්‍යාලය දැන් වසා දමන මට්ටමකට පත්ව ඇත. ගාලූ වැසියන් පවසන්නේ බොනවිස්ටා මහා විද්‍යාලය යනු රැුකගත යුතු මහඟු සම්පතක් බවයි. හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික‍්‍රමසිංහ, මහාචාර්ය සෙනරත් පරණවිතාන, ආණ්ඩුකාර ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක, කලාකීර්ති එඞ්වින් ආරියදාස, මාලදිවයින් හිටපු ජනාධිපති අබ්දුල් ගයුම්, අනඳපිය කුඩාතිහි, සර්වෝදය නිර්මාතෘ ඒ. ටී. ආරියරත්න, ගාල්ලේ හිටපු දිසාපති අශෝක ජයසේකර වැනි දෙස් විදෙස් සුපතල විද්වත්හු මෙන්ම රාජ්‍ය නිලධාරීහු රැුසක් මේ විදුහලේ අධ්‍යාපනය ලැබූහ.


පසු කලෙක ගාල්ලේ ඇරඹි රිච්මන්ඞ්, ඇලෝෂියස්, සවුත්ලන්ඞ්ස්, රිපන් වැනි පල්ලියට සම්බන්ධ පාසල් ද මහින්ද, සංඝමිත්තා වැනි බෞද්ධ පාසල් ද පරයා අතීතයේ මහත් කීර්තියක් දිනා සිටි උණවටුණේ බොනවිස්ටා මහා විද්‍යාලය අද හෙට වසා දැමීමට සිදුවන තත්ත්වයකට පත්ව ඇත.

23-page-12-S2_-(1)


ගාල්ලේ ප‍්‍රථම ඉංග‍්‍රීසි පාඨශාලාව ලෙස 1848 දී ආරම්භ වූ මේ පාසලේ අද ඉගෙනුම ලබන දරුවන් සංඛ්‍යාව 33 කි. පන්ති පැවැත්වෙන්නේ හය ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පමණි. මේ වසරේ හය ශ්‍රේණියට ඇතුළත්ව සිටින්නේ ළමුන් හතර දෙනෙක් පමණි. ඔවුන් පාසලට ගෙන්වා ගැනීමට ද විදුහල්පතිවරයාටත් ගුරුවරුන්ටත් මහත් වෙහෙසක් දැරීමට සිදුවූ බව කියති. විද්‍යාලයේ විදුහල්පතිතුමා ද ඇතුළුව සිටින්නේ ආචාර්ය මණ්ඩලයේ අට දෙනකු පමණි.  උණවටුණේ සිට රූමස්සල කන්දට යන මාර්ගයේ දෙපස පාසලේ ගොඩනැගිලි පිහිටා තිබේ. එක් පැත්තක ප‍්‍රධාන ගොඩනැගිල්ලත් අනෙක් පැත්තේ පල්ලියට අයත්ව තිබී පාසලට අධ්‍යාපනික කටයුතු සඳහා පවරා දුන් ගොඩනැගිල්ලකුත් පිහිටියේය. ඒ අසල පැරණි සුසාන භූමියක් ද පිහිටා ඇත.


රූමස්සල කන්දේ සිටින්නේ පවුල් සීමිත සංඛ්‍යාවකි. මෙහි පදිංචිකරුවන්ගේ අපේක්ෂාව වන්නේ කෙසේ හෝ තම දරුවන් නගරයේ පාසලකට හෝ අවම වශයෙන් ආසන්නයේ පිහිටි උණවටුන මහා විද්‍යාලයට හෝ යැවීමයි. මේ නිසා ගමේ දරුවන් පාසලට එන්නේ අඩුවෙනි. ද්වීතික පාසලක් බැවින් පළමු වසරේ සිට දරුවන් මේ පාසලට නොපැමිණීමත් පාසල් සිසුන්ගේ හිඟයට එක් හේතුවකි. බොනවිස්ටා මහා විද්‍යාලය වෙනුවෙන් පෝෂිත පාසලක් හෝ ඇත්නම් මේ ගැටලූව ඇතිනොවනු ඇතැයි ගැමියෝ කියති.

23-page-12-S2_-(5)


කලකට ඉහත දී බොනවිස්ටා මහා විද්‍යාලය වෙනුවෙන් පරිගණක මධ්‍යස්ථානයක් පිහිටුවන ලද්දේ පාසලේ යටිතල පහසුකම් ඇතිකිරීමේ අරමුණෙන් වුවද එය වසා දැමූ ගොඩනැගිල්ලකට පමණක් සීමාවී පවතී. එහි පරිගණක කිසිවක් නැත. වවුලන්ගේත් මකුණන්ගේත් රජදහනක්වී ඇති පරිගණක මධ්‍යස්ථානය වල් බිහිවෙමින් පවතී. පාසලේ මුරකරුවකු හෝ අනධ්‍යයන සේවකයන් කිසිවකුත් නැත. මේ හේතුවෙන් ඒ රාජකාරී සියල්ල සිදුකරන්නේ ද ගුරුවරු හා විදුහල්පතිවරයා විසිනි. රාත‍්‍රියේ කිසිවෙකුත් නැති විදුහලේ විවිධ අපචාර සිදුවෙයි. එය මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන්ගේ රජදහනක් බවට පත්ව ඇත.
පාසල පත්ව ඇති ඛේදජනක තත්ත්වය තේරුම් ගත් මහින්ද විද්‍යාලයේ කබඩි ක‍්‍රීඩකයෝත් ගාල්ල ලබුදූවේ සිසුවෝත් බොනවිස්ටා විදුහලට පැමිණ එහි සිසු සිසුවියන් සමග තම අත්දැකීම් බෙදා හදා ගනිමින් පාසලට හැකි පමණින් උදව් කළහ.

23-page-12-S2_-(7)


මේ සම්බන්ධයෙන් පාසලේ විදුහල්පති වසන්ත කහඳගමගේ මහතා හමුවී විමසුව ද ඒ මහතා කියා සිටියේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අවසරයකින් තොරව පාසල සම්බන්ධයෙන් මාධ්‍යයට කිසිදු තොරතුරක් ලබාදිය නොහැකි බවයි. නමුත් පාසල පත්ව ඇති ඉරණම ඇස් පනාපිටම පෙනෙන්නට තිබෙන බව ද ඒ මහතා කීවේය. දකුණේ පමණක් නොව ශ‍්‍රී ලංකාව පුරාම සුපිරි පාසල් වෙනුවෙන් කෝටි ගණන් මුදල් වැය කරන්නට ඒවායේ ඉගෙනුම ලබන දරුවන්ගේ දෙමාපියෝත්, ආදි සිසුවෝත් සැදී පැහැදී සිටිද්දී ගාල්ල බොනවිස්ටා මහා විද්‍යාලය කොතරම් වියතුන් බිහි කළ ද අද විනාශ මුඛයට පත්ව ඇත්තේ ජාතියේ අවාසනාවටය.


මේ විදුහලේ කොටසක් හෝ අලූත්වැඩියා කර එහි අධ්‍යාපන ඉතිහාසය දැක්වෙන කෞතුකාගාරයක් පිහිටුවා පාසල සම්බන්ධයෙන් රට පුරා අවධානය යොමුකරන ලෙස පාසලට සම්බන්ධ පිරිස් ඉල්ලා සිටිති. බොනවිස්ටාවේ දැනට සිටින සිසු දරු දැරියන්ගේ දෙමාපියන් අතර ඉහළම රැුකියාවේ නිරතව සිටින පුද්ගලයා රියදුරෙකි. අනිත් දෙමාපියන්ට තම දරුවන්ගේ කැඩුණු පුටුවක් සාදන්නට මුදල් වියදම් කරන්නට වත්කමක් නැත. සෑම වසරකම දහස් ගණනින් මුදල් එකතු කර ගොඩනැගිලි පින්තාරු කරන්නට වත්කමක් නැත.

23-page-12-S2_-(2)

 


මේ සම්බන්ධයෙන් ගාල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සුසිල් පේ‍්‍රමනාත් මහතාගෙන් විමසූ විට ඒ මහතා මෙසේ කීවේය.


”මේ පාසල ඉතා කීර්තිමත් ඉතිහාසයක් තියෙන පාසලක්. විද්වතුන් රැුසක් මේ පාසලෙන් බිහිවී සිටිනවා. නමුත් අද තත්ත්වය ඉතා ඛේදජනකයි. පාසල තිබෙන ප‍්‍රදේශයේ පදිංචිකරුවන් ඉතා සීමිත ප‍්‍රමාණයක් සිටින නිසා පාසලට දරුවන් නැහැ. ඒ වගේම ඒ අවට තවත් පාසල් තිබෙනවා. දරුවන් ඒවාට යනවා. කෙසේ වෙතත් මේ පාසල ගොඩනැගීමට හැකි දක්ෂ විදුහල්පතිවරයෙක් අපි පාසලට යවා තිබෙන්නේ බොනවිස්ටා මහ විදුහල වහන්නේ නැතිව පවත්වාගෙන යා යුතු නිසා. අපිට පාසලට විවිධ පහසුකම් සපයන්න වෙලා තියෙන්නේ පාසලේ ඉගෙනුම ලබන දරුවන් ප‍්‍රමාණය සලකමින්. මේ ගැටලූව අපිට තිබෙනවා. බොනවිස්ටා පාසල බේරාගැනීමට ප‍්‍රතිපත්ති සැලසුම් කිරීම අවශ්‍යයි.”


ගාලූ වැසියන් පවසන්නේ බොනවිස්ටා මහ විදුහල යළි අලූත්වැඩියා කර ආදර්ශ විදුහලක් ලෙස වහාම වැඩිදියුණු කිරීම අවශ්‍ය බවයි. නැතිනම් මහ වියතුන් ගැන ඉගෙන ගන්නා අනාගත පරපුරට ඔවුන් අධ්‍යාපනය ලැබූ විදුහල දක්නට නොලැබෙනු ඇත.

 

m