1642 වසරේ දෙසැම්බර් 18 වැනිදා ඕලන්ද දේශගවේෂක ඒබල් ටැස්මන්ගේ හීම්ස්කර්ක් සහ සීහැන් නමැති රුවල් නැව් මුහුදු බොක්කේ නැංගුරම් ලා තිබුණි. ඈතින් පෙනුනේ සුන්දර වෙරළකි. නැව්වල සිටි සුදු ජාතිකයන්, වෙරළට එක් රොක් වී සිටි අඩ නිරුවත් සද්දන්තයන් දෙස බලන්න වූයේ මවිතයෙනි. මෙවැනි හැඩිදැඩි මිනිසුන් සහ ගැහැනුන් ඔවුන් මීට පෙර දැක තිබුණේ නැත. දුරින් සිට බැලුවත්, ඔවුන් සද්දන්ත දේහධාරීන් බව පැහැදිලිව පෙනුණි. වෙරළට ගොස් ඔවුන් හමුවීමට කාලය උදා වෙද්දී, ඒබල් සහ නිර්භීත නාවිකයෝ කීප දෙනෙක් බෝට්ටුවලට ගොඩ වූහ. හබල් ගාමින් වෙරළට ළං වෙද්දී ඒ තළෙලු ගෝත්‍රික වැසියන් පැහැදිලිව පෙනෙන්නට විය.
වෙරළේ රැස්වී සිටි වැඩි දෙනා හැඩිදැඩි පිරිමින්ය. කාන්තාවන් ද එහි සිටි අතර ඔවුන් පිරිමින්ට නොදෙවැනි විය. ඔවුන්ගේ සිරුර පුරා පච්චා කොටා තිබුණි. මුහුණේ පච්චාවලින් රෑරටා ඇඳ තිබුණි. ඒවා අසාමාන්‍ය ලෙස සිරුරු අලංකාරකරණයන් විය. දිගු කොණ්ඩා ඉස්මුදුන් කර ගැට ගසා තිබුණි. ඒ සද්දන්ත පිරිමින් මෙන්ම කාන්තාවන් ද සිටියේ ඉණ රෙදිකඩකින් පමණක් විලි වසා ගනිමිනි. වෙරළට පය තැබූ ඒබල් ඇතුළු ලන්දේසීන්ට මෙම ගෝත්‍රිකයන්ගෙන් මිත්‍රශීලී බවක් දිස් වූයේ නැත. ඔවුන් කිසිවකුගේ මුහුණේ සිනාවක සේයාවකුදු නොවීය. අයෝමය අත්වල හබල් වැනි අමුතු ආයුධ තිබුණි. සමහරුන්ගේ අත්වල වූයේ කෙටේරිය. ඔවුන් එසේ මෙසේ ස්වදේශිකයන් පිරිසක් නොවන බව ඒබල්ට වැටහුණි. ඒබල් සහ පිරිස එම ස්වදේශිකයන් පිරිස දුටුවේ ම්ලේච්ඡයන් ලෙසය. බෝට්ටුවලින් ආ ලන්දේසීන් පිරිස වෙරළට පය තබද්දී, ඒබල් ම්ලේච්ඡයන් යැයි සිතූ එම සද්දන්තයෝ එක හඬින් ගර්ජනා කරන්න වූහ. ඇස් ලොකු කර, දත් විලිස්සමින් ඔවුහු කෑ මොරදෙන්නට වූහ. එය ඒබල් සහ ඔහුගේ කණ්ඩායම බියට පත් කිරීමට හේතු විය. ඒ බිය නිසාම බයිනෙත්තු පත්තු විය. මුහුදු වෙරළ එකම ලේ විලක් වෙද්දී, ඒ ම්ලේච්ඡයන්ගේ ප්‍රතිප්‍රහාරයෙන් දිවි ගලවාගෙන යළි නැවට ආවේ ඒබල් ඇතුළු කීප දෙනකු පමණි. ඒබල් සහ පිරිසට මාරක ප්‍රහාරය එල්ල වුණු ස්ථානය ඝාතකයන්ගේ බොක්ක යන නමින් පසුව නම් කෙරුණි. ඒ මෞරි ස්වදේශීය වැසියන්ට පළමුවෙන් යුරෝපීය සුදු ජාතිකයන් හමුවුණු අවස්ථාවය. ඝාතකයන්ගේ බොක්ක අද හැඳින්වෙන්නේ ගෝල්ඩන් බේ යනුවෙනි. එදා ඒබල් ටැස්මන් පය තැබුවේ මෞරිවරුන්ගේ ඔටේඔරෝවා නමැති රටටය. ප්‍රධාන දූපත් දෙකකින් සහ කුඩා දූපත්වලින් සමන්විත ඔටේඔරෝවා, අද අප හඳුන්වන්නේ නවසීලන්තය යනුවෙනි. දේශගවේෂක ජේම්ස් කුක් ඔටේඔරෝවා බලා පැමිණ මෞරි වැසියන් මුණ ගැසුණේ සහ යුරෝපීය වැසියන් නවසීලන්තයේ පදිංචියට ආවේ එයින් වසර 127 කට පසුව 1769 දීය.
නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් ලෙස, යුරෝපීයයන්ගෙන් තම වැසියන්ට එල්ල වුණු තාඩන පීඩන, අඩන්තේට්ටම්, බලහත්කාරයෙන් තම ඉඩම් අත්පත් කර ගැනීම්, කෙණෙහිලිකම් සහ නොයෙක් අපචාර මෞරිවරුන්ට අමතක නැත. මේ තාඩන පීඩනවලින් අදත්, මෞරි වැසියෝ දුකට පත් වී සිටිති. සුදු ආධිපත්‍යය හමුවේ, මෞරි වැසියන් අසරණ වූ අවස්ථා එමටය. මෞරිවරුන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ හඬක් නැගීමට අවස්ථාව උදා වෙද්දී, මෞරි ප්‍රජාව නියෝජනය කරමින්, ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන්, දේශපාලනයට පිවිස පාර්ලිමේන්තුව නියෝජනය කරන මෞරි දේශපාලනඥයන් ගණන 8 කි. 2020 වෙද්දී එය 25 ක් තෙක් වර්ධනය වී තිබුණි. 2021 වසර අවසන් වෙද්දී නවසීලන්තයේ මෞරි වැසියන් ගණන 8,91,000 කි. ඒ අතරේ මෞරි පිරිමි 444,100 සහ මෞරි ගැහැනු 447,500 කි. මෞරි වැසියන් යනු දුරාතීතයේ දී එහි පැමිණි පොලිනීෂියානු දූපත්වාසීන්ය. ඔවුහු දක්ෂ නාවිකයෝ වෙති. කුඩා ඔරුවල නැගුණු ඔවුන් නවසීලන්ත දූපත් රාජ්‍යයේ පදිංචියට පැමිණ ඇත්තේ 1320 දී පමණය. මෞරිවරුන්ට ඔවුන්ටම ආවේණික සංස්කෘතියක් ඇත.
හනා රවුහීති කරියර්කී මයිපී ක්ලාක් නවසීලන්ත දේශපාලනයේ නවතම තාරකාවය. මයිපී ක්ලාක් උපන්නේ 2002 වසරේය. ඇයට අවුරුදු 22 කි. ඇය නවසීලන්ත මෞරි ප්‍රජාව නියෝජනය කරන දේශපාලන කණ්ඩායම වන ටෙ පාටී මෞරි දේශපාලන පක්ෂයේ කැපී පෙනෙන සාමාජිකාවකි. ඇය පසුගිය 2023 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු, ටෙ පාටී මෞරි පක්ෂයෙන් පාර්ලිමේන්තුවට ගිය මන්ත්‍රීවරියකි. වසර 170 කට පසු නවසීලන්ත පාර්ලිමේන්තුවට ගිය ළාබාලතම මන්ත්‍රී මැයයි. පාර්ලිමේන්තුව නියෝජනය කරද්දී, ඇගේ වයස අවුරුදු 20 යි මාස 7 කි.
මයිපී ක්ලාක් මන්ත්‍රීවරිය න්ගපූහි, න්ගටි පෝරු, ටෙල් අටි ආවා සහ න්ගායි තාහූ යන මෞරි පරම්පරා සමඟ සම්බන්ධය. ඇගේ පියා ප්‍රකට චරිතයකි. ඔහු නවසීලන්ත රූපවාහිනී සේවයේ නිවේදකයකු ලෙස වසර 10 කට වැඩි කාලයක් රැකියාව කළ අයෙකි. ඔහු පොටාකා මයිපී ය. සම්මානනීය නිවේදකයකු ද වන පොටාකා මයිපී මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රකට පුද්ගලයෙකි. මයිපී ක්ලාක්ගේ අත්තම්මා මෞරිවරුන්ගේ අයිතිය වෙනුවෙන්, සුදු ජාතික යුරෝපීයයන්ට එරෙහිව නැගී සිටි, මෞරි බස වෙනුවෙන් හඬ නැගූ ප්‍රකට ක්‍රියාකාරිනියකි. මයිපී ක්ලාක්ගේ මී මුත්තා වී කට්නේ, එදා නවසීලන්ත විධායක කවුන්සිලයේ පළමු මෞරි මන්ත්‍රීවරයාය. මයිපී ක්ලාක් අධ්‍යාපනය ලැබුවේ හන්ට්ලි නුවර ටේ වරේකුරා පාසලෙනි.
මයිපී ක්ලාක්ගේ දේශපාලන ආගමනය සිදුවූයේ 2020 වසරේදීය. ඒ වෙන විට ඇය මෞරිවරුන්ගේ අයිතීන් දිනා ගැනීමට උත්සාහ කළ ක්‍රියාකාරිනියක වූවාය. 2020 සැප්තැම්බරයේ, ඇය මෞරි අයිතීන් වෙනුවෙන් නවසීලන්ත පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට කළ කතාව සිත් ගන්නාසුලු එකකි. නවසීලන්තයේ ප්‍රබල දේශපාලන පක්ෂ කීපයකින්ම ඇයට ඇරැයුම් ලැබෙන්නට විය. ඒ, ඔවුන් සමඟ එක් වෙන්නැයි කියමිනි. ටෙ පාටී මෞරි පක්ෂය ද මයිපී ක්ලාක් පමණක් නොව, ඇගේ පියා පොටාකා මයිපී අපේක්ෂකයන් ලෙස පක්ෂයට බඳවා ගැනීමට උනන්දුවෙන් සිටියේය. පියාට වඩා අලුත් විදිහට හිතන තරුණ දියණිය නවසීලන්ත වැසියන්ගේ ආකර්ෂණය දිනා ගනු ඇතැයි පැවැති විශ්වාස නිසා ටෙ පාටී මෞරි පක්ෂය ඔවුන්ගේ නවතම තුරුම්පුව ලෙස මැතිවරණයට ඉදිරිපත් කළේ මයිපී ක්ලාක් ය. ඒ, හුරාකී වයිකාටෝ මැතිවරණ කොට්ඨාසය නියෝජනය කිරීමටය. මයිපී ක්ලාක් 2023 මැතිවරණයට ඉදිරිපත් වූයේ ඒ අනුවය.
මහ මැතිවරණයේ දී කම්කරු පක්ෂයේ ප්‍රබල අපේක්ෂිකාවක වන නනායියා මහුටා පරාජය කිරීමට මයිපී ක්ලාක් සමත් වූයේ වැඩි ඡන්ද 2,911 කිනි. අවුරුදු 170 කට පසු, නවසීලන්ත පාර්ලිමේන්තුවට තේරුණු ළාබාලතම මන්ත්‍රීවරිය බවට මයිපී ක්ලාක් පත් වූයේ ඉන්පසුවය. පසුගිය 2023 දසෙැම්බරයේ, ඇය පාර්ලිමේන්තුව ඇමැතුවාය. එය ඇගේ මංගල කතාව විය. ඇය ඇගේ කතාව ඉදිරිපත් කළේ මෞරි දේශපාලනඥයකු ලෙසය. එය නවසීලන්ත වැසියන්ගේ පමණක් නොව මුළු ලෝකයේ ම අවධානයට ලක් විය. විදෙස් මාධ්‍ය බොහොමයක ප්‍රධාන සිරස්තලය වූයේ ඇයයි. මයිපී ක්ලාක්, පාර්ලිමේන්තුව ඇමතුවේ හැඟීම්බරවය. ඇස් ලොකු කර ගනිමින්, දත් විලිස්සා, අඩි හප්පා, මෞරි රණශූරයන්ගේ රණ ඝෝෂාව පාර්ලිමේන්තුවට ඇය ඉදිරිපත් කළාය. එපමණක් නොව, ඇය නොබියව නවසීලන්ත ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධාන රජය විවේචනය කරන්නට වූවාය. තවමත් නවසීලන්ත මෞරිවරුන්ට, එනම් තම වැසියන්ට, සිදුවෙන අසාධාරණකම් පෙන්වා දුන්නාය. මෞරි දරුවන්ගේ අධ්‍යාපනයට ඇති අයිතිය, සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමට ඇති අයිතිය මෙන්ම සමස්තයක් ලෙස ජීවත් වීමට ඇති අයිතිය ගැන ඇය ජාතික පක්ෂ රජයේ අවධානය යොමු කළාය. ප්‍රාදේශීය මැතිවරණවලදී නවසීලන්තයේ ඡන්ද දායකයන්ගේ වයස් සීමාව අවුරුදු 16 දක්වා අඩු කළ යුතු යැයි මයිපී ක්ලාක් යෝජනාවක් ද ඉදිරිපත් කළාය.
පාර්ලිමේන්තුවේ කළ මංගල කතාවෙන් පසු, නවසීලන්ත මාධ්‍යවේදීන් කීප දෙනකු මයිපී ක්ලාක් වට කර ගත්තේ ඇගේ අදහස් විමසීමේ අරමුණින්ය. ඇය මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට එඩිතරව, අවංකව පිළිතුරු දුන්නාය.
ප්‍රශ්නය - නවසීලන්ත පාර්ලිමේන්තුවේ සිටින ළාබාලතම මන්ත්‍රී ඔබ. ඉතිං ඔබට මොනවද කියන්න තියෙන්නේ.
පිළිතුර - අවුරුදු 170 කට පස්සේ නවසීලන්ත පාර්ලිමේන්තුවට තේරී පත්වුණු ළාබාලතම මන්ත්‍රී මමයි. ඇත්තෙන්ම ඒක මට හිතාගන්නවත් අමාරු දෙයක්. මට ලොකු භාග්‍යයක්. ගෞරවයක්. මම නියෝජනය කරන්නේ මගේ ප්‍රජාව. මෞරි ප්‍රජාව. බොහෝ තරුණ තරුණියන්ට දේශපාලනය මහ කම්මැලි දෙයක්. ඒත් මට එහෙම නැහැ. වත්මන් රජය කොතරම් මෞරි වැසියන්ට පිටුපෑවත්, මෞරි දරුවන් නොසලකා හැරියත් මම ඔවුන් වෙනුවෙන් ඉන්නවා. ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටිනවා. ඔවුන්ගේ ආරක්ෂාව ගැනත් අනාගතය ගැනත් මම බලනවා. මා ඒ වෙනුවෙන් කැප වෙනවා.
ප්‍රශ්නය - ඔබ තරුණ ගෑනු ළමයෙක්. විනෝද වෙන්න මොනවද කරන්නේ? සාදවලට යනවද?
පිළිතුර - ඔව්. මම සාදවලට යනවා. මට ඉන්නවා හොඳ යාළුවෝ කණ්ඩායමක්. ඔවුන්ගේ ප්‍රශංසා පමණක් නොවෙයි, විවේචන පවා මට එල්ල වෙනවා. මං කැමතියි මගේ යාළුවෝ මාව විවේචනය කරනවාට. මගේ ඉදිරි ගමනට ඒක ලොකු ශක්තියක්.
ප්‍රශ්නය - ඔබේ දේශපාලන ගමන ගැන මොකද හිතෙන්නේ?
පිළිතුර - පාර්ලිමේන්තුවට තේරී පත්වෙද්දී මට උපදෙස් ලැබුණා. කිසි දෙයක් පෞද්ගලිකව ගන්න එපා කියා හැමෝම කීවා. මම කිසිවක් පෞද්ගලිකව ගන්න සූදානම් නැහැ. ඒත් මගේ වැසියන්ට අසාධාරණයක් වෙනවා නම්, මම පාර්ලිමේන්තුවේ නිහඬව සිටින්න බලාපෙරොත්තු වෙන්නේත් නැහැ.
ලුසිත ජයමාන්න