අසිරිමත් නත්තල අද උදාවේ. කිතු සමිඳුන්ගේ උත්පත්ති සිහිපත් කරන මානව සමාජයට නව මගක් විවර කළ උතුම් දහමක උත්පත්තිය උත්කර්ෂයට නංවන නත්තල සමග ආධ්‍යාත්මික සකල ලෝකවාසී ජනයා සමග ලංකාදීපය ද බැතිබර හදින් මෙසේ අත්වැල් බැඳ ගනී.
මානවයා අන්ධකාරයෙන් ආලෝකය වෙත ගෙන යාමේ පවිත්‍ර චේතනාවෙන් ගැලවුම්කරුවානන් ලෙස දෙවි පියාණන් වහන්සේ මිනිසත් බව ලැබූ බව සඳහන්ය. ඒ තුළ ඇත්තේ ශාස්තෘවරයකුගෙන් නියත ලෙසම පිළිබිඹු විය යුතු මානව දයාව වේ. බෙත්ලෙහෙම ගව ලෙනක උපත ලැබීමෙන් සංකේතවත් වන්නේ උන්වහන්සේ නියෝජනය කරනු ලබන්නේ අගතියට පත් පීඩාවට පත් සාතිශය බහුතරයක් වූ ජනයා බවය. කිතු දහම විශ්වාන්තරවාදී දහමක් ලෙස ලෝක ව්‍යාප්ත වී තිබෙන්නේ ද එම හේතුවෙනි. නත්තලෙහි සැබෑ අරුත සැඟවී තිබෙන්නේ එහිය. නැණින් නුවණින් පාදාගත යුතු වන්නේ ද එම අරුතමය.
ඉතිහාසයේ මෙතෙක් අත්නොවිඳි ඉතා අභාග්‍ය සම්පන්න ඉරණමකට මුළුමහත් මානව සමාජයම මුහුණ පා සිටීම සීමිත සම්පත් තුළින් අසීමිත මිනිස් ආශාවන් සන්තර්පනය කර ගැනීමට වෙහෙසුණ මිනිසා තමන් නියෝජනය කරන මානව සමාජයටත්, මානව සමාජයට ජීවය දුන් සොබා දහමටත් එදිරිව ගමන් කළේය. ආගමික දර්ශනවල කුමක් සඳහන් වුවත් කුමන මගපෙන්වීමක් කළත් අශිෂ්ටත්වයේ හා අවිනීතික භාවයේ පත්ළටම වැටුණු මිනිසා අද එයට තාර්කික වන්දිය ගෙවමින් සිටී.
මානව සමාජයට සිදුවූයේ කුමක්ද යන්න විමසා බැලීමට වර්තමානය කදිම පෙළඹවීමකි. ක්‍රි.ව. 6 දී දේවදූතයන් රැගෙන ආ පණිවිඩයේ සඳහන් වූයේ ‘‘ස්වාමින් වන ක්‍රිස්තුන් නම් ගැලවුම්කරාරයාණන් දාවිත් නුවර අද උපන්නේය.
ගැලවුම්කාරයාණන් උපත ලැබුවේ ඔබ සහ මා පාපයෙන් ගලවනු පිණිසය’ යන්නය. එහෙත් ඒ සඳහා මිනිසා සතු ව්‍යායාමයක් ද තිබේ. විශ්වයේ සියල්ලට ඉහළින් දිදුළන මනුෂ්‍යත්වයෙන් මිනිසා පරිපූර්ණ විය යුතුය. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය හිමිවන්නේ එවිටය. එහෙත් මිනිසා ගමන් කරමින් සිටින්නේ මනුෂ්‍යත්වයට බොහෝ ඈතින් වැටී ඇති දුෂ්කර මාර්ගයකය.
තෙවසරක කාලයක් පුරා නත්තල, එයට හිමි ගැඹුරින් සැමරීමේ අවස්ථාව අපට අහිමි විය. 2019 අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය මානව ඛේදවාචකයක් වශයෙන් ඉතිහාසයට එක් වී තිබේ. ආගමික උම්මත්තක අන්තවාදීහු පාස්කු ඉරිදාව රුධිරයෙන් තෙතබරිත කළහ. අතිගරු මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරුතුමන් අවධාරණය කළ පරිදි කිසිදු ආගමක ආගමේ නාමයෙන් මිනිස් සංහාරයට අනුබල දී නැත. මානව දයාව ප්‍රේමය විනා වෛරය වපුරණ ලෙස උගන්වා නැත. එහෙත් ආගමික අන්තවාදීහු එමග නොයති. පාස්කු ඉරිදා ප්‍රහාරය එහි ප්‍රතිඵලය වේ. ලොවම කම්පාවට පත්කළ පාකිස්තානයේ සියල්කොට්හි බිහිසුණු ඛේදවාචකය මුළුමහත් මානව සමාජයටම නැවත අලුතෙන් සිතාබැලීමට බල කිරීමකි.
අපට මෙවරද නත්තල සැමරීමට සිදුවී තිබෙන්නේ බිහිසුණු ලෝක වසංගතයක් මැදය. උපරිම සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් නොපිළිපදින්නේ නම් වසංගත වගුර නව වටයකින් කැළඹීමට පත්වනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයෝ අනතුරු අඟවති. මෙබඳු වසංගතයක් හමුවේ එයට අනුරූපී ලෙස හැසිරීමේ ශිෂ්ටත්වය විනය හික්මීම මිනිසා සතුවිය යුතුය. ආගම දහම තුළින් මිනිස් සන්තානයට ඇතුළු කරන්නේ එම සාර ධර්මයන්ය. නත්තල් සැමරුමෙන් එය ප්‍රදර්ශනය විය යුතුය.
‘‘මගෙ නත්තල දුගියා බත් කනදාය’’ යනුවෙන් ලියා තැබුවේ මර්සලීන් ජයකොඩි පියතුමාය. එදවස වෙනුවට නිර්මාණය වී තිබෙන්නේ රටේ සාතිශය බහුතරයකට වේලෙන් වේලට අලුත්වන බඩගින්න නිවා ගැනීමට නොහැකි පරිසරයකි. කිතු දහමෙහි උගන්වන ‘‘අසල්වැසියාට ප්‍රේම කිරීම’’ ප්‍රායෝගික ලෙස ක්‍රියාවට නැගීමට මෙම පරිසරය ඉවහල් කර ගතු යුතුය. අවදිකරගත් මහා මිනිස් අනුරාගයෙන් පණපෙවී අනුන් සමග සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගන්නේනම් මෙම දුෂ්කර පැය ගෙවා ගැනීමට එය රුකුලක් වනු ඇත. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කුරුසියේ තබා ඇණ ගසනු ලැබුවේ ඒ අල්තාරය මත දිවි සුසුම් මුදාහරිනු ලැබුවේ සමස්ත මානව වර්ගයාම පාපයෙන් ගලවා ගනු පිණිසය. මානව සංහතිය වෙනුවෙන් ජීවිතය පූජා කිරීම එයට හිමි නිසි අරුතෙන් හඳුනා ගන්නේනම් මිනිසා ආත්මාර්ථකාමීත්වයෙන් මිදී පරාර්ථකාමීත්වයේ මතු මහලට පියමනිනු ඇත. පරිත්‍යාගශීලීත්වය උපරිමයෙන් වඩවා අන්‍යයන් සමග සහෝදරත්වයෙන් ජීවත්වනු ඇත. නත්තල අසිරිමත් වන්නේ එබඳු අනුහස් සහිත මිනිස් ක්‍රියාකාරිත්වයෙනි. එය අවබෝධ කර ගැනීමට මානව සමාජයට ශක්තිය ලැබේවා යන්න ලංකාදීපයේ නත්තල් ප්‍රාර්ථනය වේ.
(***)