රටේ බරපතළ ප්‍රශ්නයකි. ප්‍රශ්නය කොතෙක් බරපතළද යත් ජනතාවට නිවසේ සිටීමට සිදුවී තිබෙන්නේද මර බියෙනි. ඒ ගෑස් කාන්දුවීම් හා ගෑස් ලිප්-බට පුපුරායාම හේතුවෙනි. ‘‘යහපාලන ආණ්ඩුව සමයේ මෙච්චරක් ගෑස් පුපුරා ගියා’’ යැයි කියමින් ප්‍රකාශ නිකුත් කිරීම හැර බලධාරීන්ගෙන් වෙනත් විසඳුම් නැත. සුපුරුදු පරිදි කමිටු පත් කළද ගෑස් කාන්දුව නතර වී හෝ ගෑස් පුපුරා යාම හෝ නතර වී නැත.
විපක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී ඉකුත්දා මේ පිළිබඳව කතා කළහ. රටේ ප්‍රශ්න කතා කිරීමට ඇති ප්‍රධානම හා වැදගත්ම ස්ථානය පාර්ලිමේන්තුව වේ. පාර්ලිමේන්තුව තුළ රටේ ප්‍රශ්න වැඩි වශයෙන් කතා නොකර වල්පල් දෙඩවීම බහුලව සිදු වුවද ‘‘ගෑස්’’ ප්‍රශ්නය පාර්ලිමේන්තුවේදී මතු කිරීම සම්බන්ධයෙන් විපක්ෂයට ප්‍රණාමය පිරිනැමිය යුතුය. එයට තවත් එක් හේතුවක් වන්නේ එම ප්‍රශ්න කිරීම හරහා ඇමැතිවරුන්ගේ සැබෑ කෙරුවාව අනාවරණය වූ හෙයිනි.
ගෑස් ප්‍රශ්නය සම්බන්ධයෙන් විපක්ෂය කතා කරනවිට පාර්ලිමේන්තුවේ ඉදිරිපෙළ ඇමැතිවරුන්ගෙන් සිට ඇත්තේ සභානායක, මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පමණි. ජන ජීවිතයට මාරාන්තික වූ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් කතාබහක් නිර්මාණය වූ විට ඒවාට පිළිතුරු දීමට ඇමැතිවරුන් සිටිය යුතුය. ඒ ඇමැතිවරුන් කොහේ රෝන්දේ ගියා දැයි අපි නොදනිමු. ඒ සම්බන්ධයෙන් සොයා බැලීම ඇමැතිවරුන්ගේ බිරින්දෑවරුන්ටද අයිති කාරණාවකි.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඇමැතිවරුන්ගේ කෙරුවාවල් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී එදින අනාවරණය කර තිබිණි. එහිදී කතානායකවරයා ප්‍රකාශ කර තිබුණේ ඉදිරිපෙළ ඇමැතිවරුන් මේ අවස්ථාවේදී සභාවේ නොසිටීම කනගාටුදායක බවත් සියලුම ඇමැතිවරුන් පැමිණෙන්නේ ජනාධිපතිවරයා එනදාට පමණක් හෙයින් එතුමන්ට හැමදාම මේ සභාවට එන ලෙස මේ නිසා ආරාධනා කිරීමට සිදුවන බවත්ය. ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයාගේ දෙපැත්තේ ඉදිරි පෙළ ඇමැතිවරුන් කිසිම කෙනකු මේ අවස්ථාවේ සභාවේ නැති හෙයින් ඒ පිළිබඳව අවධානය යොම කරන බවද කතානායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණි.
රටේ ජනාධිපතිවරයා සම්ප්‍රදායක් වශයෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ කලාතුරකිනි. එම දිනය ඇතැම් විට කලින් නිවේදනය කරන අවස්ථාද වේ. කතානායකවරයා පවසන්නේ සියලුම ඇමැතිවරුන් පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ ජනාධිපතිවරයා පැමිණෙන දිනයට පමණක් බවය.
කතානායකවරයාගේම හෙළිදරව්වට අනුව රට මෙලෙසින් හෝ පැවතීම සම්බන්ධයෙන් රටේ ජනයා අප්‍රමාණ ලෙස සොම්නසට පත්විය යුතුය.
මේ රටේ පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් ජනයාගේ විශ්වාසය බිඳවැටී අවසන්ය. යම් හෝ විශ්වාසයක් තිබුණි නම් දින 52 ආණ්ඩුව සමයේදී එය නැත්තටම නැතිවී ගියේ යැයි කීම වැරැදි නොවේ. එබඳු තත්ත්වයක් නිර්මාණය වූයේ ගරු කටයුතු මහජන නියෝජිතයන්ගේ අපුල දනවන හැසිරීම නිසාය. සභා ගැබ මැද ඇඳිවත ඔසොවන නිරුවත ප්‍රදර්ශනය කරන තරමට මහජන නියෝජිතයන්ගේ හැසිරීම පිළිකුල් සහගත විය.
පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් ජනතා විශ්වාසය ඇති කළ යුතුය. රටේ උත්තරීතරම ආයතනය ලෙස සලකන්නේ පාර්ලිමේන්තුවය. නීති සම්පාදනය කිරීමත් සම්පාදිත නීති සම්මත කිරීමත් රටේ මූල්‍ය පාලනය සම්බන්ධ වගකීම පැවරී තිබීමත් නිසා පාර්ලිමේන්තුව රටේ උත්තරීතරම ආයතනය යන බුහුමනට පාත්‍ර වී තිබේ. එහිදී කැබිනට් මණ්ඩලයට සුවිශේෂි වගකීමක් තිබේ. රට සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගනු ලබන්නේ කැබිනට් මණ්ඩලය විසිනි. එහෙයින් කැබිනට් මණ්ඩලයට පත්කරනු ලබන්නෝ ඒ ඒ විෂය සම්බන්ධයෙන් ප්‍රමාණාත්මක අවබෝධයක් සහිත පරිණතම මහජන නියෝජිතයෝය. එහෙත් කතානායකවරයා පවසන්නේ සියලුම ඇමැතිවරුන් පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ ජනාධිපතිවරයා පැමිණෙන දිනයේදී පමණක් බවය.
කැබිනට් ඇමැති ධුරයක් ලැබුණද එයට වඩා හොඳ ඇමැති ධුරයක් ලැබුණේ නම් හොඳයි කියමින් ලජ්ජා විරහිත ලෙස ආඩපාලි කියන දේශපාලනඥයෝ සිටිති. ඇමැති ධුරයක් නොලැබීමේ වේදිනාව ප්‍රසිද්ධියේ පිට කරන දේශපාලනඥයෝ සිටිති. ‘‘මට රිළා ඇමති ධුරය හෝ ලැබුණේ නම් හොඳයි” කී මන්ත්‍රීවරයෙක් තවමත් මේ පාර්ලිමේන්තුවේ සිටී. මේ මහජන නියෝජිතයන්ට රටට වැඩ කිරීමේ කොපමණ උනන්දුවක් තිබෙන්නේ දැයි ජනතාව සිතති. ඇමැති ධුර ඉල්ලා සිටින්නේ රට සුරපුරයක් කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යැයි ජනතාව සිතති. එහෙත් කතානායකවරයා පවසන්නේ සියලුම ඇමැතිවරුන් පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ ජනාධිපතිවරයා පැමිණෙන දිනයේදී පමණක් බවය.
මෙම කසඩ දේශපාලනය වෙනස් කළ යුතුය. රටේ ප්‍රශ්න ගොඩගැසී තිබේ. සියවසකට පමණ පසුව පැමිණි මාරක වසංගතය දෙවසරක් පුරා රටම හඬවමින් තිබේ. ජීවන බර සමනොළ ගිරිහිස පරයා යන තරම්ය. ගුවන්ගත බඩු මිල ඉදිරිපිට සාතිශය බහුතරයක් ජනයාට දිවංගත වීමේ ඉරණම බාර ගැනීමට සිදුවී තිබේ. මේ ප්‍රශ්නවලට විසඳුම් ආණ්ඩුවෙන් ලබාගත හැකිද යන ප්‍රශ්නය මතුවන්නේ කතානායකවරයාම ප්‍රකාශ කරන පරිදි සියලුම ඇමැතිවරුන් පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ ජනාධිපතිවරයා පැමිණෙන දිනයට පමණක් වන හෙයිනි.
(***)