දැනට මතභේදකාරී මාතෘකාවක් බවට පත්වී ඇති ‘එක රටක්, එටක නීතියක්’ යන සංකල්පය ක්‍රියාවට නැගීම සඳහා තමන්ම දින දහයකට පමණ පෙර ගැසට් පත්‍රයක් මගින් පත්කළ ජනාධිපති කාර්ය සාධක බළකායේ සාමාජික සංයුතිය හා වගකීම් වෙනස් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉකුත් 6වැනිදා තවත් ගැසට් පත්‍රයක් නිකුත් කොට ඇත.
ඔහු එසේ කළේ ජාතික හා ජාත්‍යන්තර වශයෙන් එම කාර්ය සාධක බළකායේ නායකත්වය, සාමාජික සංයුතිය හා කාර්ය භාරය විවේචනයට ලක්වීමෙන් අනතුරුවය. විපක්ෂයේ දේශපාලන පක්ෂ පමණක් නොව ශ්‍රී ලංකා නීතිඥ සංගමයද විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු සිවිල් සංවිධාන ද මෙම කාර්ය සාධක බළකාය පිළිබඳ ගැසට් නිවේදනය අහෝසි කළ යුතු යැයි ඉල්ලා තිබිණි.
කාර්ය සාධක බළකායේ නායකත්වයට බොදු බලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් පත් කිරීමට අමතරව එහි සාමාජික සංයුතියේ දෙමළ ජනතාවගේ නියෝජනයක් නැතිවීම ඊට පවරා ඇති වගකීම් මඟින් එය අධිකරණ අමාත්‍යාංශයට ඉහළින් කටයුතු කිරීමට හැකිවීම මෙම පිරිසගේ විවේචනයට ලක්වූ කරුණුය.
එතෙක් අලුත් ගැසට් නිවේදනය මඟින් කාර්ය-සාධක බළකායේ නායකත්වය පිළිබඳ ප්‍රශ්නය හැර අනෙක් ප්‍රශ්නවලට ජනාධිපතිවරයා පිළියම් යොදා ඇත. එනම් කාර්ය සාධක බළකායේ සංයුතියට දෙමළ ජනතාවගේ නියෝජනයක් ඇතුළත් කරනු ලැබ ඇති අතර කාර්ය සාධන බළකායට අධිකරණ අමාත්‍යාංශයේ වැඩ කටයුතු විමසා බලා පිළියම් යෙදීමට දෙනු ලැබ තිබූ බලය ඉවත් කරනු ලැබ ඇත.
ඔක්තෝබර් 26 වැනිදා නිකුත් කරනු ලැබූ මුල් ගැසට් නිවේදනය අනුව කාර්ය සාධක බළකායේ සාමාජික සංඛ්‍යාව 13කි. ඉන් නව දෙනෙක් සිංහල අය වූ අතර හතර දෙනෙක් මුස්ලිම් අය වූහ. ඉන් එක් සිංහල සාමාජිකයකු හා මුස්ලිම් සාමාජිකයකු පසුව කාර්ය සාධක බළකායෙන් ඉල්ලා අස්වූහ. එහෙත් 6 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනයෙන් ජනාධිපතිවරයා දෙමළ සාමාජිකයන් තිදෙනකු ඊට පත් කළ අතර ඉන් එක් අයෙක් කාන්තාවක් වූවාය. ඒ අනුව කාර්ය සාධක බළකායට දෙමළ නියෝජනයක් මෙන්ම කාන්තා නියෝජනයක්ද ලැබී තිබේ.
මුල් ගැසට් නිවේදනය අනුව ශ්‍රී ලංකාව තුළ එක් රටක්, එක් නීතියක් සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනයක් කොට එම අරමුණ වෙනුවෙන් පනත් කෙටුම්පතක් සකස් කිරීම කාර්ය සාධක බළකායට පැවරුණු කාර්ය භාරයන් දෙකෙන් එකකි. මෙම විෂයය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශය විසින් දැනටමත් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත් හා සංශෝධන හා ඒවායේ යෝග්‍යතාව අධ්‍යයනය කොට සුදුසු සංශෝධන කළ යුතුව ඇත්නම් ඒවා සකස් කොට සුදුසු පරිදි එම කෙටුම්පත්වලට ඇතුල් කිරීම ඊට පැවරුණු දෙවැනි වගකීමයි.
කාර්ය සාධක බළකායේ නායකත්වයට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනාසාර හිමියන් පත් කිරීම හා අදාළ සියලු පාර්ශ්ව ඇතුළත් සංයුක්ත සංයුතියක් සහිත නොවීමට වඩා අධිකරණ ඇමැති අලි සබ්‍රි මහතාට කාර්ය සාධක මණ්ඩලයේ කාර්ය භාරය ගැටලුවක් වූ බව පෙනේ. ඒ අධිකරණ අමාත්‍යාංශය මගින් අදාළ කාරණය සම්බන්ධයෙන් සකස් කරනු ලැබූ පනත් කෙටුම්පත් අධ්‍යයනය කොට ඒවාට සංශෝධන ඇතුළත් කිරීමටත් එක රටක්, එක නීතියක් සංකල්පය ක්‍රියාත්මක කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමටත් කාර්ය සාධක බළකායට එමඟින් බලය පැවැරෙන හෙයිනි.
එක් අතකින් කාර්ය සාධක බළකායට නව පනත් කෙටුම්පතක් සකස් කිරීමේ වකීමක් පැවරෙන අතර අනෙක් අතින් අධිකරණ අමාත්‍යාංශය අදාළ කාරණය සඳහාම සකස් කරන ලද පනත් කෙටුම්පත්වලට සංශෝධන ඇතුළත් කිරීම අතර ප්‍රතිවිරෝධතාවක් තිබුණද තම අමාත්‍යාංශය විසින් සකස් කරන ලද පනත් කෙටුම්පත් සංශෝධනය කිරීමට අධිකරණ පද්ධතියට පිටින් සිටින පිරිසකට පැවරීම නිසා අධිකරණ ඇමැතිවරයාගේ සිත් රිදුන බව පෙනේ. ඒ අනුව ඔහු සිය මන්ත්‍රී ධුරයෙන් හා ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත බාර දුන් බවද ජනාධිපතිවරයා එය භාර නොගත් බවද වාර්තා විය.
ඒ වෙනුවට ජනාධිපතිවරයා කාර්ය සාධක බළකායේ කාර්ය භාරය වෙනස් කළේය. ඒ අනුව 6 වැනිදා නිකුත් කරන ලද ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ වගකීම් දෙකක් නොව එකකි. එයද ඉතා අපැහැදිලි හා එක්තරා ආකාරයක දියාරු අදහසකි. ඉන් කියවෙන්නේ එක් රටක් එක් නීතියක් සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව ඉදිරිපත් කරන අදහස් සැලකිල්ලට ගෙන මෙම සංකල්පය පිළිබඳව අධ්‍යයනයක් කොට, ශ්‍රී ලංකාවට නියමාකාරයෙන් ගැළපෙන සංකල්ප රාමුවක් සකස් කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙසය.
මේ අනුව අධිකරණ අමාත්‍යාංශයේ කටයුතු පරීක්ෂා කිරීමේ වගකීමක් හෝ හැකියාවක් දැන් කාර්ය සාධක බළකායට නැත. එය කළ යුත්තේ සංකල්ප රාමුවක් සකස් කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමය. කෙසේ වෙතත් සංකල්පයක් ක්‍රියාත්මක කිරීම සඳහා සංකල්ප රාමුවක් සකස් කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි නොවැටහේ.
පසුගිය 1 වැනිදා ජනාධිපති මාධ්‍ය අංශයේදී ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් පැවැති ජනමාධ්‍ය හමුවකදී කාර්ය සාධක බළකායේ සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ප්‍රකාශ කළේ තමන් නායකත්වය දරන කාර්ය සාධක බළකාය කිසිදු ජනකොට්ඨාසයකට අසාධාරණයක් කිරීමට අදහස් නොකරන හෙයින් එහි දෙමළ ජනතාව නියෝජනයක් නැති වීම කිසිවකු ප්‍රශ්නයක් කරගත යුතු නැති බවය.
එහෙත් ඒ සම්බන්ධයෙන් එල්ල වූ විවේචන ජනාධිපතිවරයා සැලකිල්ලට ගෙන එම වරද නිවැරැදි කිරීමට කටයුතු කොට ඇත. මන්දයත් ඕනෑම සංවිධානයක හෝ ආණ්ඩුවක කටයුතුවලින් බලපෑමට ලක්වන සියලු පාර්ශ්ව එම සංවිධානය කළ ආයතනය තුළ හා ආණ්ඩුව තුළ භෞතිකව නියෝජනය විය යුතුය යන්න ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සංවේදී සම්ප්‍රදායකි. එය දැන් කාර්යාල, කර්මාන්තශාලා හා විශේෂයෙන්ම ජනමාධ්‍ය ආයතන සම්බන්ධයෙන් අදාළ කරගෙන ප්‍රශ්න දෙස බැලීමට ජාත්‍යන්තර සංවිධාන පෙළඹී ඇත. ඒ සියලු පාර්ශ්වවල නියෝජනය මඟින් යම් යම් පාර්ශ්ව අසාධාරණයට ලක්වීම අවම කරගත හැකිය යන නිගමනය නිසාය.
නියෝජනය පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් මතු කරමින් ආණ්ඩුව පසුගිය වසරේද කාර්ය සාධක බළකායක් පත් කළේය. ඒ පසුගිය වසරේ ජූනි 2 වැනිදා පත් කරන ලද නැගෙනහිර පළාතේ පුරාවිද්‍යාත්මක උරුමයන් පිළිබඳ කාර්ය සාධක බළකායයි. එම කර්ය-සාධක බළකායේ සංයුතියද මතභේදාත්මක වූයේ නැගෙනහිර පළාතේ ජනගහනය ආසන්න වශයෙන් සමාන ලෙස සිංහල දෙමළ හා මුස්ලිම් වශයෙන් බේදී තිබුණද මෙම කාර්ය සාධක බළකායේ කිසිදු දෙමළ හෝ මුස්ලිම් සාමාජිකයකු නොසිටීම නිසාය. මෙය එ.ජා. මානව හිමිකම් කවුන්සිලයේද අවධානයට ලක්වී තිබිණි.
නිරපේක්ෂ වශයෙන් ගත් කල ඕනෑම කමිටුවක, දේශපාලන පක්ෂයක, සංවිධානයක හෝ ආයතනයක ඒවායේ ක්‍රියාකාරිත්වයෙන් බලපෑමට ලක් වන සියලු ජන කණ්ඩායම් නියෝජනය නොවුණද එමගින් කිසිදු ජන කණ්ඩායමකට අසාධාරණයක් සිදුවීමට ඉඩ නොතබන බව ඒවායේ ප්‍රධානීන්ට ප්‍රකාශ කළ හැකිය. එම ප්‍රකාශ අවංකද විය හැකිය. එහෙත් මෙය ප්‍රායෝගිකව ඇතැම් විට කළ නොහැකි වනු ඇත. එසේ වන්නේ සෑම කෙනකුටම අනෙක් ජන කොට්ඨාස, ප්‍රතිවිරුද්ධ ලිංගිකයන් හා වෙනත් මතවාද දරන පිරිස් සිතන පතන ආකාරය ඒ අයුරින්ම තේරුම් ගැනීමට සෑම විටම නොහැකි වන නිසාය.
මෙය කොතරම් බැරූරුම් ලෙස ජාත්‍යන්තර වශයෙන් සැලකිල්ලට ගනු ලබන්නේද යන්න දැන් ඇෆ්ගනිස්ථාන් ජනතාව හා තාලිබාන් සංවිධානය මුහුණ දී සිටින තත්ත්වයෙන් පෙනේ. ඉකුත් අගෝස්තු 15 වැනිදා තාලිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය මුළුමනින්ම අත්පත් කර ගත්තද මාස තුනක් ගතවීත් ලෝකයේ කිසිදු රටක් තාලිබාන්වරුන් පිහිටවූ අන්තර් කාල ආණ්ඩුව නීත්‍යානුකූල ආණ්ඩුව ලෙස පිළිගෙන නැත. ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ එම ආණ්ඩුව තුළ ඇෆ්ගනිස්ථානයේ ජීවත්වන සියලු ප්‍රධාන ජනකොට්ඨාස නියෝජනය නොවීමත් එම පාලනය යටතේ කාන්තාවන්ට අධ්‍යාපනය ලැබීමේ හා රැකියා කිරීමේ නිදහස තහවුරු නොකිරීමත් නිසාය.
ඇෆ්ගනිස්ථානයේ පෂ්තූන්, තජික්, උස්බෙක් හා ෂියා දහම පිළිපදින හසාරා යන ප්‍රධාන ජන කොට්ඨාස ඇත. එහෙත් එක් අයකු හැර ආණ්ඩුවේ සියලු තනතුරු දරන්නේ පෂ්තූන් ජාතිකයන්ය. මේ නිසා ඇෆ්ගනිස්ථාන් මහ බැංකුවට අයත් ඩොලර් බිලියන 10කට ආසන්න මුදලක් ඇමෙරිකාව ප්‍රධාන බටහිර රටවල් නිදහස් නොකොට රඳවා ගෙන සිටී. එරටට ලැබිය යුතු තවත් ඩොලර් මිලියන 450ක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රඳවාගෙන සිටී. ආසියානු සංවර්ධන බැංකුවද විශාල මුදලක් රඳවා ගෙන සිටී. මේ නිසා මිලියන 38ක් වූ එරට ජනගහනයෙන් මිලියන 23ක් සාගතයකට මුහුණදී සිටින බව එ.ජා. සංවිධානයේ වාර්තාවල දැක්වේ.
සියලු පාර්ශ්ව නියෝජනය කිරීමේ සංකල්පය මෙසේ ලෝකයේ සියලු රටවල් විසින් අවධාරණය කෙරුණද තාලිබාන් නායකයන්ගේ තර්කය වී ඇත්තේ සියලු පාර්ශ්ව ආණ්ඩුව තුළ නියෝජනය නොවුණද කිසිදු පාර්ශ්වයකට තම ආණ්ඩුවෙන් අසාධාරණයක් සිදු නොවන බවය.
යම් ආයතනයක හෝ සංවිධායක සියලු පාර්ශ්ව නියෝජනය විය යුතුය යන මතයෙන් පෙන්නුම් කෙරෙන්නේ සියලු මිනිසුන් දෙස සමානව බැලීමට මිනිසුන් තුළ ඇති නොහැකියාවයි. මෙම යථාර්ථය පිළිගත යුතුව ඇත. ජන කොට්ඨාස වශයෙන් බෙදී දේශපාලන වාසි තකා දේශපාලනඥයන් එම බෙදීම් උපයෝගී කරගෙන ජනතාවගේ හැඟීම් අවුස්සන සමාජයක මිනිසුන් තුළ මෙම දුබලතාව වඩා ප්‍රබල ලෙස ඉස්මතු විය හැකිය.
මේ රටේ වාර්ගික, ආගමික දේශපාලන පක්ෂවල පැවැත්මට උපකාරී වී ඇත්තේද මෙම දුබලතාවයි. ප්‍රධාන ජාතික පක්ෂවල අභ්‍යන්තරයේ වාර්ගික මතවාදී නියෝජනය නිසි ලෙස තිබේ නම් සුළු ජාතීන්ට වාර්ගික ආගමික දේශපාලන පක්ෂ අවශ්‍ය නැත. ඒවායේ සුළු වශයෙන් පුද්ගල නියෝජනයක් තිබුණද මතවාදී නියෝජනයක් තිබේද යන්න ගැටලුවකි. එහි ප්‍රතිඵලය වී ඇත්තේ ඊටත් වඩා වෙනත් නියෝජනයන්ට ඉඩ නැති සුළු ජාතික පක්ෂ තුළ සුළු ජාතීන් කොටුවීමයි. ජාතික පක්ෂවලට සැබෑ ලෙසම සියලු ජනකොට්ඨාසවලට ආමන්ත්‍රණය කිරීමේ හැකියාවක් ඇත්නම් කල්යාමේදී සුළු ජාතික පක්ෂ වියැකී යනු ඇත. මන්දයත් මිනිසුන්ගේ ජීවිතවලට බලපෑම් කළ හැකි ආණ්ඩු පක්ෂ බවට පත්විය හැක්කේ ප්‍රධාන ජාතික පක්ෂවලට පමණි. සුළු ජාතික පක්ෂවලට ඒ බලපෑම සිදුකළ නොහැකිය.
සියලු වාර්ගික, ආගමික මතවාද නියෝජනය කරමින් එක්ව ජීවත්වීම සිත් තුළට කාවැදිය යුත්තේ පාසල් කාලයේදී වුවද පාසල්ද අද වාර්ගික වශයෙන් බෙදී ක්‍රියාත්මක වේ. ආනන්ද විද්‍යාලයට දෙමළ හා මුස්ලිම් සිසුන්ටත් සහිරා විද්‍යාලයට සිංහල සිසුන්ටත් ඇතුල්වී අධ්‍යාපනය ලැබීමට හැකියාව තිබිය යුතුයැයි පූජ්‍ය ඥානසාර හිමියෝ ඉහත කී ජනමාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළහ. අදහසක් වශයෙන් මෙය ඉතා අගය කළ යුතු වුවද එය ප්‍රායෝගිකව කළ හැකිද යන්න ප්‍රශ්නයකි. දශක ගණනාවකට පෙර එවැනි තත්ත්වයක් පැවැති අතර ලියුම්කරුද එසේ අධ්‍යාපනය ලැබීමට වාසනාව ලැබූවෙකි.
අධ්‍යාපනය හා රැකියා සඳහා දරුණු තරගයක් පවතින අතර ජන කොට්ඨාස තව තවත් බෙදා වෙන් කරන සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය තවදුරටත් මිනිසුන් ඈත් කරයි. මේ තත්ත්වය යටතේ පක්ෂ සංවිධාන, ආයතන කමිටු ආදී සියල්ල අදාළ සියලු කණ්ඩායම් භෞතිකව නියෝජනය කිරීමේ අවශ්‍යතාව වඩා වඩා තදින් දැනේ.
(*** එම්.එස්.එම්. අයුබ්)