වනජීවී තෙවැනි ඇසෙන් අංක එකට ශ්‍රී ලාංකීය වෛද්‍යවරයෙක්


(බෙලිහුල්ඔය ප්‍රින්ස් රත්නායක)

නර්තනය සංගීතය චිත්‍ර කලාව නිර්මාණාත්මක හැකියාවන්ගෙන් සපිරි නිර්මාණකරුවන් මේ පුංචි ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙනෙන්නට  ඉස්මතු වේ . ලන්ඩනයේ පැවැති ඡායාරූප තරගාවලියක දී  ක්ෂීරපායී   සත්ව ඉරියව් නිරූපන අංශයෙන් තරග කළ වෛද්‍ය විනෝද් ලියනගේ මහතා   වසරේ ඡායාරූප ශිල්පියා ලෙස සම්මානය දිනා ගැනීමට අවස්ථාව ඉකුත්දා උදාවිය. එම ඡායාරූප ත්‍යාග ප්‍රදානෝත්සවයකුත් අටවෙනිදා ලන්ඩනයේ පැවැත්විණි.

විනෝද් ලියනගේ මහතා මෙම තරගය සඳහා ඉදිරිපත් කළ ජූරියේ ආකර්ෂණය ලැබූ  ඡායාරූපය වූයේ රිලා මවක උකුලේ නිදමින් සුව විඳින සිය පැටියා ළයට තුරුලු කරමින් සෙනෙහස බෙදන රිලා මවක සහ පැටියාගේ ඡායාරුවකි.

එංගලන්තය මගින් වසරක් පාසා සංවිධානය කරනු ලබන මෙම හැට වැනි සංවත්සර ඡායාරූප තරගාවලිය මෙවර ලන්ඩන්  නුවර ස්වභාව විද්‍යා කෞතුකාගාරයේ ( the trustees of natural history of museum  London ) පැවති  අතර මෙම තරගාවලියේදී  ක්ෂීරපායි හැසිරීම් (Behaviour Mammals)  පිළිබඳ ඡායාරූප අංශය නියෝජනය කළ වෛද්‍යවරයා එම අංශයේ වසරේ  ඡායාරූප ශිල්පියා ලෙස සම්මානයට පාත්‍ර විය. ඔහු එම ඡායාරූපය විල්පත්තු ජාතික වනෝද්‍යානයේ දී සිය කැමරා කාචයට හසු කරගෙන ඇත.

ඔහු විසින් ඉදිරිපත් කරන ලද ‘රතු කුහුඹුවා ‘ ඡායාරූපයට තෙවන ස්ථානය සමග ලෝකඩ පදක්කම හිමි  විය.  2022 වර්ෂයේ ශ්‍රී ලංකා වන ජීවී ඡායාරූප ශිල්පියා ලෙසත්  2023 වර්ෂයේ ඉන්දියාවේ  ඩී .ජේ.එම්.පී.සී. ඡායාරූප තරගාවලියේ කුසලතා සම්මානයත් දිනාගත් වෛද්‍ය විනෝද් ලියනගේ  2024 දී  ජාතික ඡායාරූප කලා සංගමය මගින් පවත්වන ලද තරගාවලියේ  ලෝකඩ පදක්කම දිනා ඇත.  

වෛද්‍ය විනෝද් ලියනගේ සමග කළ කතාබහ ලංකාදීප පාඨක ඔබ වෙනුවෙන් මෙසේ සටහන් වෙයි‍

ඔබ මෙම තරග අංශය දිනූ ප්‍රථම ශ්‍රීලාංකිකයා. ජයග්‍රහණයේ වගතුග විස්තර කළොත්.. 
මම ඡායාරූප තරග ජයග්‍රහණ ලබලා තියෙනවා . ජාත්‍යන්තර තරගයන්හි ඉහළ මහාජන ප්‍රසාදයක් ලබමින් අවසන් වටය සඳහා තේරීමට හැකිවුවත් ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබපු පළමු අවස්ථාව මෙය.  ඒවගේම මේ අංශයෙන් ජාත්‍යන්තරය දිනූ  ප්‍රථම ශ්‍රී ලාංකිකයා ද වීම සතුටක්. ජාත්‍යන්තර 2024 sina awards  ඉතාලියේ පැවති තරගාවලියේදී මෙම ඡායාරූපයටම  ඉහළ මහාජන ප්‍රසාදයක් ලබමින් අවසන් වටය සඳහා තේරීම්  තේරීමත් විශේෂයක්.

ඔබ වනජීවී ඡායාරූප ශිල්පියෙක්  වගේම වෛද්‍යවරයක් කලාකරුවෙක් ..  
පාසල් කාලයේ ඉඳලම මම කලා කටයුතුවලට ලැදියි . චිත්‍ර අඳින්න හොඳට පුළුවනි. ඒ වගේම කවි, සංගීතය වාදනය නිර්මාණකරණයටත් හැකියාව තියෙනවා. ඒ අතරේ ගොඩක් ඡායාරූපකරණයට ඇලුම් කළා. කලාව කරන අතරතුරම උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් හදාරා වෛද්‍ය විද්‍යාලයට ගොස් වෛද්‍යවෘත්තිකයෙක් වුණා. 

 

කාර්යබහුල වෘත්තියක නිරත ඔබ මෙවැනි ඡායාරූපකරණයට යොමු වෙන්නේ කොහොමද.

පාසල් කාලයේ තිබ්බ ආශාව විනෝදාංශයක් විදිහට දිගටම කරගෙන ගියා. කෝවිඩ් කාලය එනකම්ම මාසෙකට වරක් වගේ ලංකාවේ විවිධ ස්ථාන කරා යන්න වෙලාව ඉඩකඩ හොයාගත්තා. ඒවා සැලසුම් සහගතව සිදුකර නිවාඩුව විවේකය මේ සඳහා යොදා ගත්තා. 

 

මේ සම්බන්ධයෙන් ඔබේ දරුවන් ගේ උනන්දුව කොහොමද ?
ඔව් ඒ අයත් මේ ඡායාරූපකරණයේ  වනගත ඡායාරූප ලබා ගැනීමේදී මා එක්ක යනවා. දුව සහ පුතා දෙදෙනාම දක්ෂයි. ඒ අයත් ජාතික තරඟවලට ඉදිරිපත් වෙනවා. ජාතික මට්ටමේදී   ළමා අංශයේ ජයග්‍රහණ ලබාගෙන තියෙනවා.

 

මේ ජයග්‍රාහී ඡායාරූපයේ පසුබිම කොහොමද?

මේ ඡායාරූපය ලබාගත්තේ විල්පත්තු ජාතික වනෝද්‍යානයේදී. අපි සෆාරි රථයක නැගිලා යන අතරතුරේ උදෑසන ආහාරය ගන්නේ කුඹුක් විල ආසන්නයේදී. මම ආහාර ගනිමින් සිටින අතරතුර මම දැක්කා විශාල ගහ උඩ මේ සතුන් දෙදෙනා ඉන්න ආකාරය. හැබැයි හුඟක් ඉහලින් සිටිය නිසා ඡායාරූපයට ලබාගන්න අමාරුයි. ඉක්මනින් ආහාර ගැනීම අවසන් කරලා මම ඡායාරූප ආම්පන්න ඉක්මනින් ලෑස්ති කර ගත්තා. ඒ වෙද්දී ඇස් මට්ටමට ඔවුන් පහළට බැහැලා හිටියේ. විනාඩියක වගේ කාලයක් ගත වුණේ  ඒ ඉරියව්වෙන් හිටිය නිසා ඡායාරූප ලබාගැනීමට හැකිවුණා.
කොහොමටත් මම ඡායාරූපයක් ගන්න ඉස්සෙල්ලා මගේ හිතේ ඇදිච්ච  රූප රටාවක් තියෙනවා. එවැනි ඡායාරූප වලට මම ප්‍රමුඛතාවයක් දෙනවා. කොහොමටත් රිලව් වඳුරන් වැනි සතුන්ගේ විවිධ ඉරියව් ඡායාරූපකරණයට මම කැමතියි.

 

මේ වනජීවී  ඡායාරූප වාණිජකරණයට පවතින පසුබිම කොහොමද?
වනජීවී ඡායාරූපකරණයේදී ශ්‍රී ලංකාවට වාණිජ මට්ටමේ අවස්ථාවක් නෑ.  ලංකාවේ ඡායාරූප එහෙම මිල කරන්න බැහැ. අනික ඒ සඳහා ගතකරන කාලය වෙහෙස විශාලයි. ඒ වගේම මේ   ඡායාරූප ආම්පන්න මිල ඉතා අධිකයි. අපි උනත් ඉස්සර මාසෙකට සැරයක් දින දෙකක් වගේ ට්‍රිප් එකක් යනවා. කෝවිඩ් වලින් පස්සේ මාස හයකට සැරයක්වත් යන්න අමාරුයි. සෆාරි වාහන වලට කෑම බීම වලට නවාතැන් වලට  ලොකු මුදලක් වැය වෙනවා. දින දෙකක් වගේ ගමනකට ලක්ෂයක් වගේ වැය වෙනවා.

 

ඔබ කොයිතරම් කාලයක් ඡායාරූපකරණයේ යෙදෙනවාද? 

2017 ඉඳලා ඡායාරූපකරණයේ යෙදෙනවා. ඒත් විනෝදාස්වාදය පිණිස කරන්නක්. වාණිජ මට්ටමෙන් නොකළත් ආධුනිකයෙක් නොවන  ආකාරයෙන් ඡායාරූපකරණයේ යෙදෙනවා. ඒත් වෘත්තීය ඡායාරූප ශිල්පියෙක්  කියන්නේ ඉන් ආදායම් උපයනවා නම් තමයි. ඒත් මම මේ ඡායාරූප  විකුණා ආදායම් ලබන්නේ නැහැ. 

 

තරග සඳහා ඉදිරිපත් වන අයගෙන්  ලංකාවෙ අයට  වැඩි ඉඩක් තිබෙනවාද?
මේ ඡායාරූපකරණයේ යෙදෙන්න  විශාල වියදමක් දරන්න වෙනවා. සාපේක්ෂ වශයෙන් වෙනත් රටවලට වඩා ලංකාවේ මේ සඳහා යොමු වන පිරිස අඩුයි. එනිසා ජයග්‍රහණයට වුණත් තියෙන අවස්ථා සීමා සහිතයි. බොහෝ වෙලාවට යුරෝපීයයන් මේ අවස්ථාව ලබාගන්නවා. ආසියානු කලාපයේ රටවල ඇතැම් අවස්ථාවල ඉන්දියානුවන් ජයග්‍රහණය කරලා තියෙනවා. මේ තරගාවලියට විවිධ තරග අංශ පවතිනවා.

 

බුද්ධිමය දේපල අයිතිය සම්බන්ධව  ඡායාරූප  වලට පවතින සීමාවන් නීතිමය තත්ත්වය කෙබඳුද?
ඕනෑම ප්‍රකාශනයක වගේම ඡායාරූපවලත් අයිතිය සම්බන්ධ නීති තිබුණත් ලංකාවේ  100% ක්‍රියාත්මක නැහැ. උපුටා ගැනීමට අවසර තිබිය යුතුයි.  මේ සම්මානය අරගෙන එන්නත් කලින් මම දැක්කා ඇතැම් සමාජ මාධ්‍යවල තමන්ගේ ගිණුම් වල පැතිකඩ පින්තූරය ලෙස සම්මානයට ලක්වන එම ඡායාරූපය යොදාගෙන තිබෙනවා.

වෛද්‍ය විනෝද් ලියනගේ මහතා ලන්ඩනයේදී සම්මාන ලබාගත් අවස්ථාව 

ඡායාරූපය - ලන්ඩන්  නුවර ස්වභාව විද්‍යා කෞතුකාගාර භාරය (The trustees of Natural History Museum London) අනුග්‍රහයෙනි