වර්ජන රැල්ලේ දේශපාලනය


මීට මාස තුන හතරකට පමණ පෙර රටේ ඇති වූ වැඩවර්ජනවලදී ජනතා විමුක්ති පෙරමුණ ඒවාට තම සහාය ලබා දුන්නේ නැත. විශේෂයෙන්ම රෝහල්වල පැවැති වැඩවර්ජනවලදී එවැනි වර්ජන පැවැත්වීම පිළිබඳ එම පක්ෂය සිය විරෝධය පළ කළ අතර ඒවායින් ජනතාව අපහසුතාවට පත්වන බවද, ජන ජීවිත අවුල් වන බව ද ප්‍රකාශ කර සිටියේය. මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී එය ජයග්‍රහණය කළ හැකි යැයි අදහස් කළ මුල් අවස්ථාවේ සිට මෑතක් වනතුරුම වර්ජන සම්බන්ධයෙන් එම පක්ෂයේ අදහස ඒ අයුරින් දිගටම පැවැත්විණි.

2023 මාර්තු මස 14 වැනි දා ආරම්භ වූ රෝහල් වැඩවර්ජනයක් පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ ලාල් කාන්ත මහතා ප්‍රකාශ කළේ රෝහල්වල අඛණ්ඩ වැඩවර්ජනවලට තමන් එකඟ නොවන බවය.

ගුරු වෘත්තියේ අයිතිවාසිකම් දිනාගැනීම සඳහා යැයි ප්‍රකාශ කරමින් මේ වසරේ මැයි මාසයේ දී ගුරු විදුහල්පති එකමුතුවේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමිගේ නායකත්වයෙන් යුතු වෘත්තීය සමිතිය විසින් එක් දින ගුරු වැඩවර්ජනයක් ප්‍රකාශයට පත් කරන ලදී. එසේ වුවද ජෝෂප් ස්ටාලින් ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණට සහාය ලබාදෙන වෘත්තීය සමිති එම වර්ජනයට සහායදීම ප්‍රතික්ෂේප කළ අතර තම සාමාජිකයන්ට ඊට සහභාගී නොවී සේවයට පැමිණෙන ලෙස ද දන්වා සිටියේය.

එහෙත් දැන් සියල්ල කණපිට පෙරළී ඇත. වැඩවර්ජන පැවැත්වීමට විරෝධය දක්වමින්, රටේ සාමාන්‍ය ජන ජීවිතය යථා අන්දමින් පවත්වාගෙන යෑම සඳහා සහාය දෙමින් සිටි ජනතා විමුක්ති පෙරමුණ දැන් එම සාමකාමී පිළිවෙත සම්පූර්ණයෙන්ම අතහැර දමා තිබේ. එකවරම දැන් වැඩවර්ජන වලින් තම සටන දියත් කිරීම සඳහා ඔවුහු පෙළඹී සිටිති. ඊයේ සහ පෙරේදා රටපුරා ක්‍රියාත්මක කරන ලද ජනතා විමුක්ති පෙරමුණ විසින් නායකත්වය දෙන ලද වැඩවර්ජනවල අරමුණ වූයේ රටේ සාමකාමී පරිසරය විනාශ කර රට අවුල් සහගත තත්වයට ගෙන ඒම බව පෙනේ.

සමගි ජන බලවේගය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු තවත් පක්ෂ මෙම වැඩවර්ජන මෙහෙයවීම සඳහා එකතුව සිටී. එම සියලු‍ කණ්ඩායම්වල අවශ්‍යතාව වී ඇත්තේ රජයේ කටයුතු අඩපණ කර, ඒ තුළින් මහජනතාව පීඩාවට පත් කර දේශපාලන වාසි ලබා ගැනීමයි. සජිත් ප්‍රේමදාස මහතාගේ ඡන්ද ව්‍යාපාරයේ එක් ප්‍රධාන අංගයක් වී ඇත්තේ පාසල්වලට සුහුරු පන්ති කාමර ආරම්භ කිරීම සඳහා ආධාර ලබාදීමය. එහෙත් ඔහු කිසි දිනෙක පාසල් ළමයින්ගේ අධ්‍යාපන අයිතිය අහිමි කරන මෙම වැඩවර්ජන පිළිබඳව වචනයක් හෝ කතා කර ඇති බවක් නොපෙන්. ඔහුගේ තවත් ව්‍යාපෘතියක් වී ඇත්තේ රෝහල් සඳහා යම් යම් උපකරණ ලබාදීමය. රෝගීන්ගේ ජීවිත බිල්ලට ගනිමින් පවත්වාගෙන යන සෞඛ්‍ය අංශයේ වැඩවර්ජනවලට එරෙහිව ඔහු කිසිවක් ප්‍රකාශ කළ බවක් ද වාර්තා නොවේ.

එවැනි තත්වයක් රට තුළ ඇති කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ පෙළඹී ඇත්තේ තමන් වටා පෙළ ගැසී ඇතැයි අධිතක්සේරුවෙන් ඔවුන් උපකල්පනය කළ ජනතා රැල්ල මිරිගුවක් බව ඔවුන්ට වැටහීයෑම නිසා බව පෙනේ. මුලින්ම ජනාධිපතිවරණ සටන සඳහා සංවිධාන කටයුතු මෙහෙය වූයේ ජනතා විමුක්ති පෙරමුණ විසිනි. පිටියේ තරඟ කරන තනි අශ්වයා වීම හේතුවෙන් ඔවුන් වටා ගැවසෙන පිරිස ජන ගඟක් ලෙස පෙනුනද පළමුව සමගි ජන බලවේගයත්, ඉන්පසුව එක්සත් ජාතික පක්ෂයත් ක්‍රමයෙන් තම ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමත් සමග ජනාධිපතිවරණය කිසිදා ජයග්‍රහණය කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණට වැටහී ගොස් ඇති බව මගේ විශ්වාසයයි.

දැන් එම පක්ෂය තම උපාය මාර්ග සම්පූර්ණයෙන්ම වෙනස් කර තිබේ. 1987-89 කාල පරිච්ඡේදය තුළ ඔවුන් විසින් සංවිධානය කර මෙහෙයවන ලද කඩාකප්පල්කාරී ක්‍රියා, වැඩවර්ජන සහ උද්ඝෝෂණ ආදී සියල්ලම නව මුහුණුවරකින් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරමින් සිටී. ඊයේ සහ පෙරේදා ඇතැම් ආයතනවල ක්‍රියාත්මක කරන ලද වැඩවර්ජනවලින් එම ක්‍රියාමාර්ග වෙතට එනම් ත්‍රස්තවාදය සහ බලහත්කාරය මගින් රට අවුල් කිරීමේ පිළිවෙතට ඔවුන් දැන් අවතීර්ණ වී ඇති බව පෙනේ. තමන්ට බලයට ඒමට නොහැකි නම් රටක් පැවැතිය යුතු නැත යන්න ඔවුන්ගේ අදහස වී ඇත. ජනතා විමුක්ති පෙරමුණේ එම ක්‍රියාමාර්ගවලට ඇතැම් දේශපාලන පක්ෂ හා නායකයන් සම්පූර්ණයෙන් සහාය ලබා දෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට අහිමි වූ ජයග්‍රහණය තමන්ට උරුම කර ගැනීමටය.

87-89 කාල පරිච්ඡේදයේ ජනතා විමුක්ති පෙරමුණ රට පුරා භීෂණය පැතිර වූයේ හිංසනය උපරිම මට්ටමකින් ක්‍රියාත්මක කරමිනි. ඉන්දියාවට සහ පළාත් සභා ක්‍රමයට විරෝධය දක්වමින් මහජනතාව බලෙන් රැස්වීම්වලට දක්කා ගෙන යන ලදී. නිවෙස්වලට තුණ්ඩුවක් යවා අසවල් තැන අසවල් වේලාවේ පැවැත්වෙන පෙළපාලියට, උද්ඝෝෂණයට හෝ රැස්වීමට පවුලෙන් නියමිත පිරිසක් සහභාගී කරවිය යුතු බවටත්, එම නියමය කඩ කරන අයට දඬුවම් පමුණුවන බවටත් දැනුම් දෙන ලදී. ලංගම සේවකයන් බලෙන් වැඩවර්ජනය කරවා බස් රථ ධාවනය කළ රියැදුරන් එම ධාවන අවස්ථාවේදීම ඝාතනය කර දමන ලදී.

එදා තුවක්කුව හෝ පිහිය ගෙලට තබා වැඩවර්ජන කරවූ ආකාරයටම අද ද වැඩවර්ජන කරවීමට ජනතා විමුක්ති පෙරමුණ ඊට වඩා වෙනස් වූ උපක්‍රම භාවිතා කරන බව පෙනේ. මාධ්‍ය පුළුල් ලෙස භාවිතා කරමින් ඇතැම් ගුරුවරුන් ලවා මවුපියන්ට තම දරුවන් පාසල්වලට නොඑවන ලෙස බලකර සිටී. ගුරුවරුන් විසින් එවැනි තර්ජන කරන විට මවුපියන් තම දරුවන් පාසල් එවීමට සූදානම් වන්නේ නැත. මේ තර්ජන සඳහා ඔවුන් වැඩි වශයෙන්ම යොදා ගනු ලබන්නේ සමාජ මාධ්‍යයන්ය. විවිධ තර්ජන, අනියම් බලපෑම් සහ විකෘති කරන ලද තොරතුරු ඔස්සේ දැන් වැඩ වර්ජන මෙහෙයවීමට ඔවුහු සූදානම් වෙති. WhatsApp සහ තවත් සමාජ මාධ්‍ය යොදා ගනිමින් වැරදි තොරතුරු ප්‍රචාරය කර වර්ජන පවත්වාගෙන යයි.

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වර්ජනය දැන් මාස දෙකකට වඩා කාලයක් තිස්සේ පවත්වාගෙන යනු යයි. වැඩවර්ජන කාලය තුළ සියලු‍ම වැටුප් ද අප්‍රේල් මාසයට අතිකාල දීමනා ද ලබාදෙන බව ප්‍රකාශ කරමින් සේවයට යන ලෙස ආණ්ඩුව එම සේවයන්ගෙන් ඉල්ලා සිටියේය. එහෙත් තවමත් සේවයට ගොස් නැත. සමහර විශ්වවිද්‍යාලවල ජල සැපයුම් විසන්ධි කර ඇත. සමහර විශ්වවිද්‍යාලවල විදුලි බලය සහ අන්තර්ජාල සම්බන්ධතා පවා විසන්ධි කර තිබේ. තවත් සමහර විශ්වවිද්‍යාලවල දේශන ශාලා අගුළු දමා යතුරු තම නිවෙස්වලට රැගෙන ගොස් ඇත. විශ්වවිද්‍යාල තුළ මේ ආකාරයට කඩාකප්පල්කාරී ක්‍රියා පැවැත්වීමට ඉඩදීම රටේ සම්පත් දරුණු ලෙස විනාශ කිරීමකි. විශ්වවිද්‍යාල වසා තැබීමේ සම්පූර්ණ වාසිය හිමි වන්නේ ජනතා විමුක්ති පෙරමුණටය. වර්ජනය නිසා පන්ති නොපැවැත්වෙන බැවින් සිසුන් නිදහසේ තම දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීමට ඔවුන්ට ඉඩ ලැබේ. එබැවින් ජනාධිපතිවරණ ඡන්ද දිනය දක්වා වර්ජනය අවසන් නොකර තබා ගැනීමට ඔවුන් උත්සාහ නොකරනු ඇතැයි කවරෙකුට කිව හැකිද?

රටේ රාජ්‍ය සේවකයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 13ක් පමණ වේ. එම පිරිසට රුපියල් 10,000කින් වැටුප් වැඩිකිරීම සඳහා රුපියල් බිලියන 156ක් අවශ්‍ය වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන ඇති එකඟතා අනුව රජයට බැංකුවලින් ණය ලබාගැනීම හෝ මුදල් මුද්‍රණය කිරීමට නොහැකිය. එවැනි තත්වයක් තුළ තවත් වැටුප් වැඩි කිරීමක් සඳහා අනිවාර්යයෙන්ම වැට් බදු වැඩි කිරීමට හෝ වෙනත් බදු ක්‍රමයක් හඳුන්වා දීමට සිදුවේ. දැනටමත් ඉහළම බදු පනවා ඇති තත්වයක් තුළ මහජනතාව මත තවත් බරක් පැටවීමට රජයට හැකියාවක් ද නැත. එසේම එවැනි වැටුප් වැඩිකිරීමක් තුළ රටේ නිෂ්පාදනයේ කිසිදු වැඩිවීමක් සිදු වන්නේ ද නැත. නිෂ්පාදන මට්ටම එසේම තිබියදී ආර්ථිකයට අතිවිශාල මුදල් ප්‍රමාණයක් වැටුප් ලෙස අලු‍තින් එකතු කිරීමේ අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ උද්ධමන වේගය ඉහළ යෑමයි. එක අතකින් බදු වැඩි කිරීම නිසා ද, අනෙක් අතින් උද්ධමනය වැඩිවීම නිසා ද වැටුප් වැඩි කිරීමක අවසන් ප්‍රතිඵලය වන්නේ මහජනතාව මත විශාල පීඩනයක් එල්ල වීමය.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයකු සහ වෘත්තීය සමිති නායකයකු ද වන ලාල් කාන්ත මහතා ඉකුත්දා මහනුවර පැවැති රැස්වීමක් අමතමින් ප්‍රකාශ කර තිබුණේ සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි සිදුකරන අරගල පිළිගත නොහැකි බවයි. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඉල්ලීම් දිනා ගැනීමට උද්ඝෝෂණ හා අරගල කළ යුතු වුවත් දරුවන්ගේ අධ්‍යාපනයට මෙන්ම රෝගී සත්කාර සේවාවලට බලපෑම් කිරීම අනුමත කළ නොහැකි බවයි. සමහර අවස්ථාවල පක්ෂය අමතක කර දමා සත්‍ය තත්වය පිළිබඳව අදහස් දැක්වීමට ලාල් කාන්ත මහතා ඉදිරිපත් වන බව පෙනේ. එසේ වුවද ඔහු මේ ප්‍රකාශය කළ යුතුව තිබුණේ එම රැස්වීමට සහභාගී වූවන්ට නොව ඔහුගේ පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණේ නායක කාරකාදීන්ටය. මැතිවරණ පරාජය හඳුනාගත් විට පාසල් දරුවන්ට අධ්‍යාපනයත්, රෝගීන්ට තම ජීවිතත් අහිමි කරමින් වර්ජන රැල්ලක් ආරම්භ කරන ලද්දේ එම නායක කාරකාදීන් විසිනි.

මෙම වර්ජන රැල්ල වෘත්තීය සමිති අරගලයක් නොව ළග එන ජනාධිපතිවරණය අරමුණු කරගෙන දියත් කර ඇති දේශපාලන ව්‍යාපාරයකි. මෙම තත්වය පිළිබඳව මහජනතාව හොඳ අවබෝධයකින් පසුවන බව එය මෙහෙයවන නායකයන් අවබෝධ කරගත යුතුව ඇත.

(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ
හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර